චීනය : කියුබාව සහ චීනය අතර ආර්ථික ගිවිසුම්


l කිෂානි වැලිවිටිගොඩ

චීන ජනාධිපති හු ජින්තාඕ ගේ ආරාධනයක් මත කියුබානු ජනාධිපති රාඕල් කැස්ත්‍රෝ දින හතරක නිල සංචාරයක් සඳහා පසු ගිය බදාදා දින චීනයේ බීජිං නුවරට පැමිණ තිබේ. පසුව බ්‍රහස්පතින්දා (05) දින දෙරටවල් වල නායකයන් හමුවීමෙන් පසුව ආර්ථික ගිවිසුම් කිහිපයකටම අත්සන් තැබූ බව විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි. මුල්‍ය වර්ධනය සඳහා ණය පහසුකම්, වෙළඳ අනුග්‍රහය, බල ශක්තිය, පොදු කාර්ය සංවිධාන නිර්මාණය , කෘෂිකර්මය සහ ජෛව තාක්ෂණය පිළිබඳව එම ගිවිසුම් වල අන්තර්ඝතය වේ.

චීනය සමග සුහදශීලි බව වර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබීම තම රටට අභිමානයක් බව චීන සංචාරය පිළිබඳව රාඕල් කැස්ත්‍රෝ අදහස් දැක්විය. රාඕල් කැස්ත්‍රෝ වියට්නාමයේ ද සංචාරය කිරීමට නියමිතව ඇති අතර එම සංචාරයේ අරමුණ තම රටේ ආර්ථික ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීම බව ඔහු වැඩි දුරටත් පැවසිය.