පියවරුන් නැති ලෝකය හෙවත් වැඩිහිටි ශරීර සහිත ළමයි


සමන් වික්‍රමාරච්චි


අවවාදයයි! ඔබ මහ මග යනෙන විට කාගේවත් ඇඟේ නොගැටී යැමට වග බලා ගැනීම මැනවි. මක්‌ නිසාද යත් අපට මහ මගදී හමුවන්නේ වැඩිහිටි ශරීර සහිත ළමයින් බැවිනි. වැරදීමකින්වත් ඇඟේ හැපුණොත් පහර කෑමට ලක්‌ වීමට ඉඩ ඇත. සමාජයට මේ සිදුවී ඇත්තේ කුමක්‌දැයි පුදුම නොවන්න. පියවරු නොමැති සමාජයක්‌ වැඩෙන්නේ ශරීර වලින් පමණි.

මා මෙසේ ලියාගෙන යන විට ඔබ විපිළිසර වීම අසාධාරණ නැත. එහෙත් පියකු සහ මවක වෙනුවට මව්වරු දෙදෙනකු විසින් මෙහෙයවන පවුලක්‌ නිර්මාණය වී තිබීම නිසා පියාගේ භූමිකාව අහෝසි වී තිබීම විපිළිසර නොවී සිටීමට කාරණයක්‌ද නොවේ. මෙහිදී මට කීමට ඇත්තේ අවට සමාජය දෙස මඳක්‌ ඇස්‌ අර බලන්න යනුවෙන් පමණකි.

එවිට අපට දක්‌නට ලැබෙන දර්ශනය කුමක්‌ද? ඇඟපත සෝදා පිරිසිදු කර ඇඳුම් පැළඳුම් අන්දවා පාසලට හෝ මොන්ටිසෝරියට යැමට දරුවන් සූදානම් කරන පියෙකි. ඔවුන් පාසලට රැගෙන ගොස්‌ නැවත ආපසු එන තෙක්‌ වරු ගණන් රස්‌තියාදු වන පියෙකි. ඔහු නිවසේදී නොකරන්නේ (බිළිඳු දරුවකු නම්) කිරි නොදීම පමණකි. හැබැයි තමාට දරුවා වෙනුවෙන් කිරි නොඑරීම පිළිබඳ ඔහු කම්පා වෙයි. ඉතින් දරුවන් හොඳින් රැක බලා ගැනීම ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර දීම වරදකැයි කීවේ කවුරුන්ද? එහෙත් පියාගේ භූමිකාව කාර්යයන් දෙකකට අදාළය. එනම්, ආරක්‍ෂණ කාර්යය (Protective function) සහ තහනම් කාරී කාර්යය (prohibitive function) වශයෙනි. පශ්චාත් නූතන පියා හුදු ආරක්‍ෂක පියකු පමණක්‌ බවට පත්ව සිටී.

සරළව කියන්නේ නම් සමාජය තුළ සිදුවී ඇත්තේ පියාගේ සැබෑ භූමිකාව හරිහැටි ඉටු නොවීමය. (පියා දරුවාගේ ආරක්‍ෂාව නොසැලසිය යුතු යයි මින් නොකියෑවේ) කොටින්ම පියා අහිමි වීමය. ෂාක්‌ ලකාන් නමැති මනෝ විශ්ලේෂකයා අලංකාරෝක්‌තික ලෙස මෙසේ ප්‍රශ්න කළේය. "අපට රජ මාවතක්‌ (යසටය ආහ) නැත්නම් සිදුවිය හැක්‌කේ කුමක්‌ද?" මෙහි අනෙක්‌ අර්ථය නම් රජ මාවත අහිමි වුවහොත් විය හැක්‌කේ කුමක්‌ද? යන්නය. මෙම ප්‍රශ්නය ඇත්තටම නම් ප්‍රශ්නයක්‌ නොව අපට පියකු අවශ්‍යද යන ප්‍රශ්නයට ලැබෙන උත්තරයයි. ඩේවිඩ් ලින්ච් නමැති සිනමාකරුවා මෙම තේමාව ප්‍රස්‌තූත කොට ගනිමින් The Lost High way යනුවෙන් අපූර්ව චිත්‍රපටයක්‌ නිර්මාණය කර ඇත.

