SPECIAL INTERVIEW: ඇයි මේ තාමත් චන්ද්‍රිකාට පරක්කු වෙන ලෙඩේ තියෙන්නේ ? -

ෆොන්සේකා මැතිතුමාත් ආණ්ඩුවෙන් දෙන දෙයක් කාලා, ජනාධිපති ජේෂ්ඨ උපදේශකත්වයක් හරි, තානාපති තනතුරක් හරි භාරගෙන පැත්තකට වුණානම් ඔහුට මෙවැනි හිරිහැර, අතවර කිසිම දෙයකට මුහුණපාන්නට සිද්ධ වෙන්නේ නැහැ. ඔන්න ඕකයි සත්‍යය.
| සුනාලි රත්නායක - ලොස් ඇන්ජලීස් - පෙබරවාරි 2012 :

( February 06. 02. lankaguardian.com) එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සමග, ලොස් ඇන්ජලීස් නුවර සිට සුනාලි රත්නායක විසින් මෙහෙයවූ නවතම පුර්ණ සම්මුඛ සාකච්චාවක් මෙතැන් සිට :-
S.R.
01) - හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 2012 ජනවාරි 17 මාධ්‍ය හරහා ප්‍රකාශයක් කර තිබුණා, එතුමිය ඔබහට කල ප්‍රකාශයක් පිළිබඳව ඔබ වැරදි අර්ථකතනයක් දී තිබුණු බවට.
"හොඳ නායකයෙක් සිටිනවානම් ආණ්ඩු පෙරලන හැටි මම කියා දෙන්නම්," කියා ඈ ප්‍රකාශ කළ බව ඔබ කී බවත්, ඇය පැවසුවේ එසේ නොව, නමුත් ඇය පැවසුවේ "ප්‍රජාතන්ත්‍රවාදය තහවරු කිරීමට අවශ්‍ය වන්නේ බලවත් විපක්ෂයක්" බවත්, ආණ්ඩු තැනීමේ හෝ නැසීමේ කර්තව්‍යයන්හි ඇය වර්තමානයේ නියැලී නොසිටින බවත්, ඔබව දෙවතාවකට වඩා මුණගැසී නොමැති බවත් ඇය එම මාධ්‍ය ප්‍රකාශය හරහා කියා සිටියා.
ඇගේ මෙම ප්‍රකාශය පිළිබඳව ඔබට කීමට ඇත්තේ කුමක්ද ?



B.P.
පලවෙනි කාරණය මේකයි. මාධ්‍ය වාර්තාව පළවුණේ ගිය සතියේ සිකුරාදා (ජනවාරි 13). ඇය එම වාර්තාව නිවැරදි කිරීමට මැදිහත් වෙන්නේ අඟහරුවාදා (ජනවාරි 17). සිකුරාදාට දවස් 4 කට පසුවයි. දැන් එතුමිය කියනවා ඇය මා සමග එසේ නොකියූ බව. මා තරයේම කියා සිටිනවා මාධ්‍ය වල පලවූ වාර්තාව අකුරක් නෑර එතුමිය මට කියා සිටි වග. එතුමිය එසේ කිව්වද නැද්ද කියා ඕනෑම සංවාදයකට අවතීර්ණ වීමට මා ලෑස්තියි.
මට පෙනෙන විදියට, විශ්‍රාම ගිහිනුත් එතුමියට පරණ අසනීප දෙකක් සුව වී නැහැ. සිකුරාදා පළවුණු මාධ්‍ය වාර්තාවට පිළිතුරු දෙන්නේ අඟහරුවාදා. ඇයි මේ තාමත් පරක්කු වෙන ලෙඩේ ? ජනාධිපති වී සිටින සමයේත් එතුමියට මේ පරක්කු වෙන ලෙඩේ අඩු වැඩි වශයෙන් තිබුණා. මා සිතන ආකාරයට, එතුමිය මෙසේ ප්‍රමාද වී පිළිතුරු දෙන්නේ, ඇතැම් විට එතුමියට යම්කිසි තර්ජන, ඝර්ජන ඇතිවුනාද දන්නේ නැහැ, ඇතැම් විට එතුමියගේ ආරක්ෂාවවත් අඩු කරනවා කියල.

දෙවෙනි කාරණය, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගැන වරක් ඇගේ සොහොයොරු අනුර බණ්ඩාරනායක මහතාම කියා සිටියා "අපේ අක්කට පුංචි කාලේ ඉඳලම තිබුණු අසනීපයක් තමයි, මේ දෙයක් කියල, මේ කිව්වේ නැහැ කියන එක," කියලා.
එ. ජා. ප. වරක් කුමාරතුංග මහත්මියට විරුද්ධව ගෙන ආ පාඨය තමයි ; "පච මල්ල පන්නමු" කියන එක.
ඒ වගේම 2002 - 2004 එ. ජා. ප. ආණ්ඩුව සමයේ, වරක් ඇය හිටපු කථානායකතුමා ජෝසෆ් මයිකල් පෙරේරා මැතිතුමාට ලිඛිතව ප්‍රකාශ කරලා තිබුණා, මොනම හේතුවක් නිසාවත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නැහැ කියා. ඉතිං එහෙම කථානායකතුමාට කියලා, පාර්ලිමේන්තුව විසුරුවා හැරපු නෝනා, දැන් මේ මට කියපු දේ කිව්වේ නැහැ කියා මාධ්‍යට ප්‍රකාශ කරන එක අරුමයක් නොවේ.
අනික මේ රටේ ජනතාව දන්නවා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියද බොරු කියන්නේ, බුද්ධික පතිරණ ද බොරු කියන්නේ කියලා. මට බොරු කියලා ලබාගන්න දෙයක් නැහැ. මම මොනවා ලබාගන්නද ?


S.R.
02) - පසුගිය කාල වකවානුව තුල ඔබ රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව විශාල හඬක් නැගුවා. ඒ සජිත් ප්‍රේමදාස මහතා සමග එක්වී.
නමුත්, වර්තමානයේ මෙන්ම මීට මද කලක සිට ඔබ මේ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරනු දක්නට ලැබුණා.
ඊට අමතරව, ආරංචි මාර්ග පවසන පරිදි, ඔබ මෑතකදී සිදු කරන ලද විදෙස් සංචාර ආරම්භ කිරීමට පෙර, සමාව අයැද, වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකළ බව වාර්තා වෙනවා. මෙහි සත්‍ය අසත්‍ය තාවය පිළිබඳවත්, සමස්තයක් වශයෙන් මේ ක්‍රියාදාමයන් පිළිබඳවත් ඔබට අද දින පැවසීමට ඇත්තේ කුමක්ද ?


B.P.
කිසිම ආකාරයක සමාව ගැනීමේ ලිපියක් මා යොමු කොට නැහැ. සමාව ගැනීමට වැරදි කරලා නැති නිසා සමාව ගැනීමට අවශ්‍යතාවයක් නැහැ. නමුත් මහලේකම් තුමා ප්‍රකාශ කරා, දෙපාර්ශවයටම අගතියක් සිදු නොවන ආකාරයට, දෙපාර්ශවයේම ආත්මගෞරවය රැකෙන පරිද්දෙන් මෙම විනය පරීක්ෂණ ක්‍රියාදාමය අවසන් කරමු කියා.
එයට අදාලව යම් යම් ලිපි හුවමාරු වුවත්, ඒ කිසිදු ලිපියක සමාව ගැනීමේ සඳහනක් සිදුවී නැහැ. පක්ෂයේ මහලේකම්තුමා මට කිව්වෙත් නැහැ සමාව ගත යුතුයි කියලා. ඉතින්, මමත් පැහැදිලිවම දරන මතය තමයි සමාව ගැනීමට මා වරදක් කර නොමැති බව.

ඔය විනය පරීක්ෂණ චෝදනාව උද්ගත වුණු ස්වාධීන කණ්ඩායම සඳහා මා මොනම ආකාරයකවත් උදව්වක් කරලා නැහැ.

තව කාරණයක් තමයි, රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව පමණක් නොවේ මගේ විවේචනය තිබුණේ. ඔහුට විරුද්ධව නොවේ මා හඬ නැගුවේ. මා හඬ නැගුවේ එ. ජා. ප ආණ්ඩුවක් බිහ්කරගනීම උදෙසා ඉහල සිට පහළටත්, පහල සිට ඉහළටත් සිරස් සහ තිරස් ප්‍රතිසංවිධානයක් සිදුවීම හරහා එ. ජා. ප. ආණ්ඩුවක් ගෙන ඒම සම්බන්ධයෙන් පමණයි.
වර්තමාන ආණ්ඩුව තුල මේ වනවිටත් සිදුවී තිබෙන, තවදුරටත් සිදුවෙමින් පවතින දුෂණ, වංචා, අකටයුතුකම් උවමනාවටත් වැඩියි. ඉතින් එවැනි තත්වයක් යටතේ මෙම දුෂිත රජය පෙරලා දමන්නට අපහට උවමනාවටත් වඩා සාධක සහ හැකියාව තිබෙන නිසා, ඒ වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග වෙනුවෙනුයි මම හඬ නැගුවේ.

