The Most/Recent Articles

Showing posts with label Haruki. Show all posts
Showing posts with label Haruki. Show all posts

‘ලේඛන හැකියාව දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්‘ - හරුකි මුරකාමි

මරණ දඬුවම ක්‍රියාත්මක කළ පමණින් මිනිස්සු වැරදි වලින් මුදවන්නට බැහැ

‘‘මං මරණ දඬුවමට විරුද්ධයි. මනුස්සයෙක්ව මරාදැමීම කියන්නේ කිසිදා සමාව දිය නොහැකි බරපතල අපරාධයක්. එක් පුද්ගලයෙකු විසින් තවත් අයෙකුව මරාදැමීම නැත්නම් එක් පද්ධතියක් හෝ ආයතනයක් විසින් පුද්ගලයෙකුව මරාදැමීම සම්බන්ධයෙන් මූලික වශයෙන් වෙනසක් පැවතිය යුතුයි. වරදට සමාව දීමට හැකි එකම මඟ මරණය බව ලෝකයේ විශ්වාසය වී තිබුණත් ඒ ගැන පවතින සම්මුතිය නැතිවෙමින් යනවා. පවත්නා නීති පද්ධතිය ඇතුළේ මරණ දඬුවම ක්‍රියාත්මක කරලා මිනිසුන් වැරදි ක්‍රියා වල නිරතවීම නවත්වන්නට හැකි බව දිනෙන් දින වැඩිවන අපරාධ දුටු විට කිසිසේත්ම විශ්වාස කරන්නට බැහැ. මේ වගේ කාරණා සලකා බලද්දි ඇත්තටම මරණ දඬුවම පැනවීම මාරාන්තික අන්තරායක්.‘‘



 

ෂින්රික්යෝ ආගමික කල්ලියේ ඝාතනයන් ගැන සටහන් තැබූ හරුකි

හරුකි මුරකාමි නම් සුප්‍රකට ජපන් ලේඛකයා පසුගිය ජූලි 29 වැනිදා ඉරිදා The Mainichi පුවත්පතට ලිපියක් යොමුකරමින් මරණ දඬුවම ගැන සටහන් තබන්නේ එලෙසයි. මේ සටහනේ නිමිත්ත වෙන්නේ 1995 මාර්තු 20 වැනිදා ටෝකියෝවේ දුම්රිය උමං මාර්ගයකදී විෂ වායුවක් (Sarin)  මුදාහැර පුද්ගලයින් 13 දෙනෙකු ඝාතනය කිරීම, 6000 කට අධික පිරිසක් පීඩාවට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි අවුම් ෂින්රික්යෝ ආගමික කල්ලියේ නායකයා වූ ෂොකෝ අශහාරා හා ඔහුගේ අනුගාමිකයින් 6 දෙනෙකු එල්ලා මරාදැමීමයි. පහුගිය ජූලි මසදී මේ පිරිස එල්ලා මරාදැමීමෙන් අනතුරුව ඒ පිළිබඳව හරුකි මුරකාමි විසින් සටහන් තබන්නට හේතු වුණු කරුණක් තිබුණා. ඒ ඔහු රචනා කළ Underground –The Tokyo Gas Attack and the Japanese Psyche (1997) කෘතියට පාදක වී තිබෙන්නේ මේ විෂ දුමින් මියගිය පවුල් වල පිරිස් මෙන්ම ඒ අපරාධයට හවුල් වූ පිරිසගෙන් ලබාගත්  සම්මුඛ සාකච්ඡාවන් වීමයි.


 

 



 

Underground - තෝකියේවේ විෂ වායු සිද්ධියට ගොදුරු වුණු පුද්ගලයින්ගේ ඥාතීන් හා එහි වැරදිකරුවන්ගෙන් ලබාගත් සම්මුඛ සාකච්ඡා ඇසුරින් ලියැවුණු කෘතියක්

මේ ගැන පවසන හරුකි වැඩිදුරටත් පවසන්නේ, '‘තෝකියෝවේදී විෂ වායු මුදාහැර පුද්ගලයින් ඝාතනය කිරීමේ සිද්ධියෙන් අනතුරුව මින් ජීවිත අහිමිවූවන්ගේ ඥාතීන් Underground කෘතිය වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවට ලක්කළ තැනැත්තෙකු ලෙස ඔවුන් එකල අත්විඳි දුක, වේදනාව මෙන්ම කෝපය ද මා දැක තිබෙනවා. මවිසින් රචනා කෙරුණු කෘතියක් මා නැවත කියවන්නේ බොහොම කලාතුරකිනුයි. නමුත්,  Underground කෘතියේ සමහර තැන් කියවන විට අදටත් මගේ නෙතගින් කඳුළු කඩාවැටෙනවා. එකල මේ කෘතිය වෙනුවෙන් කළ සම්මුඛ සාකච්ඡාවන් වා තලයට මුසුවී, ඒ හැඟීම්, හඬවල් වා තලයේ සැරිසරා මවෙත විත් විටෙක මගේ හුස්ම සිරකර දමනවා. මා භාවාතිශය තැනැත්තෙකු බව ඔබ කියාවි. නමුත්, පොත් ලියන මනුස්සයෙකු විදියට ඒ වගේ ස්වභාවික හැඟීම් මැඩපැවැත්වීමේ වුවමනාවක් මට නැහැ, ඒ හැඟීම් එලෙසින්ම පාඨකයින්ට පවසන්නට මට හැකියාවක් තිබෙනවා නම් එය නොපැකිලිව සිදුකරන්න මා කැමැතියි. ඇත්තටම, Underground කෘතිය රචනා කරන සමයේදී ඇතුළතින් වෙනස් වූ බවක් මට හැඟුණා.‘‘ යන්නයි.



