ස්‌ත්‍රිය හා සමාජ පිළිගැනීම

| ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

බොහෝ අය නොදන්නා පැතිකඩක්‌ නම් සමාජ වටිනාකම හිමිවීමේදී ස්‌ත්‍රිය හා පිරිමියාට එය සමාන අයුරින් හිමි නොවන බවයි. සමාජයේ ස්‌ත්‍රියකගේ හා පිරිමියකුගේ භූමිකා දෙක වෙනස්‌ බව සත්‍යයකි. නමුදු එසේවූ පමණින් එම භූමිකා දෙක සමාජ මට්‌ටම් දෙකකට අයිති විය යුතු නැත. මේ අනුව ස්‌ත්‍රී භූමිකාවේ සමාජ මට්‌ටමට වඩා පුරුෂ භූමිකාවේ සමාජ මට්‌ටම ඉහළ ස්‌ථානයක තිබීම ගැටලුකාරීය. මන්ද මෙලොව ජීවත් වන සියලුදෙනාම පොදු මනුෂ්‍යත්වයේ මිනුම අනුව සමාන විය යුතු බැවිනි. මේ අනුව පුරුෂයාට වඩා ස්‌ත්‍රිය මනුෂ්‍යත්වයෙන් පහළ ස්‌ථරයක සිටිතැයි පිළිගත නොහැකිය. ස්‌ත්‍රිය උපතින්ම දුබල වූ තැනැත්තියක්‌ නොවේ. පුරුෂ බවින් පුණ්‍ය ශක්‌තිය නිරූපණයත්, ස්‌ත්‍රී බවින් පාප නිරූපණයත් සිදු වෙතැයි දක්‌වන සමය ආකල්පය කෙරෙහි විචාර පූර්වකව මධ්‍යස්‌ථව සිතා බැලිය යුතුය. ස්‌ත්‍රී හා පුරුෂ ලිංගික අනන්‍යතාව සිය වර්ගයාගේ අඛණ්‌ඩ වර්ධනය සිදුවීම පිණිස සකස්‌වී ඇති එක්‌තරා ජීව විද්‍යාත්මක උගුලක්‌ ලෙස පැහැදිලි කළ හැකිය. මේ උගුලේ ස්‌ත්‍රී බව එක්‌ පාර්ශ්වයක්‌ පමණි. පුරුෂ බව අනෙක්‌ පාර්ශ්වයයි. දැනට ලොව පවතින සමාජ ක්‍රමය අනුව වැඩි බලය හිමි කර ගෙන ඇත්තේ පුරුෂ පාර්ශ්වයයි. එබැවින් පුරුෂකේන්ද්‍රීය සමාජ ක්‍රමය බහුතර රටවල දක්‌නට ලැබේ. මෙරට ජන සමාජය පවා සකස්‌ව ඇත්තේ පුරුෂ කේන්ද්‍රීය ස්‌වරූපයෙනි. ඊට සාධක මෙරට සංස්‌කෘතික අනන්‍යතාව, සාහිත්‍යය, ආගම හා සාමාන්‍ය ජන ජීවිතය තුළ දක්‌නට ලැබේ. පියා මූලික වූ පවුල් සංස්‌ථාවක්‌ විද්‍යමාන වනුයේ එබැවිනි. ලෝකයේ සෑම රටකම, සෑම කාලයකදීම මේ තත්ත්වය දක්‌නට නොවීය. ඇතැම් රටවල, ඇතැම් කාලවල ස්‌ත්‍රී කේන්ද්‍ර සමාජබිහිව තිබූ බවට පුරාවිද්‍යාත්මක සාධක තිබේ. බෝධිසත්වයන් වහන්සේට ව්‍යවහාර වූ සිද්ධාර්ථ ගෞතම යන නමේ "ගෞතම" යන වාසගම ලැබී ඇත්තේ මව් පාර්ශ්වයෙනි. එකම පවුලේ සොයුරියන් වූ මහාමායා දේවියටත්, ප්‍රජාපතී දේවියටත් "ගෝතමී" යන පෙළපත් නාමය තිබිණ. ගෞතම යන්න ගෝතමී යන්නෙහි පුරුෂාර්ථ ස්‌වරූපයයි. ත්‍රිපිටක දේශනාවලදී ආනන්ද හිමියන් පවා ගෞතම යන්නෙන් හඳුන්වා තිබේ. මන්ද ආනන්ද හිමියන්ද පවුලේ සමීපතම ඥතියකු වූ බැවිනි. මෙයට හේතුව එකල ස්‌ත්‍රී කේන්ද්‍ර සමාජ ක්‍රමයක්‌ පැවැති බැවින් පියාගේ පෙළපත් නාමය වෙනුවට දරුවන්ට තබන ලද්දේ මවගේ පෙළපත් නාමයයි. අද මෙරට දිස්‌වනුයේ ද බටහිර රටවල සංස්‌කෘතියෙහි ස්‌ථාපිතව ඇති පුරුෂ කේන්ද්‍රීය සමාජ ක්‍රමයකි.

