ලංකාවේ සැබෑ සත්‍ය වන්නේ එයයි. මෙවැනි මුලිකාංගයන් හඳුනා නොගෙන ගැටලූ විසඳීමට තබා සිතීමටවත් නොහැකිය. කෙසේ වෙතත් දිවයින පුවත්පත විසින් ලියා ඇති කාරණය සම්බන්ධයෙන්වත් කටයුතු කිරීමට බන්දුල ගුණවර්ධන ඇමතිවරයාට හැකි වේවා යයි පතමු!
පහත පලවන්නේ අදාල කතුවැකිය කිසිඳු සංශෝධනයකින් තොරවය;
දඬුවම හොඳටම මදි!
දැන් පැවැත්වෙන අ.පො.ස. සා. පෙළ විභාගයේ බුද්ධාගම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට පැමිණි සිසුවකුගේ විභාග ප්‍රවේශ පත්‍රයේ කොටසක් මීයන් විසින් අනුභව කිරීම හේතුවක් කරගෙන එම සිසුවා ආපසු හරවා යවා ඔහුගේ අනාගතය සුන් කළ රත්තොට හින්දු විදුහලේ විභාග ශාලාධිපතියකු සහ සහකාර ශාලාධිපතිනියගේ විභාග රාජකාරි සදහටම තහනම් කර ඇතැයි දැන ගන්නට ලැබී තිබේ. සිසුවා විභාග ප්‍රවේශ පත්‍රය තබා තිබුණේ දුමේද යන්න දැන් අපගේ සමහර විද්වතුන් විමසනවා ඇත. ඉතා අඩු පහසුකම් සහිත අදටත් ලාම්පු එළියෙන් ළමයින් පාඩම් කරන, ඒ අතර නිවස අසලට එන වල් අලින් බිත්තිය සහ පොල් අතු වහළ අතර ඇති හිඩැස්‌සෙන් හොඬවැල ඇතුළට යොමන දුෂ්කර ප්‍රදේශ මේ රටේ අදටත් ඇත. එවැනි ප්‍රදේශවල වෙසෙන ළමයින් විභාග ප්‍රවේශ පත්‍රය නැත්තටම නැතිව විභාගයට ඉදිරිපත් වුව ද පුදුම විය යුතු නැත. අද ඉතා සුළු වරදවලට සිසුන්ට දෙන දඬුවම් ඉතා ඉහළ ය. ඉතා ලොකු වරදවලට සිසුන්ට දෙන දඬුවම් ඉතා කුඩා ය. පෙර කී දරුවාගේ අධ්‍යාපනයේ ඉදිරි ගමන නිලධාරිවාදය නමැති ගොන් මොළයෙන් ගත් තීන්දුවකින් පැවැත්වූ විභාග ශාලාධිපතියාට සහ අනුගාමික කාන්තාවට දී ඇති දඬුවම ද ඉතා සුළු ය. හරිනම් විභාග පරික්‍ෂාවෙන් පමණක් නොව ඉස්‌කෝල ගුරුකමින් ද ඔවුන් පලවා හැරිය යුතු ය. (විභාග ශාලාධිපතිවරු සහ පරීක්‍ෂකවරු පාසල් ගුරුවරු ය.)
