මිනිසුන්ව හපාකන කකුල් දෙකේ මුර බල්ලන්

අමිල ගුණරත්න

ලංකාවේ රාජ්‍ය ආයතනයකට වැඩක් කර ගැනීමට යන මිනිසුන්ට සිදුවන රස්තියාදුවට අමතරව එම ආයතන මුර කරන කකුල් දෙකේ බල්ලන්ගේ බිරුම් රැවුම් ගෙරවුම් වලට මුහුණ දීමට සිදුවේ. අසහනකාරී ලෝකයක ජිවත් වන මෙම මිනිසුන් තම අසහනයද ආයතනයේ වැඩක් කර ගැනීමට එන මිනිසුන් මතින් යවති. රාජ්‍ය සේවය නවීකරණය කිරීම ගැන දේශපාලකයන් කතා කරති. නමුත් බිම් මට්ටමේ සිදුවන අකටයුතු ගැන මෙම දේශපාලකයන්ට වැටහීමක් නැත එසේත් නැතොත් ඒවා තේරුම් ගැනීමට උවමනාවක් නැත.

බොහෝ විට පොලිසියකට ගිය විට පිළිගන්නේ සගිස්කුරුත වචන වලිනි. ඉන්පසු රස්තියාදු කරවති. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට , වුවද හැඳුනුම්කමක් නොමැතිව වැඩක් කර ගැනීමට යාම වහ කෑමකි. මෙපමණක් නොවේ පාසල් වලටද අරක් ගෙන ඇති මෙවැනි මුර බල්ලන් ළමයින් ගෙනයාමට පැමිණි විට දෙමාපියන්ටද ගෙම්බර් දමති. වරක් මගේ මිතුරෙක් ඔහුගේ බිරිඳට සිදුවූ අකරතැබ්බයක් මට කිවේය. කොළඹ ප්‍රධාන පෙලේ පාසලක ප්‍රාථමික ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔහුගේ දරුවාව පාසැල නිම වී ගෙදර ගෙන යාමට පැමිණි විට පාසලේ ගේට්ටුව ළඟ සිටි මුරකරු සහ ආදී සිසුන්ගේ සංගමයේ සාමාජිකයෙකු යැයි කියාගත් ගොබිලෙකු ඇයට පාසැල ඇතුලට යාමට ඉඩදී නැත. එසේ යාමට ඉඩ දී නැත්තේ ඇය ඩෙනිම් කලිසමකින් සැරසී සිටීමය. මෙම දෙදෙනා ඇයට යළි ගෙදර ගොස් සාරියකින් සැරසී එන ලෙසට කියා තිබේ. මොවුන්ට බඩ පෙනේනේ සාරියකට වඩා , ශරීර අවයව වැසෙන ඩෙනිම් කලිසම අසභ්‍ය වුයේ මන්ද යැයි නොතේරේ. ගේට්ටුවේ මුර බල්ලන් වීමේ බලයෙන් ගැහැණියකගේ ඇඳුමට බලපෑම් කොට හංගාගෙන සිටින ලිංගික අසහනය එලියට දැමීමට සදාචාරය සුරකින මෙවැනි අයියලා පසුබට නොවෙති.

Beyond Frame වෙබ් අඩවියේ මේ පිළිබඳව අගන ලිපියක් පලවී තිබුණි. පාඨකයන්ගේ දැනගැනීම පිණිස එය පල කරමු.

