ඇන්ටන් අයියේ ප.ලි

කියුබාවේ සිටින ශ්‍රී ලාංකිකයෙකු විසින් ඔහුගේ ලංකාවේ හිතවතෙකු වෙත එවන ලද ලිපියකි.

2010.07.22, කියුබාවේ සිට. ජේසු පිහිටයි. හිතවත් ඇන්ටන් අයියා වෙත,

ඉතින් ඇන්ටන් අයියේ මොනවාද අලූත් තොරතුරු?

අපි හොඳින්. ඔයාට ලියන්න කිය කිය හිටියේ. ඒ වුණත් එවන්න විදියක් තිබුනෙ නැහැ. මෙහේ ඉඳන් ලිපියක් එන්නත් ගොඩාක් කල් යනවා. අපිත් හරියටම විස්තර දන්නෙ දැන් ගොඩාක් දේවල් ගැන. මුලින්ම කියන්න ඕනේ අපේ Skype එක වැඩ නැහැ. මෙහෙ රජයෙන් ඒ තරම් ඒවාගෙ දේවල්වලට ඉඩ කඩ දෙනවා මදි. විශේෂයෙන්ම Ambassyවලට. මේ රට ගොඩාක් ආරක‍්ෂා කරනවා මේ රජය විසින්. ලිපිවලින් මේ රට ගැන විස්තර ලියන්න අමාරුයි ඇන්ටන් අයියේ. දවසකට හරි බලන්න රට මේක තමා. හිතා ගන්න අමාරුයි. මේ රජයේ මාර Plan තියෙන්නෙ. අපේ රටවල් එක්ක ගත්තම අපේ රටවල්වල පාලකයින් මොනවද කරන්නෙ කියලා හිතෙනවා.

මුලින්ම කියන්න කැමතියි “සමානාත්මතාවය“ ගැන. හැමෝම එක සමානයි. මන්ත්‍රිවරු, ඇමැතිවරු කියල, ක්‍රීඩකයින්,වෛද්‍යවරු කියලා කිසිම වෙනසක් නැහැ. හැමෝටම ආමන්ත්‍රණය කරන්නෙ කොම්පන්ඤේරු කියලා. ඒකෙ අදහස සහෝදරයා/සහෝදරී කියන එක වගේ තේරුමක්. ලොකු වාහන නැහැ මන්ත්‍රිවරුන්ට. පරණ 1950 ගණන්වල හදපු Car තමා මේ මිනිස්සු තාම භාවිත කරන්නෙ. පරණම පරණ කාර්. හැමදෙනාම සාමාන්‍ය මිනිසුන් වගේ. අපේ ගෙදරට එනවා මන්ත්‍රිවරු අපි ඔයාලා වගේ. ආවාම මාත් වජිරත් එක්ක කතා කරලා Thanksකරනවා කෑම බීම හදලා දුන්නට. පොලිස් ගාඩ් නැහැ තනියම එන්නෙ. ලොකු ගෙවල් දොරවල් නැහැ. ඒ මිනිස්සු හවසට මාළු අල්ලන්න මුහුදු යනවා. හරිම Simple මිනිස්සු.

මේ මිනිස්සු හරි හොඳයි. ගැහැනු අයට හොඳට හොඳින් සලකනවා. වයසක මිනිස්සුන්ට හොඳට සලකනවා. මේ හැම කෙනෙක්ගේ හිතේ ෆිදෙල්, චේ, කියන්නේ දෙවියන් විදියට සලකන්නේ. මේ මිනිස්සු දෙන්නා රටට මාර සේවයක් කරලා තියෙන්නෙ ඇන්ටන් අයියෙ. රජයට විරුද්ධව කවුරුත් කතා කරන්නෙ නැහැ. කාගෙන් ඇහුවත් කියන්නෙ හොඳම තමා. කවුද හොඳ නොකියන්නේ ඇන්ටන් අයියේ ගෙයක් දෙනවා / කන්න දෙනවා / වෛද්‍ය පහසුකම් නොමිලේ / පාසල් ළමයින්ට ඇඳුම්, පොත්, පැන්සල් දෙනවා. මේ රටේ පාලනය හරිම වෙනස් ඇන්ටන් අයියෙ. ඉතාම පොඩි ප්‍රමාණයකට තමා රටෙන් පිටවෙන්න Pass port තියෙන්නෙ. මේ රටෙන් පිටවෙන්න බැහැ. වෙන රටවල්වල ගිහින් අපිට වගේ වැඩ කරන්න බැහැ. මේ රට් අය මේ රටේ ඉන්න ඕන කියන අදහස තමා තියෙන්නෙ. අපේ රටේ වගේ මිනිසුන් අතර ලොකු තරගයක් නැහැ. කවුරුහරි පිටරටකට ගියොත් අනිත් එකත් බලන්නෙ කොහොමහරි යන්න. මොකද අපේ රටේ ආර්ථීකය හොඳ නැහැ. ජීවත් වෙන්න කවුරුත් උදව් කරන්නෙ නැහැ. මෙහෙ වගේ කෑම බීම, ගෙවල් නොමිලේ නැහැ නේ. මෙහෙ මිනිස්සු හරිම සතුටින් කාලය ගෙවනවා. පුදුම විනෝදයෙන් ඉන්නෙ. හම්බ කරන දේ හොඳට වියදම් කරලා. කාලා ඇඳලා ඉන්නවා. මොකද මේ අයට ගෙවල් හදන්න කියලා, ළමයින්ට ඉස්කෝලවලට, ඛෙහෙත් හේත් ගන්න කියලා, දෑවැදි දෙන්න කියලා ඉතුරු කරන්න අවශ්‍ය නැහැ. පුදුම, පුදුම රටක් මේක. අපි අහලා තිබුණට දැකලා තිබුණෙ නැහැ ඇන්ටන් අයියේ. දැන් අපි හොඳට දන්නවා මොකක්ද මේ රට කියලා. අපේ ඇස්වලින්ම මේ දේවල් දකිනවා. අත්විඳිනවා.

