පෞද්ගලික ආයතන පවරා ගැනීමේ පනත හරහා අහිමි වන රැකියා රජයට ලබාදිය හැකිද? - ලක්‍ෂ්මන් කිරිඇල්ල

පෞද්ගලික ව්‍යාපාර අත්පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත පිළිබඳව පසුගිය සති කිහිපය තුළ රටේ විශාල ආන්දෝලනයක් ඇතිව තිබූ බව එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික් පා.ම ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූයේ අද (08) කොළඹදී පැවති මාධ්‍යය හමුවකට එක්වෙමිනි. ඔහු එහිදී මෙසේද පැවසීය.

මේ පනත විවිධ නම් වලින් හැදින්වුවත් එය ව්‍යාපාර අත්පත් කර ගන්නා පනතක් බව පැහැදිලියි. මේ පනත වහා ඉල්ලා අස් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලීමක් කර තිබෙනවා. එමෙන්ම භික්‍ෂු සංවිධාන, ව්‍යාපාරික සංගම් ද මේ පනත ඉල්ලා අස් කර ගන්නා ලෙසත්, එසේ නොමැති නම් සංශෝධනය කිරීමක් හෝ සිදු කරන ලෙස ඉල්ලා තිබෙනවා.

මෙම සංවිධාන පසුගිය දා රජය සමග සාකච්ඡා කළ අවස්ථාවේ දී ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ප්‍රකාශ කොට තිබුණේ මේ නව පනත ගෙන එන්නේ එමගින් ප්‍රකාශිත ව්‍යාපාර 37 අත්පත් කර ගැනීම සඳහා පමණක් බවයි. නමුත් මේ පනත හරහා අනාගතයේ දී වෙනත් කිසිඳු ව්‍යාපාරයක් අත්පත් කර නොගන්නා බව ද රජය ප්‍රකාශ කොට තිබෙනවා. නමුත් අසාර්ථක ව්‍යාපාර 37 ට අමතරව ඉදිරියේ දී එවැනි ව්‍යාපාර රැසක් පවරා ගන්නා බව කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා කළ ප්‍රකාශ පසුගිය සතියේ ජනමාධ්‍ය වාර්තා කොට තිබුණා. මේ අනුව බලන විට මේ පනත සම්බන්ධව රජයේ ද මත දෙකක් තිබෙන බව පැහැදිලියි.

යෝජිත පනත් කෙටුම්පත යටතේ රජයට පවරා ගනු ලබන්නේ ව්‍යාපාර 37 ක් පමණක් බව ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ප්‍රකාශ කරන විට කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කරන්නේ අසාර්ථක ව්‍යාපාර 37 ට අමතරව ඉදිරියේ දී තවත් එවැනි ව්‍යාපාර පවරා ගැනීමට ඉඩ තිබෙන බවයි. මේ අනුව ජනාධිපතිතුමාගේ සහ කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාගේ ප්‍රකාශවල පරස්පරතාවක් තිබෙනවා.

ද්වේශසහගත පවරා ගැනීම්වලට මේ ප්‍රකාශ තුළින් මාර්ගයක් සකස් කොට තිබෙනවා. වත්මන් රජයත්, පසුගිය රජයත් මෙටට ආයෝජකයින් ගෙන්වා ගැනීම සඳහා විදේශ රටවලට ගොස් රුපියල් කෝටි ගණනින් මහජන මුදල් වැය කළා. මේ රටේ ආයෝජන සුරක්‍ෂිත බව පෙන්වීම සඳහා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් හා රජයේ මැති ඇමැතිවරු ලොව පුරා සංචාරය කරමින් විවිධ ප්‍රකාශ කළා. නමුත් ඒ අයම දැන් පෞද්ගලික ව්‍යාපාර අත්පත් කර ගැනීමේ පනත ගෙන එමින් මෙරටට ආයෝජකයින් ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තරව ගෙන ගිය ප්‍රචාරක ව්‍යාපාරය බින්දුවටම ඇද දමා තිබෙනවා.2009 වසරේ දී මේ රටට විදේශ ආයෝජන පැමිණ ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 621 ක් පමණයි. 2010 වන විට එය ඩොලර් මිලියන 516 දක්වා පහත වැටී තිබෙනවා. යුද්ධය අවසන් වී වසර දෙකක් ගත වන විට මෙලෙස ආයෝජන විශාල වශයෙන් පහත වැටීම පිළිබඳව රජය නැවත සිතා බැලිය යුතුයි.

