අලින්ගේ මද කිපීම

රනිල් නායකයා ලෙස රැඳී සිටීම සුදුසුද ? නැත. ඔහු ඉවත් කිරීම සඳහා කාලය එළඹ තිබේද? නැත.



නිලන්ත ඉලංගමුව

එක්සත් ජාතික පක්ෂයේ නායකයා විදේශ සංචාරයක නිරත වන අවස්ථාවේදී එම පක්ෂයේ නායකත්වය භාර ගැනීම සඳහා කරු ජයසුරිය මහතාට යෝජනා කිරීමේ වැඩපිළිවෙලක් පසුගිය සතියේදී ක්‍රියාත්මක විය. අදාළ මෙහෙයුම තවමත් ක්‍රියාත්මක වේ. එක්සත් ජාතික පක්ෂයෙන් දක්නට ලැබෙන්නේ වැහි නැති අකුණු මිස වෙන කිසිවක් නොවේ. එම අකුණු සැර වැදී එම පක්ෂයට අහිමි වන්නේ තමන්ගේම සාමාජිකයින් මිස ඉන් රාජපක්ෂ ජනාධිපතිවරයාට කිසිඳු අහිතකර බලපෑමක් වන්නේ නැත. ඒ වෙනුවට රාජපක්ෂගේ බලය තව තවත් ශක්තිමත් වීම පමණක් ඇති වේ. සැබවින්ම රනිල්ගේ නායකත්වය පිළිබඳව එම පක්ෂයට හෝ රටට පමණක් නොව ලෝකයටම ප්‍රශ්න ඇත. වරකදී ඉන්දියාවේ ඉහල පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලේඛකයා සමඟ කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා කාරණා දෙකක් සිතේ තබාගෙන නායකත්වයේ රැඳී සිටිනවා විය හැකි බවය. එකක් නම් කොතැනකදී හෝ ජෝතිෂ්‍ය වේදියෙකු හමුවීමෙන් පසු ඔහුගේ උපදේශයට අනුව එළුවා පස්සේ ගිය නරියා සේ රටේ නායකත්වය කවාදා හෝ ලැබෙන බවට ඇති තිර විශ්වාසයයි. අනෙක හොඳම පාරජිතයා වී ගිනිස් වාර්තා පොතේ වාර්තා තැබීමට ඇති බලාපොරොත්තුවයි. කෙසේ වෙතත් පැවති පළාත් පාළන චන්දයෙන් පසු රනිල් වික්‍රමසිංහ මාහතාගේ බලය අතට ගැනීම සඳහා පක්ෂය තුළ අඥාන කුමන්ත්‍රණයක් සිදු කරන සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කල්ලිය සිදු කරමින් සිටින්නේ රාජපක්ෂට හැකි උපරිමයෙන් සහාය දැක්වීම මිස වෙන කිසිවක් නොවේ. මෙය දේශපාලනික වශයෙන් කිසිඳු වැදගැම්මකට නැති, එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය තවදුරටත් බාල කරන කටයුතකි. ඔබ මාලිගා සාදන්නේ වැල්ලේ නම් අමතක නොකළ යුතු කාරණය වන්නේ අදාළ මාලිගා මුහුදු රළට විනාශ වීම අනිවාර්ය බවයි. අපට සිහින ඔස්සේ කෙතරම් දුර ගොස් කෙතරම් ශක්තිමත් දෑ තැනිය හැකි නමුත් ප්‍රයෝගික තලයේදී එය අතිශය බැරෑරුම් කටයුත්තකි.

පවතින දේශපාලන ප්‍රවණතාවය හමුවේ එක්සත් ජාතික පක්ෂය අවධානය යොමු කළ යුත්තේ මේ වන විට දෙමළ ජනතාව බහුතරක් වෙසෙන ප්‍රදේශ වල පවතින දේශපාලන අනාරක්ෂිත බාවය සැලකිල්ලට ගැනීම සහ දකුණේ සිංහල බහුතරයක් වූ ජන කොටස් අතර තවමත් රාජපක්ෂ කෙරෙහි පවතින අන්ධ භක්තිය පහ කිරීමට අවශ්‍ය තත්වය නිර්මාණය කිරීමය. පසුගිය පළාත් පාළන මැතිවරණයේදී ජනාධිපතිවරයගේ පුත්‍රයා වන නාමල් රාජපක්ෂ කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්ක වල හැසිරුණු අකාරය ඉතා පරෙස්සමින් විමසා බැලිය යුත්තේය. එය අතිශය භයංකර වන්නා සේම අනාගතයේදී එහි ක්‍රමික සංකීරණ තත්වයක් මිස වෙනත් සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකිය. එක් අවස්ථාවකදී ඔහු ඇතැම් විපක්ෂ දේශපාලනඥයින් පැහැර ගෙන විත් තමා ඉදිරියට පැමිණවීමට අණ කළ අතර එසේ පැහැරගෙන එන අයවලුන් සමඟ අතට අත දී තම පක්ෂය සහය දක්වන බවට ප්‍රචාරය කළේය. කෙසේ වෙතත් මැතිවරණයේදී දෙමළ ජනතාව ආණ්ඩුව පරාජය කළ බව සත්‍යකි. එහෙත් අනාගතයේදී තත්වය සිතා ගැනීමටවත් නොහැකි වන ආකාරයෙන් සංකීර්ණ වනු ඇත. එජාපයේ මුලික වගකීම වන්නේ මෙම තත්වය තේරුම් ගෙන කටයුතු කිරීම නොවේද? රාජපක්ෂ පළාත් පාළන මැතිවරණයක්වත් එක වටයකින් අවසන් කිරීමට හැකියාවක් ඇති හෝ ජනතාව කෙරෙහි විශ්වාසයෙන් සිටින නායකයෙකු නොවේ. ඔහුගේ අවිස්වාසය අනාගතයේදී තවත් වැඩි වනු ඇත.