ඊළඟ කාරණය තමයි, පසුගිය කාලයේ එහෙම හඬ නගලා, ඊට පසුව මම නිහඬ වී සිටියාද යන්න. අපි සාමාන්‍ය පාලිමේන්තු මන්ත්‍රීවරුණේ. අපි විදේශගත වුනහමයි (මම දවස් 18ක් ලංකාවේ හිටියේ නැහැ), එත් එක්කම අපේ විපක්ෂනායකතුමා, ජනාධිපතිතුමා, අගමැතිතුමා වැනි පුද්ගලයින් විදේශගත වුනහමයි ඒ දෙක දෙආකාරයි. ඔවුන් විදේශගත වූ විට, ඒම විදේශ තුල ඔවුන් නිරථවූ ක්‍රියාකාරකම් වලටත් පුළුල් ප්‍රචාරයක් ලාංකේය මාධ්‍ය හරහා ලබා දෙනවා. අපි තාම "පොඩියන්ස්" ලානේ. ඉතින්, අපි විදේශගත වුණහම ඒ රටවල් තුල මුණගැසෙන ජනතාව, සිදුකරන දේශපාලන ක්‍රියාකාරකම් වැනි කිසි දෙයකට මාධ්‍ය අවධානය යොමු වෙන්නේ නැහැ.
නමුත්, මීට කලිනුත් මා විදේශ ගතවී, මීටත් වඩාකල් විදේශවල ගතකොට තිබෙනවා. හැබැයි ඒ කිසිම අවශ්තාවකදී "කෝ බුද්ධික පතිරණ නැහැනේ.... නිහඬයි නේ" වැනි මත ලංකාවේ ඇතිවුනේ නැහැ.

මටත් හිතාගන්න බැහැ මෙවර විදේශගත වනවාත් සමගම ඇයි මෙවැනි තත්වයක් උද්ගත වුනේ කියලා. මගේ තත්වය උසස් වුනාද ? එහෙමත් නැතිනම් මගේ කටහඬ අහන්නේ නැතුව ලංකාවේ බහුතරයකට ඉන්න බැරි ප්‍රශ්නයක් වුනාද ? මටත් හිතාගන්න බැහැ.
මම නිහඬ නැහැ. මම කවදත් හරි දෙයට හරි කියන, වැරදි දෙයට වැරදියි කියා කෙලින්ම කියන අරගලය තුල සිටිනවා. දකුණේ අපිට මේ අරගලය, විප්ලවය හොඳට පුරුදුයි.

S.R.
03) - මේ ප්‍රශ්නෙට ඍජු පිළිතුරක් දෙන්න. ඒ කියන්නේ තනි වචනේ පිළිතුරක් නෙමෙයි, එත් හිතට එකඟව අවංක ප්‍රකාශයක්.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා පක්ෂ නායකයා වී සිටීම පක්ෂයේ ජයග්‍රහණයට කුමන හෝ ආකාරයක බාදාවක් ලෙස ඔබ දකිනවාද ?

B.P.
රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය යටතේ අපි අවුරුදු 17ක් ඉදිරියට ගිහින් තිබෙනවා. මෙම අවුරුදු 17 තුල වගකිවයුතු ප්‍රතිශතයකින් පක්ෂයේ චන්ද පහත වැටී තිබෙනවා. ඒනිසා මා කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට
මෙම පක්ෂය තුල යම් සාධාරණ වගකිවයුතු තනතුරක් දැරීමට අවශ්‍යනම්, එතුමාගේ අභිලාශය පිළිබඳව මට ප්‍රශ්නයක් නැහැ. මා කියන්නේ, මෙම පක්ෂය තුල, දක්ෂතාවය, හැකියාව, කුසලතාවය තිබෙන, ජන පදනමක් තිබෙන, ජන විඥානය හඳුනන නායකයෝ ගණනාවක් සිටිනවා. "ඒ නායකයන්ට අවස්ථාව දෙන්න."

මම මා ගැන කියන්න කැමති නැහැ. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා, මේ රටේ ජනතාව දන්නවා, පහුගිය මැතිවරණයෙන් වික්‍රමසිංහ මැතිතුමාට පමණක් දෙවෙනි වන මනාප සංඛ්‍යාව ලබාගත්තේ දයාසිරි මන්ත්‍රීතුමා.
යම් දිස්ත්‍රික්කයක මනාප සංඛ්‍යාව අරගෙන ප්‍රතිශතයක් හැදුවොත්, අංක එක - සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා, අංක දෙක - මේ කතාකරන බුද්ධික පතිරණ. අපි කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් එළියේ.

ඉතින්, මම අහන්නේ, මෙම පක්ෂය ඉදිරියට යන්න ජන පදනමක් නැති උදවියත් එක්ක පුළුවන්ද ? ජනතාව ආමන්ත්‍රණය කිරීමට ජන පදනමක් නැති අය එක්ක පුළුවන්ද ? අන්න ඒ නිසා ඔබගේ ප්‍රශ්නයට කෙටි පිළිතුරක් දෙන්න අමාරුයි. කෙටි පිළිතුරක් දුන්නොත්, ඒ කෙටි පිළිතුර අවස්ථාවාදීන් විනය පරීක්ෂණයක් සඳහා පාවිච්චි කරනවා. ඒ නිසා ඉතා පැහැදිලිව මම කියන්න ඕනේ, එ. ජා. ප. තුල පැහැදිලිවම යම් වෙනස්කම් සිදුකරගත යුතුව තිබෙනවා. ඒ සියල්ල පක්ෂයේ ජයග්‍රහණය, පාක්ෂිකයාගේ ජයග්‍රහණය සහ ඒ තුලින් රටේ ජයග්‍රහණය උදෙසායි.

S.R.
04) - ඔබ ප්‍රකාශ කරලා තිබුණා (ජනවාරි 17 වනදා), එ. ජා පක්ෂයේ ප්‍රතිසංවිධාන තත්වයන් පිළිබඳව ඔබ දරන මතයේ කිසිඳු වෙනසක් නොමැති බව. ඒ වගේම, පක්ෂයේ මහා ලේඛම් තිස්ස අත්තනායක මහතා පවසල තිබුණා, ඔබත් පක්ෂයත් අතර යම්කිසි එකඟත්වයක් තිබෙන බවත්, එය පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත්. මේ එකඟත්වය කුමක්ද ?


B.P.
දැන් මෙහෙමයි. මෙම විනය පරීක්ෂණය තිබෙන්නේ ප්‍රතිසංවිධාන අරගලය සම්බන්ධව නොවේ.
මෙම විනය පරීක්ෂණය ආවේ, පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මාතර මහ නගර සභාවට ස්වාධීන කණ්ඩායමකට මම සහයෝගය දැක්වූවා කියන කාරණය මතයි. මා එසේ සහාය නොදැක්වූ බවට මා ප්‍රකාශයක් කරලා, ඒ පිළිබඳව එකඟත්වයක් ඇති වුණා. ඒ විනය පරීක්ෂණය පිලිබඳ කාරණය.

පක්ෂයේ ප්‍රතිසංවිධාන කාරණය මෙම විනය පරීක්ෂණ කාරණයෙන් බැහැරයි. ඒ දෙක කාරණා දෙකක්. ඇතැමුන් මේ වනවිටත් සිදුකොට ඇති පරිදි, මේ දෙක පටලවා ගත යුතු නැහැ.

S.R.
05) - සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් මෑතකදී අත්සන් 25,000 ක් ඒකාසු කරගෙන, ඔහුගේ දියණිය අප්සරා, ධවල මන්දිරය වෙත ඉදිරිපත් කල පෙත්සම සම්බන්ධයෙන් ඔබ දරන අදහස් මොනවාද ?
a) - එය ප්‍රායෝගිකද ? b) - ඔහු නිදහස් කරගැනීම සම්බන්ධයෙන් එය යම් දුරකට හෝ පලක් වෙයිද ?


