ඒවා කොහේද අපෙත් එක්ක: අපි ශ්‍රී ලාංකිකයන්ට කැසිනෝ තහනම් කරනවා

නිමල් සිරිපාල ද සිල්වා
වාරි මාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය-පාර්ලිමේන්තු සභානායක
සාකච්ඡා කළේ - උදේශ සංජීව ගමගේ

පසුගියදා රජය විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු සූදු විධිවිධාන විශේෂ පනත පසුව කැසිනෝ නියාමන පනත ලෙස සංශෝධනය විණි. රටේ බෞද්ධ පසුබිම හා සදාචාරය පැත්තෙන් ගත්තද එම පනත අහිතකර එකක්‌ බවට එජාපය හා ජවිපෙ දැඩි ස්‌ථාවරයක සිටි මුත් රජය විසින් එය සම්මත කරගන්නා ලදී. මූලිකවම එජාපය විසින් ස්‌ථාපිත කරන ලද්දා වූ කැසිනෝ ව්‍යාපාරය නියාමනය කර යම් පාලනයකට යටත් කිරීම එහි අරමුණ බව රජය කියයි. මේ පිළිබඳ වෙනස්‌ මතයක සිටින එජාප ය හා ජවිපෙ ප්‍රකාශ කළේ රට "සූදු පිටියක්‌" කිරීමේ පළමු පියවරට රජය පෙළ ගැසී ඇති බවයි. මෙය මහින්ද චින්තනයට පටහැනි බවත් ඔවුහු කියති. මේ ඒ පිළිබඳ මුහුණට මුහුණ තුළින් ඔබ මුණගැසෙන වාරි මාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය සභා නායක නිමල් සිරිපාල ද සිල්වා දක්‌වන අදහස්‌ය.

ප්‍රශ්නය - රටේ බොහෝමයක්‌ පක්‍ෂවල දැඩි විරෝධතා මැද පසුගියදා රජය විසින් සූදු විධිවිධාන පනත සම්මත කරගන්න කටයුතු යෙදුවා. රටේ සංස්‌කෘතිය ගැන ඉහළින් කතා කරන රජයක්‌ මේ වගේ තීරණයකට ආවේ ඇයි කියලා ප්‍රශ්නයක්‌ එනවා....

පිළිතුර - නැහැ ඒ කතාව වැරැදියි. අපෙන්a ජානිපෙ හා හෙළ උරුමයේ නියෝජිතයන් මේ පිළිබඳ දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළා. මේ පනත සකස්‌ කිරීමේදී එක්‌ අත්වැරැද්දක්‌ සිදුවී තිබෙනවා. ඒ කියන්නේ අපි මෙය සූදු විධි විධාන පනත හැටියට නම් කර තිබීම. නමුත් මෙය කැසිනෝ නියාමන පනත විය යුතුයි. විපක්‍ෂයේ එජාපයට හා ජවිපෙට ජනතාව අතරට වැරැදි මතයක්‌ ගෙනයන්න හැකියාව ලැබිලා තියෙන්නේ ඒ නිසයි.

මේ පනතේ අන්තර්ගත කරුණු පිළිබඳ ඉතාම පැහැදිලිව සොයා බැලුවොත්, මෙය සූදුව වැඩි වැඩියෙන් කරන්න උදව් දෙන පනතක්‌ නොවෙයි. කැසිනෝ ව්‍යාපාරය යම් ආකාරයකින් පාලනය කිරීම සඳහා ගෙන එනු ලබන පනතක්‌. නිදසුනක්‌ හැටියට මැදපෙරදිග රටවල මත්පැන් ප්‍රසිද්ධියේ භාවිතය තහනම් හැබැයි හොරෙන් බොනවා. ආගමික නායකයන් මෙහි ආදීනව ගැන පැහැදිලි කළත් ලෝකයේ කිසිම රටකට එය පූර්ණ වශයෙන් තහනම් කිරීමේ හැකියාවක්‌ ලැබිලා නැහැ. තර්ක ඉදිරිපත් කරන අය කරන්නේ මෙයින් දේශපාලනිකව රජය අපහසුqතාවට පත් කරන්නත්, ඉන් දේශපාලනික වාසි ලබා ගැනීමත් පමණයි.

ප්‍රශ්නය - ඒත් රටට අහිතකර බොහෝ දේ සම්පූර්ණයෙන් තහනම් කරන බවට රජය ජනතාවට පොරොන්දු වී තිබෙනවා.

