"ඇයි බුරු ගැසීමට අත්අඩංගුවට ගෙන අරක්කු නඩු දන්නේ?" - සනිල් රන්ජිත්.



හර්ෂි සි. පෙරේරා

හෙට 2014 නව වසරේ උදාවයි. උදාවන වසරේද ශ්‍රී ලංකා පොලිසිය වදහිංසා පැමිණවීම සහ බොරු නඩු දැමීම ජයටම කරගෙන යනු ඇත. මෙම සිද්දිය පානදුර දකුණ පොලිසියේ බොරු නඩු දැමීමකට අදාලවයි. බොරු නඩු දැමීමෙන් නතර නොවූ පානදුර දකුණ පොලිසිය වින්දිතයාට වරද පිළිගන්නා ලෙසටද බලපෑම් කර තිබේ. උසාවියේදී වරද පිළිගන්නා පුද්ගලයකු මුළු ජිවිත කාලයටම වරදකරුවකු වේ. 

01. සභාපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව
    165, කිංසි පාර,
    කොළඹ 08.


02. පොලිස්පති,
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.

අත්අඩංගුවට ගෙන, ව්‍යාජ නඩු පැවරීම

කුරුප්පු ආරච්චිගේ සනිල් රංජිත්, අවු: 48යි, විවාහක, දරුවන් 04යි, රැකියාව - වඩුවැඩ.
ලිපිනය : 03, බතලකොටුව, රෝහණීවත්ත, ක`ඵදෑවල, පානදුර.
2013.12.31 දිනදීය.

2013.12.25 දින, සවස 4.00 පමණ, පානදුර දකුණ පොලිසියේ සිවිල් ඇඳුමින්, නිලධාරීන් තුදෙනෙක් යතුරු පැදි දෙකකින් මාගේ නිවසට පැමිණ තිබුනා.

එ් අවස්ථාවේ මා නිවසේ සිටියේ නැහැ. නිවසේ සිටියේ මාගේ දියණියන් දෙදෙනා හා මාගේ මවත් නැගණියත් පමණි.

එම නිලධාරින් මාගේ දියණියන් දෙදෙනාගෙන් මා පිලිබඳව විමසා, මා නිවසේ නැති බව පැවසූ විට, ”එහෙනම් බොලාගේ තාත්තාට එන්න කියලා කෝල් කරපන්”, කියා මාගේ වැඩිමහල් දියණියගේ ජංගම දුරකථනය උදුරාගෙන බොලාගේ තාත්තාට එන්න කියපන් කියා පිටව ගොස් තිබෙනවා. ඔවුන් දියණියන් දෙදෙනා ඉදිරියේදී මාගේ පා පැදිය පොලවේ ගසා, මාගේ මවටද බැණවැදී තිබෙනවා. ඔවුන් පැමිණ තිබුනේ මාගේ නිවසේ බූරු ගසන බවට ලැබී තිබුනු පැමිණිල්ලක් මතයි.

මාගේ බයිසිකලය හා එ් අවස්තාවේ නිවසේ සිටි තවත් අයකුවද අත්අඩංගුවට ගෙන තිබුනා.

එදින රාත‍්‍රියේම එම පුද්ගලයාව මුදාහැර තිබුනා.

නැවත 2013.12.26 දින සවස 4.00ට පමණ සිවිල් ඇඳුමින් නිලධාරීන් 4 දනෙකු යතුර පැදි දෙකකින් මාගේ නිවසට පැමිණියා. එ් අවස්ථාවේ මා නිවසේ සිටියා. ඔවුන් මාව අත්අඩංගුවට ගෙන, අත් දෙකට මාංචු දමා, ඔවුන් පැමිණි යතුරු පැදියක මැද තබාගෙන මාව පානදුර දකුණ පොලිසියට ගෙන ගියා. 

මාව පොලිසියේ උඩ තට්ටුවේ කාමරයකට ගෙන ගොස් මාංචු ගලවා තැබුවා.

එහිදී, බූරු ගැසීම සම්බන්ධයෙන් මාගෙන් ප‍්‍රශ්ණ කර, පහර දීමට ද සූදනාම් වුනා. කුඩු හා ගංජා වලට දමන බවටත්, මා ළඟ ආයුධ තිබෙන බවටත් තර්ජනය කලා.

පැයකට පමණ පසුව මාව කූඩුවට ගෙන ගොස් දැමුවා.

එදින (26* දින මාව බැලීමට මාගේ මල්ලී වන කේ.සුදත් මාව බැලීමට පොලිසියට පැමිණ තිබුනා. මාගේ දියණියගේ ජංගම දුරකථනය ඔහුට බාර දී තිබුනා.

පසුදා (27 දා* උදේ 10.00 ට පමණ වන තෙක් මාව කූඩුවේ දමා තැබුවා. උදේ 10.00 ට පමණ, කූඩුවෙන් එළියට අරගත්තා. එයට මගෙන් අත්සන් ගත්තා. ලියූ දේවල් මට කියවා තේරුම්කර දුන්නේ නැහැ.

නැවත මාව පහලට ගෙනගොස් කූඩුවට දැමුවා. මා කූඩුව ඇතුලේ සිටියදී අරක්කු බෝතල් 3කට මාගේ ඇගිලි සලකුණූ ලබා ගත්තා.

මා ඇසුවා බූරු ගැසීමට අත්අඩංගුවට ගෙන, අරක්කු නඩු දාන්නේ ඇයි කියා. 

පසුව මාව කූඩුවෙන් එළියට ගත්තා. එ් වන විට මාගේ මල්ලී වන කේ. සුදත් පොලිසියට පැමිණ සිටියා. මාව ඇප මත මුදාහැරියා. 

2014.01.14 දින, උදේ 8.00 ට පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසටත්, නැතිනම් වරෙන්තු කරන බවටත් ප‍්‍රකාශ කලා.

එමෙන්ම උසාවියේදී වරද පිළිගනින්, නැත්නම් බොට හිරේ යන්න වෙයි කියාද පවසා සිටියා.

අත්අඩංගුවට ගත් මාගේ පාපැදිය ද නැවත ලබා දුන්නා.

මා ප‍්‍රකාශ කර සිටින්නේ,

බූරු ගැසීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන, මාහට අරක්කු බෝතල් 3ක් දමා ව්‍යාජ නඩුවක් පවරා, තර්ජණය කල බවයි.

මා ඉල්ලා සිටින්නේ, අත්අඩංගුවට ගෙන, ව්‍යාජ චෝදනා නගා, නඩු පවරා, තර්ජණය කර, මා දැඩි අපහසුතාවයට, හිරිහැරයට පත්කල පානදුර දකුණ පොලිසියේ නම් නොදන්නා මුත් දුටුවොත් අඳුනාගත හැකි නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසටයි.


කේ.එ්.සනිල් රංජිත්.