සෙල්ලන්ද මල්ලි - උපුල් ජෝශප් ප්‍රනාන්දු


මහින්ද මළ ගෙදරක යන ගමන් එස්.එම්. චන්ද්‍රසේනව නියෝජ්‍ය ඇමැති කෙනෙක් හැටියට පත් කළේ නිකම්ම නොවේ. උතුරු මැද පළාත් සභා ඡන්දය පවත්වා අවසන්ය. එහෙනම් මහින්දට හදිස්සියේම අනුරාධපුරයට ඇමැති කෙනෙක් ඕනෑ වුණේ හදිසි ජනාධිපතිවරණයකට ගියොත් අනුරාධපුර ගොඩ දමා ගන්න විය යුතුය. මහින්දට 2005 ජනාධිපතිවරණය මෙන්ම 2010 ජනාධිපතිවරණයත් අනුරාධපුරයෙන් ගොඩ දමල දුන්නේ බර්ටි ප්‍රේමලාල්ය. බර්ටි දැන් ජීවතුන් අතර නැත.

 "ඇයි දුමින්ද ඉන්නේ.....?"

දුමින්ද ඉන්නේ ඉන්නවාටය. සිය පියාට මහ ඇමැතිකම නොදුන් නිසා පියා ඒ ගැන හිතා ලෙඩ වී මිය ගියා යැයි හිතන දුමින්ද පියාගේ අවමඟුලේදී චන්ද්‍රිකාව උස්සලා කතාවක් කළේය. මේ නිසාදෝ ජනාධිපතිවරණකදී දුමින්ද ගැන සියයට සීයක් ෂුවර් කරන්න මහින්දට බැරිදෝ දන්නේ නැත.
 
එස්.එම්. චන්ද්‍රසේනගේ හදිසි ඇමැතිකම හදිසි ජනාධිපතිවරණයකට ඉඟියක් වුවත් පක්ෂ ලේකම් මෛත්‍රිපාල, භාණ්ඩාගාරික සහ පක්ෂයේ ප්‍රචාරක නියමුවා ඩලස් පොළොවේ හැපි හැපී කියන්නේ 2014 ජනාධිපතිවරණයක් නැහැයි කියාය.
 
"ජනාධිපතිවරණය ගැන ආණ්ඩුව ඇතුළේ මත දෙකක්....!"

මේ අලුත්ම නිවුස් එකය.

"2014 ජනාධිපතිවරණයක් ඕනෑ කියන්නේ කවුද..."

කතා දෙකක් නැත. මහින්දට හදිසි ජනාධිපතිවරණයක් ඕනෑය.
 
"ඇයි ඒ...?"

ඒ මහින්ද දෙවැනි නිල කාලයේ අන්තිම අවුරුදු දෙකට පණ බය නිසාය. ජේ.ආර්.ලා සහ චන්ද්‍රිකාලා දෙවැනි නිල කාලයේ අන්තිම අවුරුදු දෙකට බය වුණේ ඒ අවුරුදු දෙකෙන් පස්සේ ගෙදර යන්න වෙන නිසාය. මහින්ද ව්‍යවස්ථාව වෙනස් කරගත් නිසා මහින්දට ගෙදර යන්න ඕනෑ නැත. දෙවැනි නිල කාලය අවසන් වූ විගස මහින්දට තෙවැනි නිල කාලය සඳහා ජනාධිපතිවරණයකට යන්න පුළුවන.

"ඉතින් මොකටද බය වෙන්නේ....?"
 
බය වෙන්නේ නිකම්ම නොවේ. ජේ.ආර්.ගේ සහ චන්ද්‍රිකාගේ දෙවැනි නිල කාලයේ අන්තිම අවුරුදු දෙකෙහි අසුබ ලකුණුත් මහින්දගේ දෙවැනි නිල කාලයේ අන්තිම අවුරුදු දෙකෙහි පේන්න තියෙන අසුබ නිමිතිත් හොඳට ගණන් හදල බලලාය.