හරුකිගේ සීයා බෞද්ධ හිමිනමක වූ අතර ඔහුගේ පියා ජපන් සාහිත්‍යය ගුරුවරයෙකු ලෙස කටයුතු කළා. කුඩාවියේදී සිටම ජපන් සාහිත්‍යය, කලාව හා සංගීතය ප්‍රතික්ෂේප කරමින් එතෙක් කලක් ජෑස් පටි, හොලිවුඩ් සිනමාපට තුළින් පමණක් හඳුනාගෙන සිටි ජපානයට එපිටින් සිටි ලෝකය දැන හඳුනාගැනීමට ඔහු තුළ දැඩි බලපෑමක් ඇතිකළේ නිරන්තරයෙන් ඇමරිකානු නාවිකයින් පැමිණි කෝබිහි ගෙවීගිය ජීවිතයයි.

තෝකියෝවේ සිසුවෙකු ලෙස ගතකළ අවදියේදී ද පශ්චාත් නූතන ප්‍රබන්ධ කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ හරුකි සිය දිවියේ 23 හැවිරිදි කඩඉමේදී විවාහ දිවියට ඇතුළත් වූ අතර තෝකියෝවේ Peter Cat නම් ජෑස් සමාජ ශාලාවක් පවත්වාගෙන ගියා. මේ අතරතුරදී තමන්ට ලේඛකයෙකු විය හැකියැයි සිහියට නැගෙන්නේ බේස්බෝල් තරගයක් නරඹමින් සිටින අවස්ථාවේදීයි.

 

 

‘ලේඛනය දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්‘ - හරුකි මුරකාමි

‘‘මා බුද්ධිමතෙකු නොවේ. ආඩම්බරයෙන් දිවිගෙවන තැනැත්තෙකු ද නොවේ. මා, මගේ කෘතීන් කියවන පාඨකයන් මෙන්ම වුණු තැනැත්තෙකි. මට ජෑස් ක්ලබ් එකක් තිබුණා. එහි කොක්ටේල්, සැන්ඩ්විච් ආදිය පිළියෙල කළේ මමයි. කිසිසේත්ම ලේඛකයෙකු වීමේ වුවමනාවක් මට තිබුණේ නැහැ. ඒක සිද්ධ වුණේ ඉබේටමයි. ලේඛනය දෙවියන්ගෙන් මා ලැබූ තෑග්ගක් වෙන්න ඇති. ඒ නිසාම මං බොහොම නිරහංකාර විය යුතු බව මගේ විශ්වාසයයි‘‘ 

Hear the Wind Sing නවකතාව හරහා 1979 දී ලේඛනයට පිවිසෙන මේ ලේඛකයා සිය කෘතිය ඉංග්‍රීසියට පරිවර්තනය කළද එය ජපානයේ අලෙවි නොකළ යුතු යැයි ඉල්ලීමක් කරනවා. මේ නවකතාව උදෙසා ඔහුට Gunzo සාහිත්‍යය සම්මානය ද හිමිකරගන්නා හරුකි ඔහු විසින් රචිත සෑම කෘතියකින්ම ජනප්‍රියත්වය හා පිළිගැනීම හිමිකරගන්නට සමත් වෙනවා. 1987 දී ඔහු විසින් රචිත Norwegian Wood කෘතිය හරුකි සුවිශේෂී සාහිත්‍යධරයකු බවට පත්කරන්නට සමත් වෙනවා. ’80 පරපුරේ හඬ, ජපානයේ ජේ.ඩී. ස්ලින්ගර්‘ යන අන්වර්ථ  නාමයන්ගෙන් ඔහුව හැඳින්වෙන අතර ජපානයේ පමණක් මේ කෘතියේ පිටපත් මිලියන දෙකක් අලෙවි කෙරෙනවා. පසුකලෙක මෙය සිනමාපටයකටත් නැගෙනවා.

ද පැරිස් රිවීව් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙන හරුකි ඒ ගැන පවසන්නේ, ‘‘මං අධියථාර්තවාදී නවකතා නොලීවා නම් ධර්මය ගැන ලියන ලේඛකයෙකු වේවි. නමුත්, මට ප්‍රධාන ධාරාව බිඳදැමීමට වුවමනා වුණු නිසා යථාර්තවාදී පොත් රචනා කිරීමට හැකි බව පෙන්වන්න සිද්ධ වුණා. මගේ අතින් Norwegian Wood කෘතිය රචනා වුණේ ඒ නිසයි. අපේක්ෂා නොකළ අන්දමේ ප්‍රතිචාර මේ කෘතියට හිමිවුණා පමණක් නොව ජපානයේ වැඩියෙන්ම අලෙවි වූ කෘතියක් බවටත් එය පත්වුණා.‘‘  යන්නයි.