පියා යනු අප සිතන තරම් සරල නොවන සංකීර්ණ සංකල්පයකි. ලැකානියානු (Lacanian) ප්‍රවාදයන්ට අනුව පියා යන්නෙන් අදහස්‌ වන්නේ භෞතික පියා නොව සංකේතීය පියෙකි. එනම් පියකුගේ සංකේතීය කාර්ය භාරයයි. මේ කාර්ය භාරය අනෙකක්‌ නොව ඊඩිපස්‌ සංකීර්ණය පසු කරන දරුවා තුළ ඇති ආශාව පාලනය කරන නීති පැනවීමය. ඒ අනුව පියා මව සහ දරුවා අතර පවතින පරිකල්පනීය සම්බන්ධතාවට මැදිහත් වෙයි. එමගින් දරුවා සහ මව අතර යම් සංකේතීය දුරක්‌ (Symbolic distance) නිර්මාණය කරයි. කෙටියෙන් කිවහොත් පියාගේ කාර්යය වන්නේ ආශාව සහ නීතිය මූලික වශයෙන් එකතු කිරීමය. නැතහොත් කළමනාකරණය කිරීමය.

ප්‍රාංශුවා ඩොල්ටෝ නමැති මනෝ විශ්ලේෂිකාවට අනුව ළමයා සහ මව අතර සබඳතාව ප්‍රබලය. එහි ප්‍රබලත්වය කෙතරම්ද යත් දරුවා තම මවගෙන් වෙන්කර ගත නොහැකි ඇගේ සිරුරේම කොටසක්‌ බවට පත්වේ. එහෙත් දරුවා තමා මවගෙන් වෙනස්‌ එකකු බව අවබෝධ කර ගැනීම ඔහුගේ යහපත් මානසික සෞඛ්‍ය සඳහා අත්‍යවශ්‍ය කරුණකි. එය ඉටුකරන්නේ තුන් වැන්නෙකි. ඔහු භෞතික පියාම විය නොහැකි වුවත් ලැකානියානු අරුතින් සංකේතීය කාර්යයක්‌ ඉටුකරන කිසිවෙකි. දරුවාට මවගේ ආශාවේ කේන්ද්‍රය වීම වළක්‌වන්නේ ඔහුය. මව තමාට අයිති නැති බව තේරුම් කර දෙන්නේ මේ සංකේතික පියාය. දරුවා සංස්‌කෘතියට ඇතුළු වීමට උපකාරී වන්නේ පියාගේ එකී සංකේතික මෙහෙවරයි.

වර්තමාන මධ්‍යම පාංතික නිවෙස්‌ වල නිතර ගෞරවයෙන් කියෑවෙන දෙයක්‌ නම් තම දරුවන් විරුද්ධ ලිංගිකයන් කෙරේ කිසිදු උනන්දුවක්‌ නැති "හොඳ හැදිච්ච" ළමයින් බවය. එහෙත් මේ හැදිච්චකම දරාගත නොහැකි තරම් වැඩිවී විවාහ වන කල වයස පනින විට ගැහැණු ළමයි ගැන උනන්දුවක්‌ නැති කම පුත්‍රයා ගැන කම්පා වන මව්වරුන් අද සමාජය තුළ අනන්තවත් ඇත. මේ මව්වරුන්ට නොවැටහෙන දේ නම් ඔවුන් වයසින් වැඩුණත් එම වැඩීම ශාරීරිකව පමණක්‌ මිස ඔවුන් මානසිකව නොවැඩී ඇති බවය. අද අපට වැඩියෙන් සිටින්නේ අවුරුදු විසිපහේ තිහේ ළමයින්ය. මේ ළමයින් වෛවාරණ්‍ය මොබයිල් දුරකථන, සෙල්ලම් බඩු වල හැඩ ගත් මෝටර් සයිකල්, මෝටර් රථ තම මුදල්වලින් මිලදී ගෙන තම ළමා මනසට ගැලපෙන වේගයෙන් මහ මග පදවාගෙන යනු අපට අනන්තවත් දැකිය හැක.

මේ කාලයේ සංස්‌කෘතිය කළමනාකරණය වන්නේ ළමයින්ට ගැලපෙන ලෙස වීම වෙනම කරුණකි. ළමයින්ට නොගැලපෙන රූපවාහිනි දර්ශනවලට කොටු දැමීමෙන් එම වැඩසටහන් බලන වැඩිහිටියන් ඉබේම ළමයින් බවට පත්වී ඇත. අශෝක හඳගම ළමා චිත්‍රපටයක්‌ නිපදවූ විට ඔහු දැන් තම කලාවේ නිවැරැදි මාවත තෝරාගෙන ඇතැයි මේ සංස්‌කෘතියේ අයිතිකාරයෝ පිනුම් ගසති. කලාව ළමා කලාවක්‌ බවටද එදිනෙදා සමාජ පැවැත්ම ළමයින්ට ගැලපෙන ලෙස කළමනාකරණය කිරීමද නිසා බිහිවන අනාගත ලෝකය කෙතරම් බිය ජනක වේදැයි තවමත් කිසිවකුට කල්පනා නොවේ.

