තිරසාර ආර්ථික වර්ධනයකට ඇති අභියෝග

                                          

  ශ්‍යාම් නුවන් ගනේවත්ත

අඛණ්‌ඩව වසර දෙකකදී සියයට 8 ක ආර්ථික වර්ධනයක්‌ ලැබූ පසුබිමක සිට ගිය වසරේ (2012) දී අපට ළඟා කර ගත හැකි වූයේ සියයට 6.4 ක සාපේක්‍ෂව අඩු ආර්ථික වර්ධනයකි. මෙම ආර්ථික වර්ධනයේ පසුබෑම යථා තත්ත්වයට පත්වෙමින්, මේ වසරේ (2013) දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 7.5 ක වර්ධනයක්‌ අත්කර ගනු ඇතැයි මහ බැංකුව අපේක්‍ෂා කරයි. එසේම මහ බැංකුව පවසන්නේ මැදි කාලීනව, ආර්ථිකය සියයට 8 ඉක්‌ම වූ ආර්ථික වර්ධන මාවතකට ක්‍රමිකව ගමන් කරනු ඇති බවයි. එහිදී සියයට 8 ඉක්‌ම වූ ඉහළ ආර්ථික වර්ධන ප්‍රවණතාවක්‌ තිරසාර ලෙස ඉදිරියට පවත්වාගෙන යැමට නම් අප රටේ ආයෝජනද ඉහළ නංවා ගත යුතු වේ. එහෙත් තවමත් අපගේ ආයෝජන ප්‍රමාණය ඒ මට්‌ටමට වර්ධනය වී නොමැත. ඒ නිසාම ආයෝජන සහ ඉතුරුම් අතර පරතරයක්‌ ද පවතී. රජය අපේක්‍ෂා කරන ඉහළ ආර්ථික වර්ධන වේගයට ගමන් කිරීමට මෙන්ම, එම තත්ත්වය දිගටම පවත්වාගෙන යැමටද, රටේ ආයෝජන සහ ඉතුරුම් මට්‌ටම් තවදුරටත් වර්ධනය කර ගැනීමට ක්‍රියාකිරීම අත්‍යවශ්‍ය කාරණයකි. ඒ අනුව මේ ලිපියෙන් අපගේ අවධානය යොමු කෙරෙන්නේ සෘජු විදේශ ආයෝජන ඇතුළු රටේ ආයෝජන වර්ධනය කර ගැනීම ඇතුළුව තිරසාර ආර්ථික වර්ධනයකට ඇති අභියෝග පිළිබඳවයි.

වර්ෂ 2000-2011 කාලය තුළ ආසියාවේ, තෝරාගත් සංවර්ධනය වෙමින් පවතින සහ නැඟê එන ආර්ථිකයන් මෙන්ම, මෑතකදී කාර්මීකරණයට ලක්‌ වූ ආර්ථිකයන් කිහිපයක්‌ සහ සෙසු ලෝකයේ සංවර්ධිත ආර්ථිකයන් කිහිපයක සාමාන්‍ය ජාතික ඉතුරුම් හා ආයෝජන මට්‌ටම් ශ්‍රී ලංකාව සමග සැසඳීමේ දී අප සිටින්නේ සාපේක්‍ෂව පහළ මට්‌ටමකය. මේ තත්ත්වය නිවැරදි කර ගැනීමට ගත යුතු පියවර සහ පවතින අවදානම් තත්ත්වයන් සම්බන්ධයෙන් මහ බැංකුව මෙසේ කියයි.

" ඉතිරි කිරීම්, ආයෝජන පරතරය පියවීම සඳහා යෝග්‍ය ක්‍රියාමාර්ගයන් ගන්නා අතරම, කිසියම් වූ අහිතකර අවදානම් තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව විසින් සුපරීක්‍ෂාකාරී ප්‍රවේශයක්‌ අනුගමනය කිරීම අවශ්‍ය වේ. උදාහරණයක්‌ ලෙස ප්‍රාග්ධන සම්පාදනයෙහිලා මූර්ත ධන පොළී අනුපාත, දේශීය සම්පත් ඒකරාශි කිරීමට ඉවහල් වන අතර, ඉතා ඉහළ මූර්ත ධන පොළී අනුපාත, ණය පිරිවැය ඉහළ නැංවීම සහ ආයෝජන මත අපේක්‍ෂිත ආදායම අඩුකිරීම මගින් ආර්ථික වර්ධනය සීමා කිරීම පිණිස හේතු වීමටද ඉඩ ඇත. තවද, ඉතිරිකිරීම් ආයෝජන පරතරය පියවීම සඳහා විදේශීය ප්‍රාග්ධනය ප්‍රයෝජනයට ගත හැකි වුවද, විදේශීය මූල්‍යයනය හා සම්බන්ධ අධිමිල හේතුවෙන්, දේශීය ඉතිරි කිරීම් සඳහා පූර්ණ ආදේශකයක්‌ එමගින් බලාපොරොත්තු විය නොහැක. එම නිසා දිගුකාලීන වශයෙන් සලකා බැලීමේදී, ප්‍රාග්ධන ඵලදායිතාව වර්ධනය කිරීම සහ එමගින් ආර්ථිකයේ විභව ආදායම් මට්‌ටම වැඩි කිරීමට ක්‍රියාකිරීම තුළින් තිරසාර ප්‍රතිඵල ළඟා කරගත හැක."