ජේ.ආර්. ගේ අන්තිම අවුරුදු දෙක 1987 සහ 1988ය. ජේ.ආර්. හොම්බෙන් ගියෙත් ඒ කාලයේය. උතුරේ කොටි යුද්ධයය. දකුණේ ජේ.වී.පී. යුද්ධයය. ඒ මදිවාට ඉන්දියාවේ වෛරයය. මේ දෙක තුනම මැද්දේ 87 සහ 88 රට පාලනය කළේ ජේ.ආර්. නොවේ. කොටි, ඉන්දියාව සහ ජේ.වී.පී.යය. ජේ.ආර්. වෝඩ් පෙදෙසේ බි්‍රමාර් නිවෙසේ හිරකාරයෙක් විය.
 
චන්ද්‍රිකාගේ අන්තිම අවුරුදු දෙක 2004 සහ 2005ය. ඒ කාලයේ රට ආණ්ඩු කළේ චන්ද්‍රිකා නොව ජ.වි.පෙ.ය. චන්ද්‍රිකා ජ.වි.පෙ. සිරකාරියක් වූවාය. ඒ මදිවාට සුනාමියක්ද ආවේය. ඒ හිර ගෙදරින් පැනල ප්‍රභාකරන් එක්ක පී ටොම්ස් අස්සන් කරන්න ගිහින් ආණ්ඩුව වැටුණි. ජ.වි.පෙ. ආණ්ඩුව ඇතුළෙන් ගහද්දී යූ.ඇන්.පී.ය ජනාධිපතිවරණයක් ඉල්ලා පෙළපාළි යන්න පටන් ගත්තේය. චන්ද්‍රිකා පත්කොට විපක්ෂයේ දෝෂාභියෝග මැද්දේ ආරක්ෂා කරගෙන ආ අගවිනිසුරු සරත් සිල්වාත් චන්ද්‍රිකාට එරෙහි විය. චන්ද්‍රිකාගේ වම් අත වන් මංගලත් චන්ද්‍රිකාට එරෙහි විය. ඇගේ දකුණු අත වන් කදිරගාමර් ඝාතනය විය. ඇය පත් කළ ඇගේ අගමැති මහින්දම ඇයව ගෙදර යවන තැනට වැඩේ කළේය.
 
මේ ඉතිහාසය මහින්ද දනී. මහින්දට ඒ ඉතිහාසය වෙනස් කරන්න තියෙන එකම හයිය 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයය. ඒත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මහින්දගේ දෙවැනි නිල කාලයේ අවසන් අවුරුදු දෙකේ අසුබ නිමිති නැති භංග කරන්න බැරි බව මහින්ද දනී.

 "මොනවද මේ අසුබ නිමිති....?"
 
අංක එක ආර්ථික අර්බුදයය. පසුගිය සතියේ පත්තරයක අපූරු පුවතක් පළ විය. රජයේ සේවකයන්ගේ අර්ථ සාධක අරමුදල් පියවන්න වනාන්තරවල ගස් කපන්න කැබිනට පත්‍රිකාවක් සම්මත කරගෙන ඇති බව එම පුවතින් අනාවරණය කරගෙන තිබිණි. මිනිස්සු ගෙවල්වල ගස් කපල විකුණන්නේ හිඟා නොකා හිඟා කන කාලයක් ආ විටදීය. ගස් කපල විකුණලා ගොඩ එන්න බැරි වූ විට ගෙවල් ‍ෙදාරවල් විකුණයි. ආණ්ඩුව ඉස්සරහට මොනවා විකුණයිද කියල නම් හිතාගන්නත් බැරිය. ඒකෙන්ම ලබන අවුරුදු දෙකෙහි රට වැටෙන ආර්ථික අර්බුදයේ තරම පෙන්වයි.
 
දෙවැන්න ජාත්‍යන්තර අර්බුදයය. ලබන මාර්තු මස වන විට යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විසඳුමක් දෙන්න අසමත් වුවහොත් මාර්තු මානව හිමිකම් කොමිසමේදී ආණ්ඩුවේ බෙල්ලට දමා තියෙන තොණ්ඩුව තද වෙයි.

ඊළඟ ප්‍රතිඵලය රටවල් වෙන වෙනම දමන ආර්ථික සම්බාධක විය හැකිය. ගහෙන් වැටුණ මිනිහාට ගෙනා ඇන්නා වාගේ එයින් ආර්ථික අර්බුදය ගිනි කන්දක් වගේ පුපුරලා යනු ඇත.
 
