ඊයේ දිනය ජීවිතයේ දුක්‍යදායකම දිනයයි - කරූ

ශ්‍රී ලාංකිකයෙකු, හිටපු හමුදා නිලධාරියකු හා දේශය උදෙසා සේවය කළ අයකුට කෘතගුණ සැලකිය යුතු යැයි, තරයේ විශ්වාස කරන බැවින් ඊයේ දිනය තම ජීවිතයේ දුක්‍යදායක දිනය ලෙස සලකන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා පැවසීය.


ඔහු පැවසුවේ, මීට මාස 18කට පෙර ආරක්ෂක ලේකම්වරයා විසින් ලොව ශ්‍රේෂ්ඨතම හමුදාපතිවරයා ලෙස හදුන්වා දෙනු ලැබු තරු හතරේ ජෙනරල්වරයා සාමාන්‍ය අපරාධකරුවෙකු ලෙස වැලිකඩ බන්ධනාගාරයේ රදවුනු ලැබු බවය.


රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මළ බෙර වැයෙද්දී 18වන ව්‍යවස්ථාවෙන්ද ස්ථාපිත ඒකාධිපතිත්වය විධායකයේ දැඩි හස්තයෙන්, හමුදා ජෙනරල්වරයෙකු බන්ධනාගාරගත කළ බව කරූ ජයසූරිය මහතා සිය ප්‍රකාශයෙන් පෙන්වා දී තිබේ.


යුධ අධිකරණය මගින් ෆොන්සේකා මහතාට දුන් තීන්දුව ජනාධිපතිවරයා අනුමත නොකරනු ඇතැයි, ඇතමුන් අවසන් අවස්ථාව දක්වාම විශ්වාස කළ බවත් අවසානයේ හෝ අනුකම්පා සහගත වෙමින් එම ක්‍රියාවලිය අවසන් කරනු ඇතැයි, තමන් ද විශ්වාස කළ බව නියෝජ්‍ය නායකවරයා සදහන් කළේය.




සරත් ෆොන්සේකා මහතා ඇතුළු හමුදා සෙබළුන් විසින් උතුරු නැගෙනහිර සටන් කොට පරාජය කරනු ලැබු ත්‍රස්තවාදීන්ට 2010 සැප්තැම්බර් 30 වෙනිදා විජයග්‍රාහි දිනයක් වනු ඇති බව කරූ ජයසූරිය මහතා පැවසීය.


සිරගතකොට අකර්මන්‍ය කර ඇත්තේ එල්.ටී.ටී.ඊ.යේ ඊලාම් රාජ්‍ය සිහිනය විනාශකර දැමු යුධ ජයග්‍රහණයේ ප්‍රධාන නිර්මාපකයා, වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් විනාශ කර දෑමීමට මහත් ආයාසයක් දෑරු පුද්ගලයා බව එම ප්‍රකාශයේ සදහන්ය.


ෆොන්සේකා මහතාට මේ අයුරින් සැලකීමට හේතුව පසුගිය ජාධිපතිපතිවරණයේදී ඔහු රජයේ ප්‍රධාන ප්‍රතිවාදීයා ලෙස තරග වැදීම නොව වෙනත් කරුණක් යැයි, යමකු සිතන්නේ නම් එම සිතුවිල්ල වැරදි සහගත බව පවසන ඔහු මෙය හිටපු හමුදාපතිවරයා එල්ලා තැබීමේ ක්‍රියා මාර්ගයේ මුල් පියවර දැයි සාමාන්‍ය ජනයා තුළ මවිතය ඇතිකරන බව ද අවධාරණය කළේය.


සුවපහසු මාර්ගයන් පසෙකලා යුක්තිය වෙනුවෙන් සටන් මාර්ගය තෝරාගෙන දුක් කට දරා සිටින අනෝමා ෆොන්සේකා මහත්මිය හා ඇගේ දුවරුන් දෙදෙනාගේ නම් යම් දිනක ඉතිහාසයේ ලියවෙනු ඇති බව එම ප්‍රකාශයේ වැඩුදුරටත් සදහන් වේ.


කරූ ජයසුරිය මහතා පැවසුවේ, වත්මන් ආඥා දායි ක්‍රියාමාර්ගයට එරෙහිව නැගී සිටින ලෙස පූජ්‍ය පක්ෂයෙන් දේශපාලන නායකත්වයයෙන් මෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.


Tell a Friend