ප්‍රවෘත්ති ලුහුඩින්

මාලදිව‍යිනේ අභ්‍යන්තර කටයුතුවලට ලංකාවේ ජනපති අතපොවයි. මෙසේ තමන්ගේ අභ්‍යන්තර කටයුතුවලට විදේශ බලවේග ඇගිලි ගැසීම නිසා තමන්ට කිතියක් ඇතිවුනු බව මාලදිවයින් පාල‍කයෝ ඊයේ ප්‍රකාශ කළහ.

ඒ ගැන විරෝධය පළ කරමින් උපවාසයක් කරන්නට අදහසක් නැතිදැයි ඇසූවිට අපට ලැබුණු උත්තරය වූයේ මැරෙන්නේ නැතිව අඛණ්ඩ උපවාසයක් කරන්නේ කෙසේදැයි තමන් සොයමින් සිටින බව ය. එයට උත්තර ලැබුනු වහාම උපවාසය ආරම්භ කිරීමට බ‍ලාපොරොත්තු වන බව ය.

තුන්මුල්ල හන්දියේ පැවති අඛණ්ඩ උපවාසය දින දෙකකට පෙර නිම වූ අතර ඉල්ලීම් නොලැබුනොත් මාරාන්තික උපවාසය ද නැවැත්වීමට තමන් කටයුතු කරන බවට ජාතික නිදහස්‍ පෙරමුණ අනතුරු අගවා තිබුනේ ය. ඒ අනුව මාරාන්තික උපවාසය නතර කර ඇති අතර මේ ගැන විමල් වීරවංශ කරන විශේෂ ප්‍රකාශයක් ප්‍රවෘත්ති අතරතුර ඔබට ගෙන ඒමට අපේක්ෂා කරමු.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 17 වෙනි සංශෝධනය හොරෙන් රිංගවා ඇත්තේ යුරෝපා සංගමය බව විශ්වාස කටයුතු මාර්ගයකින් අනාවරණය කර ගෙන ඇත. ජී ඇස් පී ප්ලස් මගුලක් ගෙනැවිත් තියෙන්නේ අකර්ණම්‍ය වූ එය කර්ණම්‍ය කිරීමට බව යුරෝපා ආරංචි මාර්ග උපුටා දක්වන ගුවන් විහිළු සේවය පවසයි.

හඩ්සන් හා මර්වින් ගිය මග යන්නට වුව තමන් නොපැකිළෙන බවට විමල් වීරවංශ ඇමතිතුමාගෙන් ප්‍රකාශයක්. දෙන්නාම ප්‍රසිද්ධව ඇත්තේ උන්ගේ වාචාල කට නිසා බවත් එයිනුත් හඩ්ඩා අහවල් එක වුනොත් ගුවන් විදුලියට නොඑන බවත් දණ ගාගෙන ඉන් පිටව යන බවත් ප්‍රකාශ කළ බව සිහිපත් කළ විමල් එහෙත් හඩ්ඩා ගුවන් විදුලියෙන් පන්නන්නට හිතුවා මදි බව කියා සිටියේ ය. මර්වින් අයියා ද මාධ්‍යවලට සම්බන්ධ නිසා එවැනි බොරුවක් කියා ඇණගත් බවත් ජවිපෙට මන්ත්‍රී ධුරයක් හිමිවන්නේ නම් තමන් දේශපාලනයෙන් සමුගන්නා බවට පට්ටපල් කෙබරයක් ඇරිය බවත් කියා සිටියේ ය. මර්වියා දේශපාලනයෙන් එලවන්නට හිතුවා මදි බව ද ඔහු කියා සිටියේ ය. එහෙව් එකේ මාධ්‍යයට ඒ පමණටම සම්බන්ධකම් තියෙන තමාට මරාන්තික උපවාසයක් කර නොමැරී ඉන්නට නොහැක්කේ මන්දැයි තමන් ජනතාවගෙන් අසන බව විමල් අප ප්‍රවෘත්ති සේවයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ය. තමන් මැරෙනකම් බලා සිටි විරුද්ධවාදීන්ට හූ කිව් අමාත්‍යතුමා රට නංවන්නට ඇති නිසා මිසක් ජීවිතයට ඇති ආදරය නිසා නම් තමන් සටන් අත් නොහරින බවට ද සපථ කළේ ය.