යමෙකු නොමඟ යැමට ජීවිතයේ අත්දැකීම් හිඟතාව ද හේතුවක්‌ විය හැක. ඉසුරුබර ජීවිතයක්‌ ගත කරන අය සැබෑ ජීවිතයේ දුක්‌කරදර, කම්කටොළු දැන හඳුනනුයේ අඩුවෙනි. දුප්පත් වුවද, පොහොසත් වුවද මෙලොව ස්‌ත්‍රියකට විඳින්නට සිදුවන පීඩනයෙහි වෙනසක්‌ නැත. මුදල් බලයෙන් හෝ සමාජ තත්ත්වය අනුව ස්‌ත්‍රියකට මුහුණපෑමට සිදුවිය හැකි සමාජ ආකල්පවල මඳ පමණ වෙනස්‌කම් සිදු කළ හැකි බවද සැබෑය. එහෙත් එහි කිසියම් සීමාවක්‌ තිබේ. සමහරු අර්ථ දක්‌වන්නේ ස්‌ත්‍රීත්වය හුදෙක්‌ ජීව විද්‍යාත්මක අනන්‍යතාවයක්‌ බවයි. ස්‌ත්‍රිය පුරුෂයාට වඩා ජීව විද්‍යාත්මකව වෙනස්‌ බැවින් ස්‌ත්‍රියකටම අනන්‍ය ගැටලු තිබිය හැකි බව මොවුහු පෙන්වා දෙති. බටහිර මනෝ විද්‍යා සන්දර්භය තුළ ස්‌ත්‍රීවාදය ගොඩනැඟී ඇත්තේ මේ අනුවය. ඇතැම් අයට අනුව ස්‌ත්‍රීවාදය කියාදෙයක්‌ නැති බව ද, එය හුදෙක්‌ ස්‌ත්‍රීන් උසිගැන්වීම සඳහා භාවිතා වන වර්ගවාදී මෙවලමක්‌ බවද ප්‍රකාශිතය. නමුදු ස්‌ත්‍රීවාදය බිහිවීමට හේතු වූ පදනම පහසුවෙන් අමතක කළ නොහැක. මන්ද යම් සමාජයක්‌ සංවර්ධනය වීමේදී ස්‌ත්‍රියකගේ භූමිකාව සමාජ ස්‌ථරායනය මත නිරූපණය වනුයේ කුමන වූ ස්‌වරූපයෙන් දැයි මෙහිදී විචාරපූර්වක ආකල්ප ගොඩනැඟීම මෙහි පරමාර්ථය බැවිනි. සමාජ ක්‍රමය සංකීර්ණ වෙත්ම මානවයා භෞතික වූ සැපසම්පත් පසුපසම අවිචාර පූර්වකව හඹා යැමට උත්සුක වීම නිසා සමාජයේ සුරැකිය යුතු සාරධර්ම, ආධ්‍යාත්මික හරය ආදි දේ පිළිබඳ උනන්දුව ගිලිහී යයි. එහිදී සමාජයේදී පහසුවෙන් පීඩාවට ලක්‌ වනුයේ සමාජයේ වඩාත් සංවේදී කොටසයි. ස්‌ත්‍රිය ජීව විද්‍යාත්මකව බොහෝ සංවේදීය. මාතෘත්වය වැනි උත්තරීතර පදවියක්‌ ඇයට ඉසිලිය හැක්‌කේ ඒ සංවේදීතාවය නිසාය. සමාජය කාර්මිකකරණයට හසුවීමේදී මානව අගයන් වියෑකී යැමත් සමඟ ස්‌ත්‍රියට හිමිව තිබූ මාතෘ මූලික සමාජ වටිනාකම අනුක්‍රමයෙන් දියවී යැම ඇරඹිණි. මේ අනුව ස්‌ත්‍රියකට අනිවාර්යයෙන්ම සමාජයේ තිබිය යුතු නමුත් දැනට අහිමි වී ඇති සමාජ වටිනාකම යළි ලබා ගැනීම පිණිස දියත් වූ මතවාදී අරගලය ස්‌ත්‍රීවාදය ලෙස සරලව පැහැදිලි කළ හැකිය.

