අමරේ එන්න බය නැතිව

අමරේ එන්න
එන්න අපි සෙල්ලම් කරමු
ජුලම්පිටියේ වෙලේ අපි දුවමු
දුවමු අපි මඩ නාගෙන
කෝ සාමා
උඹ සාමාව ඇඳේ ගැටගැහුවාද ?
කමක් නැහැ ඉක්මනට ඉවර කරගෙන වරෙන්
අමරේ, මමයි ඇවිත් ඉන්නේ
බය නැතුව එළියට එන්න
අපි කාටද බය වෙන්න ඕනේ
බය වෙන්න එපා
ඕන දේකට මම ඉන්නවා
බය නැතුව එන්න
මගේ වැඩ ටික කරලා දෙන්න ඉස්සර වගේ
හැබැයි එක පාරින් තියපන්
සාක්කිකාරයෝ ඉන්න බැහැ
හිටියොත් උන්ටත් වැඩේ දීපන්
බය වෙන්න එපා
පොලිසිය අහන්නේ අපි කියන දේ
පොලිසිය ලියන්නේ අපි කියන දේ
පොලිසියට බය වෙන්න එපා
උනුත් මිනිස්සුද ?
පොලිස්පතිත් දැන් අඳින්නේ යට ගවුම්
බලපන් අපේ වැඩ
අමරේ උඹ බය වෙන්න එපා
අපි ආගමත් මිලට ගත්තා
පන්සල , පල්ලිය කෝවිල
හැමතැනම ඉන්නේ අපි
මහානායකලා අහන්නේ අපි කියන දේ
අගරදරගුරු අහන්නේ අපි කියන දේ
ඔය ඔක්කොම අපි ඉස්සරහ සරෙන්ඩර්
ඔය ඔක්කොම අපිට හාල් කෑලි
උන් එකෙක් කටක් ඇරලා කතාකරනවද ?
ඕකුන් මම ලඟට ආවම
දෙයියන් බුදුන් අල්ලා දැක්ක වගේ එකත්පස්ව ඉන්නවා
ඒ නිසා අමරේ බය උඹ වෙන්න එපා
වැඩේ නියමට දීපන්
මෙන්න ගිණි අවි
මෙන්න ඩිෆෙන්ඩර්
මෙන්න පොලිස් ගාඩ්
බය නැතුව පලයන්
දකුණ හොල්ලපන්
මගේ නම තියපන්
ජනතාවට බය වෙන්න එපා
උන් හරක්
උන් මී ගවයෝ
උන් හෙටත් කතිරේ ගහන්නේ මට
උන්ට බය වෙන්න එපා
විපක්ෂය කියන්නේ ගොම ගොඩක්
උන්ට කරන්න පුළුවන් මොකක්ද ?
ඇමති පදවියක් පෙන්නුවොත්
උන්ගේ අම්මලත් මට ගෙනත් දෙයි
අමරේ උඹ බය වෙන්න එපා
උසවියත් අපේ අතේ
අගවිනිසුරු උඩ සාක්කුවේ
නීතිපති මගේ දෙපතුල ළඟ
මහේස්ත්‍රාත් දවසට මට පස් පාරක් වඳිනවා
ඉතින් මක්කටෙයි බය වෙන්නේ
උඹ වැඩේ දීපන්
මරපන්
කොටපන්
ගෙවල් ගිණි තියපන්
ගෑනු දුෂණය කරපන්
උඹටත් ජොලියක් එපැයි
ගෝනවල සුනිල්ලා
සොත්ති උපාලිලා
බැද්දගානේ සංජිවලා
හිටපු මේ රටේ
අමරේට ඉඩක් නැද්ද ?
උඹ බය වෙන්න එපා
මම ලැයිස්තුව දෙන්නම්
උඹ වැඩේ දීපන්
කවදාහරි මම උඹව
කවුන්සලේට යවනවා
උඹල තමයි මේ රටේ ඉන්න ඕනේ
උඹල තමයි මේ රටේ ආත්මය
උඹලා තමයි මේ රටේ ශක්තිය
උඹ බය වෙන්න එපා
අපිටම වැඩ කරපන්
බේබිට වැඩ කරපන්
අපිට එගේන්ස්ට් එන එවුන්ට
ඇඩ්රස් නැතිවෙන්න දීපන්
අමරේ උඹ හොඳ කොල්ලා
ජුලම්පිටියේ වීරයා
අමරේ, මමයි ඇවිත් ඉන්නේ
බය නැතුව එළියට එන්න

කවිකාරගේ බෙල්ල නැති දස්කොන් විසිනි