පිළිතුර - මිනිසුන්ගේ අවශ්‍යතාවන් සියල්ල නීතියෙන් යටපත් කරන්න පුළුවන්කමක්‌ නැහැ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා කැසිනෝ පාලනය කිරීම සඳහායි මේ පනත ගෙනැවිත් තිබෙන්නේ. නමුත් මේ පාලනය. යම් විදිහකට එය තුරන් වන තැනට ගෙන යැම තෙක්‌ දිගුවීමට බැරි නැහැ. 1891 දී පමණ තමයි සූදු ආඥ පනත මේ රටේ නීති පොතට ඇතුළත් වෙන්නේ. සූදු ආඥ පනතේ මුදලට හෝ නිකං හරි ඊට අදාළ බොහෝ දේ තහනම් කර තිබෙනවා. ඊට බූරුවා ගැසීම, කුකුල්පොර ආදිය අයත්. ඒවා විරෝධීයි. නමුත් කැසිනෝ ඊට අයත් වුණේ නැහැ. එය තිබියදී තමයි රේස්‌ බුකී මේ රටේ ඇති වෙන්නේ. කැසිනෝ මේ රටේ ඇති වන්නේ. ඒවාට නීතිමය පිළිගැනීමක්‌ ලබා දුන්නේ එජාප රජයයි. 1988 විශේෂ පනතක්‌ මතින් බුකී සහ කැසිනෝ පවත්වාගෙන යන අයගෙන් විශේෂ බද්දක්‌ අය කරන්න කියලා. බද්දක්‌ අය කළ හැක්‌කේ නීත්‍යනුකූල ව්‍යාපාරයකින් පමණයි. 1891 සූදු ආඥපනත යටතේ කැසිනෝ සූදුවක්‌ හැටියට පිළිගැනෙන්නෙත් නැහැ. ඒ නිසා හැම තැනම කැසිනෝ ව්‍යාපාර පටන් ගත්තා.

ප්‍රශ්නය - ඔබ කියන කතාව හරි. ඒත් මේ කරන්නේ ඒ නීතිමය ආවරණය තවදුරටත් ලිහිල් කිරීම නොවෙයිද?

පිළිතුර - නැහැ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා 2006 අයවැයේදී ප්‍රකාශ කළා. සූදුව කියා සිදුවන සමාජ හානිය අවම කරන්නට කැසිනෝ ව්‍යාපාර සම්බන්ධයෙන් යම් ආකාරයකින් ක්‍රියාත්මක වියයුතු බව. ඉතිං ඒ නිසා ඒ සම්බන්ධයෙන් ගත යුතු රෙගුලාසි ක්‍රියාත්මක කරන්නටයි මේ පනත ගෙන ආවේ. ඕනෑම හොඳ දෙයක්‌ කරද්දී එයට ගරහන පිරිසක්‌ මේ රටේ ඉන්නවා. නීති විරෝධී කැසිනෝ ව්‍යාපාර වසා දමන්නට ජනාධිපතිතුමා දැනටමත් නියෝග කර තිබෙනවා. ඒ අනුව මෙය එක්‌තරා නිශ්චිත ප්‍රදේශයක පමණක්‌ ක්‍රියාත්මක කරන්නටත් රෙගුලාසි ගෙන එනවා. පන්සල්, පල්ලි, දේවස්‌ථාන අසලින් ඒවා පිහිටුවීම මීට පසුව තහනම් වෙනවා. ඇමරිකාවේ ලාස්‌වේගාස්‌, ප්‍රංශය, මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවලත් හැම තැනම කැසිනෝ දාන්න තහනම්. ඊට නියමිතව වෙන්වූ ප්‍රදේශයකයි එය ආරම්භ කළ යුත්තේ. ඒ නීතියයි මේ ගෙනාවේ. ඒ අනුව 2011 ජනවාරි සිට කොල්ලුපිටියේ, බම්බලපිටියේ සහ තදාසන්න ප්‍රදේශවල තියෙන කැසිනෝ ටික නම් කරන එක ප්‍රදේශයකට ගෙන යා යුතුයි. ඒ නීතියෙන් පිට පනින්න කාටවත්a බෑ. අපි මේ පනතින් කළේ ඒ නීතිමය බලය ලබා ගැනීමයි.