පෞද්ගලික ව්‍යාපාර රජයට පවරා ගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන පනත මගින් මේ රටේ ජීවත් වන තරුණ පරම්පරාවේ රැකියා අවස්ථාවන්ට මරු පහරක් එල්ල වන බව කිව යුතුයි. රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව මේ රටේ වයස අවුරුදු 20-30 ත් අතර තරුණ තරුණියන්ගෙන් 80%කටම අද රැකියා නැහැ. මෙවැනි පසුබිමක් තුළ මේ ආකාරයේ පනත් ඉදිරිපත් කරමින් මේ තරුණ තරුණියන්ගේ රැකියා අපේක්‍ෂාවන් රජය ඉටු කරන්නේ කෙසේද?

රජයට ඇඟිලි ගැසීමට තිබුණේ පෞද්ගලික ආයතනවලට නොව, රජයේ පාඩු ලබන ආයතනවලටයි. පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් වාර්තාවට අනුව රාජ්‍ය ආයතනවලින් අති විශාල පාඩුවක් සිදු වී තිබෙනවා. මෙලෙස පාඩු ලබන රජයේ ආයතන කෙරෙහි අවධානය යොමු නොකොට දැනට ලාභ ලබන පැල්වත්ත සහ සෙවනගල ආයතන පවරා ගැනීම අපි තරයේ හෙළා දකිනවා. මේ රජය යටතේ පාලනය වන හිඟුරාන සහ කන්තලේ යන සීනි කම්හල් දෙකක් තිබෙනවා. නමුත් ඒවා පාඩු ලබන නිසා අද වසා දමා තිබෙනවා. මෙසේ තිබිය දී පෞද්ගලික අංශයේ මිලියන 300-400 ක් ලාභ ලබන ආයතන පවරා ගැනීම ද්වේශසහගත ක්‍රියාවක් බව කිව යුතුයි.

විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක් ප්‍රකාශ කොට තිබුණේ එක්කෝ මෙම ක්‍රියාව මෝඩ ක්‍රියාවක් බවත්, එසේත් නැතිනම් ආණ්ඩුවේ හතුරෙකුගේ ලණුවක් කියලයි. රජය මේ ගත් පියවර කිසි කෙනෙකුට අදහාගත නොහැකියි. ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ පිරිසක් පෞද්ගලික අංශයේ ආයතන 37 ක් පවරා ගන්නා බව ප්‍රකාශ කරන විට රජයේ තවත් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ ඒ ආයතන 37 ට අමතරව තවත් ආයතන පවරා ගන්නා බවයි. දැන් අප මේ රජයට දැනුම්දෙන්නේ එලෙස අලූතින් පවරා ගැනීමට යන ආයතන රට හමුවේ හෙලි කරන ලෙසයි. දෙවැනි වටයේ පවරා ගැනීමට යන ව්‍යාපාර පිළිබඳ ලැයිස්තුවක් අපට මේ වන විට ලැබී තිබෙනවා.

මේ පෞද්ගලික ආයතන පවරා ගැනීමේ අපේ රටේ නීතිය පමණක් නොව, ජාත්‍යන්තර නීතිය ද උල්ලංඝණය කොට තිබෙනවා. ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තිය මුළු ලෝකයම පිළිගෙන තිබෙනවා. ඒ අනුව එම ප්‍රඥප්තියේ 17 වැනි වගන්තිය යටතේ තනිව හෝ සාමුහිකව දේපොළ අයිති කර ගැනීමට අයිතියක් තිබෙනවා. ඒ වගේම ඒ දේපොළ නීති විරෝධී ලෙස අන්සතු කිරීම ජාත්‍යන්තර ප්‍රඥප්තිය උල්ලංඝණය කිරීමක් බව එහි සඳහන් වනවා.

මේ ක්‍රියාදාමය නිසා කිසිඳු ආයෝජකයෙක් මේ රටට එන්නේ නැහැ. තිබෙන ආයෝජන ද නැවත විකුණා යන බවට ද කිසිඳු සැකයක් නැහැ. මේ පනත හරහා ආයෝජකයින් පමණක් නොව, දේශීය ව්‍යාපාරකයෝ ද කලකිරීමට හා උදාසීනත්වයට පත්වීම වැළැක්විය නොහැකයි.මේ නිසා අප රජයෙන් ඉල්ලා සිටින්නේ ප්‍රමාදවී හෝ වහා මේ පනත ඉල්ලා අස්කර ගන්නා ලෙසයි.