B.P.
ඉතා පැහැදිලිව කිව යුතුයි, සරත් ෆොන්සේකා මැතිතුමා පිළිබඳව අරගලය ජාතික, ජාත්‍යන්තර තලයට යා යුතුයි. ජාතික තලයේ පළාත්, දිස්ත්‍රික්, ග්‍රාමීය දක්වා යා යුතුයි. ඒ මන්ද යත්, ඔහුට මෙම අතවර සියල්ලක්ම සිදුවුනේ, ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට විරුද්ධව 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම යන කාරණාව මතයි. මෙය ඉතා පැහැදිලියි.

ෆොන්සේකා මැතිතුමාත් ආණ්ඩුවෙන් දෙන දෙයක් කාලා, ජනාධිපති ජේෂ්ඨ උපදේශකත්වයක් හරි, තානාපති තනතුරක් හරි භාරගෙන පැත්තකට වුණානම් ඔහුට මෙවැනි හිරිහැර, අතවර කිසිම දෙයකට මුහුණපාන්නට සිද්ධ වෙන්නේ නැහැ. ඔන්න ඕකයි සත්‍යය.

ඒ නිසා, මෙය තනිකරම දේශපාලන පළිගැනීමේ ක්‍රියා පටිපාටියක්. ඒ නිසා, ජාත්‍යන්තරයේ සිට ශ්‍රී ලංකාවේ සියලු තල දක්වා මෙම අරගලය අඛණ්ඩව ගෙන යා යුතුයි. ඔහු නිදහස් කර ගැනීම දක්වා මෙම අරගලය ගෙනා යා යුතුයි. වර්තමාන ශ්‍රී ලංකා රජය ජෙනරාල් ෆොන්සේකාව කවදාවත් එලියට දමන බවක් පේන තෙක් මානයකවත් නැහැ.

S.R.
06) - විදේශයකට, රට අභ්‍යන්තරයේ ප්‍රශ්න නිකුත් කිරීම තුලින් රටට (ශ්‍රී ලංකාවට) අවාසිදායක තත්වයක් උද්ගත විය හැකි යයි ඔබ විශ්වාස කරනවාද ?

B.P.
මා හිතන්නේ ජාතික රාජ්‍යයන්ගේ සීමා, මේ ගෝලීයකරණය නැතහොත් ගෝලීය යතාර්ථය තුල දියවෙලා තියෙනවා. ඒ තත්වය තුල අද ලෝකයත්, ලංකාවත් දෙකම එකම තලයක තිබෙන්නේ.

මට මතකයි 1987, 1990 වකවානුවේ ඇතිවුන තත්වයට මුහුණදෙන්නට, එවකට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ භීෂණය සම්බන්ධයෙන්, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජිනීවා දක්වා ගියා. ඔහු ගෙනගිය ජායාරූප, පත්‍රිකා ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගත්තා. නමුත්, ඔහු ඒ සියල්ල රැගෙන ගියා.

ඉතින් ඒ නිසා, රට තුල අපහට දේශීය තත්වයෙන් යම්කිසි සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැතිනම්, ජාත්‍යන්තරයට යන එක ගැටළුවක් නෙමෙයි. හැබැයි බොරුවට ජාත්‍යන්තරයට යන එක තව දෙයක්. ඒ කියන්නේ, රට තුල සැබෑ සිද්ධියක් නොමැතිව, අපි ජාත්‍යන්තරයට යම් යම් සිද්ධි මවාපානවානම් එය රට සම්භන්ධයෙන් සිදුකරන භයානක බරපතල දුෂ්ට ක්‍රියාවක්.
නමුත් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ සිද්ධිය ඒ සන්ඝර්භයෙහි ලා සැලකිය නොහැකි බව මගේ විශ්වාසයයි.

S.R.
07) - එම ධවල මන්දිර පෙත්සමේ අත්සන් අතර මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, ගෝටාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ තවත් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් මෙන්ම හිතවතුන් ගේ නම් ද දක්නට ලැබුණ බව වාර්තා වුණා. තවද, එකම නම යටතේ අත්සන් පහකට ආසන්න සංක්‍යාවක් දක්නට ලැබුණා. මේ අනුව බලන කල, මෙම අත්සන් වල විනිවිද භාවය ගැන ඔබ මොකද හිතන්නේ ?


B.P.
ඇත්ත වශයෙන්ම එවැනි තත්වයක් තිබීම කනගාටුදායක තත්වයක්. නමුත් අපි සලකා බැලිය යුතු කාරණයක් තමයි, මේ දේ සිදුකරේ උන්මත්තකයෝද, එසේත් නැතිනම් රජය විසින්ම යොදවපු කඩාකප්පල්කාරී සංවිධායක පිරිසක් විසින් මේ ආකාරයට අත්සන් දැමුවාද යන කාරණය. දැන්, ඔබේ අත්සන, මගේ අත්සන අපි දෙදෙනාට විශ්වාසයි.

නමුත් අපි හිතමු X කියන පුද්ගලයට පුළුවන් රජයේ නියෝජිතයෙක් හැටියට ඇවිත් මෙම අත්සන් ලේඛනයේ පස් පොලක අත්සන් තබන්නට. ඉන්පසු ඔහුටම රජය හරහා පැමිණ ඉස්මතුකළ හැකි කරුණක් තමයි, "මෙන්න එක පුද්ගලයෙක් පස් වතාවක් අත්සන් කරලා තියෙනවා," කියන කාරණය .

අත්සන් කරපු පුද්ගලයාම මෙය ඉස්මතු නොකරන්න පුළුවන්. රජය විසින් මෙය මතුකරන්න පුළුවන්. නමුත් කවුරුහරි පුද්ගලයෙක් යොදවලයි මෙය කරවන්නේ.

ඒ වගේම මෙය රජයේ කඩාකප්පල්කාරී ක්‍රියාවක්නම්, එසේ රජයෙන් යොදවපු පුද්ගලයට හැකියාව තිබෙනවා, මහින්ද, ශිරන්ති, නාමල්, ඝෝටාභය යනාදී වශයෙන් අත්සන් නිකුත් කරන්න.
මම මේ ක්‍රියාව දකින්නේ කඩාකප්පල්කාරී සැලසුම් සහගත ක්‍රියාවක් විදියටයි. මම එයට විරුද්ධයි.


S.R.
08) - ඔබ හිතන විදියට, මේ මෑතකදී එක්සත් ජාතික පක්ෂ සිරිකොත භූමියේදී සිදුවූ ගැටුම් වලට මුල් වූයේ කිසියම් පාර්ශ්වයක පිරිසක්ද ? එසේනම්, ඔබ දන්නා තරමින්, ඒ කාගේ පාර්ශ්වයේ පිරිස් විය හැකිද ?

B.P.
සිරිකොත මුලස්ථානයේ සිදු වූ ඒ සිදුවීම, සිදු නොවිය යුතු කනගාටුදායක සිද්ධියක් හැටියටයි මා දකින්නේ. එ. ජා. ප. කියන්නේ අපි කාගේත් මහගෙදර. සිරිකොත අපේ පක්ෂයේ මුලස්ථානය. ඒ නිසා, මෙතන කවුරුහරි කෙනෙක් පහරදෙනවානම්, එය ඉතාම ශෝචනීය තත්වයක්. ඒ පහරදීම මම කොන්දේසි විරහිතව හෙලා දකිනවා. මෙය සංවිධානාත්මකව එක පාර්ශවයක් හෝ තවත් පාර්ශවයක් විසින් සිදුකරන ලද්දක් නොවේ.

එදින එ. ජා. පක්ෂයේ නායකයින් කිහිප දෙනෙකු තෝරාගැනීම සඳහා චන්ද
විමසීමක් තිබුණා. මේ අවස්ථාවේදී පාක්ෂිකයෝ සිරිකොත භුමියේ සිටියා. ඒ වගේම භුමිය තුල රැදී සිටි ඇතැම් සංවිධානාත්මක චන්ඩි රතිඥා පත්තු කිරීම දක්වා ගිය ප්‍රකෝපකාරී ක්‍රියාව තමයි අවසානයේදී ඔය අවාසනාවන්ත තත්වය දක්වා ගමන් කළේ.

සාමාන්‍යයෙන් අලුත් නායකයෙක් තේරී පත්වනවිට අපි සාමයෙන් කිරිබත් කනවා. පාක්ෂිකයෝ සතුටු වෙනවා. නමුත් මෙතනදී සිදුවුනේ එහි අනිත් පැත්ත. එය ඒ මොහොතේ සිදු නොවිය යුතු අවාසනාවන්ත සිද්ධියක් විදියටයි මා දකින්නේ.

