යුරෝපීය ජාතීන් විස්මයට පත් කළ විශිෂ්ට වාරි තාක්ෂණය


 ක්‍රිස්තු පූර්ව යුගයේ දී ලංකාවට සංක්‍රමණය වූ මුල් ආර්ය ජනයා වියළි කලාපයේ ගංඟා නිම්න ආශ්‍රිත ව ජනාවාස පිහිටුවා ගත් බව ඉතිහාසයේ සඳහන් වේ. එම ජනතාව ගොවිතැන ස්වකීය ජීවනෝපාය කරගනු ලැබීය. වර්ෂාපතනය වියළි කලාපයට ලැබුණේ වසරේ එක් කාලසීමාවකට පමණි. ඒ නිසා වර්ෂාව නොමැති කාලයේ දී වැසි ජලය ගොවිතැන සඳහා එක්රැස් කර ගෙන තබා ගැනීමට මුලදී කුඩා වැව් ඔවුන් විසින් නිර්මාණය කර ගන්නා ලදී. එහෙත් පසු කාලයේ දී ජන සංඛ්‍යාව වැඩිවීමත් සමඟ එම කුඩා වැව් වලින් ලබා ගන්නා ජලය ගොවිතැන සඳහා ප්‍රමාණවත් නොවීය.

ඒ නිසා ගංගා හරස් කර වේලි බැඳ විශාල වැව් නිර්මාණය කරන ලදී. එම වැව් වලින් ගොවිතැන් කටයුතු සඳහා ජලය මනා කළමනාකරණයකින් යුතුව බෙදා හැරීම සඳහා “බිසෝ කොටුව” ප්‍රසිද්ධ තාක්ෂණ ක්‍රමය භාවිත කරන ලදී. මේ පිළිබඳව බ්‍රිතාන්‍ය ජාතික වාරිමාර්ග ඉංජිනේරුවරයකු වූ එච්. පාර්කර් මහතා සඳහන් කරන්නේ ලෝකයේ ශ්‍රේෂ්ඨ නිර්මාණ අතුරින් විශිෂ්ටම මහා වැව් තැනීම පිණිස කිසිදු බියකින් හා සැකයකින් තොරව ඉදිරිපත් වීමට සිංහල වාරි මාර්ග ඉංජිනේරුවරුන්ට හැකි වූයේ මෙම බිසෝ කොටුව නිර්මාණයට තිබූ හැකියාව නිසයි.”

ලෝකයේ විවිධ රටවල හතර වරක් සංචාරය කළ ඇ‍ෙමරිකන් ජාතික විද්වතකු වූ පී. බිගුලෝ විසින් 1910 දී මෙසේ සඳහන් කර ඇත.

“යුරෝපයේ යම්කිසි ශිලාචාර කමක් ඇතිවෙන්නට ශත වර්ෂ ගණනාවකට පෙර උසස් ආර්ය ජනතාව විසින් නිර්මාණය කරන ලද ඉදිකිරීම් දෙස බලා යුරෝපීය ජාතිකයන්ට පුදුම වන්නට සිදු වී ඇත. විශේෂයෙන්ම ගොවිතැන් කටයුතු සඳහා ජලය එක්රැස් කර තබා ගැනීම සඳහා නිර්මාණය කර ඇති වැව් දෙස බැලීමේ දී ඔවුන් සතුව පැවැති වාරි තාක්ෂණය පිළිබඳ දැනුම විස්මය ජනක කරවයි.” එම ක්‍රියාවලිය තවත් විස්තර කරන ඔහු යුරෝපීය ජාතිකයන් සතුව පැවැති වාරි තාක්ෂණික දැනුම මෙරට වාරි ඉංජිනේරුවන්ගේ දැනුම සමඟ සංසන්දනය කර ඇත්තේ මෙසේ ය.

ඉංග්‍රිසි, ඇ‍ෙමරිකන්, ජර්මන් සහ ප්‍රංශ ජාතිකයන් විසින් ක්‍රි. ව. 1880 දී රුපියල් කෝටි 33 වියදමකින් වසර 30 කදී නිම කිරීමට සැතැපුම් 47 දිග පැනමා ඇළ නිර්මාණය කිරීම සැලසුම් කර තිබුණි. මෙම ව්‍යාපෘතිය අතීත සිංහල වාරි ඉංජිනේරුවරුන්ගේ ඉදිකිරීම් කටයුතු සමඟ බැලීමේ දී කුඩා ළමයින් ක්‍රීඩාවකට කරන ක්‍රියාකාරකමක් ලෙස සිංහල ඉංජිනේරුවරුන්ට පෙනෙනු ඇතැයි බිගැලෝ සඳහන් කරයි.

මේ අනුව බලන විට අතීතයේ දී මෙරට පැවැති තාක්ෂණය ලෝකයා මවිත කරවන්නක් වූ බව යුරෝපීය ජාතීන්ම සඳහන් කර තිබීම ලාංකිකයන්ගේ ප්‍රෞඪත්වයට හේතු වේ.


සරත්චන්ද්‍ර ජයවර්ධන