ඔව් මම ගැහැණියක් - තිළිණා

නාදුනන ගැහැණිය (1996), පිටුවහල් කළ තරුණිය ( 1997), ආදරණිය දෙවියන් වහන්සේ සහ අන්ධකාර රාත්‍රිය (1999), මධු සමය අහිමි මංගල්‍යය (2003), සමනළ මරණය (2008) ආදී කෘති රචනයෙන්ද ස්මර්ණ සමාප්ති ටෙලි නාට්‍ය චිත්‍රපට සම්පදනයට සහ බොරදිය පොකුණ විධ‍ායක නිෂ්පාදනයට දායක වූ ඇය, පුවත්පත් කලාවේදිනියක්.ගුරුවරියක්,සමාජ ක්‍රියාකාරිනියක් යන භූමිකාවට පණ පොවන්නීය.ඇය තිළිණා වීරසිංහ නමිනි. මේ තිළිණා සමග කිතුසර කළ සංවාදයයි.

බ ස්ත්‍රිවාදී නැඹුරුවක් සහිත ලේඛිකාවක් ලෙස හැදින්වුව හොත්?

ඔව් මම ගැහැණියක්.ඉතින් ස්ත්‍රිය ගැන මට දැනෙන ප්‍රශ්න ගැන මම පොදුවේ කතා කරනවා.ස්ත්‍රීවාදය යනු පසුගිය සියවසේ ලෝකයේ ඇති වුණු ස්ත්‍රිය කේන්දු කරගත් සමාජ, ආර්ථික, දේශපාලන සංවාදයක්. උසස් අධ්‍යාපනය ලබන සමයේ ඒ පිළිබදව ශාස්ත්‍රීය හැදෑරීමක් සහ සාහිත්‍ය.කලාව,පොතපත ඇසුරු කිරීමේදී ස්‍ත්‍රීවාදී ලේඛිකාවන්ගේ ලේඛණයන් මම පරිශීලනය කොට තිබෙනවා ලංකාවේ සමාජයේ ජීවත් වීමේදී ගැහැණියක් වෙනස් කොට සැලකුම් සහ වෙනත් ආකාරයේ අත්දැකීම් ලබලා තිබෙනවා.මම ලේඛණ ගත කරන්නේ මගේ අත්දැකීම්.එම අත්දැකීම් වල ස්ත්‍රී කේන්ද්‍රභාවයක් තිබෙනවා.ස්ත්‍රීවාදිනියක් යැයි කියූ විට අපේ රටේ තිබෙන්නේ බොහොම සෘණ අදහසක්.ස්ත්‍රීවාදිනියක් යැයි අලවන්න හදන ලේබලයෙන් ඔබ්බට ගොස් සංවාදයක් ගොඩ නගා ගැනීමටයි මගේ කැමැත්ත.

නිර්මාණ ක්ෂේත්‍රය තුල ස්ත්‍රී භූමිකාව ලංකාව තුල ලෝකයට සාපේක්ෂව කොතැනකද තිබෙන්නේ?

ප්‍රමාණාත්මකව සලකන කල සාහිත්‍යකරණය තුල, සිනමාවේ, වේදිකාවේ, ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයන්ගේ ස්ත්‍රීන් යම්කිසි දායකත්වයක් ලබා දෙමින් සිටිනවා.ගැටළුව වන්නේ ඒ දායකත්වය කෙතරම් දුරට ස්ත්‍රියගේ දේශපාලනය සහ නිර්මාණාත්මක අභිලාෂයන් මුදුන්පත් කරන්නේද සහ අනෙකුත් රටවල නිර්මාණකාරිනියන්ට සාපේක්ෂව අප කොතැනකද සිටින්නේ අප මොනවද කරන්නේ යනාදියයි.දේශපාලනික වශයෙන්, සංස්කෘතිකමය වශයෙන් පොදු සමාජයේම ඇති අගතීන්,අර්බුදයන්,අඩුපාඩු මෙන්ම ලාංකික සමාජයේ කලාව සාහිත්‍ය ලෝක සාහිත්‍ය සමග කොතෙක් දුරට බද්ධ වෙලා තිබෙනවාද? කොතරම් ඒ පිළිබදව අප අතර සංවාදයක් තිබෙනවාද යන්න නොසලකා හැර හුදෙක් ස්‍ත්‍රියගේ නිර්මාණකරණය පිළිබද අපට කතා කිරීම අපහසුයි.