මේ වන විට වත්මන් රජය යටතේ ජාත්‍යන්තර වශයෙන් චෝදනා රැසක් අපට එල්ල වී තිබෙනවා. අදටත් මේ රටේ සුදු වෑන් සංස්කෘතිය ක්‍රියාත්මකයි. එමෙන්ම මේ රටේ නීතියේ උත්තරීතර භාවය ආරක්‍ෂා වී තිබෙනවා ද යන්න පිළිබඳව අපේ රටේ ජනතාවට මෙන්ම ජාත්‍යන්තරයට ද ප්‍රශ්නයක් වී තිබෙනවා. එමෙන්ම මෙරට මාධ්‍ය ආයතන ගිනි තබා තිබෙනවා. මාධ්‍යවේදීන් ඝාතනය කොට තිබෙනවා. මේ අනුව රටේ මාධ්‍ය නිදහස පිළිබඳව ද ප්‍රශ්න රැසක් අද වන විට මතුව තිබෙනවා. ඒ ප්‍රශ්න මත දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙන පෞද්ගලික ආයතන රජයට පවරා ගැනීම තුළින් ජනතාව සතුව තිබූ දේපොළ සම්බන්ධ අයිතිය ද ඒ ජනතාවට අහිමි කර තිබෙනවා.

එදා මාධ්‍යවේදීන් ඝාතනය වන විට, මන්ත්‍රීවරු ඝාතනය වන විට, මාධ්‍ය ආයතන ගිනි තබන විට නීතියේ ආධිපත්‍ය මුළුමනින්ම අහිමි වී ගෙන යන විට ඊට එරෙහිව එක්සත් ජාතික පක්‍ෂය හඬ නැගුවා. නමුත් අද මේ සිදුවීම් එකින් එක පාරාවළල්ලක් ලෙස ආණ්ඩුවටම ඊට මුහුණපෑමට සිදුව තිබෙනවා. ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා මහ පාරේ ඝාතනය වුණා. අද එතුමා වෙනුවෙන් කතා කරන්නේ කවුද? ඒ වෙනුවෙන් ආණ්ඩු පක්‍ෂයේ කිසිවෙක් කතා කරන්නේ නැහැ.

ඒ නිසා කොයි කවුරුත් හරි දේට හරි කියමින්, වැරදි දේට වැරදියි කීමට ඉදිරිපත් විය යුතුයි. හැම දේටම කට වසාගෙන බලා සිටියොත් කවදා හෝ තමන්ට ද ඒ දේටම මුහුණපෑමට සිදු වන බව කිව යුතුයි. ව්‍යාපාර රජයට පවරා ගැනීම සඳහා වන රජයේ ස්ථාවරය වහා පැහැදිලි කළ යුතුයි. රජයේ අභිමතය අපට අවශ්‍ය නැහැ. ඒ අභිමතය එකක් විය හැකියි. නමුත් අප විමසන්නේ නීතිය කුමක්ද කියායි.

1977 බලයට පැමිණි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විවෘත ආර්ථිකය හඳුන්වාදීමෙන් පසු ව්‍යාපාර අත්පත් කර ගැනීමේ පනත පවා අහෝසි කළා. ඒ පනත තිබෙනතාක් අපි ලංකාවට නොඑන බව එදා ජාත්‍යන්තර ව්‍යාපාරිකයින් ප්‍රකාශ කළා. පනත අහෝසි කළායින් පසු කටුනායකට මෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශවලට ආයෝජන ගලාගෙන ආවා. පෞද්ගලික ආයතන පවරා ගැනීමේ පනත හරහා අහිමි වන රැකියා රජයට ලබාදිය හැකිද? ආණ්ඩුව ගැන බලාපොරොත්තු තබා ගෙන සිටින තරුණ තරුණියන්ට මේ හරහා මුහුණපෑමට සිදු වන්නේ කුමන ඉරණමකට ද?

රජයට පවරා ගැනීමට සැලසුම් කොට තිබෙන මේ ආයතනවලින් ටැන්ඩම් ලංකා නැමැති ආයතනයක් මහනුවර පල්ලේකැලේ ප්‍රදේශයේ තිබුණා. මේ ආයතනය යටතේ එක් කාලවකවානුවක සේවකයින් 2500 ක් පමණ සේවය කළා. නමුත් අවාසනාවකට මෙන් මේ ආයතනය පවත්වා ගෙන යාම සඳහා රජයට නොහැකි වුණා. යෝජිත පනත සම්මත වීමෙන් අනතුරුව මේ තත්ත්වය තවත් උග්‍ර වන බව කිව යුතුයි. ඒ නිසා අප මේ රජයෙන් ඉල්ලා සිටින්නේ මේ රටේ තරුණ පරපුර හා තරුණ පරපුරේ අපේක්‍ෂා මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව විනාශ නොකොට ඒ පනත වහා හකුලා ගන්නා ලෙසයි. ලබන වර්ෂය සඳහා ඉදිරිපත් කොට තිබෙන අයවැයේ රටේ ආදායම බිලියන 1100 ක් වනවා. වියදම බිලියන 2200 යි. මේ අනුව බලන විට ආදායමට වඩා වියදම දෙගුණයක් වී තිබෙනවා. මේ මුදල් සොයා ගැනීමට තිබෙන එකම මාර්ගය ණය ගැනීම පමණයි.

Tell a Friend