ආණ්ඩුවට ඕනෑ මාව මරලා ටිරාන්ව අල්ලන්න - වෙබ් ගෝඩ් ෆාදර් 'රන්දිවට' කියයි


l සමන් සමරක්කොඩි

මාතරදී රුවන් මදිනොකියන්න ගුටිකෑවේ හිටපු ජේවීපීකාරයන්ගෙනි. දෙවැනි වතාවට ඔහුට උපන් ගමේදීම අමතක නොවෙන්නට පාර වැදෙන්නේ යූඑන්පීකාරයන්ගෙනි. ඉඳින් බෙන්තර ගගේ මෙපිට සීමාවෙන් එපිටට තල්ලූ කෙරෙන ඔහු ගෙන්දගම් පොළොවේදී හේත්තු වන්නේ තවත් දකුණේ පුරුකකටය. ඒ මංගල සමරවීරටය. ඉනික්බිති ‘මංගල - රුවන්’ සුසංයෝගය මෙරට දේශපාලන පොරපිටියේ පුවත් මවන ආන්දෝලනාත්මක චරිත ද්විත්වයක්ම විය. ආණ්ඩු විරෝධී කැරැල්ලක් ඇති වන්නේ කොතැනද? මේ නම් ‘මංගල - රුවන්’ පිල්ලියක් යැයි බොහෝ දෙනා කීහ. ඒ නිසාම අපේ කතා නායකයා දේශපාලන පිල්ලිකාරයෙක් ලෙස හංවඩු ගැසුණේ වරක් දෙවරක් නොවේ. රුවන් ප‍්‍රදිනන්දිස් නම් ඔහු යළිත් වරක් කරළියට පැමිණ ඇත්තේ ආණ්ඩුවේම ලොක්කන් කියන පරිදි 'වෙබ් මාෆියාවේ ගෝඞ් ෆාදර්' ලෙසය. රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩු කෙරුවාවෙන් තම සහෝදරයාත්, උපන් බිමත් අහිමි කරගත් ඔහු රනිල් වික‍්‍රමසිංහව බලයට ගෙන එන්නට හදන්නේ කලකදි වහ කලකදි රහ වූ නිසාද? ඔබ යූඑන්පීකාරයෙක්ද? මහින්ද රාජපක්ෂ විරෝධියෙක්ද? වෙබ් මාෆියාවේ මහ මොළකරුද? මරණ සහතිකය අතේ රුවා ගත් රුවන් ප‍්‍රදිනන්දිස් 'රන්දිව'ට පිළිතුරු දුනි.

රුවන් ෆර්ඩිනැන්ඩස් කිව්වහම, ඔබගේ නමත් එක්ක විවිධ අර්ථකථන ඇතිවෙනවා. කෙනෙක් කියනවා ඔබ මාධ්‍යවේදියෙක් කියලා. තවත් කෙනෙක් කියනවා දේශපාලන ඩිල් කාරයෙක් කියලා. තවත් කෙනෙක් කියනවා දේශපාලනයේ න්‍යායාචාර්යවරයෙක් කියලා. තවත් මොහොතක ඔබ ගෝඞ් ෆාදර් කෙනෙක් වෙනවා. ඇත්තට ඔබ කවුද?

- ඉස්සෙල්ලාම කියන්න ඕන මාධ්‍ය මගේ නම පාවිච්චි කරන විදිහේ වැරැද්දක් තියෙනවා. මම රුවන් ෆර්ඩිනැන්ඩස් නෙමේ. මගේ නම රුවන් ප‍්‍රදිනන්දිස් ගුරුගේ. මාව රුවන් ෆර්ඩිනැන්ඩස් කරන්නේ ලීඩර් පුවත්පතේ ෆෙඞ්රිකා ජෑන්ස්. ජවිපෙ නමින් මට එකවුන්ට් එකක් තියෙනවා කියන කාරණයක් අරගෙන එයා එයාගේ පත්තරේට ඉංග‍්‍රීසියෙන් ලියනකොට ප‍්‍රදිනන්දිස් කියන එක ෆර්ඩිනැන්ඩස් කියලා ලියනවා.

ඔයාගෙ ඊළඟ ප‍්‍රශ්නය, මම වුර්තිය මාධ්‍යකාරයෙක් නෙමේ. මගේ රැකියාව මොකක්ද කියලා ඇහුවොත් පැහැදිලි උත්තරේ තමයි, ‘දේශපාලනය’. මම 84 ඒලෙවල් කරන වකවානුවෙන් පස්සේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වුණ මොහොතේ ඉඳලා මම කරලා තියෙන්නෙ දේශපාලනය. මම මාධ්‍යකාරයෙක් නොවුනාට මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු කරල තියෙනවා. ඒ නිසා හුගාක් මාධ්‍ය මිතුරන් ඉන්නවා. කොහොමවුනත්, මේ මොහොතේ දේශපාලනය තුල මා මාධ්‍ය කාර්ය භාරයක් ඉටුකරනවා.

ඔබ ජනතා විමුක්ති පෙරමුනේ පූර්ණ කාලීන දේශපාලනය කළාද ?
- කළා.

කොයිකාලෙද?
- මගෙ තාත්තා ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලිපිකරු සංගමේ ලේකම්වරයෙක් ලෙස කටයුතු කරලා තියනවා. ඒ වගේම ඔහු එක්තරා වකවානුවක ඇත්ත පත්තරේට ලියනවා, වල්පොළ විමල් කියලා. නමුත් මම කොමියුනිස්ට් පක්ෂයට කවදාවත් බැඳිලා හිටියෙ නෑ. මගේ අම්මා සර්වෝදය ව්‍යාපාරයේ සාමාජිකාවක් විදියට වසර ගණනාවක් ගමින් ගමට ගිහින් මිනිසුන්ට සේවය කරලා තියනවා.

මගේ දේශපාලනය පටන් ගන්නේ 1982 ධවල පත‍්‍රිකාව ගෙනාපු මොහොතේ ඉදලා. නමුත් ජේවීපී විදිහට නෙවෙයි, ශිෂ්‍යයෙක් විදිහට. එතකොට රුහුණු විශ්වවිද්‍යාලය පටන් අරන් පළමු වසර වෙන්න ඕන. ඒ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය අංශයේ හිටපු නායකයා තමයි නිහාල් ගලප්පත්ති. ජවිපෙ හිටපු මන්ත්‍රීතුමා. ඒ දවස්වල නිහාල් සහෝදරයා ඇවිත් දිගින් දිගටම අපේ පාසලේ සිසුන් එක්ක කතාකරනවා. නමුත් මම ඒ මොහොතේ නිහාල් සහෝදරයාගේ 'කොක්කට' අහුවුනේ නෑ. නමුත්, පහුවෙනකොට තිබිච්ච දේශපාලන තත්ත්වයත් එක්ක මම ජනතා විමුක්ති පෙරමුණට එකතු වෙනවා.

එතකොට කොහොමද මංගල සමරවීරගේ සමීපතම හිතවතෙක් වෙන්නේ?

- විදේශ අධ්‍යාපනය හදාරා සිටි මංගල සමරවීර මහත්තයා දේශපාලනයට පිවිසෙන්නේ 1987 විතර. 1987 අගදී විතර තමයි එයා මාතරට එන්නේ. ඒ වෙනකොට මාතර ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධාකයෝ 6 දෙනෙක් විතර හිටියා. වල්පොළ අපේ ගෙදර ඉස්සරහා තමයි මංගල සමරවීර මහත්තයගෙ ගෙදර තිබුණේ. එයා මාතරට එනකොට කවුරුවත් එයාට වැඩිය හදුනන්නේ නැහැ. එයාගේ අම්මව තමයි ගමේ අය හදුනාගෙන හිටියේ. මේ කාලයේ ආණ්ඩුව හා ජවිපෙ අතර තියුණු සටනක් පැවති කාලයක්.

මංගල මහත්තයාගේ තාත්තා, මහානාම සමරවීර ඇමැතිවරයා සහ අපේ තාත්තා අතර ගම්වාසීන් වශයෙන් සමීප හිතවත් කමක් තිබිලා තියනවා. ඒ නිසා තාත්තා, කිව්වා මොනම හේතුවක් නිසාවත් මංගලට කරදරයක් වෙන්න ඉඩ තියන්න එපා, ඔයාලා එයාව බලාගන්න කියලා. මුල්කාලයේ මංගලගේ වැඩවලට උදවුවට හිටියේ අපේ මල්ලිලා.

ඔය විදිහට මම ජේවීපී එකේ පූර්ණ කාලීනව වැඩකරන අතරේම තමයි, 1987 ඉඳලා මංගල සමරවීර මහත්තයා එක්ක දේශපාලන සම්බන්ධය හැදෙන්නේ. එතකොට මම ජේවීපී එකේ, එයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂෙ. නමුත් විජයදාස ලියනආරච්චි ඝාතන සිද්ධිය වගේ සිදුවීම්වලදී අපි ඒකාබද්ධව උද්ඝෝෂණය කටයුතු කළා. කළු කොඩි දැම්මා.

1988 අග භාගයේදී ආණ්ඩුවේ මැරයෝ මගෙ නිවාස විනාශ කරනවා , මට වෙඩි තියනවා ප‍්‍රසිද්ධියෙම. ඒ නිසා මට මාතරින් එන්න සිද්ධ වෙනවා. වෙඩිතියන්නේ වෙන කවුරුවත් නෙමේ, මගෙත් එක්කම ජේවීපී එකේ හිටපු අය. ඔවුන් මතවාදීව වෙන්වෙලා ගිහිල්ල 'ප‍්‍රා' සංවිධානයට එකතුවෙනවා. ඔවුන් තමයි මට වෙඩිතියන්නේ. ඊට පස්සේ මම මාතර යන්නෙ නැහැ.