මේ අනුව ස්‌ත්‍රීවාදය වර්ගවාදී මෙවලමක්‌ යන ආකල්පය බිඳ වැටේ. පශ්චාත් කාර්මිකකරණයට බඳුන් වූ සමාජවල වර්ගවාදී, ගෝත්‍රවාදී ආකල්ප බහුලය. ඊට හේතුව මිනිසුන් දැඩි ලෙස ආත්මාර්ථකාමීවීමයි. මනුෂ්‍යත්වයට වඩා මූල්‍ය අගය උසස්‌ කොට සැලකීම මෙබඳු සමාජවල ලක්‍ෂණයකි. මෙබඳු සමාජවල මානව සමබඳතාවල හැඩතල පවා තීරණය කරනුයේ මූල්‍ය අගය විසිනි. මෙහි ඇති අසාධාරණත්වය සලකා බැලීSමට මේ කරුණ හොඳටම ප්‍රමාණවත්ය. කාර්මික සමාජයේ මූල්‍ය හිමිකාරත්වය පුරුෂාධිපත්‍යය විසින් පවරාගනු ලැබූවද, ස්‌ත්‍රියද ආර්ථික ප්‍රවාහයේ සම ආදායම් උපයන්නියකි. නමුදු එහිදී ස්‌ත්‍රියව පුරුෂාධිපත්‍යය විසින් සූරාකෑමකට ගොදුරු කරනු ලැබේ. ඇයට හිමි සමාජ වටිනාකම වෙනුවට කොන් කර දැමීමට ලක්‌වේ. ස්‌ත්‍රියට සලකනුයේ පුරුෂයාට වුවමනා පරිදි හැසිරවිය හැකි භෞතික මෙවලමක්‌ ලෙසිනි. සමාජයේ පුරුෂ මූලික වූ ලක්‍ෂණවලින් සමන්විත වනවිට තහවුරු වනුයේ පුරුෂාධිපත්‍යයයි. පවුල් සංස්‌ථාව තුළ බිරිඳකටම අනන්‍ය වූ පැවැත්මක්‌ නැත. ඇගේ අනන්‍යතාව ගොඩනැඟීමට බලකර ඇත්තේ ස්‌වාමිපුරුෂයාගේ අනන්‍යතාව මතිනි. විවාහ සංස්‌ථාව තුළ ස්‌ත්‍රිය හැඳින්වෙනුයේ පිරිමියාගේ අනන්‍යතාව අනුවය. පවතින ක්‍රමය අනුව විවාහ සංස්‌ථාවට ප්‍රවේශ වන ස්‌ත්‍රියකට හිමි ගරුත්වය ලැබීමට නම් සැකසී ඇති පුරුෂ කේන්ද්‍රීය ව්‍යqහය තුළ ඇයගේ ස්‌ත්‍රී අනන්‍යතාව යටපත් කොට ජීවත්වීමට ඇයට සිදුව තිබේ. ස්‌ත්‍රියකට මේ අසාධාරණය නොදැනෙන්නේ දිගු කලක්‌ මුළුල්ලේ ක්‍රමිකව මේ තත්ත්වයට කුඩා කළ පටන් ඇයව හුරු කරනු ලබන බැවිනි. පිරිමියා දෙවියකු ලෙසත්. සිය භූමිකාව ඒ දෙවියාට බැලමෙහෙවරකම් කිරීම බවත් කුඩා වියේ පටන් සමාජ ආකල්ප මගින් ස්‌ත්‍රීන්ව හුරු කරවනු ලැබ ඇති බැවින් මෙරට වැනි පෙරදිග