අපගේ තක්සේරුව අනුව යම් ලෙසකින් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අනාගතයේ උසස් තත්වයේ වෛද්‍ය විද්‍යාලයක් බවට පත් වුවහොත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් ඔවුන්ගේ දරුවන්ද මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුළු කර ගැනීමට උනන්දු වනු ඇත. එසේම ජවිපෙ නායකයන්ද (එදා පළාත් සභා වලට විරුද්දව කෑ මොර දී පසුව පළාත් සභා වැළඳ ගත්තාක් සේ ) ලක්ෂ 70 ක් පමණ ගෙවා තමන්ගේ දරුවන් මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුළු කර ගැනීමට තැත් කරනු ඇත.
සුපුන් පෙරේරා
දකුණු ආසියානු වෛද්‍ය සහ තාක්‍ෂණික ආයතනය (South Asian Institute of Technology and Medicine pvt, Ltd) නමින් පවත්වාගෙන යනු ලබන මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට වෛද්‍යවේදී සහ ශෛල්‍ය වෛද්‍යවේදී උපාධිය (MBBS) පිරිනැමීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශය අවසර ලබාදී ඇත. 2011-08-30 දින අංක 1721/19 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා මෙම අවසර ලබාදීම සිදු කර තිබේ. එහෙත් මේ සම්බන්දයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය වැනි සංවිධාන විසින් විරෝධතාවය පල කොට තිබේ. මෙය ලංකාව වැනි පාසල් අධ්‍යාපනයේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා නොමිලේ ඉගෙනුමද ඉන්පසු රජය විසින් රැකියාවක් ද ලබා දිය යුතුයි යන මානසිකත්වයේ ගැලී සිටින සමාජයක ස්වභාවික ප්‍රතිචාරයකි. එම නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීම යනු බොහෝ විරෝධතාවන්ට මුහුණ දිය යුතු තත්වයකි.
1981 දී රාගම දී ඇරඹූ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සිසු සටන් ඇරඹීම සඳහා හේතු කාරක වූ අතර මෙම ලියුම්කරුද එවකට විශ්ව විද්‍යාල මගින් මෙහෙයවන ලද සිසු විරෝධතා වලට සහභාගී වී තිබේ. ඉන් දශක 3 පමණ පසු යලි ඇරඹෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කතිකාව කෙරෙහි වඩාත් විචක්ෂනශිලිව බැලීමට මේ දශක තුන අතර කාලයේ සිදු වූ සමාජ වෙනස්වීම් , දේශපාලන අවස්තාවාදයන් , නොයෙකුත් පාවාදීම් හේතු වී තිබෙන බව පෙන්වා දිය යුතු වේ. 1981 දී ආවේගශීලිව ශිෂ්‍ය ( ගිරා ) දේශපාලනයක් කල අප දැන් එදාට වඩා අත්දැකීම් ලබා තිබේ. එම නිසා මෙම ගැටලුව දකින්නේ 1981 ළිං මැඩි මානසිකත්වයෙන් නොවේ.
පසුගියදා මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අදාළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් බිහිවන වෛද්‍ය උපාධිධාරීන්ගේ ගුණාත්මකභාවය පිළිබඳ කිසිවකුට වගකිව නොහැකි බවද ඉන් ලෙඩුන්ට සිදුවිය හැකි අයහපත ගැන මුසප්පුව කතා කළේය. මෙය සත්‍ය වශයෙන්ම අපට විස්මය දනවන්නකි. හෙදියක් ඇඟ හැපුනත් ලෙඩුන් වලපල්ලට ගියද ඉන් කමක් නැතැයි කියා වර්ජනය කල හැකි වෛද්‍යවරුන් සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හිටි හැටියේම ලෙඩුන් පිළිබඳව මහා කරුණාවක් පහලවී තිබේ. ( වෘත්තිය සමිති ගැන නොසිතා නියමිත ලෙස රාජකාරි කරන වෛද්‍යවරුන් ද සිටින බව අප දනිමු) නමුත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙම විරෝධතාවය ලෙඩුන් ගැන මෙත් සිතෙන් ඇති වුවක් බව සිතීමට අසීරු ඔවුන්ගේ අතීත ක්‍රියාකලාපය ජනතාව හොඳින් දන්නා නිසාය. එසේම වර්තමානයේ දී රජයේ රෝහල් වල රෝගීන්ට ගුණාත්මක සේවාවක් ලැබෙන්නේ ද යන්න පිළිබඳව අපට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් පෙරළා ඇසිය හැකිය. මේ විරෝධතාවය අනාගතයේ ඔවුන්ගේ වෙළඳපොල ගැන සිතා මතු වූ එකක් මිස පොදුවේ රෝගීන්ගේ හිත සුව පිණිස හෝ රෝගීන්ගේ සෞඛ්‍ය ගැන සිතා ගත් තීරණයක් නොවේ. එය ආත්මාර්ථකාමය මුල් කොට ගත් ප්‍රතික්‍රියාවකි.