මේ විදිහට මම කොළඹ ආවට පස්සේ මම මංගල මහත්තයත් එක්ක වැඩකරනවා. එදා ඔහු මාව ආරක්ෂා නොකලානම් අද මම ජිවතුන් අතර නැහැ. මට මහලොකුවට දැන් මේ කරන මොකක්වත් කරන්න හම්බවෙන්නෙ නෑ. එදා ප්‍රේමදාස ආණ්ඩුවේ ගහලයෝ මාව අනිවාර්යයෙන්ම මරන්න හිටියේ. ඒ නිසා දැන් මම ගෙවන මේ ලයිෆ් එක බෝනස් එකක්. මොකද මම වධකාගාරවලත් ඉඳලා තියෙනවා. මම විතරක් නෙමෙයි මගේ පවුලේ අනෙත් සියලු දෙනාත් ඒ විදිහට අපා දුක් විඳලා තියෙනවා. එදා ආණ්ඩුව මගේ ලොකු මල්ලිව අතුරුදහන් කළා .

1991 වකවානුවේ මංගල සමරවීර, මහින්ද රාජපක්ෂ සහ මනෝරානි සරවනමුත්තු වගේ අය එකතු වෙලා 'මවුවරුන්ගේ පෙරමුණ' හැදුවා. මමත්, තවත් ජවිපෙට හිතවත් සහෝදරයෙකුත් ඒ සදහා පුර්ණ කාලීනව මැදිහත්වෙනවා. අපි දෙන්නා රහසිගතව තමයි ඒ වැඩ කලේ. ඒ වකවානුවේ අපි මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක සමීපව ගනුදෙනු කරනවා . ඒ කලේ ඔහු අපිට ‘මහින්ද අයියා’.

94 ජවිපෙ නායකත්වය තීන්දු කරනවා ජවිපෙ නැවත ප‍්‍රසිද්ධ දේශපාලනයට එන්න ඕන කියලා. එතකොට මම මංගලගෙන් ඉවත්වෙලා පක්ෂයේ වැඬේට බහිනවා. නැවතත් මංගලත් එක්ක දේශපාලන කටයුතු වලට එකතු වෙන්නේ 96දී, මාතොට සඟරාව පටන් අරගෙන. ඒත් මම ශ‍්‍රී ලංකා කාරයෙක් නොවෙයි.

ප‍්‍රදිනන්දිස් මහත්තයා ඔබේ තාත්තා කොමියුනිස්ට්. ඔබ යම් කිසි අවස්ථාවකදී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කරනවා. ඔබ පස්සෙ කාලෙක මංගල සමරවීර මහත්තයට උදව් කරනවා. ඔබ කොහොම කිව්වත් ඒ වෙනකොට මංගල සමරවීර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දය ඉල්ලන්නේ. ඔබ ඔහුට උදව් කරනවා කියන්නේ, වක‍්‍රාකාරයෙන් ඔබත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධයි කියන එක. දැන් රුවන් ප‍්‍රදිනන්දිස් කොහොමද එක්සත් ජාතික පක්ෂයත් එක්ක වැඩකරන්නේ?

- මම එක්සත් ජාතික පක්ෂයත් එක්ක වැඩකරන්නේ නැහැ. නමුත් මංගල සමරවීර කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන අංශයේ ප‍්‍රධානියා. ලංකාවෙ දකුණේ තියෙන්නේ පක්ෂ දෙකයි. මේ දෙක ඇතුළෙ ඉඳන් හැරෙන්න, වෙන වෙන කල්ලි හදාගෙන කරන වැඩවලින් වැඩක් වෙයි කියලා මම විශ්වාස කරන්නෙ නැහැ. වැඩක් කරන්න නම් බලයක් තියෙන්න ඕනා. බලය නැතිව මේ කියන කිසි දෙයක් රටේ කරන්න බෑ. ඒක නිසා එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන අංශයේ වැඩවලට මම සම්බන්ධවෙලා ඉන්නේ පැහැදිලිවම වෙනසක් අවශ්‍ය නිසා. මම දැක්කා, පමණක් යූඑන්පී කාරයෝ කියනවා මම යූඑන්පී නෙමෙයි කියලා. ඔව් ඒක ඇත්ත. මම යූඑන්පී කාරයෙක් නෙමෙයි.

නමුත් ඔබ යූඑන්පී එකේ නායකයා, රනිල් වික‍්‍රමසිංහ මහත්තයා බලයට ගේන්න තමයි මේ වෙලාවේ මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන්නේ?

- පැහැදිලිවම. ඔවු

කොහොමද රනිල් වික‍්‍රමසිංහට උදව් කරන්න හිත හදාගත්තේ?

පුද්ගලයේක් බලයට ගේන්නම නෙමෙයි මේ මොහොතේ මම වැඩ කරන්නේ. මමත් එක්ක කණ්ඩායමක් වැඩකරනවා, නමුත් ඒ එක්කෙනෙක්වත් යූඑන්පී නෙමේ. අපි ඔළුගෙඩි මාරුවට තමයි පහුගිය කාලේ ප‍්‍රමුඛත්වය දුන්නේ. නමුත් දැන් මට තේරෙනවා ඒකෙන් රටටවත්, ජනතාවටවත් නියමාකාරයෙන් වැඩක් වුනේ නැහැ කියලා. මම එදා හිටපු මතයේ නෙමේ අද ඉන්නේ. වසර 30 කට ආසන්න අත්දැකීම් එක්ක මම කියන්නේ, මගේ මිත්‍ර මංගල සමරවීර මහත්තයා හෙට ජනාධිපති වුනත්, මේ සිස්ටම් එක මෙහෙම්මම තියෙනවානම් රටට වැඩක් වෙන්නේ නැහැ. මේ තත්ත්වය මේ විදිහටම යයි.

ඔබ තාමත් ජේවීපීද?

- මම දැන් ජේවීපී නෙමේ. හැබැයි මගේ භාවිතාව තාම ගත්තත් ජේවීපී කාඩර්වරුන්ගේ රටාවමයි. දැන් ජේවීපී නෙමෙයි. ඒ වකවානුවේ අල්පේච්ඡ ජීවිතයක් එක්ක, එදා හිටිය සහෝදරවරුන්ගෙන් උකහා ගත් ජීව ගුණය, සහෝදරත්වය අදටත් මා තුල නොනැසී රැදී තියනවා. ඒ ආභාෂය තාමත් මා තුල වැඩකරනවා. ඒක නිසා තමයි, ඕනෑම දුෂ්කර තත්වයක් යටතේ මට මෙහෙම නැගිටින්න පුළුවන් වෙන්නේ. නැත්නම් මේ වෙනකොට නිකම්ම දියවෙලා ගිහිල්ලා. මොකද සම්ප්‍රදායික පක්ෂ එක්ක වැඩකරලා ලැබෙන එකම දේ කලකිරීම විතරයි. නමුත් මට ඒකට මුහුණ දෙන්න කිසියම් ශක්තියක් ලැබිලා තියෙන්නේ, එදා ජනතා විමුක්ති පෙරමුණෙන් ලැබුණු ආභාසය නිසා.

හොඳයි, රුවන් ප‍්‍රදිනන්දිස් කියන්නේ මේ අද ඉන්න ජාතියේ ජේවීපීකාරයෙක් නෙමෙයි. එක්ස්ටි‍්‍රම්ලි ජේවීපීකාරයෙක් කිව්වොත් හරිද?

- නෑ, එක්ස්ටි‍්‍රම්ලි කියන වචනය පාවිච්චි කරන්න එපා. එතකොට වැටෙන්නෙ වෙන විදිහකට. පවතින සමාජ ක‍්‍රමය වෙනුවට වඩාත් යහපත් සමාජයක් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක් කිවුවොත් හරි.

ඒ අරගලයෙදී ඔබේ සහෝදරයා නැතිවෙනවා. ඔබේ නිවස නැතිවෙනවා. ඔබට ගම නැතිවෙනවා. මේ හැම දේම අද නායකත්වය දරන රනිල් වික‍්‍රමසිංහගේ යූඑන්පී එක හින්දා. වෛරයක්, තරහක් එහෙම නැද්ද යූඑන්පී එකත් එක්ක?

- පැහැදිලිවම මට වෛරයක් තිබුණා. ඒ වෛරය නිසා තමයි පහුගිය කාලේ යූඑන්පියට විරුද්ධව සෑහෙන්න වැඩ කළේ. නමුත් දැන් මට එදා විදිහට වැඩ කරන්න බෑ. අද, මගේ බිරිදයි, ළමයි දෙන්නයි ජීවත් කරන්නේ කොහොමද කියන එක මගේ න්‍යාය පත‍්‍රයේ අංක එකට ඇවිත් තියෙනවා. රට පෙරළීම, බලය ලබාගැනීම, හෙට එන්නේ කවුද? හෙට මොකද්ද කරන්නෙ කියන කාරණා ද්විතීක වෙලා තියෙනවා. ඒක හරිද වැරැදිද කියන එක මම දන්නෙ නැහැ. නමුත් ඒක තමයි මට මේ මොහොතේ දැනෙන දේ. මම කරමින් ඉන්න දේ.

හොඳයි ප‍්‍රදිනන්දිස් මහත්තයා බිරිදයි, ළමයි දෙන්නයි ජීවත් කරන්න ඕනෑම දෙයක් කරන්න සූදානම්ද?

- පැහැදිලිවම නෑ.

මම එහෙම අහන්නේ පහුගිය කාලේ ඔබ සම්බන්ධයෙන් චෝදනාවක් තියෙනවා, ඔබ වෙබ් අඩවි හරහා රටේ බලපුළුවන්කාර පුද්ගලයන්ව බ්ලැක්මේල් කරමින් මුදල් උපයනව කියලා. මොකද කියන්නෙ ඒ ගැන?

