ෂරීෆ්ට පුළුවන් නම් UNPට බැරි ඇයි?


   උපුල් ජෝශප් ප්‍රනාන්දු


'යූ.ඇන්.පී.යත් ඉවරයි...
ෆොන්සේකාත් ඉවරයි...
ජ.වි.පෙ.ත් ඉවරයි...
චන්ද්‍රිකා අතරමං...
ශිරාණිත් ඉවරයි...'

මහින්දගේ ආණ්ඩුව හිතන්නේ එහෙමය.

'මමයි රජා'
මහින්ද වුණත් එහෙම හිතුවත් පුදුම වෙන්න දෙයක් නැත.

ඒත් පහුගියදා පැවැති පාකිස්තාන මහ මැතිවරණයෙන් මහින්දගේත් ආණ්ඩුවේත් පඬුපුල් ආසන රත් වෙන්න පටන් නොගත්තා නම් පුදුම වෙන්න දෙයක් නැත.
මොකද පාකිස්තානයේ මහ ඡන්දය දින්නේ එරට පමණක් නොව ලෝකයාම ඉවරයි කියල හිතපු නවාස් ෂරීෆ් සහ ඔහුගේ මුස්ලිම් ලීගයය.

නවාස් ෂරීෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීග් පක්ෂය පෑහෙන්නේ ලංකාවේ එක්සත් ජාතික පක්ෂය සමඟය. මේ පක්ෂ දෙකම වෙළෙඳපොළ ආර්ථිකය සහ පෞද්ගලීකරණය ගුරු කොට ගත් පක්ෂ දෙකකි. පක්ෂ දෙකෙහිම ශක්තිය ආර්ථික විප්ලවයය. එ.ජා.ප.ය ලංකාවේ ආර්ථිකය වෙනස් කළා සේ නවාස් ෂරීෆ් එරට ආර්ථිකය වෙනස් කළේය.

ලංකාවේ ශ්‍රී ල.නි.ප.ය පෑහෙන්නේ භූතෝගේ පාකිස්තාන පීපල්ස් පාටි නොහොත් මහජන පක්ෂය එක්කය. ලංකාවේ බණ්ඩාරනායකලා සහ පාකිස්තානයේ භූතෝලා සමාජවාදය ගුරු කොට ගත් වමට බර මැද පන්තියේ නායකයන්ය.

1977 බලයට ආ එ.ජා.ප.ය පාකිස්තානයේ ෂියා උල්හක් මිලිටරි පාලකයා සමඟ හවුලක් හදා ගත්තේ ෂියා උල්හක් වෙළෙඳපොළ අර්ථ ක්‍රමය කෙරෙහි විශ්වාසය තබන බටහිර ගැති පාලකයකු වූ නිසාය. නවාස් ෂරීෆ් දේශපාලන චරිතයක් වන්නේ ෂියා උල්හක්ගේ ආණ්ඩුව යටතේය.
ෂියා උල්හක් හදිසි අනතුරකින් මිය ගියාට පසු බෙනාසිර් භූතෝ බලයට එද්දී නවාස් ෂරීෆ් විපක්ෂ නායකයා ලෙස කරළියට ආවේය. දෙවරක්ම පාකිස්තානයේ අගමැති ධුරයට පත්වන නවාස් ෂරීෆ්ට දෙවරම අගමැති ධුරය අහිමි වන්නේ කුමන්ත්‍රණ නිසාය.

1990 අගමැති ධුරයට පත් වෙන නවාස් ෂරීෆ් එවකට ලංකාවේ ප්‍රේමදාස ජනාධිපතිගේ ගජ මිත්‍රයකු වී සිටියේය. 1992 මෙරට පැවැති සාක් සම්මේලනය කඩාකප්පල් කිරීමට ඉන්දියාව කුමන්ත්‍රණය කරද්දී ප්‍රේමදාසට හයිය දුන්නේ ෂරීෆ්ය. ඔහු අසල්වැසි රටවල්වලට කතා කොට සාක් සම්මේලනයට සහභාගි වෙන ලෙස ආයාචනය කළේය.

1993දී ප්‍රේමදාස ඝාතනය වනවිට ෂරීෆ් 2004දී රනිල්ගේ ආණ්ඩුව මුහුණ දුන්නා සේ අර්බුදයකට මැදි වී සිටියේය. පාකිස්තාන ජනාධිපති එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර භාරකාර අගමැතිවරයකු තෝරා පත් කළේය. ඒ 1993 අප්‍රියෙල් 18 වැනි දිනය. ලංකාවේ ප්‍රේමදාස ඝාතනය වන්නේ 1993 මැයි පළමුවැනි දිනය. දෙදෙනාම වැටෙන්නේ එකම කාල වකවානුවකය. නවාස් ෂරීෆ් ජනාධිපති බලයට අභියෝග කොට අධිකරණයට ගොස් විසුරුවා හැරීම අවලංගු කර ගන්න සමත් විය. ඔහු සිය අගමැතිකම ආරක්ෂා කර ගත්තත් හමුදාවේ බලපෑම මත අගමැති ධුරයෙන් ඉවත් වීමට සිදු විය. පසුව පැවැති මැතිවරණයෙන් නවාස් ෂරීෆ් පරාජයට පත්වී බෙනාසීර් භූතෝ යළිත් අගමැති ධුරයට පත්විය.

