නිලන්ත ඉලංගමුව
රට තල්ලු වී ඇති අඝාදය පැහැදිලිය. ඒ පාලක පක්ෂයේ ප්‍රභල සාමාජිකයෙකු එම පක්ෂයේම අයෙකු විසින් මරා දැමීමෙන් පමණක් නොව පසුගිය කාල වකවානුව තුළදී අසන්නට ලැබුණු අපරාධ සියල්ලටම පාහේ රාජපක්ෂගේ අනුහසින් නීතය අතට ගෙන සිටින අයවලුන් සිදු කළ ක්‍රියාමාර්ග වලිනි. මුළු රටම බිය ගන්නවමින් ජාත්‍යන්තර මට්ටමේ පුවත් නිර්මාණය කළ ග්‍රීස් යකා මුල්ලෙරියාවෙන් ජයවර්ධන පුර රෝහලට රැගෙන ගොස් ඇත. හිතුවක්කාර සහෝදරයා විසින් ලංකාවේ දේශපාලනයට ඉතුරු කොට ඇති අවශේෂය වන්නේ එයයි. සිදු වීම එනම් මරා ගැනීම ගැන පුදුම විය යුත්තේ නැත. එය අපේ සංස්කෘතියයි. එය පුදුම දෙයක් ලෙස පෙනෙන්නේ මේ වන විට පසුගිය දශක ගණනාව පුරාම ලංකා සමාජය කොටු වී සිටි එල්.ටි.ටි. ඊ.ය නමැති රාමුවෙන් 2009 මැයි මාසයේදී සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස ඉවත් වීම නිසා මුල්ලේරියාවේ සිදුවීම ප්‍රභල ලෙස යුක්තිය පාලක පක්ෂය තුළින්ම ප්‍රශ්න කරන්නක් බවට පත් වී තිබීම පමණි. ලංකාවේ නිතීයක් 1978 ව්‍යවස්ථාව ක්‍රියාත්මක වූ දිනයේ පටන්ම පැවතුණේ නැත. පවතුනානම් පැවතුණේ බලය කේන්ද්‍ර කර ගනිමින් පවතින මිනීමරු සම්ප්‍රදායකි. එය බොහෝ දුරට මැර බලය සහ පවුල් බලය මත තීරණය වූවක් මිස රටේ සම්මත නිතීය කේන්ද්‍ර කරගත් රටාවක් නොවේ. ආරක්ෂක ලේකම්වරයා හමුදා සේවයෙන් ඉවත් වී රට පනින්නේත්, ඉන් පසු මහින්ද රාජපක්ෂ නිසා මෙරට දේශපාලනය තුළ ප්‍රතුර්භූත වී අමාත්‍යංශ ලේඛම්වරයෙකුගේ භූමිකාව සහා ඊට අදාළ නිතීය ප්‍රසිද්ධියේ උල්ලංඝනය කරමින් කනිෂ්ඨ හිට්ලර් කෙනෙකුගේ චරිතය රඟපාන්නෙත් එහි ඛේදනීය පියවරක් ලෙසය.
පසුගිය වසරේ අග භාගයේදී ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් ලියා තිබු කුණු ගොඩක් වැනි ගඳ ගහන මහා භායනක ලිපියට පිළිතුරක් ලියමින් මා විසින් අවධාරණය කරනු ලැබුවේ එයයි. එම හිමි නම පාලකයෙකු රටක් අල්ලේ නැටවිය යුතුයි යයි කියූ අමන බඩගෝස්තරවාදී නිවට දෙශාපාලනයේ සැබෑ ප්‍රතිපලය දැන් සිදු වෙමින් තිබේ. දේශපාලන පක්ෂවලින් අපගමනය වූ සැබෑ සිවිල් සමාජයක් ශ්‍රී ලංකාව තුළ ගොඩ නැගී නැත. එසේම මේ රටේ සිදු වී ඇති මහා විනාශයේ 75 % කම වගකීම භාරගත යුත්තේ බෞද්ධ බික්ෂු ප්‍රජාවයි. ඔවුන්ගේ සපත්තුවට සරිලන ලෙස කකුල කැපීමේ න්‍යාය හේතුවෙන් මෙරට සියලුම ප්‍රජාවන් එකිනෙකා කුලල් කා ගන්නා තත්වයට ලක් කොට ඇත. කාලාන්තරයක් තිස්සේ රටේ දිග්ගැස්සෙමින් පවතින අර්බුධවලට සහ ලක්ෂ ගණනකට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වී ඇත්තේ රටට අවශ්‍ය බහු සංස්කෘතික, බහු බාෂා බෞද්ධ ආගමක් වෙනුවට කුහක, කුලවාදී, අන්තවාදී මෙන්ම රටේ නායකයාගේ පට්ටපල් බොරු වලට රැවටී නායකා අභිමුඛ දනින් වැටීමේ සම්ප්‍රදායක් ඇති කළ නිසාය. මේය වෙනම කතා බහට ලක් කළ යුතු කාරණයක් වන්නේ එය එතරම්ම දීර්ඝ එකක වන හෙයිනි.
