අගවිනිසුරුට එරෙහි දෝශාභියෝගකට සහාය ලබා ගැනීම සඳහා පක්ෂ නායකයින් කැඳවයි!



( Lanka News Web ) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියළුම පක්ෂ නායකයින් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීතිඥ මන්ත්‍රීවරුන් හට අද (27)රාත්‍රී 7.00ට වහාම අරලියගහ මන්දිරයේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහා පැමිණෙන් නැ යි ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා දැනුම් දී  ඇති බව ඉතා විශ්වාසදායක ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වේ. 

මෙම විශේෂ සාකච්ඡාවේ අරමුණ දැනට රාජපක්ෂ පාලනයට දැඩි හිසරදයක් වී ඇති අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පාර්ලිමේන්තුව තුල දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමේ හැකියාව පිළිබඳව කරුණු විමසා බැලීමයි. කවර දුෂ්කර තත්වයක් යටතේ හෝ අගවිනිසුරුවරිය මෙල්ල කළ යුතු බවට ජනාධිපතිවරයා මේ වන විට තීරණය කර ඇති බව ඉහත කී ආරංචි මාර්ග වැඩි දුරටත් සැල කර සිටී.

ඊයේ(26)  පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව සියළුම අමාත්‍යවරුන්ට විශේෂ කරුණක් අවධාරණය කර ඇති ජනාධිපතිවරයා අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතා රටේ යහ පාලනයට විශාල බාධාවක් බවත් ඔහුගේ නොමනා ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි ගලා එමින් තිබෙන බවත් සඳහන් කර ඇත.

මෙම පැමිණිලි සම්බන්ධයෙන් විභාග කොට ඔහු පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නායකත්වයෙන් යුතු විශේෂ කමිටුවක් පත් කොට ඇති අතර එම කමිටුව සඳහා අමාත්‍යවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, අනුර ප්‍රියදර්ශන යාපා, වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර, විමල් වීරවංශ සහ මොහොමඩ් අතාවුල්ලා යන මහත්වරුන් පත් කොට තිබේ.

අද (27) උදෑසන ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේ දී ඔවුන් හමුවේ නැවතත් අධිකරණ සේවා කොමිසමේ ලේකම් පිළිබඳව විශේෂ සදහනක් කොට ඇති අතර එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා විසින් නාවුල මහේස්ත්‍රාත්වරියට ලිංගික බලපෑම් කොට ඇති බවයි.