1993 විපක්‍ෂ නායක ලෙස යළි පත්වූ ෂරීෆ් භූතෝගේ ආණ්ඩුවේ ආර්ථික කඩා වැටීම සහ දූෂණය නිසා යළිත් ජනතාව අතර ජනප්‍රිය වන්නට විය. ආර්ථිකය ශක්තිමත් කරමු යන සටන් පාඨය යටතේ ඔහු 1997 මහ මැතිවරණයේදී අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් යළි අගමැති ධුරයට පත් විය. 1999දී මුෂාරෆ් හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලාගෙන ෂරීෆ්ව අත්අඩංගුවට ගත්තේය. එසේම හමුදාව යොදවා ෂරීෆ්ගේ පක්‍ෂයේ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගත්තේය. හමුදාවට බයේ ෂරීෆ්ට සහාය දෙන්න ඇමැති මණ්ඩලයත් පක්‍ෂයත් බය විය. ඇමැති මණ්ඩලය සහ පක්‍ෂය දෙකට තුනට කැඩී සීසීකඩ ගියේය. නවාෂ් ෂරීෆ්ට එරෙහිව හමුදා අධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම හෝ මරණ දඬුවම ප්‍රකාශයට පත් කරන්න යද්දී සෞදියේ රජු මුෂාරෆ්ට ආයාචනයක් කොට ෂරීෆ්ව සෞදි අරාබියට ගෙන්වා ගත්තේය. මුෂාරෆ් ඔහුට යන්න දුන්නේ එක් කොන්දේසියක් පිටය. එනම් යළි පාකිස්තානයේ දේශපාලනය නොකළ යුතුය යන කොන්දේසිය මතය. ඔහුට ඒ සඳහා තහනමක්ද පනවනු ලැබීය. මුෂාරෆ්ගේ අවසාන කාලයේ අධිකරණය එම තහනම ඉවත් කළ විට ෂරීෆ් පාකිස්තානය බලා ආවේය. එහෙත් ඔහුට ආපු ගුවන් යානයෙන්ම යළි පිටත්වීමට සිදු විය.

ෂරීෆ් යළි පාකිස්තානයට ආවේ මුෂාරෆ් අධිකරණය සමඟ හැප්පෙද්දීය. ඒ වෙලාවේ ඔහු මුෂාරෆ් පන්නන්න භූතෝ සමඟ එකඟතාවක් ඇති කර ගෙන තිබිණි. බෙනාසීර් භූතෝ ඝාතනය වී ඇගේ පක්‍ෂය ජය ගැනීමෙන් පසු ෂරීෆ් මුෂාරෆ්ව පන්නන්න භූතෝගේ සැමියා සර්දාරිට සහාය දුන්නේය. ඔහු සර්දාරිගේ ආණ්ඩුව සමඟ සන්ධානගත විය. මුෂාරෆ් ඉවත් කිරීමෙන් පසු පැවැති ජනාධිපතිවරණයට ෂරීෆ් තරග කළේ නැත. ඔහු හිටපු අගවිනිසුරුවරයකු පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස නම් කොට සර්දාරිට ජනාධිපති වෙන්න ඉඩ දුන්නේය. එහෙත් වැඩි කල් නොයා සර්දාරි සහ ෂරීෆ් හැප්පෙන්න පටන් ගත්හ. මුෂාරෆ් ඉවත් කළ අගවිනිසුරු චෞද්රී යළි අගවිනිසුරු ධුරයට පත් කිරීමට සර්දාරි අදිමදි කිරීම එයට හේතුව විය. සර්දාරි වහාම ෂරීෆ්ට රජයේ තනතුරු දරන්න නොහැකි තහනමක් පැනවීය. ඒ ශේ‍ර්ෂ්ඨාධිකරණය හරහාය. සදාරිගේ ආණ්ඩුවට එරෙහිව ෂරීෆ් පාරට බහින විට බය වූ සර්දාරි හිටපු අගවිනිසුරු චෞද්රීව යළි අගවිනිසුරු ධුරයට පත් කොට ෂරීෆ්ට යළි මහ මැතිවරණයකට තරග කළ හැකි සේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආවේය.

ඉම්රාන් ඛාන් මතුව ආවේ මෙයින් පසුවය. ඔහු කීවේ සර්දාරි සහ ෂරීෆ් අතර හොර ගිවිසුමක් ඇති බවත් ෂරීෆ් සර්දාරිගේ ආණ්ඩුවත් එක්ක ව්‍යාපාර කරමින් ආණ්ඩුවට හීලෑ විපක්‍ෂයක් නිර්මාණය කරන බවත්ය.
එහෙත් ෂරීෆ් ඊළඟ මහ මැතිවරණයට තරග කිරීමට තමන්ට ඇති තහනම සර්දාරි ලවා ඉවත් කරවාගෙන චෞද්රීව අගවිනිසුරු ධුරයට පත් කර ගත්තේ සර්දාරිගේ ආණ්ඩුව චෞද්රී ලවා විනාශ කරවන්නටය. ෂරීෆ් චෞද්රී ලවා සර්දාරිගේ අගමැති ධුරයද අහිමි කරවන්න සමත් විය. ඉන් පසු ඔහු මහ මැතිවරණයට දින නියම කළ විට ජනතාව සංවිධානය කොට පාරට ගෙන ආවේය. අද ඔහු අගමැතිය.