බොහෝ ආයතන මුර කිරීමට බාර දී ඇති අය විසින් එම ආයතනවලට එන්නන් නැවත නොඑන බවට වග බලාගන්නා ආකාරයක් දකින්නට පුලුවන. පිරිමි ආරක්ෂක නිලධාරීන්ගේ අනවශ්‍ය සම්මුඛ පරීක්ෂණයන්ට කාන්තාවන්ට මුහුණ දීමට සිදුවීම එහි එක් වැඩපිළිවෙලකි. මෙසේ කරන්නේ ඇතැම් මුර බල්ලන් තුළ ඇති පරපීඩක ලිංගික ආසාවන් නිසා ය. සිදුවන්නේ මානසිකව වැට්ටවීමෙන් පහත් ‍විනෝදයක් ලැබීම ය. ඊළග උපාය වන්නේ කොතරම් ඉඩ තිබුන ද වාහන එලියේ නවත්වන ලෙස දෙන උපදෙස් ය. ලොක්කෙකුට පාට් එකක් දමන්නට එය හොද අවස්ථාවකි. තවත් තැන්වල ජාතික හැදුනුම්පත ලබා ගෙන ආයතනික හැදුනුම්පතක් නිකුත් කරන්නේ කෝපය ඉහ වහා යන තුරු මිනිසුන් රදවා ගන්නා ගමන් ය. ලොක්කන්නට ගණන් දාන්නට හයියක් නැති උන්ට එයත් ලොකු දෙයකි. තවත් විටෙක එනවිට තම හැදුනුම්පත වෙන කෙනෙකු විසින් රැගෙන ගිය අවස්ථා ඇති නිසා මිනිසුන්ට නැවත තමන්ගේ නියමිත හැදුනුම්පත් ලබා ගැනීමට රස්තියාදු වීමට සිදුවේ. කලින් සියල්ල හිතාමතා කරන ඒවා වන මුත් මෙය හිතාමතා වැඩ කිරීම මගහැරිමෙන් වන ඇබැද්දියකි.
(හිතාමතා කරන්නේ නොකළ යුතු වැඩ ය. හිතන්නේ නැතිව කරන්නේ හිතාමතා කළ යුතු වැඩ ය.)

සමහර විට හොද්ද බොර කර ගැනීමේ අභිලාෂයෙන් තහනම් නියෝග පනවන අවස්ථා ද එමට ය. එසේ කරන්නේ ආයතනයට සේවා සපයන ආයතන වලට ය. මුර බල්ලන් එක්ක ඔට්ටු වෙනවාට වඩා උන්ව මොන හරි ක්‍රමයකින් සාක්කුවට දා ගැනීමෙන් ප්‍රශ්නය විසදන්නට සමහරු ඉදිරිපත් වෙති. මේ ගන්නේ එහි වාසියයි. නැතිනම් සිදුවන්නේ හැතැම්ප ගණනක් ඈතින් බඩු බාගෙන ඒවා කර තියාගෙන යෑමට ය.

බොහෝ විට මුර බල්ලන් කරන මේ හිරිහැරය ආයතනයේ සමහරුන්ගේ අමන්දානන්දයට ද හේතු වෙයි. ඒ පිට අයට වඩා සුවිශේෂ ලෙස තමන්ට කරන සැළකිල්‍‍ලෙන් සාමාන්‍යයෙන් නොලබන වැදගත් කමක් උන්ට දැනෙන බැවිනි.

මේ මුර බල්ලෝ බොහෝවිට ප්‍රදර්ශනය කරන්නේ ආයතන ප්‍රධානියාගේ හැටි ස්වභාව යයි. සමහර විට ආයතන ප්‍රධානියා නෝන්ජල් වුනහම මුර බල්ලෝ රජ වෙති. තවත් සමහර විට ආයතන ප්‍රධානීන් තමන්ගේ රැස්පොට් එක පෙන්නන්නට මෙවැනි මුර බල්ලන්ම තෝරා සේවයේ යොදවන අවස්ථා ද ඇත. ආයතනයට එන කෙනෙකුට මුලින් ම මුලිච්චි වන්නේ මේ අසංවර පිරිස නිසාම ආයතනයට පිවිසෙන්නටත් පෙර මිනිසුන්ගේ ආවේග අවුස්සා උන් නොමිනිසුන් කර ආයතනය ඇතුළට ගැනීමට මේ නිසා ඉඩකඩ සැලසී ඇත. එහෙත් කර ගන්නට ආ වැඩය කර ගෙන ආපසු යනවා විනා ආයතන හදන්නට හදිසියේ එන මේ මිනිසුන්ට ගායක් නැත. එහෙම වුවමනාවක් තිබුන ද මේ ආයතන හදන්නට ද බැරි ය. ජනතා සේවයක් සැළසීමට වුවමනා ආයතනවල ප්‍රධානීන්ට අප කියන්නේ මේ බල්ලන් බැද තබන ලෙස ය. කකුල් හතරේ බල්ලන්ගෙන් ද අඩුවක් නැති අපේ ආයතනවල ඊට වැඩිමනත් ලෙස කකුළ් දෙකේ බල්ලන් ද සිටීමෙන් පෙන්වන්නේ අපට උරුමව ඇති ආයතනික ජීවිතයේ ශෝචනීයත්ව ය.

Tell a Friend