කාලාන්තරයක් තිස්සේ පවතින සම්ප්‍රදායක් කැඩීම එතරම් ලෙහෙසි නොවන අතර රාජපක්ෂ විසින් 18 වන ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ සේම කෑලි වලට කඩා බිඳ දමා පැවැත් වූ මැතිවරණ වලින් සිදු කිරීමට ගියේ එයයි. රාජපක්ෂ මේ සඳහා තවත් උපායක් අනුගමනය කළේය. එනම් පක්ෂයේ සිටින අය වලුන් ක්‍රමෝපායිකව මට්ටු කිරීම සඳහා එක්කෝ එලවා දැම්මේය. නැතහොත් කිසිඳු වගකීමක් නැති තනතුරක් ලබා දුන්නේය. ශ්‍රීපති සූරියාරච්චි සහ මංගල සමරවීර පන්නා දැමීමේ සිට රාජපක්ෂ වෙනුවෙන් ඉතිහාසයේ සිටම පෙනී සිටි අය වලුන් අභූත චෝදනා වලට ලක් කරමින් එලවා දමා ජාතික තලයේ උපාසකයෙකු මෙන් රාජපක්ෂ පෙනී සිටියා පමණක් නොව තමාගේ පා පහරට ලක් වී විසි වුනු අය දේශද්‍රෝහීන් කළේය. සැබවින්ම රාජපක්ෂ ජනාධිපතිදූරයට ගෙන ඒම සඳහා භාරධූර කාර්යක් සිදු කරනු ලැබුවේ මංගල සමරවීර සහ ශ්‍රීපති සුරියරච්චිය. කුමන හෝ හේතුවක් මත මංගල තවමත් ජීවතුන් අතරය. එහෙත් ශ්‍රීපති නැත. එසේම භාරත්ගේ චරිතයද ප්‍රාදේශීය මට්ටමින් සේම පසුව ජාතික මට්ටමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා අතිශය තීරණාත්මක විය. රාජපක්ෂට මෙකී කිසි දෙයක වැදගත් කමක් නැත. මන්ද ඔහු කිසිවෙකු තමා පවුලෙන් පරිභාහිරව විස්වාශ නොකරන පක්ෂ දේශපාලනයට ගරු නොකරන චරිතයක් වන හෙයිනි.
රාජපක්ෂ වූ කලී පැරණි ජාතක කතාවලින් එකක් වන සේරීවාණිජ ජාතක කතාවේ කජ්ජුපුඨ චරිතය රඟපාන කපටි වෙළෙන්දාගේ දේශපාලන භූමිකාව වේ. තවත් ආකාරයකින් කිවහොත් පක්ෂ දේශපාලනය ඔස්සේ ඉහල පැමිණි පසු තමන්ගේ පවුලට පරිභාහිර අයෙකුට ඉහළ නැගීම නතර කිරීම සඳහා තමා භාවිතා කළ ඉනිමඟ ඉවත් කිරීම රාජපක්ෂගේ ක්‍රමෝපාය වේ. මේ ඇත්ත තේරුම් නොගෙන රාජපක්ෂ, භාරතගේ මරණය දැක නිසි ආචාර කරාවී හෝ වෙනත් යහපාලනයක් වෙනුවෙන් පෙනී සිටීවී ආදී ලෙස සිතීමත් මෝඩ කමකි. ඒවා දවල් හීන පමණි. කෙසේ වෙතත් භාරතගේ මරණයෙන් පසු කාලාන්තරයක් තිස්සේ මර්ධනය කරමින් පවත්වාගෙන ගිය ලබ්බ ඇතුලේ තොවිලයට හෙණ වැදී ඇත. තවත් අකාරයකට කිවහොත් රාජපක්ෂ බරපතල ලෙස පක්ෂය තුළ මෙන්ම සිංහල බහුතරයක් තුළ පිළිකුල් චරිතයක් වී ඇත. එසේම මෙවර පෙරට වඩා විශේෂත්වය වන්නේ තමන්ගේ වාසියට හරවා ගැනීම සඳහා වෙනත් පිටත් කෙනෙකු භාවිතා කළ නොහැකි වීමය. ඔහුට ඒ සඳහා තමන්ගේ හිතුවක්කාර සහෝදරයා වන ගෝඨාබය රාජපක්ෂ ජාතික වශයෙන් පාවා දීමට සිදු වේ. එය සිදු නොවන යථාර්ථයක් හෙයින් රාජපක්ෂ දේශපාලනික වශයෙන් උභතෝකෝටිකයක් වෙත තල්ලු කොට දමා තිබේ. මෙය මඟ හරවා ගැනීම සඳහා ඔහුගෙන් වෙනත් විජ්ජා ඉදිරි දින කිහිපය තුළ බලාපොරොත්තු විය හැකිය. මන්ද සිංහල බෞද්ධ ජනතාව විජ්ජා වලින් රැවටීමට හැකි බව රාජපක්ෂ පසුගිය දශකය පුරාම පේනවා ඇති හෙයිනි. එකී විජ්ජාවකින් තමාගේ පරිසරය පෙර පැවතී තත්වයට තල්ලු කර ගන්නා තුරු රාජපක්ෂට ශරීර කෘත්‍ය සිදු කිරීමට සිදු වී ඇත්තේ සිට ගෙනය, අනුබව කිරීමට සිදු වී ඇත්තේ බිම දිගා වෙමින්ය, රාජ්‍ය පාලන කිරීමට සිදු වී ඇත්තේ සැතපෙමින් හීනෙන්ය, රමණය සිදු කිරීමට සිදු වී ඇත්තේ දුවමින්ය. ක්‍රියාව සහ එය සිදු කිරීමට ඇති ස්වභාවික ක්‍රමය වෙනුවට රාජපක්ෂට අස්වාභාවික ක්‍රමයට තල්ලු වීමට සිදු වී තිබේ. එය ඔහු රටට සහ එහි ජනතාවට සිදු කිරීමට ගිය දෙය බූමරංගයක් ලෙස තමන් වෙතටම එල්ල වීමයි. නමුත් මෙය පළමු පියවර පමණි.