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රටකට අගුණද ? මෙය මතුපිටින් නොව ගැඹුරින් බුද්ධිමත්ව සලකා බැලිය යුතු ප්‍රශ්නයකි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බොහෝ රටවල තිබේ. එම රටවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීම මගින් රාජ්‍ය වෛද්‍ය විද්‍යාල වලට තරඟයක් ඇති කොට ඇති අතර මෙම කණ්ඩායම් දෙක වඩාත් ගුණාත්මක සේවයක් රෝගීන් උදෙසා ලබා දීමට උත්සුක වෙති. එසේම බටහිර රටවල වෛද්‍ය කෂේත්‍රයේ නව සොයාගැනීම් සහ සංවර්ධනයන් බොහොමයක් කොට ඇත්තේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල නොව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයි. මේ නිසා මෙම කරුණ පිළිබඳව අප වඩාත් පළල්ව සිතිය යුතුය. ඉන්දියාව , නේපාලය වැනි අපගේ යාබද රටවල් පවා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කොට විදේශ සිසුන් ගෙන්වාගෙන රටට ආදායමක් ලබා දෙති. නමුත් අපගේ රටේ විදේශ අධ්‍යාපනය සඳහා සිසුන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වියදම් කොට පිටරට යති. මෙම තත්වය ගැන අප වඩාත් දුරදිග සිතිය යුතුය.
පෞද්ගලිකරණය සෑම ගැටළුවකටම පිළියමක් නොවේ. පෞද්ගලිකරණය සමහර විට ලංකාව වැනි රට වල වෙනත් ගැටළු මතු කොට තිබේ. උදාහරණයක් ලෙස ගරා වැටී තිබු ලංගමට අතිරේකව පෞද්ගලික ප්‍රවාහන ක්‍රමයක් ඇති කිරීම මගින් මගී ප්‍රවාහනය වඩාත් ප්‍රවර්ධනය වූ නමුදු පෞද්ගලික ප්‍රවාහන සේවය නිසි පාලනයකින් හා විනයකින් බැහැර වීම නිය අයාලේ යන සේවාවක් බවට පත් විය. එම නිසා වෙනත් රටවල් ඉතා සාර්ථකව ගුණාත්මක සෞඛ්‍ය සේවයක් සමග ලාභ ලබන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කොට ඉන් එල නෙලා ගත්තද අපගේ කළමනාකරණ හැකියාවන් වල ඇති දුබලතා හා දේශපාලන ඇඟිලි ගැසීම් නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අයාලේ යන අධ්‍යාපන කඩ වීමේ ඇති සම්භාවිතාවද අප මෙහිදී සිතා බැලිය යුතුය. එම නිසා දේශීය විශ්ව විද්‍යාල මෙන් ඉබාගාතේ යන අධ්‍යාපන ක්‍රමයක් එහිද ඇති වුවහොත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීම මගින් අනෙකුත් රටවල් ලබා ඇති ප්‍රතිලාභ ලංකාවට ලබා ගැනීමට අසීරු වනු ඇත.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල ගුණාත්මකභාවය භාවය අතින් විශාල පිරිහීමකට ලක්වී තිබේ. 2011 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව කොළඹ විශ්ව විද්‍යාලයට ලැබී තිබෙන්නේ 2690 ස්ථානයයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2615 ද රුහුණ විශ්ව විද්‍යාලය 2552 ස්ථානයටද පත්ව තිබේ. අපගේ විශ්ව විද්‍යාල අර්බුද සහිත අසාර්ථක රාජ්‍යයක් බවට පත් වී තිබෙන අප්‍රිකාවේ සිම්බාබ්වේ රාජ්‍යයේ විශ්ව විද්‍යාල වලටත් වඩා පහලින් සිටින බව නොරහසකි. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව සිම්බාබ්වේ විශ්ව විද්‍යාලය සිටින්නේ කොළඹ විශ්ව විද්‍යාලයටත් වඩා ඉහල 2246 ස්ථානයේ ය. එම නිසා ලංකාවේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල වලින් ගුණාත්මක හා දක්ෂ පිරිසක් බිහි වන බව කීම විහිළුවකි. යටත් පිරිසෙන් නේපාලයේ මනිපාල් විශ්ව විද්‍යාලයට අද අන්තර්ජාතික වශයෙන් තිබෙන පිළිගැනීම අපගේ කිසිදු වෛද්‍ය විද්‍යාලයකට නොමැත. එම නිසා යම් ලෙසකින් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැටලුවකින් තොරව ස්ථාපිත වුවහොත් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විශේෂ වැඩ කොටසක් පැවරී තිබේ.