මේ රටේ පාසල් දරුවන්ගේ ළමා විය දේශපාලනඥයන් සහ දෙමාපියන් විසින් පැහැර ගන්නා ලදැයි අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මේ නොබෝදා පැවසීය. අප පෙර සඳහන් කළ සිද්ධියට අනුව පැහැදිලි වන්නේ අහිංසක පාසල් සිසුවකුගේ අනාගතය විභාග පරීක්‍ෂකවරුන් විසින් කොල්ලකන ලද බව ය. ලංකාව යනු ළමයින් කයින් ද, දෙමාපියන් සිතින් ද පාසල් යන රටකි. අප ටියුෂන් ගුරුවරුන්ට කොතරම් බැන්නත් ඒ ටිකත් නැත්නම් මේ රටේ ළමයින්ට අත්වන අධ්‍යාපන ඉරණම ඉතා නරක් වීමට ඉඩ ඇත. අද වන විට මේ රටේ ළමයින් කොටස් දෙකකට බෙදිය හැකිය. එක කොටසක් උපදින්නේම ජාතික පාසලක් බලාගෙන ය. ඊළඟට පහේ ශිෂ්‍යත්වය, අපොස. සා. පෙළ සහ අපොස උසස් පෙළ ඉතා ඉහළින් සමත් වනු පිණිසය. විශ්වවිද්‍යාලයට යනු පිණිසය. අවසානයේදී ඔවුන් ඉගෙන ගැනීම මිස ජීවත් වීමක් කර නැත. ඊළඟ කොටස නැති බැරි පවුල්වල දරුවෝ ය. මෙයින් කොටසක් ටියුෂන් නැතිව ස්‌වෝත්සාහයෙන් උගෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබති. ඉතිරි කොටස අධ්‍යාපනය මඟදී කඩාකප්පල් කරගෙන කම්කරු වෘත්තියේ සිට සොරුන්, දේශපාලනය ඇතුළු ක්‍ෂේත්‍ර කරා යොමු වෙති. නැත්නම් කුඩු ගසති. එහෙත් සියලු නැතිබැරිකම් මධ්‍යයේ වුවද මේ ළමයින්ට ළමා කාලයක් ඇත. ඔවුහු "දරුවන්" ලෙස "ජීවත්" වෙති. ඔවුන්ට ඇති එකම පදනම ආත්ම වෛරයයි. විභාග ප්‍රවේශපත්‍රයේ කොටසක් මීයන් කෑ දරුවා ද ස්‌ථිර වශයෙන් මෙම පසුබිමේ සිට පැමිණියකු වීමට ඉඩ තිබේ. ඔහුට හොඳ නිඳන කාමරයක් වී නම්, පොත් අල්මාරියක් වී නම් ඔහුගේ විභාගය ප්‍රවේශ පත්‍රය මීයන්ට කන්නට ලැබෙන්නේ නැත.
මේ රටේ සිර ගෙවල්වල වැඩිපුරම සිටින්නේ පොල් ගෙඩියක් හොරෙන් කඩා ඇප තැබීමට බැරිව සිටින උදවියයි. එහෙත් ධනවත් කුඩුකාරයෝත් මංකොල්ලකාරයෝත්, හොර සල්ලි අච්චු කන්තෝරුකාරයෝත්, මැරයෝත්, සල්ලාලයෝත් ඇප ලබා එළියට විත් තම පරණ පුරුදු ජීවිත වඩාත් හොඳින් ගත කරති. රත්තොට හින්දු විදුහලේ විභාග ශාලාධිපති සහ සහකාර විභාග ශාලාධිපති දෙපළ අනියමින් උත්සාහ කර ඇත්තේ අඩු වයසින් හිරේ යෑවිය හැකි කෙනෙකු නිෂ්පාදනය කර සමාජයට ඉදිරිපත් කිරීම ය. රත්තොට විභාග පරීක්‍ෂක යුවළ රජයේ සේවයට නැවත මුදාහැරීම භයානක වන්නේ ඔවුන්ගේ අපරාධ ඉතිහාසය (Criminal History) පුනරුච්චාරණය වීමට ඉඩ ඇති හෙයිනි. පොලිසිවලදී මිනිසුන්ට පහර දී මරණ නිලධාරීන් හා රාළහාමිලා වෙති. එවැනි විටෙක පොලිස් දෙපාර්තමේන්තුව කරන්නේ එම නිලධාරීන් වෙන පළාත්වලට මාරු කිරීම ය. ස්‌ථාන මාරුවක් මගින් අපරාධකරු සාන්තුවරයකු වන්නේ නැත. තමන් ඊ ළඟට යන තැන සිට පෙර අපරාධයම යළි කිරීමට ඔවුන් තැත් කරනවා ඇත.
Post a Comment