- නමින් කවුරුවත් මට තාම ඔය චෝදනාව කරලා නෑ. මමත් හොයනවා කාටද මේ කියන්නෙ කියලා. ගෝඞ් ෆාදර් කෙනෙක් ඉන්නවා, ෆර්ඩි කියලා කෙනෙක් ඉන්නවා, කියලා මවුබිම පත්තරය නම් කියනවා.

මීට සති දෙකකට ඉස්සෙල්ලා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී දයාසිරි මන්ත‍්‍රීතුමා මුණගැහිලා කියනවා, ‘මේ එක වෙබ් අයිතිකාරයෙක් ව්‍යාපාරිකයකුගේ නිව්ස් එකක්දාලා, ඒක ගලවන්න මිලියන 50ක් ඉල්ලලා, මිලියන 25ක් ගත්තා’ කියලා. ඇත්තටම ඒක ලොකු ප‍්‍රශ්නයක්. ඒක නිසා අපි අපේ 'එක්ස් නිවුස් 'වෙබ් එකෙන් ප්‍රශ්න කළා , මිලියන 50ක් දීලා වසන් කළ යුතු ප‍්‍රවෘත්තිය මොකද්ද? ඒ වගේම කවුද මේක දුන්නේ? කියලා.

පහුගිය 09 වැනිදා මට ජනාධිපතිතුමා හම්බවුණා. එතකොට මම ජනාධිපතිතුමාගෙන් අහනවා ‘ජනාධිපතිතුමා ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා, දයාසිරි මන්ත්‍රීතුමා මට කිව්වා ඔබතුමා මෙහෙම කප්පම් කතාවක් කිව්වා’ කියලා. එතකොට ජනාධිපතිතුමා මට කියනවා, ‘නෑ රුවන් මේ, උඩ ඉඳලා එක එක්කෙනා කියපු කතානේ. මම කිසිම කෙනෙක් ගැන එහෙම කිව්වෙ නෑ, මම එහෙම එකක් දන්නෙ නැහැ කියලා. දැන් එතකොට ජනාධිපතිතුමා කියනවා එතුමා මෙහෙම එකක් කිව්වෙත් නෑ, දන්නෙත් නෑ කියලා. එතකොට දැන් මේකෙ සුලමුල හොයා
ගන්න එක මහලොකු අමාරු වැඩක් නෙමෙයිනේ. දැන් මම දවස් හයක් සීඅයිඞී එකේ. තව ලබන සතියෙත් සම්පූර්ණයෙන්ම සීඅයිඞී එකේ ඉන්න වෙයි වගේ.

ලංකාවේ අද මාධ්‍යවලට ස්වාධීනව ලියන්න බැරි ප‍්‍රශ්නයක් තියෙනවා. පසුගිය කාලේ එහෙම ලියපු අය අතුරුදන් වෙනවා. අද අතුරුදන් කරන්න බැරිනම් ඇඩ් ටික කැපෙනවා. ඒක නිසා පමණක් කට්ටිය ස්වයංවාරණයක් ඇති කරගෙන. එතකොට 'එක්ස්' වෙබ් අඩවියෙන් අපි මූලිකවම කරන්නේ, මේ ස්වයංවාරණය ඉතා සියුම් ආකාරයෙන් බිඳ දැමීම. සමාජය තුල බය නැති කිරීම. එහෙම නැතුව පුද්ගලයින්ට මඩ ගැසීම නෙමේ.

ජනාධිපතිතුමා පහුගිය කාලේ බැංකොක් ගිය වෙලාවක, ප‍්‍රසිද්ධියේ කියනවා, වෙබි අඩවි 8ක් සම්පූර්ණයෙන් රට අවුල් කරනවා කියලා. නමුත් ඒ වෙබ් අඩවි මොනවද කියලා කියන්නෙ නෑ. ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡ කරපු වෙලාවෙදි මට තේරුණ දේ තමයි එතුමාට අද තියෙන ලොකුම ප‍්‍රශ්නේ වෙබ්. ඒ නිසා පැහැදිලියි, මේ වෙලාවේ ආණ්ඩුවේ සම්පූර්ණ යාන්ත‍්‍රණයම ක‍්‍රියාත්මක වෙන්නේ වෙබ්වලට විරුද්ධව. දැන් අපිට ප‍්‍රශ්නයක් තියෙනවා, මේ ක‍්‍රියාත්මක වෙන්නේ වෙබ් විනාශ කිරීමේ කුමන්ත‍්‍රණයක්ද? කියලා.

ඇයි ඔබ ජනාධිපතිතුමා හමුවෙන්න ගියේ?

- ඒකට කාරණයක් තියෙනවා. මෙතැනට (ලංකා මිරර් ආයතනයට) කඩන්පාත්වෙච්ච අයගේ ප්ලෑන් එක වුණේ මාව අල්ලන්න නෙමෙයි, මාව මඟදි මරන්න. දැන් රටම දන්නවා මිරර් එකේ එඩිටයි, අනිත් කට්ටියයි ඇරස්ට් කළා. චෝදනාවක් තියෙනවා නම්, අපි බැඳිලා ඉන්නවා නීතිය ඉටුකරන්න සහය දෙන්න. නමුත් මං ගැන එහෙම නෙමෙයිනේ ආණ්ඩුව කටයුතු කළේ. සි.අයි.ඩි. මහත්තුරු උසාවිය පවා කිවුවේ, එයාලට මාව ඕන නෑ කියලා. නමුත් ආණ්ඩුවේ පත්තරයකුයි, ආණ්ඩුවට කඬේ යන පත්තරයකුයි දිගින් දිගටම කිව්වේ, සීඅයිඞී එක මාව හොයනවා, මම පැනලා ගිහින් හැංගිලා ඉන්නවා, මම කප්පම්කාරයෙක්, ගෝඞ් ෆාදර් කෙනෙක්, එල්ටීටීඊ එකට සම්බන්ධකම් තියෙනවා, දේදුන්න පත්තරේට උදව් කළා කියලා.

මේ කළේ මොකද්ද? මාව මරන්න අවශ්‍ය මානසික පසුබිම රට තුල හැදීම. ඒ මතවාදය මේ වෙනකොට හදලා ඉවරයි. ඒක පැහැදිලිව කිව යුතුයි. මා එක්ක ගනුදෙනු කරන, මංගල ඇමැතිතුමා එක්ක ගනුදෙනු කරන ආණ්ඩුවේ සෑහෙන පිරිසක් ඉන්නවා. ඔවුන් කිව්වේ ඔයා පරිස්සම් වෙන්න, රටින් පනින්න, ඔයා මරන්න ඉන්නේ, ඒක ඉර හඳ වගේ විශ්වාසයි කියලා.

මේ කතාවේ ලොකුම ඛේදවාචකේ තමයි මගේ ළමයි දෙන්නට ඉස්කෝලේ යන්න බැරි වෙනවා. ඉස්කෝලේ ගිය ළමයි අඬාගෙන ගෙදර එනවා. බිරිදගේ පස්සෙන් ආරක්ෂක අංශවල වාහන ෆලෝ කරනවා. අන්තිමට මම ෆෝන් එකේ බැටරිය පවා ගලවනවා. මොකද ෆෝන් එක ඕෆ් කළත්, බැටරිය ෆෝන් එකේ නම් මගේ ලොකේෂන් එක හොයා ගන්න දැන් පුළුවන් තාක්ෂනය ආණ්ඩුවට තියනවා. මේගොල්ලෝ හිතාගෙන හිටියා මම ඉන්නේ හොරණ හැංගිලා ඉන්නවා කියලා. පස්වැනිදා ? මාව අල්ලන්න හොරණ ගෙයක් ගැන ආරක්ෂක අංශ සෝදිසියෙන් ඉදලා තියනවා.

88- 89 කාලේ මට ජීවිතය දෙන එක ප‍්‍රශ්නයක් නෙමෙයි. සමහරවිට එදා ඒ නිර්භීතකම ආවේ මගේ වයසත් එක්ක වෙන්න පුළුවන්. අනිත් එක එදා මට තිබුණා අරමුණක්, මම නැතිවුණත් අනිත් සහෝදරවරු හෝ අපි පතන සමාජය හදයි කියලා විශ්වාසයක්. බලාපොරොත්තුවක්. මට දැන් එහෙම බලාපොරොත්තුවක් නෑ. යූඑන්පී එක වෙනුවෙන් ජීවිතය දෙන්න මට ඕනෑකමක් නෑ. අනිත් එක එහෙම ජීවිතය දුන්නත්, හැදෙන ආණ්ඩුවත් මේ තියන විදිහෙම එකක් කියලා මට හිතෙනවා.

මගේ ළමයි දෙන්නට ප‍්‍රශ්නයක් ඇතිවුන වෙලාවේ මං තීන්දු ගත්තේ වාමාංශිකයෙක් විදිහටවත්, අරගල කාරයෙක් විදියටවත්, වෙන මොකෙක්වත් විදිහට නෙමෙයි, ළමයින්ගේ තාත්තා විදියට.