ප්‍රශ්නය - කැසිනෝ කියන්නෙත් සූදුවක්‌. සූදුවට ඇබ්බැහි වුණු බොහෝ පිරිසක්‌ ඉන්නවා. තැන මාරු වුණාට මේ පිරිස මාරු කරන්න බැහැ නේද කියන තර්කය මතුවෙනවා.

පිළිතුර - මේ විෂයය සම්බන්ධයෙන් පත්වන ඇමැතිවරයාට බලය තිබෙනවා ඒ සම්බන්ධයෙන් රෙගුලාසි ගෙන එන්න. ඒ අනුව අපිට කතා බහ කර අවුරුදු 21 ට අඩු හෝ 18 අඩු හෝ කිසිදු අයකු කැසිනෝ ව්‍යාපෘතිය තුළට ඇතුළත් කර ගැනීම තහනම් කියලා. එතකොට කැසිනෝ හිමිකරුට එය වසා දමන්නට සිදු වෙනවා. දැඩි දඬුවම් විඳින්න සිදු වෙනවා. දැන් සිංගප්පූරුවේ හැමෝටම කැසිනෝ එකකට යන්න බැහැ. විදේශිකයන්ට ගෙවීමකින් තොරව ඊට ඇතුළු විය හැකි නමුත්, නීතිය අනුව සිංගප්පූරු ජාතිකයෙක්‌ යනවා නම් ඩොලර් 200 ක්‌ ගෙවිය යුතුයි. ලෝකයේ බොහෝ රටවල නිගමනය කරපු ක්‍රමවේදයන් තිබෙනවා.

ප්‍රශ්නය -කැසිනෝ ව්‍යාපාරය සමග බද්ධ වෙච්ච තවත් බොහෝ සමාජ විරෝධී දේ තිබෙනවා. නිදසුනක්‌ හැටියට ලිංගික ශ්‍රමය විකුණන කාන්තාවන් බොහෝමයක්‌ ඒ ආශ්‍රිතව ගැවසෙනවා. එතකොට මේ නිශ්චිත කලාපය තුළ ඊට ඉඩකඩ විවර වෙනවද?

පිළිතුර - ජවිපෙ එජාපය මේ ගැන ඉදිරිපත් කරන පුහු තර්කය ඕක තමයි. අපිට පුළුවන් මුලින් කියපු විදිහට නීති රෙගුලාසි පනවා ශ්‍රී ලාංකික කාන්තාවන්ට මේකට ඇතුළත් වෙන්න බැහැ කියලා නීතියක්‌ ගෙන එන්න. පනත ගෙන ආ පසු රෙගුලාසි ගෙන ඒමට අපිට හැකියාවක්‌ තිබෙනවා. අපේ ආකල්පය එජාපය වගේ මේවා වර්ධනය කිරීම නොවෙයි. මේවා අඩු කිරීම නැත්නම් නියාමනය කිරීමයි. විපක්‍ෂය විවේචනය කළ යුතු නිසා දිගින් දිගටම මේකට අවලාද නඟනවා. මහින්ද චින්තනය අනුව මේවා වහලා දාන්නේ නැත්තේ ඇයි කියලත් අහනවා. ඒවා ප්‍රායෝගික තර්ක නෙවෙයි. කිතු දහමේදී වතිකානුවට හිමිවන්නේ සුවිශේෂ තැනක්‌. එය පිහිටා තියෙන්නේ ඉතාලියේ. යුරෝපයේ පළමු කැසිනෝ ව්‍යාපාරය පටන් ගත්තේ ඉතාලියේ. සංචාරක ව්‍යාපාරය ආදියේ ඇතිවන ප්‍රවණතාවත් ගැන කල්පනා කරනවිට මිනිසුන්ට ඇතිවන සියලු අවශ්‍යතා නීතියෙන් යටපත් කරන්න හැකි වේ යෑයි මා සිතන්නේ නැහැ. එහි ඇති අවදානම ගැන මිනිසුන් තුළ ආකල්ප වර්ධනය කරන ගමන් ඊට ඇති ඉඩකඩ අසුරා තැබීමයි අප කළ යුත්තේ. මෙවායින් උත්පාදනය වන රැකියා ගැනත් කල්පනා කළ යුතුයි.

ප්‍රශ්නය - රැකියා නිසා ඕන දේකට ඉඩ දෙනවාද?