අනෙක් රටවල කලාව,සාහිත්‍යය,සිනමාව පිළිබද අධ්‍යයනයන්,පුළුල් කථිකාවක්, අත්හදා බැලීම් තිබෙනවා. ඒ තුල ස්ත්‍රී පුරුෂ නිර්මාණකරුවන් දෙපිරිසම සිටිනවා. නමුත් ලංකාවේ එවන් තත්වයක් නැහැ.මා පවසන්නේ ගැහැණියක් ලෙස කිසියම් හෝ නිර්මාණයක නියැලීම ‍ෙහාදයි. ඒත් එය කොතරම් දුරට සමාජ ප්‍රගමනයට දායක වෙනවාද පෞද්ගලික තෘප්තියට එහා යන අරමුණක් එම නිර්මාණ තුල තිබෙනවාද යන්න ගැන සැලකිලිමත් විය යුතුයි.ස්ත්‍රියකට එවන් අරමුණු කරා යාමේදී ගෘහස්තව ඔවුන් බැදී සිටින පීඩනයන්,කාලය,සමාජමය භීතිකාව ආදී සාධක බලපෑමට පුළුවනි.අප අවබෝධ කරගත යුතුයි ලෝකයේ කොහෙත් ස්ත්‍රීවාදී ලේඛිකාවන්ට ඒ ඒ සංස්කෘතීන්ට අනුව පීඩනයන්ට,අභියෝග තර්ජන වලට මුහුණ පෑවා.ඔවුන් ඊට මුහුණ දීමට අවශ්‍ය පෞරුෂය සකසා ගත්තා.ලාංකීය ස්ත්‍රිය ඒ අයුරින් හැඩ ගැසීමට උත්සුක නොවීම තමා විසින්ම ඇතිකරගත් පසුගාමීත්වය මගහැර ගන්නියක් විය යුතුය. අප සමාජයේද ස්ත්‍රිවාදී නිර්මාණ සමාජගත කිරීමට ඒ පිළිබද සංවාද කිරීමට ව්‍යුහයක් සැකසිය යුතුය.

ස්ත්‍රියගේ තත්වය ලංකාව තුල පසුගිය සමයේ යහපත් වී තිබෙනවාද?

බොහෝ අය එලෙස පවසනවා.මීට සියවස් ගණනකට පෙර ලාංකික කාන්තාව සිටින තත්වයට වඩා අද කාන්තාව උසස් අධ්‍යාපනය ලැබීම, ආර්ථික ක්‍රියාවලියට දායක වීම වැනි දේ තිබෙනවා.සංස්කෘතිමය කාන්තාවට තිබෙන ක්‍රියාවන්,ප්‍රචණ්ඩත්වයන්,ස්ත්‍රීන්ට සිදුවන ලිංගික බලහත්කාරකම්වල අඩු වීමක් නැහැ.ගැහැණු දරුවකුගේ උපතේ සිට මිත්‍යාදෘෂ්ඨික සාම්ප්‍රදායී, විද්‍යාත්මක නොවන ක්‍රියාවලියකට ලාංකීය ගැහැණු දරුවාට මුහුණ දීමට සිදු වෙනවා.

මා අදහස් කරන ලෙස ස්ත්‍රියකගේ තත්වය යහපත් යැයි හදුන්වා දීමට හැකි වන්නේ ඇය තමන් පිළිබදව නිදහසේ තීරණය කරමින් තමන් කැමති අයුරින් සමාජය සමග නිදහසේ හැසිරෙන්නට අවකාශ ඇත්නම් පමණයි.ලාංකික සෑම ස්ත්‍රියක්ම සමාජය තුල පවුල තුල ශාරීරික,වාචිකථ මානසික බොහෝ ප්‍රචණ්ඩත්වයන්ට දිනපතාම ගොදුරු වෙනවා.දේශපාලන ආයතන වල,විධායක තනතුරු දරන්නන්,සමාජයේ වගකිව යුතු උසස් තනතුරු දරන්නන් 90% පිරිමි පාර්ශවයයි.ස්ත්‍රියට නිසි වටිනාකමක් තම වැටුප්,වෘත්තීය අයිතීන් ලැබෙනවාද වැනි දෑ පිළිබද අවධානය යොමු කළ යුතුයි.ඉතින් යම් ප්‍රගතිශීලී බවක් තිබුණත් තවමත් ස්ත්‍රිය අත්පත් කරගත යුතු දේ තිබෙනවා.