සංස්‌කෘතික පසුබිමක්‌ ඇති රටවල පිරිමින්ට තමන්ට අභිමත පරිදි ස්‌ත්‍රීන්ව පෙළීමට එය අවසර පත්‍රයක්‌ බඳුය. ස්‌ත්‍රියකට හිමි ගතානුගතික සාම්ප්‍රදායික ආකල්පවලින් ස්‌ත්‍රීනAaගේ විචාරපූර්වක ආකල්ප බැඳ දමා තිබේ. මේ නිසා ස්‌ත්‍රීන් හැඟීම්වලින් නිර්වින්දනකොට පාලනය කරන බව පෙනේ. නිර්වින්දනය වූ අයෙකු අභිමත සේ පාලනය කළ හැකිය. ස්‌ත්‍රිය අද නිහඬ කර ඇත්තේ ඇගේ ආකල්ප නිර්වින්දනය කිරීමෙනි.

බොහෝ විට ස්‌ත්‍රියකට සමාජයෙන් එල්ලවන දැඩි පීඩනය නිසා ඇය ඉන් මිදීමට විවිධ ක්‍රම අනුගමනය කරන්නීය. ඒ නිසාම ඇයට බෙහෝ කරදර හිරිහැර නින්දා ගැරහුම් ආදියට මුහුණ පෑමට ද සිදු වේ. කෙසේ වුවද තවමත් පවුල් සංස්‌ථාවේ පැවැත්ම පිළිබඳ පිරිමියාට වඩා බහුලව, වගකීම් සහගතව සිතන්නේද ස්‌ත්‍රියයි. ස්‌ත්‍රීහු කුමන බාධකයක්‌ පැමිණියද කෙසේ හෝ එය බාධාවක්‌ කරනොගෙන සියපවුල් ජීවිතය නිරර්බුදව ගෙන යැමට විශාල කැප කිරීමක්‌ කරති. රැකියාවල නියුතුව වගකීම් රැසක්‌ දරා ක්‍රියාශීලී කාර්යභාරයක්‌ උසුලන ස්‌ත්‍රීහු විවාහ ජීවිතයද සමබරව පවත්වා ගැනීමට වෙහෙසෙති. යම්කිසි තැනකදී අසාර්ථක වුවහොත් ස්‌ත්‍රියකට ඒ වරද යළිs නිවැරැදි කර ගැනීමට මේ සමාජය ඉඩ ප්‍රස්‌ථාවක්‌ ලබා නොදේ. සමාජ ක්‍රමය සකස්‌වී ඇත්තේ පුරුෂ මූලිකව නිසා කෙසේ හෝ මාන බලනුයේ වැටුණු ස්‌ත්‍රියක යළි නොනැඟිටිය හැකි පරිදි දැඩි ප්‍රහාර එල්ල කිරීමටය. ආත්ම ගෞරවය විනාශ කර පවුල් ජීවිතය කඩා ඉහිරවා ජීවිතය එපා කරවන්නේ දැඩි අමානුෂික ලෙස බව බොහෝවිට දැකගැනීමට ලැබේ. ස්‌ත්‍රියව සමාජය නිරතුරුව අගය කරනුයේ පවුල් ජීවිතය සමඟම නැඟී සිටින විටදීය. සාර්ථක පවුල් ජීවිතයකින් තොරව මෙරට සංස්‌කෘතියට අනුව ස්‌ත්‍රියක සාර්ථක යෑයි නොසැලකේ. ධනය, බලය, උගත්කම සමාජ තත්ත්වය ආදී කුමන ස්‌ථරයකින් ආඪ්‍යව සිටියද පවුල් ජීවිතය අසාර්ථක නම් එබඳු ස්‌ත්‍රියකට සලකනුයේ ඉතා පහත් ලෙසය. නමුදු පිරිමියෙකුට නම් මේ තත්ත්වය