ලොකු සැපසම්පත් ලබමින් නෙමේ මෙහෙ ජීවත් වෙන්නේ. මිනිස්සු සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නේ ඉතාම හොඳින්. මානසිකව ලොකු නිදහසකින්. හිතන්න දේවල් නැහැ මේ මිනිස්සුන්ට. අපේ රටවල්වල මිනිස්සු හරියට හිත් වලින් දුක් විඳිනවා. ඉගෙනගත්තා කියලා රස්සාවල් නැහැ. ගෙවල් දොරවල් ප්‍රශ්න. ඒ අතින් මේ රට ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. ලියන්න දේවල් එමට තියෙනවා. අපි ආපුවාම කතා කරමු තව අත්දැකීම් රාශියක් ලැබෙයි කියලා හිතෙනවා.

මේ රට ලංකාව වගේ 12 ගුණයක් ලොකුයිලූ. මෙහෙ ඉඳන් අමෙරිකාවට කිලෝමීටර් 90 යි. හරිම ලස්සන රටක්. වටේ මුහුද ගොඩක් ලස්සනයි. කොළපාට රටක්. ගස්කොළන් ගොඩාක් තියෙනවා. ලංකාවේ තියෙන හැම කහක් කොළක්ම වගේම තියෙනවා. පොල් ගස් ගොඩාක් තියෙනවා. භාෂාව Spanish.ටිකක් අමාරුයි. ඉගෙන ගන්න බලනවා ටිකක්. අවශ්‍ය කරන හැම දෙයක්ම නොමිලේ / ප්‍රවාහන ගාස්තු නැති තරම් අපේ සල්ලි වලින් රු. 2 යි කොහේට ගියත්. ඒකත් කැටයක් තියෙන්නෙ කැමති අය විතරයි දාන්නෙ. කොන්දොස්තරවරු නැහැ.Light/Waterවලට පුංචිම පුංචි ගාණක් ගන්නේ. ඒ මොකද නැත්නම් මිනිස්සු පාලනයක් නැහැ. ඒක නිසාලූ.

හැම දෙනාම රජයට වැඩ කරන්නෙ. මෙහෙ Private කියලා කිසිම දෙයක් නැති තරම්. හැම එකම රජය විසින් පාලනය කරන්නෙ. නිෂ්පාදන අංශවල මිනිස්සු වැඩ කරනවා. ඒ අයට ඩොලර් 20 ක් වගේ තමා පඩි හම්බ වෙන්නෙ. වෛද්‍යවරු / ගුරුවරු / පාර අතුගාන එකා / ගෙවල් හදන එකා / පයිප්ප බාස් / හැම දෙනාටම එකම පඩිය තමා. පොඩි වෙනසක් තියෙන්නෙ වෛද්‍යවරයාට ඩොලර් 2ක් වැඩි වෙයි. / ප්‍රොෆෙසර් කෙනෙක්ට ඩොලර් 1 ක් වැඩිවෙයි.

මෙහෙ මුදල් වර්ග 2ක් තියෙනවා. කියුබන් පෙසෝ කියලයි/CUC ඩොලර් කියලයි. CUC ඩොලර් එකක් කියුබන් සල්ලි වලින් 25 වෙනවා. එතකොට මෙහෙ සාමාන්‍ය මිනිසෙක්ගෙ පඩිය කියුබන් සල්ලි 500 ක් වෙනවා. මේක හොඳටම ඇති මේ මිනිසුන්ට අමතර දේවල් අරන් ජීවත්වෙන්න. සතියකට ඇතිවෙන්න හැම කෙනෙක්ටම කෑම රජයෙන් දෙනවා. කුකුල්මස් පලුවක් / හාල් / සීනි / බෝංචි ඇට / තෙල් / බිත්තර මාර විදියට මේවා පාලනය වෙන්නෙ. පොඩි අයගෙ උපන්දිනවලට Cake එකක් දෙනවා / පොඩි අයට කිරිපිටි නොමිලේ.

