| සුපුන් ළහිරු ප්‍රකාශ්
ශ්‍රී ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යානය විල්පත්තුව බව ප්‍රකට කරුණකි. එහි ඇති අද්විතීය ජෛව විවිධත්වයද ලොවක් මවිත කිරීමට හේතු වූ බවද නොකිව මනාය. නමුත් "සංවර්ධනය" යන ප්‍රමුඛ අවශ්‍යතාවය දඩමීමා කරගෙන එකී සොබා උරුමය මෙන්ම එහි අගනා ජෛව විවිධත්වයද කෙලෙසා දැමීමට අදූරදර්ශී දේශපාලකයන් හා උන්ගේ හෙන්චයියන්ද කටයුතු කිරීම ජාතියක් ලෙස අප කණගාටුවට පත්විය යුතු තත්ත්වයකි. කලකට ඉහත සෘජු දේශපාලන මැදිහත්වීම මත විල්පත්තුවේ ජෛව උරුමයන් කාබාසිනියා කළ ව්‍යාපෘති කිහිපයක්‌ම මෙම වන උයන තුළ ක්‍රියාත්මක වූයේ විල්පත්තුව කිසිදු හවුහරනක් නැති තත්ත්වයට පත් කරමිනි. ඉනික්‌බිති කලින් කලට මේ ආශ්‍රිත වන පෙත් පටු අවස්‌ථාවාදීන්ගේ ගොදුරු බවට පත්කළ අතර එවැනි අවාසනාවන්ත සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබඳව අප පසුගිය දිනකද සොබාසර මගින් හෙළිදරව් කළෙමු.
නමුත් ඉන්ද නොනැවතී යළි යළිත් විල්පත්තු වනෝද්‍යානය මායිමේ වනාන්තර ඉඩම් අක්‌කර 335 ක් ඊනියා සංවර්ධනයේ නාමයෙන් බිලිගැනීමට ප්‍රබල දේශපාලන ඥතියෙකු කටයුතු කරමින් සිටීම කුමන අභාග්‍යයක් දැයි වටහා ගැනීමට අප අපොහොසත් වෙමු. පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ පිහිටි විරක්‌කුලි මෝලේ - ඔළුවන්කුලම යෝජිත රක්‍ෂිතය, තබ්බෝව අභය භූමිය හා අච්චිමලේ පුරාවිද්‍යා රක්‍ෂිතය ආශ්‍රිත ඉඩම් අක්‌කර 35 ක වනාන්තර ප්‍රදේශයක් යොදාගෙන දැනට වසර ගණනාවකට පෙර සිදු කිරීම ආරම්භ කළ පෞද්ගලික වගා ව්‍යාපෘතියක් පුළුල් කිරීම සඳහා ඒ ආසන්නයේ තවත් වනාන්තර අක්‌කර 225 ක් ලබාදීමට කිසිදු විළියකින් තොරව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කිරීම මෙහි ආසන්නතම ෙ€දවාචකය ලෙස හැඳින්විය හැකිය. ඒමතුදා නොව තවත් ඉඩම් අක්‌කර 75 ක් පමණ සමඟ මෙම සමස්‌ත භූමිය වන සතුන්ගෙන් උදුරාගෙන වගා ව්‍යාපෘතිය පුළුල් කිරීමට අදාල පුද්ගලයින් කටයුතු කරමින් සිටීමද විමතියට කරුණකි. සියලු පාලක කාරකාදීන්ගේ නොමසුරු සහයෝගය මධ්‍යයේ මෙකී සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ උස්‌තැන් දැක හැකිලෙන මිටි තැන් දැක පුප්පන ශ්‍රී ලංකාවේ පරිසර නීතියේ ඇති දුබලකම නිසාද නොඑසේ නම් ඒවා ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ පිටකොඳු සිඳී ඇති බැවින්දැයි කීමට අප නොදනිමු.
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ස්‌වාරක්‍ෂක කලාපය මෙන්ම වන අලින්ගේ පාරම්පරික නිජබිමක්‌ද ආශ්‍රිතවන මෙකී වගා ව්‍යාපෘතිය ස්‌ථාපිත කිරීමට ඉඩ සැලසීමට මෙරට ක්‍රියාත්මක නීති අනපනත් රැසක් අභියෝගයට ලක්‌කිරීමක් බව ඇස් පනාපිටම පෙනෙන්නට තිබියදී තවදුරටත් වනාන්තර ඉඩම් නිල නොනිල වශයෙන් අත්පත් කර ගනිමින් මෙම ව්‍යාපෘතිය පුළුල් කිරීමට අදාළ පුද්ගලයින්ට හැකිවීම මෙරට වන සතුන්ටත් තුරු ලතාවන්ටත් කාගේ සරණද යන පැනය අප හමුවේ පැන නගින්නකි. දැනට මෙම වගා ව්‍යාපෘතිය අනවසරයෙන් පවත්වාගෙන යන අක්‌කර 35 ක භූමියම වනජීවි රක්‍ෂිත ප්‍රදේශ දෙකකට අයත්ය. වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන විරක්‌කුලිමෝලේ - එළුවන්කුලම යෝජිත රක්‍ෂිතය තුළ මෙම වගා බිමෙන් වැඩි කොටසක් පැතිරී ඇත. තවත් කොටසක් පැතිරී ඇත්තේ 2002 ජුලි 19 ප්‍රකාශයට පත්කළ තබ්බෝව අභය භූමිය තුළය. එපමණක්‌ද නොව අච්චිමලේ පුරාවිද්‍යා රක්‍ෂිතයටද මෙම වගා බිමෙහි කොටසක් අයත්වේ. මෙම සියලු අපරාධ සිදුවන තුරු අදාළ රජයේ නිලධාරීන් අඳ ගොළු බිහිරි වතින් නිදිගැන්වී සිටින්නේ මෙය මෙරට අනාගත පරපුරේ උරුමයක් බව නොවැටහීම නිසාදැයි විමසිය යුතුය.
