උගුරට හොරා බෙහෙත් කෑම

යම් හෙයකින් ආණ්ඩු විරෝධී පුළුල්ම පෙරමුණක් සාදා ගැනීමේ හා එයට ආණ්ඩු පක්ෂයෙන් ද කෑල්ලක් කඩා ගැනීමේ අරමුණෙන් ජාතික ප්‍රශ්නය විසඳීම පිළිබඳව ‛පස්සෙ බලමු’ වර්ගයේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට විපක්ෂ බලවේග උපක්‍රමශීලී තීරණයකට එළඹිය හැකිය. නමුත් එවැනි පියවරකින් සුළු ජාතීන් අතර සහ ප්‍රගතිශීලී ජන කොටස් අතර විපක්ෂයට ඇති පිළිගැනීම කෙරෙහි නැවත පිළිසකර කළ නොහැකි අන්දමේ හානියක් සිදුවීම වැළැක්විය නොහැකිය.
සුදර්ශන ගුණවර්ධන

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ප්‍රශ්න පිළිබඳව විපක්ෂ බලවේග තුළ අද පවතින ස්ථාවරය ගැන සාකච්ඡාවක් ඇති කරගැනීම වැදගත්ය. අපට පෙනෙන හැටියට ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් (අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම සහ අතුරුදහන් කිරීම වැනි) වෙනුවෙන් පෙනී සිටිමින් එම සිවිල් අයිතිවාසිකම් කඩවීමේ පරිසරයක් ඇතිවීමට හේතු වූ තමන් ජීවත්වන ප්‍රදේශවල පාලන බලතල තමන්ට අහිමි කිරීම හෙවත් දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් අමතක කිරීමට කටයුතු කරමින් සිටී.

එක්සත් ජාතික පක්ෂය තුළ මතුවෙමින් පවතින එක් ප්‍රවණතාවයක් වන්නේ දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය ගැන තිත්ත කසාය පානය කළ ගොළුවන්ගේ භූමිකාව රඟපෑමය. ඔවුන්ගේ තර්කය වන්නේ ආණ්ඩුව ජාතිවාදය පාවිච්චි කරමින් සිංහල ජනතාවගේ එකම ආරක්ෂකයා ලෙස පෙනී සිටිමින් අති විශාල බහුතරයකින් දකුණේ ඡන්ද දිනමින් සිටින අවස්ථාවක දෙමළ මිනිසුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව කථා කිරීම දේශපාලන වශයෙන් සියදිවි නසා ගැනීමක් වනු ඇති බවයි. තමන් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබා දීමට විරුද්ධ නැති නමුත් මේ අවස්ථාවේ එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම ආණ්ඩුවට වාසියක් නොවේදැයි ඔවුන් අසන ප්‍රශ්නයට පදනමක් තිබේ. නමුත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අභියෝගවලට මුහුණ දී රටක් වශයෙන් ඉදිරියට යෑමට නම් ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දෙමින් ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් ශක්තිමත් කිරීම හැර වෙනත් මාවතක් නැති බව අප තේරුම් ගැනීම වැදගත්ය.

යම් හෙයකින් ආණ්ඩු විරෝධී පුළුල්ම පෙරමුණක් සාදා ගැනීමේ හා එයට ආණ්ඩු පක්ෂයෙන් ද කෑල්ලක් කඩා ගැනීමේ අරමුණෙන් ජාතික ප්‍රශ්නය විසඳීම පිළිබඳව ‛පස්සෙ බලමු’ වර්ගයේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට විපක්ෂ බලවේග උපක්‍රමශීලී තීරණයකට එළඹිය හැකිය. නමුත් එවැනි පියවරකින් සුළු ජාතීන් අතර සහ ප්‍රගතිශීලී ජන කොටස් අතර විපක්ෂයට ඇති පිළිගැනීම කෙරෙහි නැවත පිළිසකර කළ නොහැකි අන්දමේ හානියක් සිදුවීම වැළැක්විය නොහැකිය.

ආණ්ඩුව ජාතිවාදී නිසා ‛අප ජාතිවාදී නැතත් අජිනෝ මොටෝ මෙන් ජාතිවාදය චුට්ටක් මිශ්‍ර කරමු’ කියා වැඩ කරගෙන ගියහොත් මතු යම් දවසක වාස්තවික හේතූන් මත අකැමැත්තෙන් හෝ දේශපාලන විසඳුමක් ඉදිරිපත් කරන්නට ආණ්ඩුවට සිදුවුවහොත් එදිනට අර්බුදයට යන්නේ විපක්ෂයමය. ආහාරවල ආසනික් තිබුණත්, පෙට්‍රල්වල වතුර තිබුණත්, අල්ලස දූෂණය ඉහවහ ගියත් ඡන්දදායකයන් ආණ්ඩුවට ඡන්දය දී ඇති තත්ත්වයක් යටතේ දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීමට මෙන්ම අවශ්‍ය නම් එය සිංහල ජනතාව අතර මාකට් කිරීමට ද අවශ්‍ය ශක්තිය ආණ්ඩුව සතුය.

දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් ප්‍රශ්නය එහාට මෙහාට අදිමින් කල් දමමින් සහ උපමාරු යොදමින් දින නියමයක් නොමැතිව කල් දැමීමට දේශීය වශයෙන් ඉඩ තිබෙන බව ඇත්තය. එහෙත් ජාත්‍යන්තර වශයෙන් බලවේග පෙළගැසෙන ආකාරය අනුව මෙසේ දෙමළ මිනිසා රවටන්නට යෑමෙන් අවසානයේදී රැවටෙන්නේ අප බව තේරුම් ගතයුතුය. ජාතික වශයෙන් විසඳුමක් සෙවීමට අපොහොසත් වීම නිසා සර්බියාව කඩාගෙන කොසොවෝ නමින් ස්වාධීන රාජ්‍යයක් ඉපැද්දවීමට ද, සුඩානය කඩා බිඳගෙන දකුණු සුඩානය නම් ස්වාධීන රාජ්‍යය ඉපදවීමට ද ජාත්‍යන්තර ප්‍රජාවේ බලවත් රටවල් ක්‍රියා කළ ආකාරය සිහියට ගැනීම වැදගත්ය. එමෙන්ම චීනය පමණක් නොව ශ්‍රී ලංකාව ද පවතින තත්ත්වය පිළිගනිමින් බෙදුම්වාදී ව්‍යාපාරයක උත්සාහයෙන් සාම ගිවිසුමක් හා ජනමත විචාරණයක් මඟින් බිහිවූ දකුණු සුඩානය පිළිගත් බව ද සටහන් කරගත යුතුය.

Samabima 

Tell a Friend