මේ රටේ අය මේ රටට ඕන තරම් 100% නෙමේ වැඩි හරියක් දේවල් නිපදවනවා. Cocacola වෙනුවට Tocola කියලා එකක්.Fanta වෙනුවට නාරම් වලින් බීමක් Isprit වෙනුවට දෙහිවලින් බීම එකක්. මාර දක්ෂ මිනිස්සු. බටර් / කිරිපිටි / චීස් හැම දෙයක්ම නිෂ්පාදනය වෙනවා. වෙනසක් නැහැ බීම වර්ග ඒ රසමයි. හාල් එහෙම තියෙනවා. වියට්නාම් වලින් රජය හාල් ගෙන්වනවා. මොකද මෙහෙ මිනිස්සු අපි වගේ බත් තමා වැඩි හරියක් කන්නෙ. මෙහෙ දේශගුණය ලංකාවෙ වගේමයි. ඒත් කුඹුරු කරන්න වගේ ටිකක් අමාරුයි. පොඩි සීතල කාලයක් තියෙනවා. ගොඩාක් සීතල නැහැ. ජනවාරි - මාර්තු වගේ. මේ රටේ නීතිය ගොඩාක් තදයි. වෙළෙඳාම් කරන්නවත් බැහැ. එහෙම කරනවා නම් රජය දැනුවත්ව කරන්න ඕනෙ. රජයට ගෙවන්න ඕනේ ගොඩාක් ලොකු ගාණක්. මෙහෙ Private Bussiness නැති තරම්. වැරදිවලට දඬුවම් හරිම සැරයි. අවුරුදු බර ගණන්වලට හිරේට. කලූ මිනිස්සු, සුදු මිනිස්සු දෙවර්ගයම ඉන්නවා. නිග්‍ර ජාතිකයින් ගොඩාක් ඉන්නවා. ඒ වගේම Spani මිනිස්සුත් ඉන්නවා. කිසිම ජාති භේදයක් නැහැ. හරිම සමගියි. මිනිස්සු කසාද බඳිනවා මිශ්‍රව.

Ravalusion එක පටන් ගත්තු තැන්, ඒ හැම දෙයක්ම, හැම දෙනෙක්ම මාර විදිහට ආරක‍්ෂා කරනවා. චේ, ෆිදෙල් කියන්නෙ දෙවියන් වගේ. ඒ අයගේ Photo හැම තැනම තාප්පවල, හන්දි වල හදලා තියෙනවා.

ඉතින් ඇන්ටන් අයියේ හැම දෙනාම හොඳින් කියලා හිතෙනවා. දැනට අපි නවතිනවා. පසුව ලියන්නම්. අපිට ලියන්න වෙලාවක් ලැබුන ගමන් ආයෙ ලිපියක් එවන්නම්. මේක ලිව්වෙත් හදිසියෙන්. අකුරු තේරෙනවාද දන්නෙත් නැහැ. Photo ටිකක් ගහලා එවන්න. මේ රටේ හොඳ තැන්. ජේසු පිහිටයි ඔයාලාට.

මීට වජිර සහ මාලි

(උපුටාගැනීම - ලංකා ඉරිදා පුවත්පත)


ඇන්ටන් අයියේ ප.ලි

1) මේ රටේ පාලනය හරිම වෙනස් ඇන්ටන් අයියෙ. ඉතාම පොඩි ප්‍රමාණයකට තමා රටෙන් පිටවෙන්න Pass port තියෙන්නෙ. මේ රටෙන් පිටවෙන්න බැහැ. වෙන රටවල්වල ගිහින් අපිට වගේ වැඩ කරන්න බැහැ. මේ රට් අය මේ රටේ ඉන්න ඕන කියන අදහස තමා තියෙන්නෙ. මිනිසුන්ට රටෙන් පිට යන්න නොදී එහෙම හිර කරගෙන හිටියාම මේ රට විවුර්ත සිරගෙයක් වගේ කියල තමයි මිනිසුන්ට හිතෙන්නේ. ඒ නිසා සමහර මිනිසුන් පහුරු හදාගෙන හොරාට මියාමි වෙරළ පැත්තට යනවා. කැස්ත්‍රෝගේ දුවත් මෙහෙන් මාරු උනා.