නැත. පිරිමියකු කාමයෙහි වරදවා හැසුරුණු ප්‍රමාණයට එබඳු පිරිමි වඩාත්ම ශක්‌තිමත් පෞරුෂයක්‌ ඇති අය ලෙස බටහිර සංස්‌කෘතිය ව්‍යාප්ත වී ඇති රටවල ඇති සමාජයේ සලකන බව දක්‌නට ලැබේ. එබඳු සමාජවල වැඩි දරුවන් ප්‍රමාණයක්‌ සඳහා දායකත්වය සැපයූ පිරිමි වඩාත් සාර්ථක වාසනාවන්ත අය ලෙසද සැලකේ.

බටහිර රටවල කාර්මිකකරණ යුගවලදී ආරම්භව දැනට ලෝකයේ වෙනත් රටවල ව්‍යාප්ත මේ ලක්‍ෂණ නූතනයේ මෙරට සමාජය තුළට ප්‍රවේශ වී ඇති අයුරු දැකගත හැකිය. අද මෙරට සමාජ අගයන් සේ හුවා දක්‌වන ඇතැම් දේ සැබවින්ම මානව වටිනාකම් දැයි විමසිල්ලට ගත යුතුය. මේ අනුව ස්‌ත්‍රියට හිමි විය යුතු සමාජ ඇගයුම පාගා පොඩි පට්‌ටම් කර දමා තිබේ. ස්‌ත්‍රියට හිමි ඇගයුම සමාජයේ පහළ ස්‌ථර කරා යද්දී පිරිමියාට හිමි ඇගයුම සමාජයේ ඉහළ ස්‌ථර කරා විතැන් කර ඇත. මේ නිසා අහිමි සමාජ ඇගයුම යළි හිමිකර ගැනීම සඳහා යම් මතයක්‌ ගොඩනැඟීම ආනන්තරීය අකුසලයක්‌ හිමි විය යුතු ක්‍රියාවක්‌ නොවන බව සැලකිල්ලට ගත යුතුය. බොහෝ විට සමාජ ජීවිතයේදීද, පවුල් සංස්‌ථාව තුළදී ද වැඩි බරක්‌ පැටවෙනුයේ ස්‌ත්‍රියට බැව් නොරහසකි. සෑම සාර්ථක පිරිමියකු පසුපස ස්‌ත්‍රියකගේ සෙවණැල්ල වැටී ඇති බව පැවසෙනුයේ මේ නිසාය. පිරිමියෙකු සාර්ථකත්වය ලැබීමට නම් ස්‌ත්‍රියකගේ සෙවණැල්ලක්‌වත් වැටිය යුතු බව මෙහි හරයයි. ස්‌ත්‍රියක නැතිව කිසිදු සමාජ අගයක්‌ තනිව හිමි කර ගැනීමට පිරිමියා අපොහොසත් බව මින් ගම්‍ය වේ. මේ අනුව වඩා ශ්‍රෝෂ්ඨ පිරිමියා ද ස්‌ත්‍රියදැයි ඕනෑම අයකුට පෙනේ. පවුල් සංස්‌ථාව තුළ සාමූහික බව වැදගත් ය. පිරිමියා ඉස්‌මතු කිරීම, ස්‌ත්‍රියකගේ අයිතිය අහිමිකර ඇයව වහළියක්‌ කිරීම විවාහ දිවියක නොයෙකුත් අර්බුද ඇතිවීමට හේතුවකි. මනුෂ්‍යත්වයට හිමි නිදහස, උතුම් මාතෘත්වය ආදී සමාජ ඇගයුම් විවාහ දිවිය තුළ ස්‌ත්‍රියකට හිමි විය යුතුය. මෙරට පවතින පෙරදිග සංස්‌කෘතිය තුළ පවුල් ඒකකය මනාව පවත්වා ගැනීම