එතකොට, දැන් මම පැනලා යනවද? පැනලා ගියොත් මට එරෙහිව කිවූ බොරු, අවලාද ඇත්ත කියලා සමාජගත වෙනවා. එයාර්පෝට් එකෙන් යද්දී ඇල්ලූවොත් කියයි ‘ඔන්න ගෝඞ් ෆාදර් පැනලා යද්දී ඇල්ලූවා’ කියලා. ඒ අවස්ථාවේදී මගේ යාළුවො කිව්වා බෝට්ටුවකින් රටින් පැනලා යන්න කියලා. එහෙමත් නැතිනම් මගේ සමහර මිත්‍රයින් කළා වගේ විදේශ මැදිහත්වීම් අරන් රටින් යන්න කියලා. ඒ කොහොම ගියත්, ළමයින්ට අත්වන අපකීර්තිය එහෙම්මම තමයි. මේ වෙලාවේ මංගල ඇමැතිතුමා මට කතාකරලා කියනවා, මාගැන තීන්දුවක් මටම ගන්න කියලා. මොකද මගේ පවුලේ සමහරුන් තුල පවා අදහසක් තිබුනා, මම මෙතරම් තර්ජන තිබියදීත් රටින් නොයන්නේ, මංගලත් එක්ක දේශපාලන වැඩකරන්න තියන උනන්දුව නිසා කියලා. කොහොම වුනත්, මම උසාවියට ඉදිරිපත්වන තීන්දුව ගත්තෙත්, ජනාධිපතිවරයා හමුවුණෙත් පැහැදිලිවම මගේ ළමයි දෙන්නා ගැන හිතලා.

ඒ කියන්නේ රුවන් මහත්තයා ළමයි දෙන්නා වෙනුවෙන් මහින්ද සරණ ගියා?

- මම ටෙම්පල්ටී‍්‍රස් ගියා, හැබැයි මම නැවතුණේ නෑ, මම ආපහු ආවා. නමුත් සාමාන්‍යයෙන් යන අය බත් කනවා, කිරිබත් කනවා, තේ බොනවා. ජනාධිපතිතුමාගේ දැත් ශක්තිමත් කරන්න කියලා එහෙම්මම නවතිනවා.

ඒගොල්ලෝ බලාපොරොත්තු නොවන මොහොතක පසුගිය 6 වෙනිදා මම උසාවියට ගියා. සීඅයිඞී එකෙන් කිව්වා මාව ඕන නෑ කියලා. එතකොට මට ආණ්ඩුව පැත්තෙන් හුඟදෙනෙක් කතාකරලා කිව්වා, දැන් තමයි වැඬේ දරුණු. මොකද දැන් ඔයාව මෙතෙන්ට ඕන නෑ කියන්නේ ඔයාව ඕන වෙන තැනකට කියලා. මේ අතරෙ මට මර්වින් සිල්වා ඇමැතිතුමා පණිවුඩයක් එව්වා පිටරට ඉන්න යාළුවෙක් හරහා. එයා කතා කළාලූ ප‍්‍රසිඩන්ට් එක්ක. ප‍්‍රසිඩන්ට් කියන්නේ වෙන මුකුත් නෙමෙයිලූ. මම ප‍්‍රසිඩන්ට ගහලා තියෙනවාලූ මාර නරක විදියට. නමුත් ඒ කියන කතාවත් එක්ක මගේ කිසිම සම්බන්ධයක් නෑ. ඒක මේ ‘ලීක්ස්’ වෙබ් එකේ ගිය කතන්දරයක්.

ඊට පස්සේ පහුගිය 9 වැනිදා මර්වින් ඇමතිතුමා පණිවුඩයක් එව්වා එයාව හම්බවෙන්න කියලා. මම එයාව මුණගැහුණා. එතකොට එයා උද්ගතවෙලා තියෙන තත්ත්වය සම්පූර්ණයෙන්ම පැහැදිලි කරලා, මට කියනවා ඔයා මේ ප‍්‍රශ්නෙට එච්චර එහාට යන්න එපා. ජනාධිපතිතුමා ඔයත් එක්ක එහෙම ප‍්‍රශ්නෙක නෙමෙයි ඉන්නේ, එයාටත් හර්ට් වෙලා තියෙන්නෙ. ජනාධිපතිතුමා කැමැතියි මාව හම්බවෙන්න කියලා. ඒ වෙනකොට මටත් එතුමා හම්බවෙන්න ඕනකමක් තිබුණා. මේ ප්‍රශ්නය ඇතිකරපු අය ගැන මගේ අදහස කියන්න. නමුත් ප‍්‍රශ්නෙ තියෙන්නේ මට එහෙම හිතු මනාපෙට තීන්දුවක් ගන්න බෑ. මොකද මම ගන්න තීන්දුව අනිවාර්යයෙන්ම මංගල මන්ත්‍රීතුමාගේ දේශපාලනයට බලපානවා. ඒ නිසා මමයි මංගලයි, මර්වින් ඇමැතිතුමයි පාර්ලිමේන්තුවේ දී හමුවෙන්න දාගත්තා. අපි මංගල ඇමැතිතුමා හමුවෙන්න එනකොට, මඟදී ප‍්‍රසිඩන්ට් කතා කළා මර්වින් ඇමැතිතුමාට. එතකොට මර්වින් ඇමැතිතුමා ප‍්‍රසිඩන්ට්ට කිව්වා මෙන්න යාළුවා ඉන්නවා කියලා. එතකොට ප‍්‍රසිඩන්ට් මර්වින්ගෙන් ඇහුවා, මම දැන් ෆ‍්‍රී, දැන් එයාව හමුවෙන්න පුළුවන්ද කියලා. පස්සේ මම මංගල ඇමැතිතුමාට කෝල් එකක් ගන්න විනාඩි 10ක් විතර ට‍්‍රයි කළා. නමුත් ඔහුව සම්බන්ධකරගන්න බැරි වුණා. අන්තිමට මම මර්වින් එක්ක ප‍්‍රසිඩන්ට් හමුවෙන්න ගියා. එතකොට කවුරුහරි කියනවා නම් මංගල ඇමැතිතුමා දැනුවත්ව මම මේ ගමන ගියා කියලා, නෑ මම එතැනට ගිහින් එනකම් මංගල මන්ත්‍රීතුමා දන්නෙ නෑ. බැරි වෙලාවත් මම මංගල ඇමැතිතුමා එක්ක කතාකළා නම් ඒ ගමන නොයන්නත් ඉඩ තියෙනවා, මොකද මංගල දිගටම ඉන්නේ ෆයිට් කරමු කියන ස්ථාවරයේ.

X කියන වෙබ් අඩවිය කලේ යූඑන්පී සන්නිවේදන අංශයෙන්. නමුත් කිසිම වෙලාවක යූඑන්පී එක පක්ෂයක් විදිහට මේ කාරණය සම්බන්ධයෙන් එතරම් මැදිහත්වීමක් කලේ නෑ. මට ඒකෙ ප‍්‍රශ්නෙකුත් නෑ. මංගල වගේම, කරු, රවී, තිස්ස, දයා ගමගේ, ශාන්තිනි, එරාන්, හර්ෂ, කිරිඇල්ල වගේ එජාප මන්ත්‍රීවරු මේ ප්‍රශ්නයේදී පෞද්ගලිකව මැදිහත්වුනා. එජාප නායකයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයකුත් කළා.

2005 ජනාධිපතිවරණයෙන් පස්සේ මම, ප්‍රසිඩන්ට් හමුවෙලා නෑ. ඒ වගේම මම කවදාවත් ගිහිල්ලා ප‍්‍රසිඩන්ට්
ගෙන් කිසිම උදව්වක් ඉල්ලලා නෑ. මේ හමුවීමේදිත් වෙබ් අඩවි ගැන තමයි සම්පූර්ණයෙන් කතා කළේ. වෙබ් ගෝඩ් ෆාදර් මම කියලා එතුමා හිතනවා නම්, වෙබ් ගැන මම නැතුව කාත් එක්ක කතා කරන්න ද? වෙබ් ගැන ඇරෙන්න ඔය සමහර පුද්ගලයන් කියනවා වගේ ආණ්ඩුවට එක්වීමක් ගැන කතා කළේ නෑ. හැබැයි ගියවෙලාවේ ඉඳන් ජනාධිපතිතුමා කිව්වා, ‘රුවන්, අද මම මේ තනතුරට ගේන්න මැදිහත්වෙච්ච, මූලිකයන් ගෙන් ඔයත් ප‍්‍රමුඛයෙක්. ඔයා නැත්නම් මම අද මේ තනතුරේ නැහැ. මට ඒ ඔක්කොම බැසිල් කියලා තියෙනවා’ කියලා.

මොකද්ද ඒ කතාව?

- එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයාට ජනාධිපතිවරණයට නාමයෝජනා ලැබිලා නැහැ. සී.ජේ. තීන්දුවක් දුන්නා චන්ද්‍රිකා ජනාධිපතිනියගේ ධුර කාලය 2005න් ඉවරයි කියලා. ඔන්න ඔය වකවානුවේ තමයි බැසිල් රාජපක්ෂ මහත්තයා ලංකාවට එන්නේ. බැසිල් ලංකාවට ඇවිත් දෙවැනි දවසේ කොල්ලුපිටියේ 168 රෙස්ටුරන්ට් එකේදී මාව හමුවෙනවා. මේ හමුව සම්බන්ධීකරණය කළේ ඩොක්ටර් රණවක. ඒ වෙලාවේ මාත් එක්ක සේන සූරියප්පෙරුමත් හිටියා. බිල ගෙවුවේ සූරී. එදා බැසිල් අයියා මගෙන් ඉල්ලීමක් කළා. රුවන් කොහොම හරි මහින්ද අයියා ජනාධිපති කරන්න උදව් වෙන්න කියලා. එතකොට ඒගොල්ලන්ට ජේවීපී සමග කිසිම සම්බන්ධකමක් තිබුනේ නැහැ.

ජවිපෙ නායකයකුව සිටි විමල් විරවංශව, බැසිල් අයියට මුනගස්වන්නේ මම. එකගතාවයක් ඇතිකර ගන්න සාකච්ජාවට කිහිපයක්ම තිබුනා. ඒ සාකච්ඡ තිබුනේ මේ උඩ කාමරේ. අවසන් සාකච්ජාව තිබුනේ නෙත් ගුවන් විදුලිය අයිති නිහාල් ඇපාගේ ගෙදර. එදා මම ජේවීපී එකත් එක්ක ලින්ක් එක හැදුවේ නැත්නම් කවදාවත් සන්ධානෙට දිනන්න ලැබෙන්නේ නෑ. ඒ සාකච්ජාවලට නන්දන ගුණතිලකත් එකතුවුනා.