පිළිතුර - නැහැ. මම අදහස්‌ කළේ ඒක නෙවෙයි. අපි එහි ප්‍රායෝගික තත්ත්වයන් ගැන කල්පනා කළ යුතුයි. එක්‌වරම එය නතර කර දමන්නට හැකියාවක්‌ නැහැ. අපේ රට තවදුරටත් ආර්ථික වශයෙන් ශක්‌තිමත් වූ පසුව අපට ඒ වගේ ක්‍රියාමාර්ගයක්‌ටත් යා හැකියි. තිබෙන රැකියා ටිකත් එක රැයකින් නැති කර දමන්නට ප්‍රායෝගිකව හැකියාවක්‌ නැහැ කිසිම රටකට.

ප්‍රශ්නය - ලිsංගික ශ්‍රමය විකුණන කාන්තාවන්ට නිශ්චිත කලාපය තුළ ඉඩකඩ ලැබෙනවද කියන ප්‍රශ්නය මම ඇහුවා.

පිළිතුර - පනත සම්මත වීමෙන් පසුව ගෙන එන නීති රෙගුලාසිවලින් සියලුම ශ්‍රී ලාංකික කාන්තාවන්ට එය තහනම් කලාපයක්‌ බවට පත් කරන්න පුළුවන්.

ප්‍රශ්නය - හැබැයි යථාර්ථය නම්, කැසිනෝවලට යන විදේශිකයෝ හෝ ශ්‍රී ලාංකිකයෝ හෝ ඕනෑම අයෙක්‌ එවැනි දේ බලාපොරොත්තු වීමයි. එතකොට එවැනි කාන්තාවන් පිටරටින් ආනයනය කරන්න වෙයිද?

පිළිතුර - එහෙම තර්ක කරනව නම් මේ රටේ කිසිම දෙයක්‌ කරන්න බැහැ. යම් යම් ප්‍රායෝගික තත්ත්වයන් ගැන අප මඳක්‌ සංවේදී විය යුතුයි. සියල්ල එකවර නතර කරන්න බැහැ. අපිට ක්‍රම ක්‍රමයෙන් මේවා නතර කරන වැඩපිළිවෙළට යා හැකියි. මෙරටට ඇදී එන විශාල සංචාරකයන් පිරිසක්‌ කැසිනෝ ක්‍රීඩාවටත් යොමු වූ අය. නැතිනම් ඔවුන් සිංගප්පූරුව - මැකාඕ දූපත්වලට ඇදී යන එක නතර කරන්න අපිට බැරි වෙනවා.

ප්‍රශ්නය - මේ රටේ සොබා සිරියෙන් අනූන පුරාවිද්‍යාත්මක අගයකින් යුතු බොහෝ දේ සංචාරකයන් වෙනුවෙන් ප්‍රවර්ධනය කරන්න පුළුවන්කම තිබියදී කැසිනෝ ගැනම අවධානය යොමු කරන්නේ ඇයි?

පිළිතුර - ඕනෑම කෙනෙක්‌ තුළ විවිධ අවශ්‍යතා තිබෙනවා. එහෙම විවිධ අවශ්‍යතා තියෙන අය රටට එනවා. මම මුලිනුත් කිව්වේ මිනිස්‌ අවශ්‍යතා සියල්ල නීතියෙන් යටපත් කළ නොහැකියි කියලා. ඒකට යම් යම් ක්‍රමවේදයන් භාවිත කළ යුතුයි.

ප්‍රශ්නය - හෙළ උරුමය හා ජානිපේa සමග මේ ගැන සාකච්ඡා කළ බවක්‌ ඔබ කිව්වා. ඒත් එක්‌කම එජාපය කැසිනෝ ආරම්භ කළ බව කිව්වා. ප්‍රධාන විපක්‍ෂය ලෙස එජාපය හෝ ජවිපෙ මේ ගැන දැනුවත් කර තිබෙනවාද?