රටක මුළු නිෂ්පාදනය හෝ ආදායම වැය කෙරෙනුයේ (උපයෝජනය වනුයේ) පරිභෝජනය, ඉතිරි කිරීම් සහ ආයෝජනය වෙනුවෙනි. මෙහිදී ආයෝජනය වෙනුවෙන් උපයෝගී කර ගන්නේ ඉතුරුම්ය. එහෙත් රටේ ආයෝජනයට ඉතුරුම් ප්‍රමාණවත් නැත්නම්, එනම් රටේ ඉතිරි කිරීම්වලට වඩා වැඩියෙන් ආයෝජනය කළ යුතු නම් ඒ සඳහා පවතින හිඟ සම්පත් සොයා ගැනීමට සිදු වනුයේ විදේශීය මාර්ගවලිනි. එනම් එම ඉතුරුම් ආයෝජන පරතරය පියවා ගැනීමට සිදු වන්නේ විදේශ ණය ගැනීමෙන් හෝ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමෙනි. අපේ රටේ ද ආයෝජනයට ප්‍රමාණවත් ඉතුරුම් නැති නිසා ආයෝජන සහ ඉතුරුම් අතර පරතරයක්‌ පවතී. ගිය වසරේ (2012) දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස අපේ රටේ මුළු ආයෝජනය සියයට 30.6 කි. එහෙත් රටේ ජාතික ඉතුරුම් ප්‍රමාණය සියයට 24 ක්‌ විය. මේ අනුව ගිය වසරේ ඉතුරුම් ආයෝජන පරතරය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 6.6 ක්‌ විය. 2011 වසරේ ඉතුරුම් ආයෝජන පරතරය සියයට 7.9 ක්‌ ද විය. මේ පරතරය පියවා ගැනීම සඳහා විදේශ මූලාශ්‍ර වෙතට යොමු විය යුතු බැවින් මෙහිදී සෘජු විදේශ ආයෝජන ඉතා වැදගත් වේ. නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පෙරේදා (14) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා කීවේ ගිය වසරේ (2012) දී සෘජු විදේශ ආයෝජන ලැබීම් ඇමෙරිකානු ඩොලර් බිලියනය (ඇමෙරිකානු ඩොලර් මිලියන 1338 කි) ඉක්‌මවා ගිය බවත් මේ වසරේ එම ඉලක්‌කය ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක්‌ වන බවත්ය. සෘජු විදේශ ආයෝජන සැලකෙන්නේ දිගුකාලීන සහ ණය නොවන මුදල් ලැබීමක්‌ වශයෙනි. ඒ නිසා රටක සමස්‌ත ආයෝජනය ඉහළ නැංවීම සඳහා සෘජු විදේශ ආයෝජන වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීම වැදගත්ය. වර්ෂ 2016 දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම, ඇමෙරිකානු ඩොලර් 4000 කට වඩා ඉහළ මට්‌ටමකට පත්කර ගැනීම රජයේ ඉලක්‌කයයි. ඒ සඳහා රටේ දැනට පවතින ඉතුරුම් හා ආයෝජන මට්‌ටම් තවදුරටත් අප විසින් ඉහළ නංවා ගත යුතු වේ. දැනට පවතින ආයෝජන මට්‌ටම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 30 ක්‌ පමණ වේ. එහෙත් රජයේ ආර්ථික අපේක්‍ෂා යථාර්ථයක්‌ බවට පත්කර ගැනීමට නම් මේ ආයෝජන ප්‍රමාණය සියයට 33 ත් 35 ත් අතර මට්‌ටමකටවත් ඉහළ නංවා ගත යුතු වේ.