ඉතින් ප‍්‍රසිඩන්ට් මට කිව්වා ‘මම ඔක්කොම දන්නවා. හැබැයි අද ආණ්ඩුවට ගහලා හරි, මට ගහලා හරි මොනවා හරි ගිය ගමන් මෙතැන ඉන්න ඔක්කොම කියන්නේ මංගල-රුවන්, මංගල-රුවන්’ කියලා. එතකොට මම කිව්වා, ‘ජනාධිපතිතුමා ඔය ඔබතුමාට තියෙන ප‍්‍රශ්නෙ මටත් තියෙනවා. ඒ නිසා පහුගිය කාලවකවානුවේ ඔය කියන වෙබ් පිළිබඳ මමත් සෝදිසියෙන් ඉන්නේ. මොකද වෙබ් දැන් අපේ ෆීල්ඞ් එක වෙලා’ කියලා. මම වෙබ් කළේ අරගල කරන්න නෙමෙයි. මගේ ළමයි, බිරිද ජීවත්කරන්න. මගේ ළමයින්ට උගන්වන්න මම මිරර් වෙබ් අඩවිය කළේ. ආණ්ඩු පෙරළන්න නෙමෙයි. හැබැයි මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕන කියන මතේ මම දැඩිව ඉන්නවා කියලා.

ඒ වගේම මම ප‍්‍රසිඩන්ට්ට මතක් කළා 88,89 අපි එකට වැඩ කරපු කාලය ?ට එකට සෙට් වෙච්ච කාලය. ඒ කාලවකවානුවෙදී අපි පේ‍්‍රමදාස ජනාධිපතිව බරපතල ලෙස විවේචනය කළා. හැබැයි මඩ ගැහුවේ නෑ. මම හිතන්නේ ‘ලීක්ස්’ කියන්නේ වෙබ් විනාශකරන්න ආණ්ඩුව ගෙනාව ප්‍රොජෙක්ට් එකක්.

ඒ වගේම මම කිව්වා, X වෙබ් අඩවිය පැහැදිලිවම ආණ්ඩුවේ හොර වංචා තිබුණොත් දානවා. ඒ චැලෙන්ජ් එක අපි ගන්නවා. ඒ වෙනුවෙන් ඕන දෙයක් කරන්න, උසාවි යන්න කිසි ප‍්‍රශ්නයක් නෑ. නමුත් ‘මිරර්’ එහෙම එකක් නෙමෙයි. මිරර් පටන් ගත්තේ හෙණම හෙණ පතෝල විදියට. ඒකෙ සාමාන්‍ය නිවුස් විතරයි දාන්නේ. දෙපැත්තෙම විවේචන, ගැටුම් මුකුත් ඒකේ දාන්නෙ නෑ. අනිත් කාරණය ඔය ජනප‍්‍රිය වෙබ් සයිට් හුගාක් එක්ක මම ගනුදෙනු කරනවා. මම විතරක් නෙමෙයි ඔබතුමාගේ ස්ටාෆ් එකත් ඒවා එක්ක ගනුදෙනු කරනවා '' කියලා මම කිවා.

මට මහ ලොකු අනාගතයක් නැතිවෙන්න පුළුවන්. නමුත් මට ජේවීපී එකෙන් උරුම වෙච්ච ඉතිහාසයක් තියෙනවා. ඒක නිසා මට කා ළඟවත් වැඳවැටෙන්න ඕනේ නෑ. මම කාගෙන්වත් මොකවත් ගන්න ගියේ නෑ. ගන්න බලාපොරොත්තුවකුත් නැහැ.

දැන් ඔබේ ජීවිතය සුරක්ෂිතද?

- නෑ. තිබුණටත් වැඩිය දැන් අනතුරුදායකයි.

ඔබ කියන්නේ ජනාධිපති සහ පවුල සම්බන්ධයෙන් කුමක් හෝ මඩ ප‍්‍රචාරයක් නිර්මාණය වීමේ අනිවාර්ය ප‍්‍රතිඵලය නීතිය ඉදිරියට නොපමුණවා මරණ දණ්ඩනයට ලක්වීමට හේතුවක් කියලාද?

- දැන් ලසන්තගේ සිද්ධිය ගන්න. ලසන්තව සි.අයි.ඩියට, උසාවියට අවශ්‍ය වුණේ නෑනේ. ලසන්තව මඟදී මැරුවා. මට ජනාධිපතිතුමා කිව්වා මේ සිද්ධිවලට එයා සම්බන්ධ නෑ කියලා. නමුත් අනතුරක් තියෙන බව දැනිච්ච නිසා, ලසන්ත තමා හමුවීමට පැමිණ යනකොට බුලට්පෘෆ් වාහනයකුයි ස්කොඞ් එකයි දීලා ඇරියා කියලා ජනාධිපතිතුමා කිවා. ලසන්ත අවසාන කාලේ සතියට දවස් දෙකක් විතර ජනාධිපතිව හම්බවෙලා. ජනාධිපතිතුමාටත් තේරුණාලු මෙහෙම අනතුරක් තියෙනවා කියලා. හැබැයි ප‍්‍රශ්නේ ජනාධිපතිතුමා හම්බවෙන්න ගියාට, එතුමා ආරක්ෂාව දුන්නාට, මගදී වෙන කෙනෙක් ගහනවා. මට පේන විදියට පුද්ගලයන් කීපදෙනෙකුට මගෙ ජීවිතයත් අවශ්‍යවෙලා තියෙනවා.

ජනාධිපතිතුමා ලසන්තට ආරක්ෂාව දුන්නා වගේ, ‘රුවන් මල්ලිට’ - ‘මහින්ද අයියගෙන්’ මොනවද ලැබුණේ?

මට එහෙම ආරක්ෂාවක් ලැබිලා නෑ. මට එතුමාගේ ආරක්ෂාවක් අවශ්‍යත් නැහැ. නමුත් මට එතුමාට එක දෙයක් කියාගන්න වුවමනා වෙලා තිබුණා. ඒ තමයි මෙතැන පැහැදිලි කුමන්ත‍්‍රණයක් වෙනවා කියන එක. මොකද මම මැදිහත්වෙලා කරන වෙබ් ඇතුළේ පැහැදිලි මාධ්‍ය සම්ප්‍රදායක් පවත්වාගෙන යනවා. කොයිවෙලාවකවත් මුලාශ නැතුව කිසිම වාර්තාවක් දාන්නෙ නෑ. කාන්තාවට අපහාස වෙන කිසිම දෙයක් පළකරන්නේ නෑ. ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය ඇවිස්සෙන කිසි දෙයක් දාන්නේ නෑ.

තවදුරටත් ඔළුගෙඩි මාරු කිරීමෙන් විතරක් මේ සිස්ටම් එක වෙනස් කරන්න බෑ කියන එක දැන් මට තේරෙනවා. මම මේ වනවිට පහුගිය කාලේ වෙච්ච සමහර දේශපාලන සිද්ධීන්වලට පෞද්ගලික වගඋත්තරකාරයෙක් වෙලා ඉන්නවා, මගේ හෘද සාක්ෂිය තුල.

කවුද කුමන්ත‍්‍රණකාරයෝ?

කුමන්ත‍්‍රණකාරයෝ නෙමෙයි මම කියන්නේ පමණක් සිදුවීම් ගත්තොත්...

ඔබ කිව්වා පැහැදිලිවම මේක කුමන්ත‍්‍රණයක් කියලා?

මට පේන්නේ මේකෙ පැහැදිලිව ඉන්නේ මව්බිම පුවත්පත. ඒකට හේතුවක් තියෙනවා. ටිරාන් අලස් කියන්නේ එක්තරා වකවානුවක මගේ හොඳ මිත‍්‍රයෙක්. මම එයාට විරුද්ධව කිසිදෙයක්, කොහේවත්, කාත් එක්කවත් කියලා නැහැ. මගේ වෙබ් වල එයාට විරුද්ධව කිසිවක් පලවෙලා නැහැ. දැන් ටිරාන් උගුලක හිරවෙලා. කිසියම් පුද්ගලයකුට හරි පුද්ගල කණ්ඩායමකට හරි අවශ්‍යවෙලා තියෙනවා, ඉස්සෙල්ලාම මංගල හා ටිරාන් බිඳවන්න. ඒක තමයි මූලිකම දේ.

ඒ කියන්නේ තාමත් මංගලගෙයි ටිරාන්ගෙයි මිත‍්‍ර සම්බන්ධකම් එහෙමම තියෙනවද?

- මිත‍්‍රකම් මේ ඊයෙ පෙරේදා වෙනතුරුත් තිබුණා. ටිරාන් හොඳ ව්‍යාපාරිකයෙක්. එයා තීන්දු ගන්නේ ව්‍යාපාරික පැත්තෙන් හිතලා. මම ඒක වැරැදියි කියලා කියන්නෙත් නෑ. ඒ නිසා මම ටිරාන්ව දේශපාලනඥයෙක් විදියට දකින්නේ නෑ. දැන් තියෙන සිස්ටම් එක ගත්තම ජාවාරම්කාරයොත් දේශපාලනයට ඇවිල්ලා. ඒක මේ සිස්ටම් එකේ ප‍්‍රශ්නයක්. මෙතැන එක පුද්ගලයෙක් ඉන්නවා, මං නම කියන්න යන්නෑ. මොකද තේරුමක් නැති නිසා. ඒ පුද්ගලයට අවශ්‍යවෙලා තියෙනවා පැහැදිලිවම මංගලයි, ටිරානුයි විරසක කරන්න. ඒ ක‍්‍රියාවලියේ එක ගොදුරක් විතරයි මම.