ප්‍රධානත්වයෙහිලා සැලකේ. පවුල් සංස්‌ථාව තුළ ස්‌ත්‍රියකට හිමි ගරුත්වය එකී පවුල් තුළින් දූ දරුවන් මගින් සාර්ථකව සමාජගත වේ. පවුලක මව වහළියක්‌ හා සමාන වනවිට දූ දරුවන් මගින් සමාජගත වනුයේ එකී සාවද්‍ය අදහසයි. මව වහළියක්‌ කොට සැලකූ පමණින්ම පියාගේ භූමිකාව ශක්‌තිමත් නොවේ. ස්‌ත්‍රියට හිමි සමාජ වටිනාකම ලබාදීම බුදුහිමියන් ව-ජීන්ට දෙසූ සප්ත අපරිහානිය ධර්ම තුළ අන්තර්ගත වී ඇත. පවුල් සංස්‌ථාව තුළ ස්‌ත්‍රියකට සුරක්‍ෂිත වටාපිටාවක්‌ හිමිව තිබීම ඕනෑම රටක සංස්‌කෘතිය නිරුපද්‍රිතව පැවතීම කෙරෙහි ඉතා දැඩි බලපෑමක්‌ කරන බව මේ අනුව පැහැදිලි වේ.

යම්කිසි ස්‌ත්‍රියකට නිදහසේ ක්‍රියා කිරීමේ අයිතිය පවුල් සංස්‌ථාව තුළ අහිමි වී යාම නිසා නැති අර්බුද හට ගැනේ. නූතන සමාජයේ ස්‌ත්‍රිය මුහුණපාන ෙ€දවාචකයේ තවත් අඳුරු පැති කඩක්‌ හෙළි කිරීමට සමත් වේ. තමාට ආදරය, විශ්වාසය, පිළිගැනීම පවුල් සංස්‌ථාව තුළ අහිමි වී යැම ස්‌ත්‍රියකට දරාගත නොහැක්‌කකි. මන්ද ස්‌ත්‍රිය සංවේදී බැවිනි. ස්‌ත්‍රිය වුවද සෙසු මනුෂ්‍යයන් මෙන් පොදු මානව අවශ්‍යතා ඇති අය බව අමතක නොකළ යුතුය. යමක්‌ ලැබිය යුතු තැනකින් අහිමිව යද්දී එය වෙනත් මඟකින් කුමන හෝ ක්‍රමයකින් ලබා ගැනීමට උත්සුක වීම සාමාන්‍ය මනුෂ්‍ය ස්‌වභාවයකි. එය ස්‌ත්‍රියකට මෙන්ම පිරිමියෙකුට ද පොදු කරුණකි. මෙය ජීව විද්‍යාත්මක මෙන්ම මානසික අවශ්‍යතාවක්‌ බව වටහා ගත යුතුය. මෙහි තවත් පැතිකඩක්‌ ද ඇත. එනම් බොහෝ ධනවත් ස්‌ත්‍රීන් තුළ ඇතිවන විවිධ හැඟීම්, ආශාවන්ට පහසුවෙන් නතුවීමට ඇය පෙළැඹී ක්‍රියා කිරීමයි. ජීවිත කාලය පුරා සුකුමාල ජීවිතයක්‌ ගත කරන ඇතැම් ධනවත් ස්‌ත්‍රීහු සමාජ ආකල්ප පිළිබඳ කිසිදු තැකීමක්‌ නොකරති. බොහෝ විට අසම්මත, හිතුවක්‌කාර තීරණවලට පහසුවෙන් එළැඹෙනුයේ එබඳු ස්‌ත්‍රීන්ය. එබඳු ස්‌ත්‍රියකගේ සිත තුළ යම් පිරිමියකු පිළිබඳ ඇතිවන ආශා, නුරා සහගත සිතිවිලි ක්‍රියාත්මක