ඔබ ගුරුවරියක්.ලංකාවේ පාසල් වයසේ සිසුවියන් 100 කට 14 දෙනෙක් අපචාරයන්ට ගොදුරු වෙනවා‍.100 කට 07 ක් ගැබිණියන් වෙනවා.මේ ලංකාවේ අනාගත ස්ත්‍රිය.ඔබ මේ ගැන දකින්නේ කොහොමද?

මේ ප්‍රශ්නය තුලම අපට පෙනෙනවා ලාංකීය ස්ත්‍රියගේ තත්වය යහපත්ව නොමැති බව. අපගේ අධ්‍යාපන ක්‍රමය තුල ලිංගික අධ්‍යාපනයක් ලබා දීම සිදු වන්නේ නැහැ.සෞඛ්‍ය විෂය නිර්දේශය තුල තිබෙන පාඩම් පවා ගුරුවරුන් මග හරිනවා.ඉතින් දරුවන්ට නිසි අවබෝධයක් ලැබෙන්නේ නැහැ.ලිංගික අධ්‍යාපනය පිළිබදව.ශාරීරික වෙනස්වීමක් ඇති වීමත් සමග ලිංගික අත්හදා බැලීම් වලට යොමු වීම ඉතාමත් ස්වභාවික කාරණයක්.නිසි දැනුවත් වීමක් පාසලෙන්,පවුල තුලින් දරුවන්ට ලැබෙනවා නම් මෙවැනි අනවශ්‍ය ගැබ් ගැනීම් වළකාගන්න පුළුවනි.එලෙසම ලංකාවේ දිනකට ගබ්සා කිරීම් 1000 පමණ සිදු වෙනවාමේ ගබ්සා කිරීම් හරහා දැරිවියන්ට ජීවිත හානි,අතුරු ආබාධ,නැවත ගැබ් ගැනීමට නොහැකි වීම ආදී දේ සිදු විය හැක.මේ කාරණා අපි සංස්කෘතිකමය වශයෙන් හෙළා දකිමින් සගවාගෙන සිටිනවා.නමුත් අපි මේ ගැන විවෘත සංවාදයක් ඇති කර ගත යුතුයි. පුද්ගලිකව මා උගන්වන පාසලේ දරුවන් සමග මම මේ දෑ පිළිබද සාකච්ඡා කරනවා.දරුවන් දැනුවත් කිරීම,ආරක්ෂා කිරීම,එවැනි සිද්ධින්ට මුහුණ පෑ දැරිවියන්ගේ අනාගතය සකසන්නේ කෙසේද,ඔවුන් බිහි කරන දරුවන් සමාජයට යොමු කරන්නේ කෙසේද යනාදිය පිළිබදව විධිමත් වැඩපිළිවෙලක් ඇති විය යුතුයි.

ස්ත්‍රිය හා ලංකාවේ ආගම් අතර ඔබ දකින සම්බන්ධය කෙසේද?


ආගම් පවත්වාගෙන යාමට බොහෝ ලෙස වන්දනාමාන කරන්න දායක වෙන්නේ ස්ත්‍රීන්.ආගම් හරහා බැට කන්නේ,පහර කෑම් වලට ලක් වන්නේද ස්ත්‍රීන්.ආගමික සංස්ථා තුල ස්ත්‍රීයට හිමි වන්නේ ද්විතීය ස්ථානයක්.ස්ත්‍රිය කිළිටියි.පව්කාරයි.රාගාධිකයි.පහත් කියන සංකල්පයන් බොහෝ ආගමික මතවාද ඔස්සේ ඉදිරියට රැගෙන යනවා.ගෞතම බුදුන් එදා සමාජය තුල ස්ත්‍රියන්ට නිසි තැන ලබා දීමෙහි ලා කටයුතු කර ඇත්තේ ඒ දර්ශනය ආගමක් ලෙස පරිවර්තනය කිරීමේදී ඒ දේවල් නැතිව ගොස් තිබෙනවා.ඇදහීම් තුල ස්ත්‍රිය තදින් බැදී සිටියත් ඒ තුල ස්ත්‍රියට සමාන සැලකීමක් නැහැ.
 


සංවාද සටහන
නිපුනිකා මෙලන්ති.