පේරාදෙණිය උගන්ඩාවටත් පහලින්

ලංකාවේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස සැලකෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලයටත් වඩා පහලින්

| සුපුන් පෙරේරා

ලංකාවේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස සැලකෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලයටත් වඩා ගුණාත්මක භාවයෙන් පහලින් සිටින බව හෙළිවේ. ලෝකයේ තිබෙන විශ්වවිද්‍යාල අතර 2011 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හිමිවී තිබෙන්නේ 2200 වන තැන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති එස්‌. බී. එස්‌. අබේකෝන් මහතා විසින්ම පිළිගෙන තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය වෛද්‍ය වජිර වීරසිංහ, ඉංජිනේරු පීඨාධිපති මහාචාර්ය එස්‌.බී. වීරකෝන්, ශාස්‌ත්‍ර පීඨාධිපති මහාචාර්ය අනෝමා අබේරත්න යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී උපකුලපතිවරයා මේ බව අනාවරණය කරනු ලැබිය.

අධ්‍යාපනික ගුණාත්මක භාවය , විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයේ අධ්‍යාපන සුදුසුකම්, සිදු කරන ලද පර්යේෂණ සහ විද්‍යාත්මක ලිපි හා ග්‍රන්ථ පළකිරීම වැනි කරුණු සමාලෝචනයෙන් සෑම වසරකම ලෝකයේ විශ්ව විද්‍යාල පිළිබඳව ශාස්ත්‍රඥ ඇගයීමක් සිදු කරන කරන අතර සෑම විශ්ව විද්‍යාලයකටම නිශ්චිත ඇගයුම් අංකයක් ලැබේ. එය World University Ranking නමින් හැඳින්වෙන අතර පසුගිය වසර 30 ඇතුලත ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ඉතා අඩු ලකුණු ලබාගනිමින් ක්‍රම ක්‍රමයෙන් පහතට ම වැටී තිබේ. ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ලෝකයේ සාක්ෂරතාවයෙන් අඩු රටවල් වලටත් වඩා පහල මට්ටමක තිබෙන අතර අප්‍රිකාවේ උගන්ඩා රාජ්‍යයේ සහ සිම්බාබ්වේ රාජ්‍යයේ විශ්වවිද්‍යාල ලංකාවේ විශ්වවිද්‍යාලද අභිබවා ගොස් තිබේ. 2011 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලය 1062 ස්ථානය දරන අතර කොළඹ විශ්ව විද්‍යාලය 2690 ස්ථානයද රුහුණ විශ්ව විද්‍යාලය 2552 ස්ථානයද නියෝජනය කරයි. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය ඉතාමත් පහළ 4189 ස්ථානයට පත් වී තිබේ.

අන්තරය වැනි අන්තවාදී සිසු සංවිධාන විසින් දිගින් දිගටම ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අඩාල කිරීමද අඩු සුදුසුකම් ඇති පුද්ගලයන් විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් ලෙස බඳවා ගැනීම වැනි ක්‍රියා නිසාද ලංකාවේ විශ්ව විද්‍යාල මෙසේ පහත් මට්ටමකට වැටී තිබේ. දැනට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ආසියාවේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව දරන්නේ අන්තිම ස්ථානයයි. මෙම තත්වය තව වසර කිහිපයක් පැවතුනහොත් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල උපාධි වල වටිනාකම අන්තර් ජාතික වශයෙන් ක්ෂයවී යනු ඇති බව ඇතැම් විශ්වවිද්‍යාල මහාචාර්යවරු පෙන්වා දෙති.