S.R.
09) - මෛත්‍රි ගුණරත්න, ශිරාල් ලක්තිලක, සහ රවී ජයවර්ධන අත් අඩංගුවට ගැනීමට හේතු වූයේ කුමක්ද? එහි යටි දේශපාලන අරමුණු තිබුණා කියා ඔබ හිතනවාද ?


B.P.
අධිකරණ ක්‍රියාමාර්ගයක් නිසා වැඩි වශයෙන් ඒ සම්බන්ධයෙන් මට කතා කරන්න බැහැ. නමුත්, මේ අත්අඩංගුවට ගැනීම නම් එතරම් සාධාරණ නැහැ කියන එකයි මාගේ විශ්වාසය.
මෙම අත්අඩංගුවට ගැනීම තුලා මා දකින්නේ දේශපාලන පලිගැනීමක් මෙන්ම දේශපාලන කොන්ත්‍රාත්තුවක් ඉෂ්ට කිරීමක් ලෙසයි.

S.R.
10) - මේ වන විට වගකිවයුතු කාල පරාසයක් තිස්සේ ඔබ නියෝජනය කරන එ. ජා. ප., සැලකිය යුතු තරමේ කඩා වැටීමකට ලක් වී ඇති බව ඔබ පිළිගන්නවාද ? නැත්නම්, මාධ්‍ය මගින් උලුප්පන තරම් අර්බුදයක් පක්ෂය ඇතුලේ නැද්ද ?


B.P.
ඇත්ත වශයෙන්ම එ. ජා. ප. දුර්වල වෙලා තිබෙනවා. මම උදාහරණයක් කියන්නම් - 1999 මාතර දිස්ත්‍රික්කයේ අපේ විපක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරු හත් දෙනෙක් සිටියා. 2004 මුලින්ම පළාත් සභාවට ඉල්ලන වෙලාවේ එය හය දක්වා අඩු වුණා. පසුගිය පළාත් සභා මැතිවරණයේදී එය පහ දක්වා අඩු වුණා. එය වසරින් වසර පෙන්නුම් කල එ. ජා. පක්ෂයේ චන්ද පදනමේ පැහැදිලි බිඳවැටීමක්. එය අප කාටවත් ප්‍රතික්ෂේප කල නොහැකියි. ඒ සඳහා විකල්ප සකස්කර ගැනීමයි අප කල යුතුව තිබෙන්නේ.


S.R.
11) - දැනට කාලයක් තිස්සේ පවතින, යම් තාක් දුරට හෝ පිටට පෙන්නුම් කරන පක්ෂ අර්බුදයට ප්‍රධාන හේතුව හෝ හේතුන් ලෙස ඔබ දකින්නේ කුමක්ද ?
a) - "නායකත්වය" මෙම අර්බුදයට හේතුවක් ලෙස ඔබ තාමත් දකිනවාද ?
b) - ඊට 'ක්‍රියාත්මක කල හැකි විසඳුම්' ලෙස ඔබ ඉදිරිපත් කරන විශේෂ කරුණ කාරනා තිබේද ?


B.P.
පක්ෂයේ නායකත්වය කිව්වහම එය හරියට බල්බ් එකක් වගෙයි. ජාතික තලයේ, පළාත් තලයේ, දිස්ත්‍රික් තලයේ නායකයෝ සිටිනවා. ඒ නිසා මෙහිදී නායකත්වය පිළිබඳ කාරණය ඉතා පැහැදිලිව සඳහන් කල යුතුයි. එක්කෙනෙකුගේ දෙදෙනෙකුගේ ඔළුගෙඩි මාරු කිරීම තුලින් එ. ජා. ප. ජයග්‍රහණය කරවන්න බැහැ.

ඉහල සිට පහල දක්වාත්, පහල සිට ඉහල දක්වාත් සිරස් සහ තිරස් ප්‍රතිසංවිධානයක් අවශ්‍යයි. සෑම තලයකම බරපතල ප්‍රතිසංවිධානයක් සිදුවිය යුතුයි. ප්‍රතිසංස්කරණය කියන්නේ හුදු ඔළුගෙඩි මාරු කිරීමකට වඩා එතනින් සැහෙන්න එහාට ගිය කාරණාවක්, කටයුත්තක්.
විසඳුම් ලෙස බොහෝ දෑ සිදු කල යුතුව තිබෙනවා.

a) - පක්ෂ මුලස්ථානය නවීකරණය සහ ශක්තිමත් කිරීම.
b) - පක්ෂයේ ගම මට්ටමේ, බිම් මට්ටමේ ශාඛා, යොවුන්, ලක් වනිතා සංවිධාන ගොඩනැගීම සහ එම සංවිධාන ඉහල සිට පහල දක්වාත්, පහල සිට ඉහල දක්වාත් අඛණ්ඩ දම්වැලක ස්වරූපයෙන් ඒකාබද්ධ කිරීම.
c) - ප්‍රචාරක සහ මාධ්‍ය ක්‍රමවේදය විධිමත් කිරීම. දේශපාලන අධ්‍යාපන වැඩපිළිවෙල පක්ෂය තුලා දැනට ඉතාමත්ම අඩු බලයක් තිබෙන අංශයක්. මෙය ශක්තිමත් කොට නගා සිටුවිය යුතුයි.
d) - පක්ෂයේ මූල්‍ය කළමනාකරණය, මූල්‍ය විනය විධිමත්ව, ක්‍රමවත්ව, පිරිසිදුව පවත්වාගෙන යා යුතුයි.
e) - විපක්ෂයේ සිටින පාක්ෂිකයාට, තරුණ තරුණියන්ට, කාන්තාවන්ට, සුභසාධන වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතුයි.
f) - පක්ෂයට අනුබද්ධිත සංවිධාන, භික්ෂුන්, වෘතිය වේදීන්, ගොවි සංවිධාන, අසංයුක්ත කණ්ඩායම්, කලාකරුවන්, ත්‍රිරෝද රථ රියදුරන්, ආයුර්වේද වෛද්‍ය වරුන් යනාදී වශයෙන් මේ සෑම ක්ෂේත්‍රයකම සංවිධාන ඒකාබද්ද කර විධිමත් වැඩපිළිවෙලක් සැකසිය යුතුයි.
g) - ජාත්‍යන්තර අංශය විධිමත් සහ ක්‍රමවත් කල යුතුයි.
h) - පක්ෂයේ පුවත් පතක්, ගුවන් විදුලි සේවයක්, රූපවාහිනී සේවයක් ස්ථාපිත කොට අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි.

ඉහත කී සෑම අංශයකින්ම පක්ෂය දැඩි සංවර්ධිත තලයකට ගෙන යා යුතුයි. එ. ජා. පක්ෂයේ ප්‍රතිසංවිධානය කියන්නේ මෙන්න මේ සියළුව කරුණු කාරණා සම්පුර්ණ වෙමින් සිදුවන්නාවූ ප්‍රතිසංවිධානයයි. නැතුව ඔළුගෙඩි දෙක තුනක් මාරු වීමක් නෙමෙයි. දක්ෂයාට, සුදුස්සාට, හැකියාවට, කුසලතාවයට තැන දෙන පක්ෂ යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම තමයි මම දකින සිහිනය සහ ඉලක්කය.

S.R.
12) - වර්තමාන ශ්‍රී ලංකාවේ රාජ්‍ය ත්‍රස්තවාදය සැලකිය යුතු තරමින් හිස ඔසවා ඇති බව ඔබ පිළිගන්නවාද ?
a) - එ. ජා. ප රජයක් යටතේ මෙම තත්වය වෙනස් වන්නේ කෙසේද ?
b) - එම වෙනස ජනතාවට පිළිගත හැකි තරමේ වෙනසක් වෙයිද ?



B.P. රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන බව ඉතා පැහැදිලියි. මාධ්‍ය හට එල්ලවන තර්ජන, සුදු වෑන් උවදුර යලි හිස එසවීම, විරුද්ධ දේශපාලන මත දරන්නන් පැහැරගෙන යාම, අඩත්තේට්ටම් වලට ලක් කිරීම, එපමණක් නොවේ, තමන්ගේම පක්ෂයේ මන්ත්‍රීවරු සහ ජනාධිපති උපදේශක හිටපු මන්ත්‍රීවරු අතර ඇතිවන අරගල, වෙඩිතබාගැනීම්, තුවාල සිදු කරගැනීම්, මරාගැනීම්, තවද කප්පම් ඉල්ලීම්, නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමත් සමග තිබෙණ සම්බන්ධතා, නීති විරෝධී පාතාලයත් සමග තිබෙණ ගනුදෙනු, නීති විරෝධී ගිනි අවි ජාවාරම, කප්පම් එකතු කිරීම සම්බන්ධයෙන් කැලණිය වාර්තා තැබීම යානාදී වශයෙන් මෙකී නොකී සියල්ල සමග රාජ්‍ය ත්‍රස්තවාදය අඩු වැඩි වශයෙන් බැදී තිබෙණ බව ඉතා පැහැදිලියි.