මනෝ විශ්ලේෂණ ප්‍රවාදයන් හි කියෑවෙන සූචක වචනයක්‌ (Key word) නම් පෙරවරණය (Foreclosure) නැතහොත් පෙර තහනමයි. ලැකාන් මනෝ ව්‍යාධියේ (Psychosis) එක්‌ හේතුවක්‌ ලෙස පියා පවුල් ව්‍යqහයෙන් පිටමං කිරීම දක්‌වයි. මෙතැනදී පියා ලෙස හඳුන්වනුයේ අප පෙර සඳහන් කළ සංකේතීය පියාය. එහෙත් දරුවා විසින් නිර්මාණය කරන පරිකල්පන පියා තුළ (imaginary father) වේ. මෙම පරිකල්පන පියා දෙවියන්ගේ ප්‍රතිරූපයට සමාන තමාගේ ආරක්‍ෂාව උදෙසා සිටින්නේ යෑයි දරුවා තරව අදහන තැනැත්තාය. එහෙත් ඔහු තුළ පූර්වජ ලක්‍ෂණ වන බැවින් ඔහු බිය ජනක අයකුද වේ.

පියාගේ නාමකරණය (Name of the father)දරුවා විෂයෙහි තහනම් කිරීමේ භූමිකාව පැවරෙන අවස්‌ථාවයි. යම්කිසි විෂයකුත් (පුද්ගලයකු) සම්බන්ධයෙන් පියාගේ නාමකරණය පෙර වරණය කළ විට (foreclosed) ඉන් සංකේතික පැවැත්ම (Symbolic Order) තුළ යම් රික්‌තයක්‌ ජනිත කරයි. මෙම රික්‌තය කිසි විටෙක පිරවිය නොහැක. මෙවැනි පුද්ගලයකු සයිකෝසික ලක්‍ෂණ පළ නොකළේ වුවත් ඔහු සයිකෝසික ව්‍යqහයක්‌ තුළ වැඩේ. පියාගේ නාමකරණය නැතහොත් තහනම පසුව පැමිණියේ වුවද ඔහුට එය ජීර්ණය කරගත නොහැකි වීමෙන් ඔහු පූර්ණ වශයෙන් සයිකෝසික තත්ත්වයට වැටෙනු ඇත.

පූර්වජ පියා (primodial father) යනු දරුවන් මත අධිකාරිවාදී ලෙස තහනම පනවන ගෝත්‍රික පියාය. ඔහු සියල්ල තමා සතුකරගෙන සිටී. ෙµ්‍රdයිඩ් පූර්වජන පියා පිළිබඳ සංකල්පය ගොඩ නඟන්නේ සියලු ස්‌ත්‍රීන් තමා සතුකරගෙන සිටි ගෝත්‍රික පියා පිළිබඳ පූරාණෝක්‌තිය ඇසුරෙනි. ඔහුගේ පුතුන් තම නිදහස ලබා ගන්නේ පියා මරා දැමීමෙනි. පුතුන් මත ව්‍යභචාරී තහනම (incest taboo) පනවන මෙම පූර්වජ පියා සහ ආරක්‍ෂණවාදී පරිකල්පනික පියා අතර වෙනසක්‌ නැත. බැලූ බැල්මට වෙනසක්‌ ඇතත් මෙම පියවරු දෙදෙනාම තම සංකේතික මෙහෙවර ඉටු නොකරන බැවින් සමානය.

