ඔළුවටම වැදුනද? කියා ජනපති අසා තෙවසරයි: නිහඬ කළ ජනමාධ්‍යවේදියා සහ නිහඬ වූ පරීක්ෂණය.

තෙවසරකට පෙර අද වැනි දිනෙක රාජ්‍ය මිනීමරුවෝ ඒ අභීත මාධ්‍යවේදියා හඹා ගොස් මරා දැමූහ. තමා පසු පස මාරයන් හඹා එන බව දැනුම් දීමට ජනාධිපති රාජපක්ෂගේ ජංගම දුරකථනයට දැනුම් දීමට ලසන්ත ගත් උත්සාහයට ප‍්‍රතිචාරය වූයේ නිහඬ බවයි. ඔහුගේ මරණය අසන්නට ලැබුණු ප‍්‍රථම අවස්ථාවේදීම ජනාධිපති රාජපක්ෂ ‘ඔලූවටම වැදුණද?’ කියා ඇසුවේ යැයි පුවත්පත් වාර්තා පළවිය. ලසන්ත තමාගේ හිතවතකු බව කතුවරුන්ට කියූ රාජපක්ෂ ඔහු තමාට රහසිගත තොරතුරු අඩංගු සීඞී තැටියක් ලබා දුන් බව කීවේ ය. වික්ටර් අයිවන් ඒ බව සනාථ කිරීම පිණිස එම තැටියේ පිටපතක් ඉල්ලා සිටිය ද තවම රාජපක්ෂ එය ලබා දී නැත. වික්ටර් අයිවන් ද ඉන්පසු එය ඉල්ලා නැත.

ලසන්තගේ මරණය ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් තුනක් පත් කරන ලද නමුත් ඉන් එක් වාර්තාවක් හෝ තවම එළි දැක නැත.

ආරක්ෂ ලේකම් රාජපක්ෂ බීබීසී මාධ්‍යවේදී ක‍්‍රිස්ටෝපර් මොරිස්ගෙන් ‘ලසන්ත කව්ද? ඔහුගේ මරණය ඔච්චර දෙයක් ද?’ කියා විමසුවේ ය.

ලසන්තගේ මරණයේ පරීක්ෂණය දැන් තිබෙන්නේ කටු ගෙයි තබා ය. එම පරීක්ෂණයේ සාක්ෂිකරුවකු වූ ජේසුදාසන් පසුගිය දා සිරගෙදරදී අභිරහස් ලෙස මිය ගියේ ය.

ලසන්ත මරා දැමුවේ රාජ්‍ය මිනීමරුවන් විසින් බවට තවත් සාක්ෂි එමට ය.

ලසන්තගේ මරණයෙන් පසු (යුද බිමෙහි දී හැර* ශ‍්‍රී ලංකාවෙහි කිසිදු මාධ්‍යවේදියකු ඝාතනය වී නැත. (ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම හැර* එසේ නමුත් ලසන්තගේ මරණයේ භයංකර සංකේතය විසින් ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස ඝාතනය කරනු ලැබ තිබේ.
එක් ජනමාධ්‍යවේදියකුගේ මරණය සියයක් ජනමාධ්‍යවේදීන් නිහඬ කරනු ඇතැයි කියැවේ. ලසන්ත වික‍්‍රමතුංගේ මරණය විසින් නිහඬ කරවනු ලැබ ඇත්තේ එක් සියයක් ජනමාධ්‍යවේදින් නොව ජනමාධ්‍යවේදීන්ගේ සමස්ත පරම්පරාවකි.

ජීවත්ව සිටියේ නම් සමහර විට ප‍්‍රජාතන්ත‍්‍ර සහ මානව විරෝධී රාජපක්ෂ පාලනයේ දෘඩතම සහ උග‍්‍රතම විවේචකයා වීමට ලසන්ත ඉරණම් ලබා සිටියේය. ඔහුගේ ඔලූවටම පහර දී මරා දමන ලද්දේ ඒ නිසා විය යුතුය.

ලසන්තගේ මිනීමරුවන් සෙවීම කිසිදාක සිදු නොවනු ඇත. තෙවසරකට පෙර ජනාධිපති රාජපක්ෂගේ දුරකථනය නිහඬ වූ පරිද්දෙන්ම ලසන්ත ඝාතනයේ පරීක්ෂණය ද නිහඬ වී තිබේ. හේතුව එකමය.

source :http://www.yukthiya.com/