'ආපස්සට ගිය ෂරීෆ්ගේ වාසනා චක්‍රය යළි කැරකෙයි......'
'දේශපාලනයේ මංමුළා වී සිටි ෂරීෆ් ලිස්සන ගහේ මුදුනටම......'
මේ ෂරීෆ්ගේ ජයග්‍රහණය ජාත්‍යන්තර මාධ්‍ය නිර්වචනය කළ ආකාරයය. ෂරීෆ් දින්නේ පාකිස්තාන ජනතාව දේවත්වයෙන් අදහන සර්දාරිගේ සහ බෙනාසීර් භූතෝගේ පුතා බිල්වාල් භූතෝව උස්සාගෙන සර්දාරි රට වටා යද්දීය. අද ඔහු භූතෝගේ පක්‍ෂයේ සභාපතිය. භූතෝගේ පවුලේ සහ පක්‍ෂයේ ඔටුන්න හිමි කුමාරයාය. සර්දාරි ඔහුව ඉස්සරහට දැම්මේ භූතෝ පවුලේ නමට පාකිස්තානය ලියවා ගන්නටය.

ඒත් ජනතාව ෂරීෆ්ට ඡන්දය දුන්නේ වැටී තියෙන ආර්ථිකයත් විනාශ වී තිබෙන පාකිස්තානයේ ජාත්‍යන්තර ප්‍රතිරූපයත් යළි ගොඩගන්නටය.
'වසර 14ක් දේශපාලනයේ මංමුළා වුණ ෂරීෆ්ගේ පක්‍ෂය එරට ජනයාට යළි ඕනෑ වුණා නම් 1994 සිට මංමුළා වී සිටින යූ.ඇන්.පී.ය යළි ජනතාවට ඕනා වෙන්නේ නැතැයි කාටවත් කියන්න පුළුවන්ද......?'

ඇත්තටම බැරිය. මේ පාකිස්තානයෙන් පටන් ගෙන තිබෙන්නේ ආණ්ඩු වෙනස් කරන දේශපාලන කුණාටුවකි. ලබන වසරේ ඉන්දීය මහ මැතිවරණයෙන් යූ.ඇන්.පී.යට පෑහෙන භාරතීය ජනතා පක්‍ෂය බලයට එන ලකුණු පහළ වී තිබේ. ඒ රැල්ල ලංකාවටත් හමා එන්න ඉඩ තිබේ.

ඒක නිසා ඉවරයි කියල හිතන පක්‍ෂයක් හෝ නායකයකු එහෙම ඉවර වෙන්නේ නැති බවත් ඉවර කරන්න බැරි බවත් මහින්දගේ ආණ්ඩුව තේරුම් ගත යුතුය.
ඒ ගැන මහින්දට අමුතුවෙන් අටුවා ටීකා කියන්න අවශ්‍ය නැත. 1991 ජනවාරි 25 මහින්ද පාර්ලිමේන්තුවේදී කළ කතාවකට එවකට රාජ්‍ය ආරක්‍ෂක ඇමැති රන්ජන් විජේරත්න දුන්න මේ පිළිතුරට විපක්‍ෂය ඉවරයි ඉවරයි කියල හිතන ආණ්ඩු ඉවර වෙන හැටි ගැන කදිම නිදසුනක්ය.


'මහින්ද රාජපක්‍ෂ මහතා එතුමාගේ කතාව අවසන් කළේ 'දෙයියන්ගේ නාමයෙන් අස් වෙන්න' කියලයි. මගේ හොඳ මිතුරාට මම ඒකට දෙන උත්තරය ඉවසන්න කියන එකයි. ඉවසීමෙන් බලාගෙන ඉන්න. ජනතාව 1994දී නිවැරැදි තීන්දුව දේවි. ජනතාව හතරවැනි වතාවටත් එ.ජා.ප.ය බලයට පත් කරලා ඔබ මවිත කරවන තීන්දුවක් දේවි. මම ඔබට ඒ ගැන සහතික වෙනවා.......'


රන්ජන් විජේරත්න හැන්සාර්ඩ්
25.01.1991
රන්ජන් එහෙම කියල හරියටම මාස දෙකක් ගියේ නැත. රන්ජන්ගේ දෛවය රන්ජන්ගේ තීන්දුව දුන්නේය. ඔහු ඝාතනය විය. යූ.ඇන්.පී. ආණ්ඩුවේ අවසානයේ ආරම්භය පටන් ගත්තේ එතැනිනි.