KFC රසිකාවකට ආහාර විෂ වීම හේතුවෙන් KFC එකට වන්දි ගෙවීමට නියමයක්


l කිෂානි වැලිවිටිගොඩ

වාර්තමානයේ කාලය කළමනා කර ගැනීම සඳහා කාර්ය බහුල ජීවිත ගත කරන බොහෝ දෙනෙක් ක්ෂණික ආහාර පාරිභෝජනයට ගැනීමට පුරුදුව සිටිති. එහෙත් ක්ෂණික ආහාර නිසා තම ජීවිතය අවදානමකට පත් වේ නම් එය ඉතාම අවාසනාවන්ත සිද්ධියකි. ලොව පුරා විහිදී ඇති ප්‍රමුඛ පෙලේ අවන්හල් ජාලයක් වන KFC ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට ආසන්නයේ ස්ථාපිත කර ඇති KFC අවන්හලෙන් කුකුල් මස් සහිත කෑම ආහාරයට ගත් මොනිකා සමාන් නමැති ගැහැණු ළමයෙකුට ආහාර විෂ කරවන සැල්මොනෙල්ලා බැක්ටීරියාව අසාදනය වීම හේතුවෙන් ඇයගේ මොළයට දැඩි ලෙස හානි සිදු වී තිබේ. ඇය මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුයේ 2005 වසරේදීය. ආහාර විෂ වීම නිසා මොළයට සිදු වී ඇති හානිය හේතුවෙන් කතා කිරීමට නොහැකියාව මෙන්ම ඇයට දැන් ඇවිදීමට නොහැකිව රෝද පුටුවක ආධාරය පැතීමට සිදු වී ඇත.

මෙම තත්වය සම්බන්ධයෙන් පසු ගියදා පැවති නඩු විභාගයේදී සවුත් වේල්ස් හි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් KFC අවන්හලට මොනිකාගේ පවුලට ඩොලර් මිලියන 8.3 ක වන්දි මුදලක් ගෙවීමට නියම කර තිබේ. කෙසේ වෙතත් KFC අවන්හලේ කළමනාකරු අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද තීන්දුව සම්බන්ධයෙන් දැඩි ලෙස බලාපොරොත්තු කඩ වී ඇති බව සහ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන බවත්ය.