ටිරාන්ගේ පත්තරේ මාධ්‍ය නිදහස

සිලෝන් ටුඩේ පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලලිත් අලහකෝන් මහතා අසාධාරණ ලෙස සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිහඬ කරවීමට එම පුවත්පතේ අලුතින් පත්වූ ප්‍රධාන කර්තෘවරිය වන හනා ඊබ්‍රාහිම් මහත්මිය බලවත් උත්සාහයක් දරමින් සිටී.

ඊබ්‍රාහිම් මහත්මිය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු භාණ්ඩාගාරිකවරිය වන අතර තවමත් එහි ප්‍රබල සාමාජිකාවක් වශයෙන් කටයුතු කරයි.

අලහකෝන් මහතා සේවයෙන් ඉවත් කිරීමට පසුගිය සතියේ සිලෝන් නිවුස්පේපර්ස් සමාගමේ කළමණාකාරීත්වය කටයුතු කළේ කළමණාකාරීත්වයේ කර්තෘ මණ්ඩල ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට අලහකෝන් මහතා අපොහොසත් වීම නිසාය. එම පුවත්පත් සමාගමේ සභාපතිත්වය දරන්නේ තවමත් පාර්ලිමේන්තුවේ සිය මංගල කතාව වත් පවත්වා නැති ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාය.

අලහකෝන් මහතා සේවයෙන් ඉවත් කිරීමට විරෝධය පා සිලෝන් ටුඩේ පුවත්පතේ ප්‍රවීණ මාධ්‍යවේදීන් සිව් දෙනෙක් සිය ඉල්ලා අස්වීම් ලිපි භාර දුන් අවස්ථාවේ ඊබ්‍රාහිම් මහත්මිය පවසා ඇත්තේ මතුවී තිබෙන තත්ත්වය ගැන තමනුත් කළකිරීමට පත්ව ඇති බවත්, පවතින වගකීම් මත මෙම තීරණයට විරෝධය පා සේවයෙන් ඉල්ලා අස්විය නොහැකි බවත්, අලහකෝන් මහතා යළි ගෙන්වා ගැනීමට තමන් සටන් කරන බවත්ය.

එසේ වුවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන්නේ ඊබ්‍රාහිම් මහත්මිය අලහකෝන් මහතා එළවා ගැනීම සඳහා ටිරාන් අලස් සමග එක්ව ඉතා සූක්ෂමව කටයුතු කළ බවයි. දැන් ඇය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සෙසු නිලධාරීන්ට දිගට හරහට දුරකථන ඇමතුම් දෙමින් ඉල්ලා ඇත්තේ අලහකෝන් මහතාගේ ඉවත් කිරීම සිලෝන් ටුඩේ පුවත්පතේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බැවින් එයට මැදිහත් නොවන ලෙසයි.

මෙයට පෙර පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීම නිසා මව්බිම පුවත්පතේ ශාන්ත විජෙසූරිය මහතා සේවයෙන් පහ කළ විටද ඊට එරෙහිව හඬ නැගීමෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැළැක්වූයේ ඊබ්‍රාහිම් මහත්මියයි.