තුන්වැන්න රටේ ආර්ථික අර්බුදය පුපුරන විට ජනතාවගේ බඩට දැනී රැල්ලට එන මහජන නැගිටීම්ය. මහජන නැගිටීම් වැඩිවන විට ආණ්ඩුව මර්දනය කරන්න ගියොත් රටේ ආර්ථික අර්බුදය මදිවාට දේශපාලන අර්බුදයක් මෝරනු ඇත. එවිට ආණ්ඩුව ඇතුළෙන්ම කොටසක් ගැලවී පුපුරා යනු ඇත.

මෙවැනි අසුබ නිමිති දැක දැක මෙවන් කලක ජනාධිපතිවරණයකට යෑම සිය දිවි හානිකර ගැනීමකි. මහින්ද ඒ අවුරුදු දෙකට කලින් ජනාධිපතිවරණයකට යන්න හදන්නේ රටම අර්බුදවලින් පුපුරල ගියත් තව අවුරුදු 8කට මමයි ජනාධිපති කියල බෙල්ල ආරක්ෂා කර ගන්න විය යුතුය.
 
මහින්ද 2014 හදිසි ජනාධිපතිවරණයකට ගිහින් බෙල්ල ආරක්ෂා කර ගත්තාට තැල්ල නොහොත් ආණ්ඩුවට 2016 මහ මැතිවරණයකට යන්න වුණොත් තමන්ට කෙළවෙන බව ඇමැතිවරුන් දනී. 2016 ජනාධිපතිවරණය තියා මහින්දව කෙසේ හෝ දිනවා එම ජයග්‍රහණය මතින්ම මහ මැතිවරණයකට ගිහින් තමන් ගොඩ යා යුතු යැයි මෛත්‍රිපාලලා ඩලස්ලා සිතනවා විය යුතුය.
 
1999 ජනාධිපතිවරණය තියා දිනල මහ මැතිවරණයට යන්න කියා එදා එස්.බී.ලා ජී.එල්ලා බල කරන කොට ඔවුන්ගේ කීම නාහා වසරකට පසු මහ මැතිවරණයකට ගිහින් චන්ද්‍රිකා ආණ්ඩුව නැතිකර ගත් ආකාරය මෛත්‍රිලා ඩලස්ලා දනී. ඒ නිසා 2016 ජනාධිපතිවරණයත් මහ මැතිවරණයත් එකට තියල මහින්දගේ බෙල්ලයි, ආණ්ඩුවේ තැල්ලයි දෙකම බේරා ගන්න මෛත්‍රිලා ඩලස්ලා දත කනවා විය යුතුය.
 
මේ අස්සේ බැසිල් මැතිවරණ දිනන පොතක් පෙරළයි. බැසිල්ගේ අගසව් ප්‍රසන්න රණතුංග කියන්නේ ඡන්ද දිනන්න නම් බැසිල් විතරයි කියන එකය.

2010 මහ මැතිවරණයට පසු අගමැති වෙන්න බැසිල්ගේ ඉලක්කයක් නොතිබුණා කියනවා නම් බොරුය. ඒ වාගේම මහින්දගෙන් පසු ජනාධිපති වෙන්නත් බැසිල්ගේ ඉලක්කයක් ඇත.
 
"බැසිල්ට හදිසි ජනාධිපතිවරණයකට යන්න ඕනෑද....?"
 
බැසිල්ගේ ඡන්ද දිනන පිටු 70ක පොත පෙරළෙන පැත්ත නම් තවම කිව නොහැකිය. මහින්ද 2016 ජනාධිපතිවරණයට යන්න තීරණය කොට 2016 අර්බුද රැල්ල මැද ජනාධිපතිවරණයකට ඉල්ලන්න බය වුණොත් "බිය නොවන්න අයියණ්ඩි දිනනා හැටි මම පෙන්වන්නම්" කියා මද්දුම බණ්ඩාර වගේ බෙල්ල දෙන්න බැසිල් එයිද කියන්න දන්නේ නැත.

බැසිල් කියන්නේ මේ ආණ්ඩුවේ සිරිසේන කුරේය. ජනාධිපතිවරණයකට යා යුත්තේ 2014 ද 2016 ද කියන එක සම්බන්ධයෙන් තීරණයක් ගනිද්දී බැසිල්ට කන් නොදුන්නොත් මහින්දට වෙන්නේ "සෙල්ලන්ද මල්ලී" කියල බැසිල්ගෙන් අහන්නටය.