කතුවැකිය : ඇමෙරිකාවේ අනතුරු ඇඟවීම


ඇමෙරිකා එකසත් ජනපදයේ රජය දෙපාර්තමේන්තුව විසින් ඊයේ ( June 28)  නිකුත් කළ නිවේදනයට අනුව රාජපක්ෂ ආණ්ඩුව තමන්ට එරෙහිව නැගෙන යුධ අපරාධ චෝදනා වලට අදාලව විදිමත් පරීක්ෂණයක් රට තුළ සිදු නොකරන්නේ නම් ජාත්‍යන්තර ප්‍රජාව විසින් ඒ සඳහා බලපෑම් කරනු ඇති බව අවධාරණය කොට ඇත. මෙය යම් ආකාරයක ලිබියාව සහ සුඩානය විෂයෙහිලා සිදු වූ ජාත්‍යන්තර දේශපාලන හැඩගැසීම හා සමාන වන්නක් ලෙස පෙනේ. විශේෂයෙන් සුඩානය දෙකඩ බෙදී යාමේ මුල් බීජ වෙනත් රටවල හටගත්තද ඒ සඳහා අවශ්‍ය මාවත ලබා දෙනු ලැබුවේ ඕමාර් අල් බසීර් විසින් සිදු කරනු ලැබූ දේශපාලන ව්‍යකූලත්වයය. එසේම ලිබියාවේ තත්වයද එසේමය. ගඩාෆි විසින් සිවිල් වැසියන් ඝාතනය කිරීම ඉලක්ක කොට ගෙන යුධමය මැදිහත් වීමකට යාමට එක්සත් ජනපදය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව තීරණය කළේය. එය තවත් ඉරාකයක් වනාවට වඩා සුඩානය වැනි තත්වයක් නිර්මාණය කළහොත් ඒ ගැන පුදුම විය යුතු නැත. විශේෂයෙන් බෙන්ගාසී කේන්ද්‍රය කරගනිමින් සහ ට්‍රිපොලි කේන්ද්‍රගත කරමින් ලිබියාව දෙකඩ බෙදී තවත් වසර කිහිපයකින් රජයන් දෙකක් නිර්මාණය වීමේ ඉඩකඩ අඩු නැත.

ලංකාවේ පවතින දේශපාලන වටපිටාව තල්ලු වෙමින් පවතින්නේද ව්‍යාකූල වූ තත්වයක් වෙතටය. ඊට අනුව රාජපක්ෂවරුන්ට හැර අනෙක් සියලුම අයවලුන් සීමාවකට යටත් කිරීමත් රාජපක්ෂගේ මනස නීතිය බවට පත් වීමක් හා සමාන තත්වයක් නිර්මාණය කොට ඇත. මිනිසාට නීතියක් අවශ්‍ය වූයේ මිනිස් මනසේ පවතින වයකූලත්වය සහ වෙනස් වන ස්වභාවය නිසා එක සම්මුතියකට එනම් පොදු හැඟීමකට යටත් වීම සඳහාය. තමන් කිසිවෙකුට / කිසි දෙයකට ( නීතිය ) පාලනය කළ නොහැකි තත්වයක් නිර්මාණය කළහොත් ඉන් සිදුවන මානසික පෙරලිය ඇති විශාල වන්නා සේම දීර්ඝකාලිනව එය බරපතල රෝගී තත්වයකට හේතු වේ. රාජපක්ෂ ගොදුරු වී සිටින්නේ එකී රෝගී තත්වයටය. ලංකාව මුහුණ දී ඇති යථාර්තය වන්නේ මීළඟ වසර 5 එනම් 2015 වන තෙක් ලංකාවේ සමස්ත සමාජ පද්ධතියම පෙර නොවූ විරූ අකාරයෙන් එක පවුලක් වෙත කේන්ද්‍රගත වීම සමස්ත සමාජයටම භුක්ති විඳීමටය. හොඳින් හෝ නරකින් බහුතරයක් වන ජනතාව විසින් පොළඹවා ඇත්තේ එකී තත්වයට මුහුණ දීමටය.

කෙසේ වෙතත් ඇමෙරිකාව විසින් සිදු කළ අනතුරු ඇඟවීම තුළ යම් කිසි වේදනාවක් තිබේ. එනම් රට තුළ ඇති ගැටලු පිටතට විසි වී ඒවා විසඳීම සඳහා රාජපක්ෂ විසින් පිටත බලවේග තමන් දෙසට බලෙන්ම තල්ලු කර ගැනීමයි. රාජපක්ෂගේ දේශීය දේශපාලන චින්තනය හෙවත් රටවටේ කප්පරක් බොරු ගොතමින් ජනතාව රැවටීම රටින් පිටත හාස්‍ය ජනක විහිළුවක් වීමේ විපාකය වන්නේ මෙයයි. මේ නිසා ඉදිරියේදී රටට ආර්ථික සහ වෙනත් ආකරයේ සම්බාධක වලට මුහුණ දීමේ අවධානමක් තිබේ. මේ නිසා පවතින ප්‍රශ්න වලින් නිවැරදිව ගොඩ ඒමටනම් කොටි සංවිධානය අතුගා දමමින් දේශපාලන වාසි උපරිමයෙන් ලබා ගත් රාජපක්ෂ තමන් එය සිදු කිරීම ගැන සහ එහිදී සිදු වූ වැරදීම් ගැන තක්සේරුවක් කිරීම අවශ්‍ය වේ. පවතින තත්වය හමුවේ වැදගත් වන්නේ මොළේ පාවිච්චි කොට කටයුතු කිරීම මිස කඳ බඩ පෙන්වා අනෙකාට ගතු කියමින් තමන්ගේ අණුවන කම පෙන්වීම නොවේ. රාජපක්ෂ සිහි තබාගත යුත්තේ තමන් ජීවත් වන්නේ 2011 මිස බෙලිඅත්තේදී අහිංසකයින් මරා දැමීමට තමන්ට නරුම සහ පවුකාර අවස්ථාව ලබාදුන් තක්කඩි දේශපාන සංස්කෘතිය තුළ නොවන බවය. අතීතයේ කළ පව් ශාපයක් සේ එනම් මහින්ද විජේසේකර වර්තමානයේදී භුක්ති විඳින අකාරයෙන් ඔවුහු එකිනෙකා කරාද එනු ඇත. නමුත් ඔවුන්ගේ පව් වලට මුළු රටේම ජනතාව පලි නැත.

Tell a Friend