රුවන් මහත්මයා, අද ඔබව විනාශ කරන්න හදනවයි කියන ඔබේ පැරැණි මිත‍්‍රයාගේ ඔය පත්තරේ පළමුවරට ආරම්භ කරනකොට ඔබ තමයි ඒකෙ කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ. නමුත් දෙවැනිවර ඒ පත්තරේ පටන්ගන්නකොට ඔබ කොහේවත් නෑනේ? ඇයි එහෙම වුණේ?

- එදා මම හිටපු තැනට අද ඉන්නේ තුෂාර ගුණරත්න. ඒකට හේතුවක් තිබුණා. ඒ හේතුව තමයි ටිරාන් අලස් හැමතිස්සේම එයාගේ ජන්මාන්තිර තරහකාරයා විදියට සැලකුවේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයාව. ඒ අද ඊයේ පටන්ගත්ත ප‍්‍රශ්නයක් නෙවෙයි. ප‍්‍රශ්නෙට මුල එයාගේ තාත්තා, ඩි.එස්. එකේ ප‍්‍රින්සිපල් විදියට ඉන්නකොට ඇතිවෙච්ච ගැටුමක්. රනිල් වික‍්‍රමසිංහ අධ්‍යාපන ඇමැතිවෙලා හිටිය කාලේ, අලස් මහත්තයාව ඩි.එස්. එකෙන් අයින් කරනවා. ලොකු අලස්, ඒ කියන්නේ ටිරාන්ගේ තාත්තා මට දින ගණන් ඒ ගැන කියලත් තියෙනවා, රනිල් මෙහෙම කළා, මෙහෙම කළා කියලා.

එතකොට දැන් මංගල මන්ත්‍රීතුමා යූ.එන්.පී. එකේ සන්නිවේදන අංශයේ ප‍්‍රධානියා. එයාගෙ ඩියුටිය වෙන්නේ රනිල්ව ඉස්සරහට ගෙනියන ප්‍රොපගැන්ඩා කරන එක. එතකොට මාත් ඒ කමිටුවේ ඉන්නවා. එදා ඉඳලා රනිල් ගාව හිටපු තීරණාත්මක මාධ්‍යවේදීන් දෙන්නා තමයි තුෂාර ගුණරත්න සහ උපුල් ජෝශප් කියන්නේ. ඒගොල්ලො පස්සේ රනිල් එක්ක ප‍්‍රශ්නයක් හදාගන්නවා. එතකොට අද මව්බිමේ සෙට්වෙලා ඉන්න ඔය කණ්ඩායම ගත්තොත් එතැන තියෙන්නේ පැහැදිලිවම රනිල් විරෝධය විතරයි. එතකොට එතැනට මාව ගන්න බෑ, මොකද මං ඉන්නේ මංගල මන්ත්‍රීතුමාත් එක්ක. ඒ නිසා එයාලා මාව රනිල්ගේ ගෝලයෙක් මට්ටමට දාලා ඉවරයි. ඇත්තටම කිව්වොත් රනිල් වික‍්‍රමසිංහ මහත්තයත් එක්ක මම ‘වන් ටු වන්’ කතා කරලවත් නෑ. මම එතුමාව කීපගමනක් හම්බෙලා තියෙනවා, ඒත් තුෂාරත් එක්ක. තුෂාර තමයි මට රනිල්ව හඳුන්වලා දෙන්නේ. ඒ ඇරෙන්න මට රනිල් මහත්තයත් එක්ක සම්බන්ධතාවක් ගෙනියන්න අවශ්‍යතාවක් නෑ. මොකද මම වැඩකරන්නේ මංගල මන්ත්‍රීතුමා එක්ක.

කතාවක් තියෙනවා, ඔබ රනිල්, තුෂාරත් එක්ක තිබ්බ සම්බන්දේ කඩන්න කේළාම් කිව්වා කියලා?

- මම කවදාවත් රනිල් තනියම හම්බවෙලා කතාකරලා නෑ. අනිත් එක සාමාන්‍යයෙන් මම කේළාම් කියන කෙනෙක් නෙවෙයි. මම එහෙම කේළමක් කියලා තියෙනවා නම් ඉතින් ඔයාට රනිල් මහත්තයාව හම්බවෙලා අහන්න පුළුවන්නේ. මම ජීවිතේට ඔය කියන මිනිස්සු වගේ රනිල් එක්ක කාමරවලට ගිහිල්ලා එක එක්කෙනා ගැන කතා කරලා නෑ.

රුවන් මහත්තයා, ඔබ යටතේ වෙබ් අඩවි කීයක් ක‍්‍රියාත්මක වෙනවද?
- දැනට එකයි.

මොකක්ද ඒ?
- x එක.

ඒක ආණ්ඩුවේ ලියාපදිංචි කරලද තියෙන්නේ?
- මම ජනාධිපතිතුමාටත් කිව්වා ලියාපදිංචි කරන්නෙත් නැහැ කියලා.

ලියාපදිංචි කරන්නෙ නැතුව වෙබ් එකක් කරගෙන යන්න බෑනේ දැන් ලංකාවේ නීතිය අනුව?

කොහෙද එහෙම නීතියක් තියෙන්නේ? ජනාධිපතිතුමාටත් මං කිව්වා එහෙම නීතියක් නෑ. කැබිනට් එකෙන් අනුමත කළා කියලා ඒක නීතියක් බවට පත්වෙන්නෙ නෑ. දැන් මංගල ඇමැතිතුමා ඉන්න ස්ථාවරය තමයි පනතක් විදියට ගෙනාවත් අපි X එක ලියාපදිංචි කරන්නෙ නැහැයි කියන තැන. මම කියන්නේ කොතැනකින් හරි මේ අත්තනෝමතික බලපෑම් බිඳින්න පටන්ගන්න ඕනෙ. නැත්නම් මේ ඒකාධිපති පාලනයක් ඇතිවේවි. නමුත් රාජපක්ෂ පාලනයේ නරුම තීන්දු බිඳින්න මට හයියක් නැහැ. මොකද මම පාරෙ බස් එකේ, නැත්නම් ත‍්‍රීවිල් එකක යන සාමාන්‍ය සිවිල් පුද්ගලයෙක් විතරයි. අඩුම ගාණේ යූඑන්පී එක තීන්දු කරනවා නම්, දැන් මේ රාජපක්ෂ පාලනයේ අවනීතිය බිදින්න ඕන කියලා අපෙන් වැඩක් ගන්න විතරයි තියෙන්නේ. නමුත් දැන් වෙලා තියෙන්නෙ අපෙන් හරියට වැඩක් ගන්නේ නෑ.

ඔබට ඇයි වෙබ් ගෝඞ් ෆාදර් කියන්නේ?

මම ඒ නමට හරි කැමැතියි. ඒත් මට බයයි, මේ නම නිසා මට මගේ මිත‍්‍ර සදරුවන් අමනාප වෙයිද කියලා. මොකද සඳරුවන් මට කතාකරලා ඇහුවා ‘මචං මොකක්ද උඹ කරලා තියෙන්නේ? මෙච්චර කල් මම හිතන් හිටියේ වෙබ් ගෝඞ් ෆාදර් මම කියලා. දැන් මට පේන්නේ උඹ ටිරාන් එක්ක ඩිල් එකක් දාලා මගේ කීර්තිනාමයත් අරගෙන වගේ’ කියලා.

මේක වෙන්නේ මෙහෙමයි. පහුගිය කාලේ ටිරාන් අලස් මහත්තයා ජනාධිපතිට සමීප වෙන්න විකුණුවේ සරත් ෆොන්සේකා මහත්තයව. සරත් ෆොන්සේකාට මේ මොහොතේ දේශපාලනික අනාගතයක් පේන්න නැහැ. ඇත්තම එතුමා නිදහස් වුනා කීවට, දැන් එයා ඉන්නෙ නිවාස අඩස්සියකනේ. ටික දෙනෙක් එයාව වටකරන් ඉන්නවා. මම දන්නෑ හෙට දවසේ ආයිත් එතුමාට ඔය තියෙන පුද්ගල බැරියර් කඩාගෙන එළියට එන්න පුළුවන් වුණොත් තත්ත්වේ වෙනස් වෙන්න පුළුවන්. ඕක කඩන් එනතුරු එතුමාට අනාගතයක් නෑ. එතකොට දැන් මේ මොහොතේ ජනාධිපතිතුමාට ෆොන්සේකා මහත්තයාව තර්ජනයක් නෙවෙයි.

එතකොට දැන් මොකක්ද ව්‍යාපාරික ටිරාන් මහත්තයාට විකුණන්න තියෙන්නේ? විකුණන්න දැන් අලූත් දෙයක් හදන්න ඕන. එතකොට මෙයා හොදාකාරව දන්නවා, ජනාධිපතිගේ යටි හිතේ ඉන්න තරහකාරයා මංගල කියන එක. ජනාධිපති හිතන් ඉන්නේ මේ ඔක්කොම යටිකූට්ටු වැඩ කරන්නේ මංගල කියලා. නමුත් ටිරාන්ට ඩිරෙක් මංගලට ගහන්න බෑ. මොකද ටිරාන්, මංගලත් එක්ක ඉතාමත් සමීපව වැඩකළ කෙනෙක්. ඒ වගේම ජනාධිපතිවරයාගේ අදහසක් තියනවා මංගල 'ගේම්' එකක ගැහුවොත්, රුවනුත් එක පිටිපස්සේ ඉන්නවා කියලා. මේ කාරණය ටිරානුත් දන්නවා. මෙන්න මේ අයිඩියා එක අරගෙන, දැන් හැදුවා විකුණන්න තවත් මොඩල් එකක්. ඒ තමයි 'ගෝඞ් ෆාදර්' . බිල්ලෙක් නැතිනම් යකෙක්. ටිරාන් ප‍්‍රසිඩන්ට්ට ගිහිල්ලා පෙන්නනවා, මේ ගෝඩ් ෆාදර් තමයි සේරම කරන්නේ. මම එයාට ගහන්නම් කියලා කොන්ත්‍රාත්තුව ටිරාන්ගේ මවුබිම පත්තරය අරගෙන. එතකොට මේ කරන්නේ මාර්කටින් වැඩක්. මේක ඇතුළේ තියෙන්නේ ව්‍යාපාරික අවශ්‍යතාවක්. හැබැයි දැන් මට හිතෙනවා, මම කරන දේ හරි කියලා. ආණ්ඩුවට මාව තර්ජනයක් වෙලා. ඒකනේ මට මෙච්චර එලවා එලවා ගහන්නේ.