පොලීසිය තියෙන්නේ ආණ්ඩුව කියන වැඩ කිරීමට විනා නීතිය රැකීමට නොවන බවත් මේ ගැන නොදන්නා අය පොලීසිය තුළ ඉන්නවාදැයි දැන ගැනීමට විශේෂ විමර්ශනයක් පවත්වන බවත් පොලීස් ආරංචි මාර්ග පවසයි. මේ විමර්ශනයේදී නායකත්වය වැරදි යයි පෙනී ගියහොත් පොලිස් ලොක්කා වුව අස් කර දැමීමට තමන් පසුබට නොවන බව පොලිස් ලොක්කාටත් වඩා ලොක්කෙක් විසින් ප්‍රකාශ කර ඇත.

ඉල්ලා අස්වීමත් එය බාර නොගැනීමත් ඇමතිවරුන් අතර චාරිත්‍රයක් වෙන තරමට ප්‍රචලිත වෙමින් පවතින බව අප ප්‍රවෘත්ති සේවයට වාර්ථා වී තිබේ. පළමු තීරණයෙන් යම් වැරැද්දක් වූයේ නම් දෙවැන්නෙන් එය අයින් වන බව එජනිසං ප්‍රකාශයයෙක් කියා සිටියේ ය. මේ කාරණාවලින් පෙන්වන්නේ සාරධර්ම හොදින් දන්නා ශ්‍රී ලාංකීය මානසිකත්වය බවත් දරුවන් එවැනි හොද දෙයින් ආදර්ශයක් ගත යුතු බවත් ඒ පිළිබඳව විශේෂ ප‍්‍රකාශයක් කරමින්සංස්කෘතික ඇමතිනිය කීවා ය. පියවරක් ඉදිරියට ගත් හැම වෙලාවකම එය ආපස්සට ගැනීමෙන් පමණක් අපේ සංස්කෘතිය රැකෙන බව හැමම සිහිපත් කළ යුතු කාලය එළැඹ තිබේ යයි කියන්නට ද ඇය අමතක නොකළා ය.

ජනතාවාදය මොකක්දැයි තමන්ට දැන් අමතකව ඇතැයි ද වයසට යන විට එසේ වීම අතිශයින් ස්වභාවික යයි ද මේ අයවැය ජනතාවාදී අයවැයක් බව කියමින් ප්‍රකාශ කර සිටියේ වාසුදේව නානායක්කාර මහතා ය. ඇත්තටම ජනතාවාදී නැති අයට එය තේරුම්ගත නොහැකි යයි ද එතුමා කීමට අමතක නොකළේ ය. ඩිව් ගුණසේකර මහතා කියා සිටියේ සීතාම්බර පටලය රජතුමා ඇද සිටියාට එසේ ඇද සිටි බව බොහෝ දෙනෙකුට නොතේරුනේ ද ඔයිට සමාන හේතුවක් නිසා බව ය. කාටවත් පෙනුනේ නැතිවාට මෙය ජනතාවාදී අයවැයක් බව අපට නම් පේනවා යයි ඩිව් ද කිව්වේ ය.

මෙම අයවැය ඉදිරිපත් කළ මුදල් අමාත්‍යංශයේ ලේකම් පී බී ජයසුන්දර මහතා වැනි කෙනෙක් සිටියදී ජනතාවාදි නොවන අයවැයක් කෙසේවත් මෙ රජයෙන් ඉදිරිපත් නොවනු ඇති බවට සරත් එන් ද සිල්වා පල්ලා තමන්ට විශ්වාසය යයි වාසු සහෝදරයා කියා සිටින විට එතුමා ද ඇඳ සිට ඇත්තේ සීතාම්බර සළුවක් බව මෙ අතර අප වෙත වාර්ථා වී ඇත.

ප්‍රවෘත්ති මින් සමාප්තයි. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබ වෙත ගෙනාවේ හොදම සූප්පු හදන අරලිය ගහ හොටල් සමූහ ව්‍යාපා‍රයේ අනුග්‍රහයෙනි. බඩගින්නට හොදම විසදුම අරලිය ගහ සූප්පු. වරක් පාවිච්චි කර වෙනස වටහා ගන්න.