එසේම රාජපක්ෂ විසින් ක්‍රමෝපායිකව ඝාතනය කරමින් සිටින රටේ ආරක්ෂක අංශ වල පිට කොන්ද නගා සිටුවීම විපක්ෂ විසින් විසිදුකල යුතු තවත් මුලික කටයුත්තක් වේ. එය සිදු නොවන තාක් දුරට තවත් මාස කිහිපයකින් ලිබියාවේ, සිරියාවේ මෙන්ම බහරේනයේ ආරක්ෂක අංශ හැසිරෙන ආකාරයෙන් පිස්සු බල්ලන් මෙන් නිදහස මර්ධනය සඳහා ලංකාවේද ආරක්ෂක අංශ හැසිරෙනු ඇත. දැනටමත් උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව මර්ධනය කරනු ලබන්නේ එහි භයානක ප්‍රතිපලයක් වශයෙනි. ඉදිරියේදී මැතිවරණ වලින් රාජපක්ෂ ක්‍රමිකව පරාජිතයෙකු වත්ම රාජපක්ෂට තම පුටුව රැක ගැනීම සඳහා ඉතුරුවන අවසාන බලවේගය වන්නේ මෙකි රූකඩ ලෙස නිර්මාණය කරනු ලබන ආරක්ෂක අංශ වේ. ඒ නිසා එම තත්වයෙන් රට මුදා ගැනීමේ සහ ආරක්ෂක අංශ වූ කලි රාජ්‍යයේ ප්‍රකාශනයක් මිස රාජපක්ෂගේ රූකඩයක් නොවන තැනට තල්ලු කිරීමේ මහඟු වැඩ පිළිවෙල පැවරී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයටය. නමුත් ඒ වෙනුව ඇතින්නන් නැති වනයක මද කිපුණු අලින් සේ හැසිරීම වූ කලි තමා විසින් තමාගේම ගෙල සිඳ ගැනීමකි. ආර්ථික වශයෙන් මෙන්ම දේශපාලනික වශයෙන් එවැනි පසුබිමක රටේ පොදු මානසිකත්වය තල්ලු වී නැති අවස්ථාවක රා කල සොලොසක් බීගත් ඇතකු සේ නාඩකම් නැටීම ඔල මොට්ටල කමකි.

එසේම මේ අවස්ථාවේදී රනිල් නායකත්වයෙන් පන්නා දැමීමට මෙහෙයුම් කිරීම පුවත් නිර්මාණය කිරීමක් මිස අදාළ පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව එය කළ නොහැකිය. පවතින ගැටලුවේ මුලික පියවර තේරුම් නොගෙන එවැනි දේවල් සිදු කිරිමට හැකි යැයි පිටට පෙන්වමින් තමන් වීරයකු වීමට උත්සාහ කිරීම වූ කලි මෝඩකම මිස වෙන කිසිවක් නොවේ. සැබවින්ම මෙවැනිම වූ තත්වයක් එකල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේඛම් වරයා වශයෙන් සිටි එස්. බි. දිසානායක එක්සත් ජාතික පක්ෂයට පැමිණ උතසහ කළේය. එස්. බි. හැකි උපරිමයෙන් උත්සහ කරනු ලැබුවේ රනිල් එලවා දැමීමටය. නමුත් අවසානයේදී සිදු වූයේ තමන්ට පරණ තැන සොයා ගෙන යාමටය. විශේෂයෙන් මෙහිදී වැදගත් කාරණය වන්නේ පසුගියදා ජනරාල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කළ ආකාරයෙන් විපක්ෂයේ ඇති පොදු දුර්වලතාවයන් හඳුනා ගෙන කටයුතු කිරීමය. අද ලංකාවේ විපක්ෂ දේශපාලනයක් කියා දෙයකට ඉතුරු වී ඇත්තේ ජනරාල් ෆොන්සේකා වැලිකඩ සිට උසාවියට පැමිණ සහ උසාවියේ සිය වැලිකඩට යාමට පෙර ඔහු රැගෙන යන වාහානයෙන් බැසීමෙන් පසු සහ ගොඩවීමට පෙර සිදු කරන තත්පර දහයේ දේශපාලනය ය. තේරෙන බාසාවෙන් කිවහොත් ජනරාල්ගේ ටෙන් සෙකන්ඩ් පොලිටික්ස් ය. ඒ තරමට රටේ විපක්ෂ හෝන්දු මාන්දු වී ඇත.