විදේශ ආයෝජන ආකර්ෂණය කර ගන්නා අතරම අප විසින් රටේ ඉතුරුම් ප්‍රමාණයද වර්ධනය කරගත යුතුය. ජාතික ඉතුරුම් පහළ මට්‌ටමක පැවතීමට බලපා ඇති හේතු අතර දිගු කලක සිටම ජාතික අයවැය තුළ ආදායම් ගිණුමේ හිඟයක්‌ පැවතීමද මූලික හේතුවක්‌ වී තිබේ. එනම් රජයේ පුනරාවර්තන (එදිනෙදා) වියදමවත් පියවා ගැනීමට, රජයේ ආදායම් ප්‍රමාණවත් නොවන තත්ත්වයක්‌ පැවතීමයි. එසේම රාජ්‍ය ආයතන ගණනාවක අතිවිශාල අලාභ තත්ත්වයන් නිසාද අයවැයට කලක සිටම බලවත් පීඩාවක්‌ ඇති වී තිබේ. මේ ආයතනවලින් රජයේ ආදායමට ලාභ, ලාභාංශ මගින් දායකත්වය සපයනු වෙනුවට සිදුව ඇත්තේ, එම ආයතනවල පාඩු පියවා ගැනීමට අයවැය මත යෑපීමට සිදු වන තත්ත්වයක්‌ නිර්මාණය වීමයි. එසේම මේ ආයතන රටේ බැංකු අංශය මගින් විශාල වශයෙන් ණය ලබා ගැනීමට යොමුව ඇති තත්ත්වය නිසාද ආර්ථිකයට බලවත් අහිතකර තත්ත්වයකට මුහුණ දීමට සිදුව තිබේ. මෙලෙස විශාල වශයෙන් පාඩු ලබන රාජ්‍ය ආයතන බැංකු ණය ගැනීම නිසා පෞද්ගලික අංශයට ණයට දීමට බැංකු සතු සම්පත් ප්‍රමාණය සීමිත වේ. මෙය රටේ ආර්ථික ක්‍රියාකාරකම් අඩු වීමට සහ ඒ හරහා ආර්ථික වර්ධනය මන්දගාමී වීමට ද හේතු වන්නකි.

බැංකු අංශය මගින් රාජ්‍ය අංශය වෙත ගිය (2012) වසරේ දී ලබාදුන් ශුද්ධ ණය ප්‍රමාණය රු. බිලියන 211.6 ක්‌ (රු. කෝටි 21160 ක්‌) දක්‌වා ඉහළ ගොස්‌ තිබේ. එය අයවැයෙහි බැංකු ණය ලබාගැනීම සඳහා ඉලක්‌ක කළ ප්‍රමාණයට වඩා සැලකිය යුතු ඉහළ අගයකි. මේ අතරම ලංකා විදුලිබල මණ්‌ඩලය හා තෙල් සංස්‌ථාව විසින් ද බැංකු අංශයෙන් අධික ණය ලබාගෙන තිබේ. මේ නිසා රාජ්‍ය සංස්‌ථා විසින් එම බැංකුවලින් ලබාගත් ණය ප්‍රමාණය රු කෝටි 9400 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. එසේම විදුලිබල මණ්‌ඩලය සහ තෙල් සංස්‌ථාව විසින් ගිය වසර (2012) අවසානයේදී ණය වී තිබූ ප්‍රමාණය (නොපියවූ මුළු වගකීම් ප්‍රමාණය) 2011 වසර අගදී පැවැති රු. බිලියන 160.6 (රු. කෝටි 16060) සිට රු. බිලියන 245 ක්‌ (රු. කෝටි 24500 ක්‌) දක්‌වා සියයට 52.6 කින් ඉහළ ගොස්‌ තිබේ. මහ බැංකුව පවසන්නේ විදුලිබල මණ්‌ඩලය හා තෙල් සංස්‌ථාව විසින් රාජ්‍ය බැංකු ඇතුළු බැංකු ක්‍ෂේත්‍රයෙන් ගත් ණය ප්‍රමාණය බැංකු ක්‍ෂේත්‍රය කෙරෙහි විශාල අහිතකර බලපෑමක්‌ ඇති කරන ලද බවයි.