එ. ජා. ප හෝ ශ්‍රී. ලං. නි. ප. හෝ වෙන කුමන හෝ පක්ෂයක් තමුන් හට බලය තිබෙන අවස්ථාවේදී රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක නොකළ යුතු බවත්, එසේ සිදුවනවානම්, ඒ සෑම අවස්ථාවකදීම ඊට විරුද්ධව බලවත් අරගලයක් ස්ථාපිත කල යුතු බවත් මා විශ්වාස කරනවා.

අනාගතයේදී එ.ජා. පක්ෂයේ කවුරුන් හෝ එවන් ක්‍රියා සිදුකරනවානම්, ඉහලම දඬුවම් පැවරිය යුතිමයි. ජනතාව විශ්වාසය තැබිය යුතු කරුණක් තමයි, එ. ජා. පක්ෂයේ ඉදිරි අලුත් පෙළ, පක්ෂයේ අතීතයේ තැවරුණු කුණු ගාගෙන නොමැති බව. අනාගත රජයක් භාරගැනීමට සුදානම් වන මෙම අලුත් පෙළ මඩ, ලේ, කුණු ගාගත්තු කණ්ඩායමක් නොවේ. එමනිසා එම විශ්වාසය තබාගන්නා ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අපි දේශපාලනයට අවතීර්ණ වෙලා ඉන්නේ හම්බකරන්නවත්, මිනී මරන්නවත්, විරුද්ධවාදීන්ගෙන් පලිගන්නවත්, අහිංසක ජනතාවගේ දේපොළ, මුදල් මංකොල්ල කන්නවත් නොවන බව මා තරයේ මතක් කර දෙනවා. එය ඉතා පැහැදිලියි. එ. ජා. ප ජයග්‍රහණය කරා ගෙන යාමේ මාවතක් වෙනුවෙනුයි අපි පෙනී සිටින්නේ. ඒ විනා, අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ එ. ජා. ප රජයක් යටතේ රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීමට.


S.R.
13) - ආර්ථික, සමාජයීය, නීතිමය සහ මානුෂීය අංශයන් ගත් කල, වර්තමාන ශ්‍රී ලංකාව තුල ඔබ දකින තත්වයන් මොනවාද ?
අද වන විට එම අංශ තුල සාදාරණයක් ඉෂ්ට වනවාද ?
a) - එසේ නැත්නම්, මේ සියලු අංශයන්හි ක්‍රමවේදයන් වෙනස් විය යුත්තේ කුමන ආකාරයටද ? ඔබේ අදහස් දක්වන්න.



B.P.
එය ඉතා පුළුල් ප්‍රදේශයක් තුල විහිදුනු ප්‍රශ්නයක්.
මේ වන විට රටේ නීතිය බිඳ වැටිලා. මිනීමරන, සදාචාරය විනාශවුණු, අවුරුදු 10 පාසල් දරුවන් අපහරණයට ලක්වන, ඉඩම් නඩුවකට මුළු පවුලම ඝාතනය කරන, ආදර සම්බන්ධතාවයකට දෙතුන්දෙනා එල්ලිලා මැරෙන, අවබෝධයෙන් තොරව අධික වේගයෙන් රිය පදවා මාර්ග නීති උල්ලංඝනය කර පාසල් දරුවන් අනතුරටත් ජීවිතක්ශයටත් පත් කරන රියදුරන් සිටින මුක්ත සමාජයක් අද නිර්මාණය වී තිබෙනවා.

නීතියේ ආධිපත්‍යය බිදවැටිලා තිබෙනවා. නීතිමය ආයතන පිළිබදව විශ්වාසය බිදවැටිලා තිබෙනවා. පොලිසියේ බලය ජනතාව අතට ගන්නවා අපි ග්‍රීස් යකා සිද්ධියෙන් දුටුවා.

ආර්ථික තත්වය පිළිබදව අමුතුවෙන් කිව යුතු නැහැ. රුපියල් 100 ක් රැගෙන කඩයකට ගියහම හාල් කිලෝ එකයි, දිය ලුණු පැකට් එකයි ගත්තහම රුපියල් 100 ඉවරයි. මිනිස්සුන්ට හිරේ ගිහින් ඉන්න එක ලාබයි.

රටේ සමස්ත ක්‍රමවේදයම අවුලක්. අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය අවුලක්. විදුලිබල මණ්ඩලයේ අර්බුද. යහපාලනය පිලිබඳ අර්බුද. හැම තැනකම අර්බුද තමයි දක්නට ලැබෙන්නේ.

වර්තමාන ආණ්ඩුව දුවන්නෙත් මේ අර්බුද සමගයි. මේ අර්බුද වලට ඉතා පැහැදිලිවම කෙටි කාලීන, මද්‍ය කාලින, දීර්ඝ කාලින විසදුම් තිබෙනවා. එය පැය ගණනාවක් වෙනම සංවාදයකට බදුන් කල යුතු කරුණක්. නමුත් මේ සෑම ක්ෂේත්‍රයකම යහ පාලනය, විවෘත පාලනය නිර්මාණය වීමට අවශ්‍යයි. එමනිසා අපි තේරුම් ගත යුතුව තිබෙනවා දැනට පවතින බොරුව, වංචාව, ප්‍රෝඩාව නිමා කල යුතු බව. රටට සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන, තිරසාර දැක්මක් සහිත ප්‍රතිපත්තියක් ඉරිදිපත් කල යුතුව තිබෙනවා.


S.R.
14) - ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ද්‍රවිඩ වැසියාට වර්තමාන රජය යටතේ සාධාරණයක් ඉටුවී තිබේද ?
a) - යුද්ධයෙන් පීඩා විද, නැවත පදිංචි කරවීම සම්බන්ධයෙන් මෙන්ම, මෑතකදී යාපනය අර්ධද්වීපයේ සිදුවූ සහ සිදු වෙමින් පවතින අතුරුදහන් වීම් සහ මිනී මැරුම් සම්බන්ධයෙන් ඔබ දරන අදහස් සහ මත මොනවාද ?
b) - ඊට විසඳුම් ලෙස ඔබ ඉදිරිපත් කරන්නේ කුමන කාරණාද ?



B.P.
පළමුවෙන්ම කිව යුතුයි, වර්තමාන රජය යටතේ ලංකාවේ ද්‍රවිඩ ජනයාට පමණක් නොවේ, සමස්ත සියලු ජනතාවටම සාධාරණයක් වෙන්නේ නැහැ. දෙමල, මුස්ලිම්, සිංහල, බර්ගර් යනාදී සියලු ජන කොට්ඨාශ වලට වර්තමාන රජය විසින් සාධාරණයක් ඉෂ්ට වෙයි කියල විශ්වාස කරන්නත් බැහැ.
දෙවෙනි කාරණය, තිස් අවුරුදු යුද්ධයකින් පසු උතුරු නැගෙනහිර ප්‍රදේශවල අතීතයේ ජීවත් වුනු දෙමල ජනතාවට උපරිම සාධාරණයක් ඉෂ්ට කිරීම මෙන්ම, එම ප්‍රදේශවල අතීතයේ ජීවත් වුනු මුස්ලිම් සහ සිංහල ජනතාවට ඒ අයගේ පැරණි ඉඩකඩම්, ගම්බිම් වලට ගිහින් ජීවත් විය හැකි තත්වයක් නිර්මාණය කිරීම රජයේ වගකීමක්.

මෙමගින් අපි මුස්ලිම්, සිංහල ජනතාවගේ අයිතීන් පිළිබඳව දෙවනුව තක්සේරු කරනවා නොවේ. නමුත්, උතුරු නැගෙනහිර ප්‍රදේශ වල බහුතරයක් සිටින්නේ ද්‍රවිඩ ජනයා. එම සාතිශය ද්‍රවිඩ ජනතාවට, යුද්ධයෙන් පසුව රජයේ සහෝදරත්වයේ දෑත් දැනෙන්නට අවශ්‍යයි. ඔවුන් උද්ඝෝෂණ කිරීමේදී පැහැරගෙන යාම් සිදුවෙනවානම්, ඔවුන්ට තොරතුරු දැනගැනීමේ අයිතිය සහතික කරන මාධ්‍ය වලට දිගින් දිගටම බාධා එල්ල කරනවානම්, එම දෙමල ජනයාට තමන්ගේ ගම්බිම් වල ජීවත්වීමේ අයිතිය උදුරාගන්නවනම් ඒක කොහෙත්ම සාධාරණ නැහැ.