2) හැම දෙනාම රජයට වැඩ කරන්නෙ. මෙහෙ Private කියලා කිසිම දෙයක් නැති තරම්. හැම එකම රජය විසින් පාලනය කරන්නෙ. නිෂ්පාදන අංශවල මිනිස්සු වැඩ කරනවා. ඒ අයට ඩොලර් 20 ක් වගේ තමා පඩි හම්බ වෙන්නෙ. වෛද්‍යවරු / ගුරුවරු / පාර අතුගාන එකා / ගෙවල් හදන එකා / පයිප්ප බාස් / හැම දෙනාටම එකම පඩිය තමා. පොඩි වෙනසක් තියෙන්නෙ වෛද්‍යවරයාට ඩොලර් 2ක් වැඩි වෙයි. / ප්‍රොෆෙසර් කෙනෙක්ට ඩොලර් 1 ක් වැඩිවෙයි. හැබැයි ඇන්ටන් අයියේ මෙහෙම කාලයක් සිරිමාගේ කාලේ අපේ රටේ තිබ්බා මතකද ? හැම දේම කලේ ආණ්ඩුව. හකුරු හදන එකටත් සංස්ථාවක් තිබ්බා ,හැම දේම කළේ ආණ්ඩුව , ආණ්ඩුවේ හෙන්චයියලා තමයි ආයතන රන් කළේ. මිනිහෙක්ට ස්වාධිනව පොඩි බිස්නස් එකක් කරලා වටේ ඉන්න මිනිසුන්ටත් රස්සා ටිකක් දීලා ඔලුව උස්සන්න විදියක් තිබ්බෙම නැහැ. ඒ කාලේ පුද්ගලික අංශය පණ ඇද්දා. ඒ නිසා එක ආණ්ඩුවේ රස්සාවට දහස් ගණන් වට උනා. මන්ත්‍රීවරු තානායම් වල පත්වීම් දුන්නා. අපේ ආර්ථිකය ඒ කාලේ කොපමණ වැටිලද කියනවනම් පාන් ගෙඩියක් ගන්න පැය තුනක් පෝලිමේ ඉන්න ඕනේ . ගෑනිට චීත්ත රෙද්දක් ගන්න වරුවක් නිවාඩු දාන්න ඕනේ.

3) හැබැයි වෛද්‍යවරු / ගුරුවරු / පාර අතුගාන එකා / ගෙවල් හදන එකා / පයිප්ප බාස් / හැම දෙනාටම එකම පඩිය දුන්නම මිනිසුන් උදාසීන වෙනවා , එතකොට සමාජයේ ඉදිරි ගමනක් නැහැ

4) සතියකට ඇතිවෙන්න හැම කෙනෙක්ටම කෑම රජයෙන් දෙනවා. කුකුල්මස් පලුවක් / හාල් / සීනි / බෝංචි ඇට / තෙල් / බිත්තර , කිව්වට මොකද මේවා දෙන්නේ සලක ක්‍රමයට ඉස්සර අපේ රටේ සමුපකාරෙන් කරෝල දුන්නා වගේ කාඩ් එකට.

5) කියුබාව ලංකාවට වඩා ඉදිරියෙන් ඉන්න රටක් බව ඇත්ත , නමුත් කියුබාව ස්වර්ගය නොවේ , ඒ රටෙත් අපේ රටේ වගේ ආණ්ඩුවට විරුද්ධව ලියන මාධ්‍යවේදීන් හිරේ විලංගුවේ දානවා. ඇන්ටන් අයියේ මේ ටික මම ප.ලි වලට ඇතුළු කළේ කියුබාව මාර රටක් තමයි ලංකාවත් ඒ වගේ සමාජවාදී මාවතේ යන්න ඕනේ කියන රතු කමිසකාරයන් ට සත්‍ය වටහලා දෙන්න. කාලයක් මේ අය අපිට සෝවියට් දේශය , නැගෙනහිර ජර්මනිය ගැන ඔය වගේ කතා කිව්වා මතකද ? . ඒ රටවල මිනිසුන්ටත් තමන්ගේ රටේ තිබ්බ ක්‍රමය එපා වෙලා ඒක විසිකරලා දැම්මා. දැන් අපේ රතු කමිසකාරයන්ට ඉතුරු වෙලා තියෙන්නේ කියුබාව විතරයි. ඒකත් තව ටික කාලයයි. අපිට ඇමරිකන් ක්‍රමයෙනුත් වගතුවක් නැහැ, සෝවියට් ක්‍රමයෙනුත් වගතුවක් නැහැ කියුබන් ක්‍රමයෙනුත් වගතුවක් නැහැ. අපි අපේ සම්පත් අපේ හැකියාවන් කුසලතා අනුව රටට සුදුසු ආර්ථික ක්‍රමයක් හදා ගත යුතුයි. නමුත් අපේ දේශපාලකයන් මේ රට ඉහගෙන කන ක්‍රමයට අපේ රට හෙට අනිද්දා සෝමලියාවක් නම් වෙයි. ඒක නම් සහතිකයි.