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳව කතිකාව ගැන කරුණු සොයන විට මට 1981 දී රාගම දී ඇරඹූ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුධව සටන් කල එවකට වෛද්‍ය සිසුවෙකු වූ දැනට පෞද්ගලික රෝහලක අධිපතිත්වය දරන දොස්තර මහතෙකු හමු විය. ඔහුගේ රූපාන්තරණය ගැන යම් යම් ගැටළු මට ඇතත් ඔහුගේ අවංකව කරුණු පිළිගැනීමේ ගුණාංගය මගේ ප්‍රසාදයට හේතු විය. ඔහු මට උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව මෙතෙක් බොහෝ දෙන නොදැන සිටි කරුණු අනාවරණය කළේය. ඔහු පෙන්වා දෙන පරිදි උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය විසින් බිහි කල සුළුතරයක් වූ වෛද්‍යවරු අද ඉතාම ගුණාත්මක සේවයක නිරතව සිටිති. ඔවුන් බොහෝ දෙනෙකු අද විශේෂඥ වෛද්‍යවරුන්ය. සමහරෙකු පිටරට රෝහල් වල විදේශීය විශ්ව විද්‍යාල වල උසස් තනතුරු දරති. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ පිලිබඳ දන්නා නමුදු ඒ ගැන මුනිවත රකිති. මේ අනුව 1981 දී රාගම දී ඇරඹූ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය බාධාවකින් තොරව අද දක්වා පැවතියේ නම් එය දකුණු ආසියාවේ ප්‍රකට විදේශ සිසුන් පවා ආකර්ෂණය කර ගන්නා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් බවට පත් වීමට තිබුණි. නමුත් මෙම ලියුම්කරු ඇතුළු බොහෝ දෙනෙකු එදා උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය දෙස බැලුවේ වපර ඇසිනි.
උසස් පෙළ සාමාන්‍ය සමර්ථ ලබාගෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට පිවිසීමේ වරම ගැන ඇතැමෙකු විශේෂයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තදබල විවේචන කරති. එහෙත් සමහර ස්කැන්ඩිනේවියානු රටවල වෛද්‍ය විද්‍යාල වලට සිසුන් බඳවා ගන්නේ සාමාන්‍ය පෙළ මට්ටමිනි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය නොදන්නා නමුත් ඔවුන්ගේ පක්ෂයේ නායක රෝහණ විජේවීර සහෝදරයාද ලුමුම්බාවේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ගියේ සාමාන්‍ය පෙළ සහතිකයෙනි. ජවිපෙ තුල තිබෙන පෞද්ගලික විශ්ව විද්‍යාල භීතිකාව තේරුම් ගැනීමට අසීරු කරුණකි. දැනටමත් පිටරට පෞද්ගලික විශ්වවිද්‍යාල වල නාමයෙන් මුදල් අයකර ලංකාවේදී පාඨමාලා පවත්වා විදේශීය විශ්වවිද්‍යාල උපාධි පිරිනමන ආයතන මෙරට තිබේ. APIIT, SLIIT, ACBT, ANC වැනි ආයතන මෙසේ නම් කල හැක . පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධව හඬ නගන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට මෙම කරුණ තවමත් වැටහී නැත. මේ හැර ජවිපෙ (පාක්ෂිකයන් දන්නේ නැතත්) වර්තමාන නායක සෝමවංස සහෝදරයාගේ පුත්‍රයාද එංගලන්තයේ ඉගෙනුම ලබන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාලයකය. ඒ පිළිබඳව අපගේ කිසිම විරෝධයක් නැත. එය සෝමවංස සහෝදරයාගේ පුත්‍රයාට ඇති අයිතියකි. එම අයිතිය අනෙකුත් දරුවන්ටද තිබිය යුතුය.
අපගේ තක්සේරුව අනුව යම් ලෙසකින් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අනාගතයේ උසස් තත්වයේ වෛද්‍ය විද්‍යාලයක් බවට පත් වුවහොත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් ඔවුන්ගේ දරුවන්ද මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුළු කර ගැනීමට උනන්දු වනු ඇත. එසේම ජවිපෙ නායකයන්ද (එදා පළාත් සභා වලට විරුද්දව කෑ මොර දී පසුව පළාත් සභා වැළඳ ගත්තාක් සේ ) ලක්ෂ 70 ක් පමණ ගෙවා තමන්ගේ දරුවන් මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුළු කර ගැනීමට තැත් කරනු ඇත. මෙය ඔවුන්ගේ වරදක් ලෙස අප නොදකිමු. එය ලංකාවේ දේශපාලන ප්‍රතිරෝදයන්ගේ යථා ස්වභාවයි. අවසාන වශයෙන් විශේෂ කරුණක් සඳහන් කල යුතුය. මෙම ලියුම්කරුගේ වෑයම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නීතිගත කල යුතු බව පැවසීම නොව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිව පෙන්වන කරුණු වල නග්න භාවය විචාරශීලී පාඨකයාට පෙන්වා දීමය.
Post a Comment