මෙලෙස තිරසාර ඉහළ ආර්ථික වර්ධනයක්‌ ලබා ගැනීමේදී විදේශීය අංශයේ ඉල්ලුම (අපගේ අපනයන භාණ්‌ඩ සඳහා පවතින ඉල්ලුම) ද අත්‍යවශ්‍ය සාධකයකි. මේ සඳහා ලෝක ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වීමද අවශ්‍යය. එහිදී අපගේ සාම්ප්‍රදායික අපනයන වෙළෙඳපොළ (අපගේ භාණ්‌ඩ මිලදී ගන්නා රටවල්) වෙනුවට නව වෙළෙඳපොළ වෙත යොමුවීමද, සාම්ප්‍රදායික අපනයන භාණ්‌ඩ වෙනුවට තවත් නව නිෂ්පාදන අපනයනයට යොමුවීම (අපනයන භාණ්‌ඩ විවිධාංගීකරණය) ක්‌ද අවශ්‍යය. මෙලෙස සියයට 8 කට වැඩි ඉහළ ආර්ථික වර්ධනයක්‌ අත්පත් කරගෙන එය තිරසාර ලෙස පවත්වා ගැනීමේදී අප ජයගත යුතු තවත් අභියෝග බොහොමයකි. මේ අප සාකච්ඡා කළේ ඒ අතුරින් කිහිපයක්‌ පමණය.

ආයෝජන ව්‍යාපෘති අධීක්‍ෂණයට මෙහෙයුම් දෙපාර්තමේන්තුවක්‌ පිහිටුවනවා

ආයෝජකයන්ගේ පහසුව සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ආයෝජන මණ්‌ඩලය තොරතුරු කවුළුවක්‌ (Imformation Desk) ස්‌ථාපිත කිරීමටත් සියලු සේවාවන් එකම වහළක්‌ යටදී ඉටුකරගත හැකි වන පරිදි බලතල සහිත බහුවිධ සේවා මධ්‍යස්‌ථානයක්‌ (One stop shop) ස්‌ථාපිත කිරීමටත් සැලසුම් කර තිබෙනවා. එමෙන්ම වාණිජ මෙහෙයුම් ආරම්භ කළ පසු එම ව්‍යාපෘති නිරතුරුව අධික්‍ෂණය කිරීම සඳහා පූර්ණ බලැති මෙහෙයුම් දෙපාර්තමේන්තුවක්‌ (Monitoring Department ) ස්‌ථාපිත කරනවා. පැමිණෙන, ඕනෑම භාෂාවක්‌ කතාකරන පුද්ගලයෙකුට තම කාර්යය පහසුවෙන් ඉටුකර ගත හැකි ලෙස අවශ්‍ය පහසුකම් සලසනවා.

මේ වන විට ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයට විශාල වශයෙන් ආයෝජන අයදුම්පත් ලැබී තිබෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 300 ට වැඩි විශාල ප්‍රමාණයේ ආයෝජනයන් 30 කට වැඩි ප්‍රමාණයක්‌ ලැබී ඇති අතර එහි මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ඉක්‌මවයි.

ආයෝජන මණ්‌ඩලයට පැමිණෙන ඕනෑම ආයෝජකයෙකුට ඉතාමත් පහසුවෙන් සහ කඩිනමින් නව ව්‍යාපෘති ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් සලසමින් සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සම්බන්ධ කර දෙමින් ආයෝජකයන් තෘප්තිමත් වන කාර්යක්‍ෂම සේවාවක්‌ ලබා දීමට අවශ්‍ය ක්‍රමවේදයක්‌ ද දැන් ක්‍රියාත්මකයි.

2013 ජනවාරි සිට මාර්තු දක්‌වා කාලය තුළ සෘජු විදේශ ආයෝජන ඇමරිකානු ඩොලර් මිලියනය ඉක්‌මවූ ව්‍යාපෘති 37 ක්‌ සහ ඩොලර් මිලියනයට අඩු ආයෝජන ව්‍යාපෘති 144 ක්‌ මෙරට ආයෝජනය කර තිබෙනවා. ඒ අනුව 2013 මුල් කාර්තුවේ දී ලැබුණු සෘජු විදේශ ආයෝජනවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 218 ක්‌.

2013 මුල් කාර්තුවේ ආයෝජන සඳහා පැමිණි රටවල් අතර තායිවානය, කැනඩාව, වර්ජින් දූපත්, නෙදර්ලන්තය, සිංගප්පූරුව, එක්‌සත් රාජධානිය, ඔස්‌ටේ්‍රලියාව, ඉන්දියාව යන රටවල් පවතිනවා. ඉන්දියාව හා චීනය පමණක්‌ මෙරට ආයෝජනයන් සිදු කරනවා යෑයි ඇතැමුන් පවසා සිටියත් යුරෝපයේ හා විවිධ රටවල් මෙරට ආයෝජනයන් සිදු කරන බව මේ අනුව පැහැදිලි වෙනවා.