ඒ වගේම ඒ උදවියගේ දේශපාලන, සිවිල් අයිතිවාසිකම්, සමාජයීය සහ සංස්කෘතික අයිතිවාසිකම්, රැකෙන වැඩපිළිවෙලකට ගමන් කල යුතුව තිබෙනවා.
නමුත් අපිට එහෙම දෙයක් පෙනෙන්නේ නැහැ.

උදාහරණයක් වශයෙන් ඉන්දියාව ගත්තොත්, අපි දකිනවා එහි යම් යම් ප්‍රාන්තවලට ගමන් කරනකොට, එහි දැන්වීම් වල ඉහලින්ම තිබෙන්නේ එම ප්‍රාන්තයේ ජනතාව කතා කරන භාෂාව. නමුත් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර යනකොට අපි දකිනවා දැන්වීම් වල සිංහල භාෂාව තමයි ප්‍රථමයෙන් යොදලා තියෙන්නේ. තවත් සමහර ස්ථාන වල, හමුදාව මුල් කොටගත් සිවිල් ක්‍රියාකාරකම් වලට යොමුවෙලා තිබෙනවා.

එමනිසා, ඉතා පැහැදිලිව මා කියා සිටින්නේ, කෙටි කාලීනව නොව, දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් දෙමල ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීම උදෙසා වහාම දියත් කල යුතුයි. අපි තවමත් එවැනි වැඩපිළිවෙලක් දකින්නේ නැහැ. උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය වැනි නම් වලින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. නමුත් පරණ උතුරම, පරණ නැගෙනහිරම, පරණ බස්නාහිරම, පරණ මධ්‍යම ම, පරණ ඌව ම තමයි තියෙන්නේ. මාර්ග ඉදි වෙනවා පෙනෙනවා, විවිධ දේවල් පෙනෙනවා, නමුත් දිගුකාලීන දැක්මක් සහිත වැඩපිළිවෙලක් නම් තවම එලි බැහැලා නැහැ ලංකාවේ.

S.R.
15) - ශ්‍රී ලංකාවේ දේශපාලන කරලිය තුල, පක්ෂ-පක්ෂ තුලම ආරවුල් උද්ගත වී, මිනිසුන් මරාගැනීම් පවා මෑතකදී අපි අත්වින්දා. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය මීට හොඳම නිදසුනක්.
මෙවැනි අශෝභන, භයානක තත්වයන් උද්ගත වීමට හේතු ලෙස ඔබ දකින්නේ මොනවාද ?


B.P.
තිස් අවුරුදු යුද්ධයකින් පසුව හමුදාවෙන් නිත්‍යානුකුල නොවන අයුරින් එලියන පැමිණි උදවිය සතු ගිනි අවි මෙන්ම එවැනි සෙබළුන් මෙම තත්වයට බලපා තිබෙනවා. ඒවගේම, කුඩු මාෆියාව, නීති විරෝධී මත් ද්‍රව්‍ය, කුඩු පමණක් නොවේ කසිප්පු පවා මේ දේවලට අයිතියි. මෙවැනි නීති විරෝධී මත් ද්‍රව්‍ය සහ මත්පැන් ජාවාරම්කරුවන්, චන්ඩි, කප්පම් කරුවන් යන සියලු දෙනා රාජ්‍ය බලය තිබෙන ස්ථාන වලට කේන්ද්‍රගත වී සිටිනවා. මැති ඇමතිවරු, මන්ත්‍රීවරු ළඟ මේ ය කේන්ද්‍ර වෙලා සිටිනවා. මේ අයව තමතමන්ගේ දේශපාලන උවමනා එපාකම් වලට පාවිච්චි කරනවා. මෙය ඉතාමත්ම කනගාටුදායක තත්වයක්. මෙම ශෝචනීය තත්වයේ ප්‍රතිපල තමයි රටක් හැටියට අද අපි විඳවමින් සිටින්නේ.

ඒනිසා මම ඉතා පැහැදිලිව කියනවා, පසුගිය කාලයේදී රජය මොන අකාරයෙන් ප්‍රකාශ නිකුත් කලත් තමුන් නිර්දෝෂයි කියා, රටේ දිනපතා සිදුවන, සිදුවෙමින් පවතින මැරකම්, කප්පම් ගැනීම්, නීතිවිරෝධී මත් ද්‍රව්‍ය ව්‍යාපාර යන සියල්ලක්ම පිටුපස රජය නැහැ කියා කිව්වත්, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය හරහා මනාව පැහැදිලි වනවා, රජය මෙම අකටයුතුකම් උදෙසා මොනවිදියට ඔවුන්ගේ දායකත්වය දක්වනවාද කියන කාරණය. මෙය එ වග ඔප්පු වුනු එක සිද්ධියක් පමණයි. දිනපතා කොතරම් අකටයුතුකම් මේ රට තුල සිද්ධ වනවාද ?

මොන රජයක් බලයේ තිබුණත් මෙවැනි ක්‍රියා සිදු නොවිය යුතුයි. එ. ජා. පක්ෂයටත් මෙවැනි චෝදනා තිබුණා. මම තරයේ ප්‍රකාශ කර සිටින්නේ, මොන රජය බලයට පැමිණියත්, තමන්ගේ දේශපාලන ව්‍යාපෘති ගමන් කල යුතුව තිබෙන්නේ ජන සම්මත වාදය තුල. නමුත් වර්තමානයේ සිද්ධ වෙන්නේ බැලට් එක ගැන විශ්වාසය නොතබා බුලට් එක ගැන විශ්වාසයෙන් යුතුව කටයුතු කරන දේශපාලනයක්. මෙය ඉතාමත්ම කනගාටුදායකයි. මෙය වහා වෙනස් විය යුතුයි.

S.R.
16) - ප්‍රේමචන්ද්‍ර පවුලට සාධාරණයක් ඉෂ්ට වුණා කියා ඔබ හිතනවාද ?
a) - මෙම තත්වයන් යටතේ දුමින්ද සිල්වා මන්ත්‍රී තුමා සිටිය යුතු තැන අද සිටිනවාද ?
b) - මෙම ඝාතන සිද්ධියෙන් පසුව සිදුවූ ක්‍රියාධාමයන් පිළිබඳව ඔබ සෑහීමකට පත් වෙනවාද ?
c) - විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට ඔබ රටේ නීතිය පිළිබඳව සෑහීමකට පත්වනවාද ?



B.P.
ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා පටිපාටීන් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින නිසා මා එහි සාධාරණ අසාධාරණ තත්වයන් පිළිබඳව මේ මොහොතේදී ප්‍රකාශ කල යුතු නොවේ කියා මා සිතනවා. ඒ කෙසේ නමුත්, පැහැදිලිව කිව යුතුයි, මොනම දුවෙකුටවත්, පුතෙකුටවත් තමන්ගේ තාත්තා ඛේදනීය අයුරින් මරා දැමීමේ අත්දැකීමට මුහුණපෑම ශ්‍රී ලංකාවේ තව දුරටත් සිදු නොවිය යුතුයි. මොනම භාර්යාවකටවත් තමන්ගේ ස්වාමි පුරුෂයා මෙසේ ඛේදනීය අයුරින් මරාදැමීම අත්විඳින්නට සිදුවීම මෙම රටේ තව දුරටත් සිදු නොවිය යුතුයි. මොනම සහෝදරයෙකුටවත්, සහෝදරියකුටවත් තමන්ගේ සහෝදරයා හෝ සහෝදරිය මෙවැනි ඛේදනීය ලෙස මරා දැමීමේ අත්දැකීමට මුහුණපෑමට සිදුවිය යුතු නැහැ.

විශේෂයෙන්ම දැන් මේ රටේ යුද්ධයක් නැහැ. එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය දැන් නැහැ. ඒ නිසා, දේශපාලනය කෙරූ පමණට, මොනම පුද්ගලයෙකුටවත් තමන් දරන දේශපාලන මතය නිසා හෝ, එසේත් නැතිනම් එකම පක්ෂයක් තුල හටගන්නා කිසියම් මත භේදයක් නිසා තමුන්ගේ ජීවිතය කෙලවර වන තැන දක්වා ගමන් කිරීම සිදුවිය යුතු නැහැ. එමනිසා මා කියා සිටින්නේ, අද දින වනවිට වර්තමාන ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති මෙවැනි අශෝභන අමානුෂික දේශපාලන සංස්කෘතියෙන් මිදීමටයි අප ප්‍රවිෂ්ඨ විය යුත්තේ.