රටක් පොදු නීතියෙන් ගලවා ගෙන අල්ලේ නැටවීමේ අවුලේ ප්‍රථම සංඥාව නිකුත් වී ඇති බව පැහැදිලිය. රාජපක්ෂ වූ කලී එවැනි ක්‍රමයක් අත්හදා බලන ලෝකයේ සිටින එකම නායකයා නොවේ. ඉතිහාසය පුරාම පක්ෂ දේශපාලනයට සහ දේශපාලන බහුත්වයට ගරුකරමින් දේශපාලන බලය අල්ලා ගත් බොහොමයක් දෙනා පසුව ක්‍රමිකව වෙනස් වෙමින් තමන් මත සියලුම බලය සංකේන්ද්‍රණය කර ගැනීමට මාන බැලුවේය. ඔවුහු ආරම්භයේදී සාර්ථක බව පෙන්නුවා පමණක් නොවේ එකී ජනසමාජයේ බහුතරය තුළ ආකර්ශනීය අධිපත්‍යක්ද පිහිටුවීය. නමුත් අවසානයේදී ඈත කැලයක මදුරු තලමින් තමන් අතින් සිදු වූ අත්වැරැද්ද ගැන ලතැවුනු කාම්බෝජයේ පොල් පොට් වැනි නායකයින් සිදු කළා වූ විනාශයෙන් ගොඩ ඒම සඳහා දශක ගණනාවක් කැපකිරීමට ජනතාවට සිදු විය. රාජපක්ෂද නිතීය වෙනුවට තම අභිමතය යුක්තිය ලෙස ගනිමින් ගෙන යන මෙකී වැඩ පිළිවෙලේ අවසානය ඛේදවාචකයක් පමණි. රාජපක්ෂගේ බලය සංචල කිරීමට මුල්ලේරියාවේ සිදු වූ ඝාතනය ගැන සතුටු වීමේ කිසිඳු වුවමනාවක් නැත. නමුත් එය රාජපක්ෂගේ දේශපාලන විද්‍යාගාරය තුළ සිදු වූ එක් වැදගත් සංඛේතීය පුපුරායාමකි. එය තමාදෙසට වාසි සහගත ලෙස යළි හරවා ගැනීම සඳහා රාජපක්ෂ විසින් ඊට වඩා හානීදායක ආදේෂණයකින් පවතින තත්වය වෙනස් කිරීමට ඉඩ තිබේ. ඔහුට ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය මෙන්ම , ජනතා විමුක්ති පෙරමුණද භාවිතා කිරීමට හැකි මට්ටමින් පෙරදාටත් වඩා වෙනස් වී තිබේ. නමුත් මුල්ලේරියාවේ මෙන් හදිසි අනතුරු වලින් තමා මවාගෙන සිටි ආධිපත්‍ය ක්ෂණික ලෙස විනාශ වෙන බව තේරුම් ගැනීමට තවත් කාලයක් ඔහුට ගත වනු ඇත. කොටි අතුගා දැමීම නිසා කළගුණ සැලකීම සඳහා චන්දය ලබා දෙන්න යැයි ආයාචනය කරමින් නිතීය සමඟ සෙල්ලම් කළ කළගුණ නොදන්නා නායකයා කරමින් සිටින වැඩපිලිවලේ නියම වර්ණය වන්නේ එයයි. මෙය පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුහුණ දී සිටින තම ඉතිහාසයේ දරුණුතම අභියෝගයයි.
Post a Comment