වර්ෂ 2003.04.02 දින රැස්‌වූ රාජ්‍ය ආයතන රැසකින් සුසැදි පුත්තලම දිස්‌ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුව තීරණය කර තිබුණේ පරිසර විද්‍යාත්මකව හා පුරාවිද්‍යාත්මකව ඉතා වටිනා ප්‍රදේශයක් වන මෙය කිසිදු සංවර්ධන කටයුත්තක් සඳහා නිදහස් නොකළ යුතුබවය. එසේම මෙම වගා ව්‍යාපෘතිය සඳහා විකල්ප ඉඩමක් ලබාදෙන ලෙස දැක්‌වෙන අධිකරණ තින්දුවක්‌ද ලබාදී ඇතත් ඒ කිසිදු නෛතික ප්‍රතිපාදනයකින්ද මෙම ස්‌වාභාවික හා පුරාවිද්‍යා උරුමයන්ට සැලසුනු සෙතක් නම් පෙනෙන්නට නැත.
මෙම සමස්‌ත භූමි ප්‍රදේශ වන අලින්ගේ පාරම්පරික නිජබීමක් වන අතර විල්පත්තුව ජාතික උද්‍යානයේ සිට කරුවලගස් වැව දෙසට අලින් සංක්‍රමණය වන සම්ප්‍රදායික හැරුම් මාවතද විහිදී ඇත්තේ මෙම ප්‍රදේශය හරහාය. එය විදුලි වැටක් යොදා අවහිර කිරීමට අදාළ ව්‍යාපෘති කරුවන් අද වනවිට කටයුතු කර තිබීම ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම තව දුරටත් උග්‍රවීමට හේතුවක් බව අවධාරණය කළ යුතුය. මෙම වගා බිම මායිමෙන් ගලායන ගල්මඩුව ඔය දැඩි නියං සමයේදීද නොසිඳී පැවතීම හේතුවෙන් එහි ජලය පානය කිරීම සඳහා අලි ඇතුන් මෙම ප්‍රදේශයට පැමිණෙති. එහෙත් වගා භූමියෙන් වන අලින්ගේ සංක්‍රමණයට බාධා එල්ලවීම මේ වනවිට බරපතළ තත්ත්වයක් බවට පත්ව ඇත.
එසේම රටම වගා ව්‍යාපෘතිය සඳහා යොදාගෙන ඇති ඉඩමේ ඉදිකර ඇති ගොඩනැඟිලි ආසන්නයේ දැනට අනාරක්‍ෂිතව දමා ඇති අඩි 02 ක් පමණ උස කිරිගරුඬ බුද්ධ ප්‍රතිමාවද ප්‍රදේශයෙන් හමුවී ඇති ශෛලමය කුළුණු හා ආලින්ද, මෙහි පුරාවිද්‍යාත්මක වැදගත්කමට කදිම නිදසුන්ය. මෙහි ඉඩම් අක්‌කර 2.5 ක් පුරාවිද්‍යා රක්‍ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේද එකී පුරාවිද්‍යාත්මක වටිනාකම හේතුවෙනි.
මේ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට අදාල බලධාරීන් අපොහොසත් වීම තුළ සිදුවන්නේ පියවරින් පියවර රක්‍ෂිත වනාන්තර බිලිගැනීමට අදාල ව්‍යාපෘති කරුවන්ට ඉඩ සැලසීම බව අවධාරණය කළ යුතුය. අතීතයේදී නියපොත්තෙන් නිවැරදි කිරීමට තිබූ වරද අද වනවිට නිවැරදි කිරීමට වගකිව යුතු නිලධාරීන් පොරව හෝ භාවිතා නොකළ හොත් අනාගතයේ මෙම ප්‍රදේශයේ වන සතුන්ට පමණක් නොව අලි මිනිස් ගැටුම මගින් ප්‍රදේශයේ ජනතාවගේ පැවැත්මටද බරපතළ තර්ජන එල්ලවිය හැකි බව නොකියාම බැරිය. එබැවින් මෙම විනාශය පිටුදැකීම සඳහා අපගේ මාතෘ භූමියේ මතු පරපුරේ නාමයෙන් වත් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව හා වයඹ පළාත් පරිසර අධිකාරිය සෘජු හා නිර්භීත තීරණයක් ගනු ඇතැයි පරිසරයට ලැදි සියලු දෙනා උදක්‌ම අපේක්‍ෂා කරනු ඇත.
විශේෂ ස්‌තූතිය පරිසර සංරක්‍ෂණ භාරයට
Post a Comment