දැන් ඔබ කියන්නේ සමස්තය ගත්තහම ඔය ඔක්කොම බොරු මඩද?
- මොකක් ගැනද?

ඔබ ව්‍යාපාරිකයන්ව බ්ලැක්මේල් කරමින් කප්පම් ඉල්ලූවා කියන එක?
පැහැදිලිවම මඩ. මං කියන්නේ, මම දැන් සී.අයි.ඞී. එකටත් යනවනේ. මම හැංගිලා නැහැනේ. මට නඩු දාන්න. මම නඩුදානවා දැන්.

ඔබ කාට විරුද්ධවද නඩු දාන්නේ?
- පැහැදිලිවම ‘මව්බිම’ පත්තරේට විරුද්ධව.

ඔබ ජනාධිපතිතුමා හමුවුණ වෙලාවේ, ජනාධිපතිතුමා ඔබව ගණන්ගත්තේ නෑ කියලා කතාවක් තියෙනවා. ඒක ඇත්තද?

ගණන්ගත්තද? නැද්ද? ඒ ප‍්‍රමාණය මොකක්ද? කියලා ඒක අහන්න ඕනේ ඉතින් මර්වින් ඇමතිතුමා ගෙන් හරි එදා එහන හිටපු අනිත් අයගෙන්. එතැන ඒ වෙලාවේ හිටපු අය ජනාධිපතිතුමාට කිව්වේ, ‘සර් මේගොල්ලෝ තමයි 2005 අපිව ගෙනාවේ’ කියලා. නමුත් ඕන කෙනෙක්ට ඕන එකක් කියන්න පුළුවන්නේ. අනික මට ඔය කාගෙන්වත් ප්‍රසංශාවක් අවශ්‍ය නෑ. එතැන්ට ගියා කියලා, මම මුකුත් ඉල්ලූවෙත් නෑ. හෙට ඉල්ලන්න බලාපොරොත්තුවකුත් නෑ.

එකම දේ මං කියන්නේ, මට චෝදනාවක් තියෙනවා නම් පරීක්ෂණ පවත්වන්න, උසාවියට දාන්න, සුදු වෑන් එවන්න එපා. මම කරන්නේ දේශපාලනයක් මිසක් මඩ ව්‍යාපාරයක් නෙමෙයි. අපරාධයක් නෙමෙයි. මට එරෙහිව පසුගිය සති කිහිපයේ ආණ්ඩුවේ මාධ්‍යයත්, මවුබිම පත්තරයත් ගෙන ගිය මරණිය අවලාද ගැන කරුණු කියන්නයි මට ඕන වෙලා තිබුණේ. පැහැදිලිව මට මරණ තර්ජනයක් තිබුනා. ඒ ගැන පොලිසියට පැමිණිලි කරලා, උසාවියට ගිහිල්ලා වැඩක් නැති බව මම දන්නවා.

මොකද මම දන්නවා, නවවැනිදා ඔය පත්තරේ නවත්තගෙන හිටියා මාව මැරුවා කියන නිව්ස් එක දාන්න. ප්ලෑන් කරලා තිබුණේ සුදු වෑන් එකකින් ගිහිල්ලා, මාව හොරණෙදී අත්අඩංගුවට අරගෙන, පැනලා යන්න උත්සහ කිරීමේදී වෙඩිතිබ්බා කියලා දාන්න.

ඒ වගේම තව එකක් කියන්න ඕන. පමණක් මගේ මිත‍්‍රයෝ කියන්න ගත්තා ‘ෆර්ඩි අපේ ස්ට‍්‍රගල්එක පාවලා දීලා’ කියලා. මොකද සාමාන්‍යයෙන් ප‍්‍රසිඩන්ට් ගාවට ගිය මිනිහෙක් බේරිලා ඇවිල්ලා නෑ. මොකක් හරි අරගෙන, අඩුම ගාණේ වරදානයක් හරි, මොන මගුලක් හරි අරගෙනනේ එන්නේ. ඉතින් මට මොකක්ද ලැබුණේ? අඩුම තරමින් මට එරෙහිව සි.අයි.ඩි. කරන පරීක්ෂණ නවත්තන්න කියලවත් ඉල්ල්ලුවේ නැහැ. මගේ නිර්දෝෂිභාවය තහවුරු කරන්න ඒ පරිෂණ වැදගත් වේවි. මම දැනටත් දින 6 ක් උදේ 9 ඉදලා සවස 6 වෙනතුරු සි.අයි.ඩි.යට කට උත්තර දීලා තියනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා.

මර්වින් එක්ක ඔය තරම් තියෙන සම්බන්ධතාව මොකක්ද?

- මර්වින් ඇමතිතුමා එක්ක විතරක් නෙවෙයි. ඒකත් කියන්න ඕනනේ. මේ කැබිනට් එකේ බාගයක් විතර ඉන්නේ මගේ හොඳ හිතවතුන්. හැබැයි දැන් බය නිසා කතාකරන්නෙ නෑ. නමුත් මංගල මන්ත්‍රීතුමාත් එක්ක කට්ටිය කතාකරනවා පාර්ලිමේන්තුවෙ හරි. හැබැයි මගෙත් එක්ක කවුරුවත්ම කතාකරන්නෙ නෑ. මංගලටත් වඩා මාව ආශ‍්‍රය කරන්න බයයි. මොකද හදලා තියෙන්නේ මහා හෙනම කළු පොලිටිකල් චරිතයක් කියලානේ. මට ඒක ප‍්‍රශ්නයක් නෑ. ඒ චරිතෙට මම කැමැතියි. මොකෝ මට වංචාකාරයෙක් ගේම්කාරයෙක් කියලා ඔය කාටවත් කියන්න බෑනේ.

දැන් චිත‍්‍රයක් තියෙනවා රුවන් කියලා. ඒ චිත්‍රෙට එක එකකෙනා තම තමන්ට ඕන අර්ථකථන ලියන් යනවා. මං පැත්තකට වෙලා බලන් ඉන්නවා. මට ඒ ගැන තීන්දු ගන්න බෑ. මම ඒකයි කිව්වේ, අර එක්කෙනෙක් කිව්වම මම ස්ට‍්‍රගල්එක පාවලා දීලා කියලා. සඳරුවන් එයාගෙන් අහනවා තියනවා, ඌ මොකක්ද කරපු ස්ට‍්‍රගල් එක? ඌ වෙබ් එකක්නෙ කෙරුවේ, ස්ට‍්‍රගල් එකක් නෙවෙයිනේ කියලා.

අනිත් එක ජනාධිපති හම්බවෙන්න ගිය එක ගැන දොස් කියන කවුරුවත් අඩුම ගාණේ මගෙන් හරි මගේ බිරිදගෙන් හරි, ළමයින්ගෙන් හරි නිකමටවත් ඇවිල්ලා අහලා නෑ, කොහොමද නඩුවකට සල්ලි දෙන්නේ? ඔයා කොහොමද මේ වෙබ් එක පවත්වාගෙන යන්නේ? ඔයාගෙ ගෑනියි, ළමයයි කොහොමද ජීවත්වෙන්නේ? කියලා.

සමන් ඔයාටත් ඔය දේම වුණා මතක ඇති. ඔයාට වෙච්චි ඒ දේමයි මටත් වුණේ. සාමාන්‍යයෙන් යාළුවො කිහිපදෙනෙක් ඇවිල්ලා ඇහුවා. එහෙම මා ගැන සොයා නොබැලුවා කියලා මම කා එක්කවත් අමනාපයකුත් නැහැ. මොකද අද මගෙත් එක්ක ගනුදෙනු කිරීම මාරාන්තික තත්වයක්.

මට පැහැදිලිව කියන්න තියන්නේ, මම ජනාධිපතිගාවට ගියේ ළමයි දෙන්නා වෙනුවෙන්. කවුරුවත් පාවාදෙන්න නෙවෙයි. තාත්තා කෙනෙක් විදියට, ළමයි දෙන්නගෙ අනාගතය වෙනුවෙන්.

හොඳයි දැන් ඔබම කිව්වා රුවන් කියලා චිත‍්‍රයක් තියෙනවා එක එක්කෙනා ඒ චිත‍්‍රයට කැමැති කැමැති අර්ථකථන දීලා තියෙනවා කියලා. මම මේ සාකච්ඡුාව පටන්ගත්තෙත් එතැනින්. දැන් මම නැවතත් ඔබෙන් අහනවා රුවන් ප‍්‍රදිනන්දිස් කියන්නේ කවුද?

