කිෂානි වැලිවිටිගොඩ
ලිබියාවේ හිටපු අගමැති අල් බගාදී අල් මෝහමදී ට්යුනිසියානු දේශ සීමා පසු කරමින් ට්යුනිසියාවට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගත් බව ට්යුනිසියානු ආණ්ඩුව ප්‍රකාශ කරයි. ඩුබායි මුලස්ථානය කරගනිමින් විකාශනය කරන අල් අරාබියා රුපවාහිනි නාලිකාවට අනුව ට්යුනිසියාවට නීති විරෝධීව ඇතුළු වීම හේතු කොට ගෙන හිටපු අගමැතිවරයා අත් අඩංගුවට ගැනීමට සඳහන් වේ.
කෙසේ වෙතත් ඔහුව අත්අඩංගුවට ගත් වෙලාව සහ ප්‍රදේශය පිළිබඳව නිශ්චිත තොරතුරු තවමත් හෙළි වී නොමැත. ලිබියානු නායක ගඩාෆි යටතේ පසු ගිය මාර්තු මාසය දක්වා ඔහු අගමැතිවරයා වශයෙන් සේවය කළේය. මේ අතර ලිබියානු නායක ගඩාෆි ලන්ඩනයේ පල වන "ද ඩේලි ටෙලිග්‍රාෆ් " වෙතට ප්‍රකාශ කර ඇත්තේ තමන් තවම බලයේ සිටින බවයි.
"ලිබියාවේ දේශපාලන ක්‍රමය පදනම් වී ඇත්තේ මහජනතාවගේ බලය මතයි. එම ක්‍රමය ඉවත් කිරීම කළ නොහැකි,"යි ගඩාෆි එහිදී ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ජාතික අන්තර්වාර කවුන්සිලයට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලිබියාවට හිමි ආසනය ලබා දුන් අතර අප්‍රිකානු සංගමය ඇතුළු ගඩාෆි ආණ්ඩුවට හිතවත් රටවල් රැසක් ආදාළ කවුන්සිලය ලිබියාවේ නීතිමය ආණ්ඩුව ලෙස පිළිගෙන තිබේ.
මේ අතර ජාතික අන්තර්වාර කවුන්සිලයේ ප්‍රධානි මුස්තාෆා ජාලීල් ප්‍රකාශ කරන පරිදි පසුගිය පෙබරවාරි මස සිට පැවති ගැටුම් වලින් දෙලක්ෂ පනස් දාහක් මිය ගිය ගොස් තවත් පනස් දාහක් ගැටුම් වලින් තුවාල ලබා ඇත.
Post a Comment