දුමින්ද සිල්වා ගැන කියනවානම්, ඔහුට මෙම සිද්ධියේදී උද්ගත වූ තත්වය අනුව ඔහු ප්‍රතිකාර සඳහා විදෙස්ගත වී සිටිනවා. මෙම පාර්ශව දෙක අතර අරගලයක් ඇතිවුනා. මෙම අරගලයෙන් ඔහු තුවාල ලැබුවා. ඉතින් තුවාල ලබූ පුද්ගලයකු සිටිය යුතු තැන තමයි ඔහු අද ඉන්නේ. නමුත්, ඔහු ලංකාවට පැමිණීමත් සමගම අපි බලා සිටිනවා නීතිය කුමන ආකාරයටද ඔහු කෙරෙහි ක්‍රියාත්මක වෙන්නේ කියා.

සමස්ත රටේ නීතිය ගැන කතා කරනවානම් මටනම් කියන්න තියෙන්නේ "සමස්ත රටේම නීතියේ පොට බුරුල්" කියල තමයි. දැඩි නීති රීති තිබෙනවා. නමුත් එම නීති රීති ක්‍රියාත්මක වෙන්නේ පුද්ගලයානුබද්ධවයි. එම නීති ක්‍රියාත්මක වීමේදී, පක්ෂ, පාට, ජාති, ආගම් භේද සහිතව තමයි එම නීතිය වර්තමානයේදී ක්‍රියාත්මක වෙන්නේ.

S.R.
17) - වර්තමාන ශ්‍රී ලාංකේය "මැර දේශපාලන ක්‍රියා පිළිවෙත" තුරන් කිරීමෙහිලා එ. ජා. ප. තුල යම් නිශ්චිත සැලැස්මක් තිබේද ? එසේනම් එය පැහැදිලි කරන්න.


B.P.
එ. ජා. ප. තුල බිහිවෙමින් සිටින තරුණ මන්ත්‍රීවරු මෙම මැර දේශපාලනය පිළිබඳව සාකච්චාවට භාජනය කරනවා පමණක් නොවේ, රජය හරහාම ඊට විරුධව විශාල හඬක් දැනටමත් නගමින් සිටිනවා. එය හොඳ ප්‍රවනතාවක්. මැර දේශපාලනය පමණක් නොවේ අපි පිටුදැකීමට අවශ්‍යව තිබෙන්නේ - වංචාව, දුෂණය හැම දෙයක්ම පිටු දැකිය යුතුයි.

මේ රටේ ජනතාවගේ අනාගතය ගැන කල්පනා කරලා, අපිට වර්තමානයේ දක්නට ලැබෙන පසුගාමී තත්වය අනිවාරයෙන්ම මැඩලිය යුතුව තිබෙනවා. වර්තමාන තත්වය ඉතාමත්ම කනගාටුදායක තත්වයක් බව ඔබ අප කවුරුත් හොඳින් දන්නවා. දැන දැනත්, පටු පෞද්ගලික වාසි තකා, මෙම ඛේදනීය තත්වය නොපෙනුනා වගේ සිටින පිරිසකුත් අපේ රටේම සිටිනවා. එය ඊයත් වඩා කනගාටුදායක තත්වයක්. එම කාරණය පිළිබඳව අපි දැඩි අවධානය යොමු කල යුතුයි කියන තැන තමයි මා සිටින්නේ.


S.R.
18) - නුගත් පුද්ගලයින්, කුඩු වෙළෙන්දන්, ගණිකා මඩම් හිමිකරුවන් වැනි කිසිඳු ප්‍රමිතියකින් තොර ඕනෑම අක්‍රමිකාතාවන් තුල නියැලෙමින්, නීතියේ රැහැනටද හසු නොවී, මැනවින් සිය ජීවිකාව ගෙනයන පුද්ගලයින්, උත්තරීතර සභා ඝර්භයක් වන පාර්ලිමේන්තුව ද නියෝජනය කිරීමේ වර්තමාන දේශපාලන සංස්කෘතිය, එ. ජා. ප. රජයක් යටතේ වෙනස් වෙයි කියා ජනතාවට බලාපොරොත්තු තැබිය හැකිද ?
එසේ නම් එය කුමන මුහුණුවරක් ගනීද ?


B.P.
මම හිතන්නේ මේ කාරණයේදී දේශපාලන පක්ෂ වලට වගේම රටේ ජනතාවටත් විශාල වගකීමක් තිබෙනවා. එ. ජා. ප. අනිවාර්යයෙන්ම ඊළඟ නගර සභා, ප්‍රාදේශීය සභා, පළාත් සභා මැතිවරණ වලදී සහ පාර්ලිමේන්තු මැතිවරණ වලදී නාමයෝජනා දීමේදී මෙවැනි දුෂිතයන්ට, තක්කඩියන්ට, වන්චාකරයින්ට, චණ්ඩින්ට, ජාවාරම් කාරයින්ට නාම යෝජනා නොදිය යුතුයි. එ. ජා. ප. පමණක් නොවේ, මෙම රටේ සියලුම දේශපාලන පක්ෂ එවැනි ප්‍රතිපත්තිමය තීන්දුවකට වහාම පැමිණිය යුතුයි.

තවද, මේ රටේ බහුජන සංවිධාන, මාධ්‍යය මෙවැනි තක්කඩින් ජනතාව හමුවේ හෙළිදරව් කල යුතුයි.

තවද, මෙවැනි පුද්ගලයන්ට් නාම යෝජනා දී තිබුණද, ජනතාවගේ වගකීම විය යුත්තේ එවැනි දුෂිතයන්ට චන්දය නොදී සිටීමයි. චන්ද කාලයේදී පමණක් මොවුන් සිදු කරන පුහු දානමය කටයුතු වලට රැවටිය යුතු නැහැ. සීනිබෝල වලට රැවටීමෙන් වැළකී සිටීම ජනතාවගේ වගකීමයි. මෙවැනි පුද්ගලයින්ගේ පසුබිම ගැන අවධානයෙන් සිටිය යුතුයි. මේ සියලු තත්වයන් එක විට ක්‍රියාත්මක වූ විට අපට රටක් වශයෙන් මෙම ඛේදනීය තත්වයෙන් මිදීමට හැකි වනු ඇත.



S.R.
19) - එ. ජා. ප. රජයක් නැවත වතාවක් බලයට පැමිණියහොත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මොනවගේ වෙනස්වීම් සිදු වෙයිද ? මේ පිළිබඳව පක්ෂය තුල සාකච්චා පවත්වා තිබේද ?
a) - ඔබලාගේ ආණ්ඩුවක් යටතේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක් සිදු වෙයි කියා ඔබ හිතනවාද ?


B.P.
විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව නම් අපි දරන මතය තමයි එය අහෝසි කලයුතු බව. එහෙම බැරිනම්, අඩුමතරමින්, විධායක ජනාධිපති ක්‍රමය පාර්ලිමේන්තුවට වගකියන, සංශෝදන සහිත එකක් හෝ, මුළුමනින්ම අහෝසි වන ක්‍රමවේදයක් ගැන පක්ෂය සලකා බලමින් සිටිනවා.
අලුත් ආණුඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව නම් කතිකාවක් ඇතිවෙලා නැහැ.

නමුත් මම හිතන විදියට, 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී. ලං. නි. පක්ෂයට අවශ්‍ය විදියටත්, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එ. ජා. පක්ෂයට අවශ්‍ය විදියටත් සකස් කිරීම සිද්ධ වුණා. මේ එක අවස්ථාවකදීවත් මෙය රටේ පුළුල් සංවාදයකට යොමු වුනේ නැහැ. එය රටේ ජනතාවගේ අභිලාෂයන් නියෝජනය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බවට පත්කෙරුණු ස්වභාවයක් තිබුණේ නැහැ.

රටේ ප්‍රශ්න වැඩිවෙන්නත් එය එක අතකින් බලපා තිබෙනවා. ඒනිසා, රටේ ජනතාවගේ අභිලාෂයන් නියෝජනය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කර ගත යුතුව තිබෙනවා. එය පුළුල් සංවාදයක් හරහා කල යුතුයි යන්න මගේ අවංක හැගීමයි. නමුත් එ. ජා. ප. තවම එවැනි සාකච්චාමය ක්‍රියාමාර්ගයකට එලබිලා නැහැ.