පියාගේ සංකේතික මෙහෙවර කුමක්‌ද? සංකේතික පියා දරුවා සඳහා පරිකල්පනීය ආරක්‍ෂණ වැස්‌මක්‌ නිර්මාණය නොකර කටුක සමාජ යථාර්ථයට පිවිසෙන මග සලසයි. එහෙත් අද සිදුවන්නේ කුමක්‌ද? සිදුහත් කුමරු විෂයෙහි සුදෝවුන් මහරජු අනුගමනය කළ පරිදි නූතන පියවරු කරන්නේ තම දරුවන් වටකොට ආරක්‍ෂණ දැලක්‌ නිර්මාණය කිරීමය. මේ නිසා ඔවුහු දරුවා උපකාර පන්තියට රැගෙන ගොස්‌ ආපසු එළියට එනතෙක්‌ රැක සිට නිවසට රැගෙන එයි. තම දරුවා පණ මෙන් රැක ගන්නා බව කියයි. ඇත්ත. එහි කවර වරදක්‌ වේදැයි ඔබ මගෙන් ඇසීම අද සමාජයේ කටුක බව සමග ගත් කළ සාධාරණය. එහෙත් මෙබඳු දරුවකුට සිදුවිය හැකි දේ සනත් ගුණතිලකගේ එකමත් එක රටෙක සිනමා පටයේ "ගුඩ් ගර්ල්" නමින් හැඳින් වුණ බැල්ලට සිදුවූ දේම ලෙස පෙර දැකිය හැක. නිවසට කොටුවී හැදුන ගුඩ් ගර්ල් එළිමහනට පැනගත් පළමු දිනයේම කුණු ලොරියට යටවී මිය යන්නේ එළියේ යථාර්ථය පිළිබඳ වැටහීමක්‌ ඇයට නොවූ බැවිනි.

අර්චන කාමය (Fetishism) උපන්නේ පූර්වජ සමාජ තුළ කිසියම් අජීවි වස්‌තූන් වන්දනාමාන කිරීම හරහාය. කාල් මාක්‌ස්‌ මෙම යෙදුම ණයට ගෙන ධනේශ්වර සමාජයේ සමාජ සබඳතා දේවල් අතර සබඳතා (භාණ්‌ඩ අර්චනකාමය) ලෙසට විතැන් වන සැටි පැහැදිලි කරයි. වර්තමාන සමාජය තුළ අපගේ ආශාව දරුවා නමැති අර්චනකාමී වස්‌තුව තුළ විතැන් වී ඇත්තේ ද එසේය. දරුවාගේ හපන්කම්, දඟකාරකම්, දැන උගත්කම් ආදිය පිළිබඳ තොරතෝංචියක්‌ නැති සියලු දෙඩවිලි මේ අර්චන කාමයේ ප්‍රකාශයන්ය. දෙමාපියන්ගේ ලෝකය දරුවා නමැති අර්චන වස්‌තුව කේන්ද්‍රගතව ගොඩ නැඟෙන්නේ එලෙසය. මේ නිසා අද දෙමාපියන්ට වැඩිහිටි බවක්‌ නැත. ඔව්හු සියල්ලක්‌ම ළමයින් බවට පත්වී ළමයින්ට ගැලපෙන සාහිත්‍යයක්‌ සහ කලාවක්‌ නිර්මාණය කළ යුතු යෑයි කලාකරුවන්ට තර්ජනය කරති.

පියා තම සංකේතික කාර්යය භාරය අතහැර දමන්නේද මෙම අර්ථකාමය හේතුවෙනි. ඔහු දරුවාට පියකු වනු වෙනුවට මවක වෙයි. ඊටත් වඩා බරපතල අර්බුදය නම් පියා පවුල තුළ පරාරෝපණය වීමය. අපේ අතීත පවුල තුළ පියාට හිමිවූ තැන අද පියාට අහිමිවී ඇත. එදවස දරුවකුගේ කවර වූ හෝ අවැසිතාවන් පියාගේ අනුමැතියට යටත්ව සිදුවීමට නියමිතව තිබීම අතීතකාමී ස්‌මරණයක්‌ පමණි. අද දවසේ බොහෝ තැන්වල පියා දරුවන් ඉදිරියේ එක්‌කෝ මවට අනුව විහිළුවකි. නැත්නම් කිසිදු වගකීමක්‌ ඉටු නොකරන පැහැර හරින තැනැත්තෙකි. දරුවන් තුළ පියා පිළිබඳ ගෞරවයක්‌ අයත්වන විදියේ කතා බහක්‌ නැති විට පියා පවුල තුළින් ගිලිහී යයි.

කුඩා කල පියා මිය යැම දරුවකුගේ වැඩීම කෙරේ ඇති කරනු ඇත්තේ ඉමහත් බලපෑමක්‌ බව කීමට මනෝ විශ්ලේෂණ ප්‍රවාදයක්‌ අවශ්‍ය නැත. එහෙත් එබඳු භෞතික අහිමිවීමක්‌ සිදුනොවී තිබියදීම පියා දරුවාට මියගිය පියකු බවට පත්වී ඇත. මාලිමාවක්‌ නැති නැවක්‌ ඉබාගාතේ යන්නාක්‌ මෙන් පියවරු අහිමිව ගිය (භෞතිකව නොවේ) දරුවන්ගේ ජීවිත ඉබාගාතේ පාවෙති.
Tell a Friend