වීමේදී බොහෝ අසරණ ජීවිත කඳුළුවළින් පිරී නැහැවී යනු ඇත. කුඩා දරුවන් සිටින විවාහක තරුණ ස්‌ත්‍රියක වුවද එබඳු සමාජ වගකීම් දරා කටයුතු කිරීමට තරම් පැසුණු බව මඳ වූ ස්‌ත්‍රීන් අසම්මත පුරුදු, ආශාවලට ගොදුරු වීම නිසාම අසරණ ජීවිතවල ශෝකී ඉරණම කඳුළුවලින් ලියෑවී යයි. විවාහ දිවිය සුන්දරව ගත කිරීමට සියලු පහසුකමක්‌ම තිබියදීත්. මෙසේ අසම්මත ඇසුරට යොමු වීම එක අතකින් ගැටලුවකි. සෑම දෙයක්‌ම කිසිදු අඩුපාඩුවක්‌ නැතිව තිබීම පවා ඇතැම් ස්‌ත්‍රීන්ට ගැටලුකාරී විය හැකි බව මෙබඳු අවස්‌ථා අනුව සිතේ. බොහෝ විට සිය සමාජ මට්‌ටමට කිසිසේත් නොසැසඳෙන පිරිමි සමඟ අසම්මතව බැඳී යැමට පිළිගත හැකි හේතු සාධක එබඳු ස්‌ත්‍රීන්ට ඉදිරිපත් නොකළ හැකිද නොවේ. නමුදු කුමන හේතු සාධක ඉදිරිපත් කළ ද සිය හෘදයසාක්‍ෂිය ඒ සියල්ලටම වඩා වටී. කාර්යබහුලත්වය බඳු හේතු සාධක නිසා සාම්ප්‍රදායික විවාහය තුළින් නොලැබෙන දේ පතා අසම්මතයට යොමු වීම නම් කුමන තත්ත්වයක්‌ යටතේදීවත් අනුමත කළ නොහැකිය. නූතනයේ බහුලව එබඳු සිදුවීම් පිළිබඳ අසන්නට ලැබේ.

නොදත්කම, අත්දැකීම් නොමැතිවීම නිසා ස්‌ත්‍රියක පහසුවෙන්ම පිරිමියකුට හසු විය හැකිය. නමුදු අවසානයේදී සියලු දේ තීන්දු වනුයේ ස්‌ත්‍රියටම අයුක්‌තිය, අසාධාරණය, හිමි වන අයුරිනි. අද ස්‌ත්‍රිය දැන උගත්කම්වලින් පුරුෂයා අභිබවා පෙරට පැමිණ තිබේ. ස්‌ත්‍රියට හිමි නිසි සමාජ ඇගයුම ඇයට ලබා දිය යුතුය.

යම්කිසි ස්‌ත්‍රියකට නිදහසේ ක්‍රියා කිරීමේ අයිතිය පවුල් සංස්‌ථාව තුළ අහිමි වී යාම නිසා නැති අර්බුද හට ගැනේ. නූතන සමාජයේ ස්‌ත්‍රිය මුහුණපාන ෙ€දවාචකයේ තවත් අඳුරු පැති කඩක්‌ හෙළි කිරීමට සමත් වේ. තමාට ආදරය, විශ්වාසය, පිළිගැනීම පවුල් සංස්‌ථාව තුළ අහිමි වී යැම ස්‌ත්‍රියකට දරාගත නොහැක්‌කකි. මන්ද ස්‌ත්‍රිය සංවේදී බැවිනි. ස්‌ත්‍රිය වුවද සෙසු මනුෂ්‍යයන් මෙන් පොදු මානව අවශ්‍යතා ඇති අය බව අමතක නොකළ යුතුය.