පිළිතුර - ජවිපෙ ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධව සිටින්නේ, ජාත්‍යන්තර වශයෙන් ගරු කරන්නේ මොන ප්‍රතිපත්තිවලටද? කියුබාවේ හා චීනයේ. චීනය කියන්නේ කැසිනෝ නැතිනම් සූදුව මුලින්ම ආරම්භ කළ රට. ජවිපෙට චීනය අනිත් දේවලදී හොඳයි. චීන ජාතිකයන් තමයි ලෝකේ වැඩිම කැසිනෝ ගහන උදවිය. කියුබන් ජාතිකයන් කොතරම් කැසිනෝ ගහනවද? කැසිනෝ ශාලා සහිත හෝටල් ව්‍යාපාර කොච්චර කියුබාවේ තියෙනවද? ජවිපෙ බලයට ආවොත් ඒකට ඉඩ දෙන්නේ නැද්ද? ජවිපෙ තවමත් යථාර්ථය අවබෝධ කර ගෙන නැහැ. වෙනිසියුලාවේ පවා කැසිනෝ ඉතා ප්‍රබල වශයෙන් තියෙන රටක්‌. ජවිපෙ හොංකොං, මැකාඕ, සිංගප්පූරුව වැනි රටවල සංචාරය කර ඒක අවබෝධ කර ගත යුතුයි. ඒ අය ඔය කියන කොමියුනිස්‌ට්‌ රාජ්‍යවල පවා අද පිළිඅරගෙන තියෙනවා. යම් යම් ගෝලීය ප්‍රවණතාවන් තුළ හුදකලා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බැහැ කියලා.

ප්‍රශ්නය - ඔබ කිහිපවතාවක්‌ සිංගප්පූරුව ගැන කතා කළා. ඒත් මුළු සිංගප්පූරුවටම කැසිනෝ ශාලා තිබෙන්නේ දෙකයි. එවැනි තත්ත්වයක්‌ තුළ මෙරට තිබෙන කැසිනෝ ශාලා වැඩි ප්‍රමාණයක්‌ එක්‌ක ඔබ ඔය කියන "පාලනය" කිරීම සිද්ධ වෙන්නේ කොහොමද?

පිළිතුර - නිශ්චිත බිම් ප්‍රමාණයක්‌ තුළ තියාගන්න ඕන. එකද දෙකද කියන එක තවම තීරණය වෙලා නැහැනේ.... දැන් කරන්නේ දැනට තියෙන අයට එතැනට යන්න කියනවා. එජාපය විසින් කරපු වරද නිවැරැදි කරන්න එහෙම ලේසියෙන් බැහැ. අපිට ඒ සඳහා වෙනත් නීතිමය රාමුවක්‌ නැහැ. අපි හිතමු. කැසිනෝ ශාලා 25 ක්‌ කියලා. ඒවාට යන්න මිනිස්‌සු ඉන්න ඕන. ඒවාට වැඩිපුර බදු ගැහැව්වම, ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට මේවාට යන්න බැහැ කියලා. නීති දැම්මම - අවශ්‍ය නම් අපිට නීතියක්‌ දාන්න පුළුවන් සමස්‌ත ශ්‍රී ලාංකිකයන්ටම යන්න බැහැ කියලා. මේවා ඉබේම නැතිවෙලා යයි. අපිට රෙගුලාසි ගේන්න පුළුවන්. මේවා ශ්‍රී ලාංකිකයන්ට තහනම් විදේශිකයන්ට පමණයි කියලා. අපි බලමු තත්ත්වය ඒ තැනට වර්ධනය කරගන්න පුළුවන් වෙයිද කියලා.

ප්‍රශ්නය -කැසිනෝ නියාමන පනතේ සඳහන් "නිශ්චිත ප්‍රදේශය" පිළිබඳ හරි නිර්වචනයක්‌ නැහැ.

පිළිතුර - ඒ ප්‍රදේශය තෝරා අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට එනවා. එතකොට පක්‍ෂ විපක්‍ෂ හැමෝටම එහි දුර්වලතා පෙන්නා දෙන්න පුළුවන්. සමහරවිට පොඩි දූපතක්‌ වෙන්න පුළුවන්. නැතිනම් තාප්පවලින් වටවුණු වෙනම ප්‍රදේශයක පිහිටි බිමක්‌ වෙන්නත් පුළුවන්. ඒවා තෝරා ගනිද්දී ඒක කරන්නේ බොහෝම ප්‍රවේසමින්නේ. අපි කියන්නේ ඒකයි මේක තවමත් මූලික මට්‌ටමේ තියෙන්නේ. ඉදිරියේදී අමාත්‍යවරයෙක්‌ යටතේ මේකට අවශ්‍ය රෙගුලාසි පනවලා ඉතා විධිමත් විදියට, අවශ්‍ය පාලන කටයුතු කරගෙන යන්න පුළුවන්. මේ රටේ සංස්‌කෘතියට සදාචාරයට හානිවන හැම දෙයක්‌ම එතැනදී අපිට ඉවත් කරගන්න හැකියාව ලැබෙයි.

Tell a Friend