- දැන් ගත්තොත් රුවන් ෆර්ඩිනැන්ඩස් කියනකොට කතෝලිකයෙක් වගේනෙ හැගෙන්නේ. නමුත් මම උපතින් බෞද්ධයෙක්. පුංචි කාලේ ඉඳලා, ඔ ලෙවල් පන්තිය දක්වාම, හැම පෝයටම සිල් ගත්ත කෙනෙක්. මම තුවක්කු කෙරෙහි විශ්වාසයක් තියපු මනුස්සයෙක් නෙවෙයි. හැබැයි තරුණ වෙනකොට අවිඥ්ඥානිකව තේරෙන්න ගත්තා සමාජයේ කොහෙහරි අසාධාරණයක් සිද්ධ වෙනවා කියලා. ඒ අසාධාරණයට එරෙහිව සටන් කරන්න, ඇෙඟන් දැනෙන දේ විදියට මම තෝරාගත්තේ ජනතා විමුක්ති පෙරමුණ. මම හිතනවා මගේ තාම වැඩකරන්නේ මම ජනතා විමුක්ති පෙරමුණෙන් උකහා ගත්ත දේ.

මේක සාකච්ජාව ඉවර කරන්න කලින් මට තව විශේෂ දෙයක් කියන්න තියෙනවා.
මට එරෙහි අවලාද මෙහෙයුමත් එක්ක, කිසියම් පිරිසකගේ උත්සහයක් තියෙනවා මාවයි, ටිරානුයි කොටවන්න. කොටවලා කිසියම් මොහොතක මාව ඝාතනය කරලා ටිරාන්ගේ පිට පටවලා ටිරාන්ව ඇතුළට දාන්න. මේකෙන් මංගලගේ හිතවතින් දෙන්නෙක් එකපාරට ඉවර වෙනවා. දැන් මට පේන්නේ ටිරාන් ලොකු උගුලක වැටිලා තියෙන්නේ.

මං ජනාධිපතිව තේරුම් අරන් ඉන්නේ. හැබැයි තාම ටිරාන්, ජනාධිපති මහින්ද රාජපක්‍ෂව තේරුම් අරගෙන නැහැ. ඒක නිසා මං එකක් පැහැදිලිව කියනවා. හෙට මට පෞද්ගලිකව මොන තරම් මඩ ගැහුවත්, ටිරාන් මට දේශපාලනිකව අනෙකා නෙවෙයි. මම ටිරාන්ට පෞද්ගලිකව කිසිදෙයක් කරන්නෑ. ටිරාන්ට විතරක් නෙවෙයි තුෂාරටවත්.

මොකද ජනාධිපතිතුමා මගෙන් ලීක්ස් එක ගැන අහපු වෙලාවේ මම දන්න ඕපාදුප කියන්න තිබුණා. තුෂාරගේ පවුලේ අයයි, අපේ පවුලේ යයි පහුගිය කාලේ එකට ටි‍්‍රප් ගිහින්, එකට කාලා බීලා හිටිය කට්ටිය. එයාගෙ වයිෆ් රොෂෙල් මම හරිම ගරුකරන ගෑනියෙක්. එයාගේ ළමයි දෙන්නටත් මම හරිම ආදරෙයි. දැං මට වෙච්ච දේ මට ඕන නෑ තුෂාරට කරන්න, මගෙ ජීවිතේ අනතුරක තිබුණත්.

මොකද දැන් ජනාධිපතිතුමාට ලොකුම ප‍්‍රශ්නෙ තියෙන්නේ වෙන මොකක්වත් නොවෙයි, ලංකා ලීක්ස් වෙබ් එක. හැබැයි වෙබ් ෆීල්ඞ් එක ගැන දැන් කාටවත් අපිව අන්දන්න බෑ. හරියට ඔයාගෙන් පත්තරයක් ගැන ඇහුවොත් ඔයාට තියෙනවා ඒ ගැන ඒ ටු ඉසෙඞ් අදහසක්. ඉතින් මටත් වෙබ් ගැන එහෙම ඉවක් තියෙනවා.

ඉස්සෙල්ලාම 'ලංකා ලීක්ස් ' වෙබ් අඩවිය සයිබර් අවකාශයට එන්නේ, සදරුවන්ගේ 'ලංකා ඊ නිව්ස්' එකේ බැනර් එකක් එක්ක. මාස කිහිපයක් ගියහම එකෙන් මටත් ගහනවා, මම 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවිය බැසිල් ඇමතිතුමාට විකුණුවා කියලා. ඒ වෙබ් අඩවියෙන් හැමෝන්ටම ගහනවා. හැබැයි ලංකා ලීක්ස් කවදාවත් මට සීරියස් වුණේ නැහැ. දවසක් සඳරුවන් මට කතාකරලා අහනවා, රුවන් 'ලීක්ස් ' එක කරන්නේ කවුද කියලා ඔයා දන්නවද කියලා. එතකොට මං කිව්වා, ඔයානෙ බැනර් එක දාන්නෙ කියලා. එතකොට සඳරුවන් කියනවා, නෑ නෑ මටත් මේක ප‍්‍රශ්නයක් වෙලා තියෙන්නේ, මේ හදන්නේ මං හරහා ගිහිල්ලා ගේමක් ගහන්න. හැබැයි මං දන්නවා පුද්ගලයා කවුද කියලා. මං අද බැනර් එක ගලවනවා’ කියලා. ඔය තමයි මට ලීක්ස් ගැන මුලින්ම එන ආරංචිය. සඳරුවන් එදා මට නමක් කිව්වා. නමුත් මං දැනට ඒ නම නොකිය ඉන්නම්.

ඊට පස්සේ ලීක්ස් ගැන මට ලැබෙන දෙවැනි ආරංචිය තමයි, මීට මාසෙකට නැත්නම් දෙකකට ඉස්සෙල්ලා ටිරාන් මන්ත්‍රීතුමා, මංගල මන්ත්‍රීතුමාට කතාකරලා කියනවා ‘සර්, රුවන් මට දිගටම ගහනවා, ලංකා ලීක්ස් එකෙන්, මං හොයාගත්තා’ කියලා. කොහොමද හොයාගත්තෙ කියලා මංගල ඇහුවාම කියලා තියෙනවා. ශාන්ත විජේසූරිය, මව්බිම වැඩකරන කලේ, ලංකා ලීක්ස් එකේ නිව්ස් එකක් වැටිලා තියෙනවා ‘ශාන්තට ඇටෑක් කරනවා’ කියලා. ඒපාර ටිරාන්, තුෂාර , උපුල්ලා එකට ඉන්න තැන ස්පීකර් ෆෝන් දාලා ශාන්තට කිව්වලූ ‘රුවන්ට කෝල් එකක් දෙන්න’ කියලා. ශාන්ත ඒපාර කතාකරලා මට කිව්වලූ ‘අයියේ මගේ නිව්ස් එක දාලා තියෙනවා, ඒක මට ලොකු ප‍්‍රශ්නයක්. නිව්ස් එක ගලවලා දෙන්න’ කියලා. මං විනාඩි පහෙන් නිව්ස් එක ගලවලා ශාන්තට කෝල් එකක් දුන්නලූ ‘ශාන්ත මං නිව්ස් එක ගැලෙවුවා’ කියලා. ඔය කතාව කිව්ව ගමන් මං ශාන්තට කෝල් එකක් ගත්තා මංගල මන්ත්‍රීතුමත් ඉන්න තැන. ශාන්තගෙන් මං ඇහුවා ‘ශාන්ත මොකක්ද ඔයා මේ කියන කුණුහරුපේ, ඔයා කවද්ද ලංකා ලීක්ස් ගැන මගෙත් එක්ක කතා කළේ?’ කියලා. එතකොට ශාන්ත කියනවා, ‘නෑ ඒක නෙවෙයි වුණේ ශ‍්‍රී ලංකා මිරර් එකේ ශාන්ත සී.අයි.ඞී. එකට පැමිණිල්ලක් ඉදිරිපත් කළා, කියලා නිව්ස් එකක් ගිය වෙලාවේ ටිරාන් කියලා තියෙනවා, මේක දාන්න එපා කියන්න මොකද ආණ්ඩුවත් එක්ක හැප්පුණා කියන එක මව්බිමට හොඳ නැහැ’යි කියලා. ශාන්ත ඒ වෙලාවෙ තමයි මට කතා කරලා කියන්නේ, ‘අයියේ මිරර් එකේ නිව්ස් එකක් තියෙනවා ගලවලා දෙන්න’ කියලා. මං එතකොට මිරර් එකේ කර්තෘ කැලූම්ට කතාකරලා කිව්වා, කැලූම් අර නිව්ස් එක ගලවන්න. තවත් මීටපස්සේ මව්බිමේ කිසිදෙයක් දාන්න එපා. හිරේ බැරිනම් ඕන ම`ගුලක ගියාවේ කියලා. ඕක තමයි ටිරාන්, මංගලට පටලවලා කිව්වේ.

ඊළඟ එක ශාන්ත මේ ඔක්කොම ඉවරවෙලා, මිට සති 2-3 කට ඉස්සෙල්ල මට කියනවා, ලංකා ලීක්ස් ගැන එයා දන්නවා කියලා. ඒ කියන්නේ එයා මේ තුන් හතර දෙනා ඉන්න තැන කියපු කතාවක් හරියටම පැය භාගයක් යන්නත් කලින් ලංකා ලීක්ස් එකේ ගිහින්. ඒ නිසා මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් මේකෙ අනිවාර්යයෙන් ඉන්නවා කියලා එයා සැක කළා. ඒ වගේම එයා කියනවා මං දැන් හරිම පුද්ගලයත් හොයාගත්තා කියලා. මං ලංකාවෙන් ගියාට පස්සේ පුද්ගලයා හෙළිදරව් කරනවා කියලා. ගිය සතියේ ශාන්ත ලංකාවෙන් ගියා. ඉතින් මං දැන් බලන් ඉන්නවා ශාන්ත අදාළ පුද්ගලයා හෙළිදරව් කරනකම්. මොකද එතකොට ජනාධිපතිතුමාගෙත් නොවිසදුණු ගැටලූවට පිළිතුරු ලැබෙන නිසා.


ඡායාරූප - සජීව චින්තක කහඳගමගේ