එදා රුපියල් පහක් නැතිව සිටි දිලිත් ජයවීර අද බිලියන් ගණන් හෙව්වේ කෙසේද?

ශාන් වික්‍රමසිංහගෙන් C.C.Dයට පැමිණිල්ලක්

එදා කොළඹ සරසවියේ නීති පීඨයේ සිසුවෙකු සිටි අවදියේ කෑම වේලක් සඳහා රුපියල් පහක් වියදම් කිරීමට නොහැකිව සිටි පුද්ගලයකුවන දිලිත් ජයවීර අද රුපියල් බිලියන දෙකක ජෝජ් ස්ටුවට් සමාගමේ කොටස් ගැනීමට හැකියාව ලැබුණේ කෙසේදැයි වහාම සොයාබලන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය භාර පොලිස් අධිකාරී ඩී.ආර්.එල්. රණවීර මහතාගෙන් විපක‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩිමහල් සොහොයුරු ශාන් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාශ (C.C.D) මූලස්ථානයට ගොස් පැමිණිල්ලක් කරමින් ඉල්ලා සිටියේය.

සාමාන්‍ය ගුරුවරුන් දෙපළකගේ පුතකුවන දිලිත් ජයවීර ඉතා කෙටිකාලයක් තුළ මේසා විශාල ධනස්කන්ධයක් උපයාගත් ආකාරය පිළිබඳව ඔහු විසින් පැහැදිලි කර දිය යුතු යැයි Lanka News web සමඟ ශ්‍රී ලංකාවේ සිට දුරකතනයෙන් සම්බන්ධ වෙමින් පවසා සිටි ශාන් වික්‍රමසිංහ මහතා දිලිත් ජයවීර විසින් මීට අමතරව මෑතකදී රුපියල් මිලියන 500කට මිල දී ගත් 'ලිබර්ටි ප්ලාසා' ගොඩනැගිල්ල පිළිබඳවත් කරුණු පැහැදිලි කර දිය යුතු බව පැවසීය. මෙම ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ හිමිකාරිත්වයෙන් 51%ක ප්‍රමාණයක් අයත්ව තිබුණේ නාගරික සංවර්ධන අධිකාරියටවන අතර, නාගරික සංවර්ධන අධිකාරිය මේවන විට ආරක‍ෂක අමාත්‍යංශයට අනුයුක්ත කොට ඇති අතර එවන් තත්ත්වයක් තුළ මෙම ගනුදෙනුව ඉතා සැකසහිත එකක් බව ශාන් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් පවසා සිටියේය.

දිලිත් ජයවීර සහ නිමල් පෙරේරා සම්බන්ධ සියලූ තොරතුරු ,Divasa Equity Company" නැමැති සමාගමේ තොරතුරු පරීක‍ෂා කිරීමෙන් දතහැකි බවත් මෙම සමාගම සම්බන්ධව කොළඹ කොටස් වෙළෙඳපොළේ අභ්‍යන්තර ගනුදෙනු (Inside trading) සිදුවන ආකාරය පිළිබඳව සවිස්තර වාර්තාවක් තමා ඉදිරි දින කීහිපය තුළ අනාවරණය කිරීමට බලාපොරොත්තුවන බව ශාන් වික්‍රමසිංහ මහතා තවදුරටත් පවසා සිටියේය.

අද පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාශයට මෙම පැමිණිල්ල කිරීම සඳහා ශාන් වික්‍රමසිංහ මහතා සමඟ නීතිඥ සුදත් ජයසුන්දර සහ ශාන් වික්‍රමසිංහ මහතාගේ බාල සොහොයුරු චන්න වික්‍රමසිංහ මහතා සහභාගි වී තිබේ. දූෂිතයන් සමාවකින් තොරව හෙළිදරව් කිරීම තමාට කියා දුන්නේ තම පියාවන දිවංගත එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා විසින් බව ශාන් වික්‍රමසිංහ මහතා ගෞරවයෙන් යුතුව අවසාන වශයෙන් සැලකර සිටියේය.

Source: LankaNewsWeb
Tell a Friend