රනිල් ධුරයෙන් ඉවත් කළ යුත්තේ නම එය කළ යුත්තේ එනම් පක්ෂයක නායකත්වය හෝ එහි සැලකිය යුතු වෙනස් කම් සිදු විය යුත්තේ මැතිවරණයක් අසන්නේදී හෝ ඉතා වැදගත් දේශාපාලන අවස්ථාවකදීය. එනම් ආණ්ඩු බලය වෙනස් කිරීමේ තත්වයක් නිර්මාණය වී ඇති අවස්ථාවේ මිස වෙනත් වැද ගැම්මකට නැති තත්වයක් තුළදී නොවේ. මන්ද එවැනි අවස්ථාවකදී මැතිවරණයක ජයග්‍රහණය සඳහා ප්‍රධාන වන පාවෙන චන්ද වලින් අති බහුතරය එජාපයට ඇදෙනු ඇත. වෙනස් කම කිසිඳු වැදගත් කමක් නැති අවස්තාවක සිදු වීම වූ කලි එහි වාසිය සතුරු බලවේගයට එනම් රාජපක්ෂ විසින් නතු කර ගැනීමය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ වත්මන් කැරැල්ල වූ කලි මිරිඟුවකින් ජලය පානය කිරීම හා සමානය. ඉන් ජනතාවට ඇතිවන සුගතියක් හෝ රාජපක්ෂට සිදුවන හානියක් නැත. මෙය වඩාත් හොඳින් තේරුම් ගැනීමටනම් ගංගොඩ විල සෝම හිමි හදිසියේ අපවත්වීමෙන් පසු ජාතික හෙළ උරුමය නමින් සිංහල-බෞද්ධ මානසිකත්වය වෙළඳාම කිරීම සඳහා බිහි වූ දේශපාලන කල්ලියේ බිහිවීම මෑත කාලින දේශීය දේශපාලනයේ වැදගත් සංසිද්ධිය වේ. එකී කල්ලිය මේ වනවිට කොණ්ඩය භූ ගා දේශපාලන ස්ථාවරත්වය සොයන්නේ තම පැවැත්ම පිළිබඳව වන අවිනිශ්චිතතාවය නිසාය. මේ නිසා දේශපාලන සංසිද්ධිය සහ සාමාජ සංසිද්ධි දේශපාලන සංසිද්ධි වලට පෙරලා ගන්නේ කෙසේදැයි අවබෝධ කර ගැනීම අතිශය වැදගත් වේ. රනිල් එලවා දැමීමට මාන බලන කණ්ඩායම නැවත නැවතත් කල්පනා කළ යුත්තේ එයයි.

මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් වුවහොත් ඊට දේශපාලනයක් කිරීමට ඉතුරු වන්නේ නැත. මන්ද රනිල්ගෙන් බලය පැහැර ගැනීමට අර අදින අයට ඇත්තේ මහින්ද රාජපක්ෂ විසින් ලංකාව පුරා විකුණමින් සිටින යල් පැන ගිය සටන් පාඨයම මිස වෙනත් අලුත් දෙයක් නොවේ. ඊට එහා ගිය දෙයක් ඇත්නම් ඇත්තේ රාජපක්ෂට චීනයෙන් පගාව දීම පමණි. එහි වන්දිය ස්වාභාවිකවම රාජපක්ෂට ලැබෙනු ඇත. සිදු විය යුත්තේ එය එනම් රාජපක්ෂගේ සටන් පාඨය තව දුරටත් තිත්ත වන තුරු රාජපක්ෂටම විකීමට ඉඩ දීමය. එවිට භුමියේ තත්වය වෙනස් වනවා පමණක් නොව නව දේශපාලන දැක්මකට අවකාශය සැලසෙනු ඇත. එසේ නොමැතිව මහින්ද සිදු කරන දෙයම සිදු කරමින් එය නව දේශපාලනයක් සඳහා හේතු වෙතැයි ප්‍රකාශ කිරීම මුලාවකි. රනිල් එලව දමනවාට වඩා දෙමළ ජනතාව නිහඩව පිළිතුරු දෙන ආකාරයෙන් සිංහල ජනතාවගේ මානසිකත්වය වෙනස් කිරීමේ ක්‍රමෝපායික වැඩපිළිවෙලකට අවතීරණය වීමේ අවශ්‍යතාවය එජාපය ඇතුළු විපක්ෂයෙන් සිදු විය යුතු කාලය එළඹ තිබේ. 

Tell a Friend