S.R.
20) - පසුගිය 2011 දෙසැම්බර් 22 වන දින ආරම්භ වී, 2012 ජනවාරි 10 දින අවසන් වූ ඔබගේ විදෙස් සංචාරයේ මූලික අරමුණු මොනවාද ?
a) - ඔබ සංචාරයේ නිරත වුණේ කුමන රටවල් වලද ?
b) - ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ගෙවූ කාලය ඔබ විශේෂයෙන් යොදා ගත්තේ කුමන කටයුත්තක් උදෙසාද ?
c) - කැලිෆෝර්නියාවේ එ. ජා. ප සංගම් ශාඛාවේ සභාපති මංගල ජයකොඩි මහතා ඇතුළු පිරිස හමුවී යම්කිසි සුවිශේෂී සාකච්චා පැවැත්වූවාද ? කැලිෆෝර්නියා ශාඛාවෙන් ඔබට ලැබුණු නවතම තොරතුරු සහ වාර්තා මොනවාද ?
d) - පූර්ණ සංචාරයේ සාර්ථක අසාර්ථක භාවය කෙටියෙන් පවසන්න.


B.P.
ප්‍රධාන වශයෙන් කැනඩාවේ (එඩ්මින්ටන් වලදී) පාක්ෂිකයෝ මුණගැහුනා. මෙහිදී පුහුණු වැඩසටහන් කීපයකට සහභාගී වුණා. අධ්‍යාපනය, දේශපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය යන පැතිකඩ ඔස්සේ පැවැත්වුණු වැඩසටහන් දාමයක් තමයි තිබුණේ.

ඊට අමතරව ඇමරිකාවේ නගර දෙකක පාක්ෂිකයෝ මුණගැහුනා. ලොස් ඇන්ජලීස් නුවරදී එහි එ. ජා. ප. ශාඛාවේ සභාපති මංගල ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් (ඔහු හිටපු එ. ජා. ප. පාර්ලිමේන්තු මන්ත්‍රී නැසීගිය සුනිල් රන්ජන් ජයකොඩි මහතාගේ සොහොයුරු) කණ්ඩායම් ගණනාවක් මුණගැහුනා. ඒ සියලු කණ්ඩායම් සමග අපි එ. ජා. ප. පිළිබඳව, එහි අනාගතය පිළිබඳව, පක්ෂය ගොඩනැගිය යුතු ක්‍රමවේදයන් පිළිබඳව, පක්ෂයට අදාළ ඉදිරි ධනාත්මක සංවර්ධන කටයුතු පිළිබඳව, දේශපාලන වාර්තාකරණය පිළිබඳව, සහ විශේෂයෙන්ම වර්තමාන ආණ්ඩුවේ වංචා, දුෂණ, අක්‍රමිකතා පිළිබඳව වැනි කරුණු කාරණා රැසක් පිළිබඳව අපි සාකච්චා පැවැත්වුවා.

පුර්ණ වශයෙන් ගත්තොත් මෙම ඇමරිකානු - කැනඩා විදෙස් සංචාරය අති සාර්ථකයි කියලා කිව හැකියි. එ. ජා. ප හට අති විශාල සම්බන්ධතා ජාලයක් ජාත්‍යන්තරව ගොඩනගා ගැනීමට අවකාශය ලැබුණා. එය අපේ ඉදිරි ගමනට ඉමහත් පිටිවහලක් වේවී.

S.R.
21) - එ. ජා. ප. වර්තමාන වැඩපිළිවෙල ගැන ජනතාවට, විශේෂයෙන්ම පාක්ෂිකයන්ට ඔබ දෙන පණිවිඩය කුමක්ද ?
a) - මාධ්‍ය මතම යැපෙන්නේ නැතුව, ගෙයින් ගෙට යාමේ ව්‍යාපාරයක් ආරම්භ කලාද ? එසේත් නැත්නම් කිරීමට බලාපොරොත්තු වෙනවාද ?


B.P.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙන් බැහැර විදේශවල සිටින ජනතාවට අපි ආරාධනා කරනවා එ. ජා. පක්ෂයේ ගමන් මාර්ගය පිළිබඳව අවධානයෙන් සිටින්නට කියා. අපිත් එක්ක සංවාදයේ යෙදෙන්න කියා අපි කියනවා. ශ්‍රී ලංකාවේ සිටින පාක්ෂිකයන්ටත් අපි කියන්නේ හැමදාම පක්ෂය පිළිබඳව තැබූ විශ්වාසය ඒ අයුරින්ම තබාගෙන, පුළුවන් හැම සහයෝගයක්ම දෙන්න කියලයි.

ඕනෑම කෙනෙකුට මා සමග කෙලින්ම සංවාදයේ යෙදෙන්නට පුළුවන් වාතාවරණයක් මා සකස් කොට හමාරයි. ජංගම දුරකතනයෙන් හෝ, මාගේ කාර්යාලයීය දුරකතනයෙන් හෝ, ඊමේල් මගින් හෝ ස්කයිප් මගින් හෝ මාගේ වෙබ් අඩවිය හරහා හෝ, ෆේස්බුක් හරහා හෝ මා සමග විවෘතව කෙලින්ම සම්බන්දවෙන්න කියා මා ආරාධනා කරනවා.

එසේ කෙලින්ම සම්බන්ධවීමෙන් අප හට අපේ පක්ෂය මෙම වර්තමාන තත්වයෙන් මුදවාගෙන ජයග්‍රාහී මාවත කරා ගෙන යාමට බොහෝ උපකාරී වේ කියා මා සිතනවා.
ජන හදවත මුළුමනින්ම හඳුනාගැනීමට හැකිවන්නේ මෙවැනි සරල, විවෘත ක්‍රියාපටිපාටියක් ඔස්සේ පමණයි. දේශපාලඥයෙක් වූ විට ජනතාවට ඔහු හෝ ඇයව කෙලින්ම ඇමතීමේ හැකියාව තිබිය යුතුයි කියා මා විශ්වාස කරනවා.

S.R.
22) - කවදා හෝ දවසක, මොනයම් හේතුවක් මත හෝ ඔබත් පක්ෂය හැර යාවිද ? කුමන තත්වයක් යටතේදිවත් එසේ පක්ෂයට ද්‍රෝහිකම් නොකරන බවට විවිධාකාර ප්‍රකාශ සිදු කල උදවිය (පක්ෂයේ ජේෂ්ඨයින් මෙන්ම නවකයින්) ඉතා මෑත ඉතිහාසයේදී කිසිඳු චකිතයකින් තොරව විවිද වාසි තකා (තනතුරු මෙන්ම මුදල් සහ වෙනත් භෞතික සම්පත් වලට තම ආත්මය පාවාදී) පක්ෂය හැර රජයට එක් වුණා. ඉතින් ඔබත් එම ඝනයට නොවැටෙයි කියා විශ්වාස කරන්නේ කොහොමද ?



B.P.

කුමන හෝ තත්වයක් යටතේ එ. ජා. ප. හැර නොයන බවට මගේම ලෙයින් මා අත්සන්කොට පොරොන්දුවක් දී හමාරයි. ශ්‍රී ලංකාවේ ලෙයින් අත්සන් තබා මෙවැනි පොරොන්දුවක් දුන් එකම පුද්ගලයා මා බව මට සහතිකයි. වෙන කිසිවකු එසේ සිදුකොට නැහැ. මම කලින් කිව්වා වගේ, මම දේශපාලනේට ආවේ හම්බකරගෙන කන්න නෙමෙයි. සමාජයට අවංක සේවයක් කිරීමේ පිරිසිදු අරමුණින්ම පමණයි. ඒ නිසා මාව පක්ෂයෙන් එලෙව්වත්, ගහල පැන්නුවත් මම එවැනි වාතාවරණයක් යටතේදිවත් පක්ෂය හැර යන්නේ නැහැ. ඒක සක්සුදක් සේ පැහැදිලියි.

U.N.P. Matara District M.P could be contacted via the following modes :-

Postal Address

"Samadhi Medura", No 47, Sri Rathanapala Mawatha, Matara, Sri Lanka.

----------------------------
Telephone
(94) 077 7306922 - Mobile
(94) 041 22 30946 - Office
(94) 041 22 23865 - Home
-----------------------------
Fax
(94) 041 22 30946
-------------------
Email: buddhikaylda@yahoo.com
---------------------------
Skype
buddhikapathirana
-------------------
Web Site
www.buddhikapathirana.org


Sunalie Ratnayake could be reached at sunalie.secretandbeyond@yahoo.com / sue@srilankaguardian.org