 



A Wild Sheep Chase (1982), The Wind-Up Bird Chronicle (1994–95), Kafka on the Shore (2002), 1Q84 (2009) ඔහු විසින් රචිත විශිෂ්ට කෘතීන් කීපයක් වන අතර හරුකිගේ පොත් ලොව පුරා භාෂා 50 කට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වී තිබෙනවා. Killing Commendatore නමින් 2017 වසරේදී ඔහු ලියූ නවකතාව අශෝභන යැයි පවසා පසුගියදා හොංකොං හි විරෝධතා පැවැත්වුණා. අතිවිශිෂ්ට කෘති රචනා කළ මේ ලේඛකයා විකල්ප නොබෙල් සම්මානය අබියස හිඳිමින් පවසන්නේ  මෙවැනි කතාවකි. ‘‘ඔබ කියවන්නේ හැමෝම කියවන පොත් නම්, ඔබට සිතිය හැක්කේද හැමෝම හිතන දේවල් පමණි.‘‘

 

 

 

 

 

 

 

 

සටහන - වින්ධ්‍යා ගම්ලත්

 

(2018 අගෝස්තු 26 වැනිදා ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

 

 

සබැඳි පුවත් 

හරුකි මුරකාමි මරණ දඬුවම ගැන කතා කරයි 

 

 

 

 

හරුකි මුරකාමි මරණ දඬුවම ගැන කතා කරයි

1995 මාර්තු 20 වැනිදා ටෝකියෝවේ දුම්රිය උමං මාර්ගයකදී විෂ වායුවක්  (Sarin)  මුදාහැරීමෙන් 13 දෙනෙකු ඝාතනය කිරීම, 6000 කට අධික පිරිසක් පීඩාවට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි අවුම් ෂින්රික්යෝ නම් ආගමික කල්ලියේ නායකයා වූ ෂොකෝ අශහාරා හා ඔහුගේ අනුගාමිකයින් 6 දෙනෙකු පසුගියදා එල්ලා මරා දැමුණි. කල්ලියේ නායකයා වී සිටි ෂොකෝ හට පසුගිය ජුලි 6 වැනිදා මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති අතර සෙසු සාමාජිකයින් 6 දෙනා එල්ලා මරාදමා ඇත්තේ පසුගිය සතියේදී ය.

ජපානයෙන් බිහිවූ සුප්‍රකට ලේඛකයෙකු වන හරුකි මුරකාමි මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමුඛ පෙළේ ජපන් පුවත්පතක් වන The Mainichi වෙත පසුගිය ඉරිදා (29) දින ලිපියක් යොමුකරමින් පවසන්නේ, ‘මා මරණ දඬුවමට විරුද්ධ මතයක ඉන්න කෙනෙක්. වචනානුසාරයෙන් ගත්ත ද මරණ දඬුවම අනිවාර්යයෙන්ම කෙනෙකුගේ ඉරණම තීරණය කරන දඬුවමක් වී තිබෙනවා‘ යන්නයි.

‘‘මරණ දඬුවම ක්‍රියාත්මක කළ පමණින් මෙවැනි අපරාධ නැවත ඇතිනොවෙන බව විශ්වාස කරනවා නම් එය අතිශයින්ම වැරදි තීරණයක්. වැරදි යළි ඇතිනොවෙන වග සහතික කිරීමට තිබෙන එකම ක්‍රමවේදය මරණ දඬුවම නොවේ‘ යනුවෙන් මෙම ලිපිය තුළ ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.

හරුකි සිය Underground -  The Tokyo Gas Attack and the Japanese Psyche කෘතිය වෙනුවෙන් 1997 වසරේදී මෙම අනතුරින් ජීවිත අහිමි වුණු පිරිසගේ ඥාතීන් මෙන්ම සිද්ධියට සම්බන්ධ කල්ලියේ පිරිස ද සම්මුඛ සාකච්ඡාවට ලක්කළේය. ‘මේ සිද්ධිය සමබන්ධ නඩුව තවමත් අධිකරණයේ විභාග කරන නිසා ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ කරන්නට බැහැ. නමුත්, මම මරණ දඬුවමට එරෙහියි.‘‘ යනුවෙන් එකල මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඔහු පවසා තිබුණි.

[caption id="attachment_20442" align="alignnone" width="220"] Underground කෘතිය[/caption]

කෙසේවුවත්, හරුකිගේ විශ්වාසය වී තිබෙන්නේ මෙම සිදුවීමෙන් වූ ජීවිත හානිය කිසිලෙසකින්වත් සාධාරණිකරණය කළ නොහැකි වුවද සිද්ධියේ වැරදිකරුවන් වු පිරිසට මරණ දඬුවම නියම කිරීමෙන් මියගිය හා තුවාල වු පිරිසට සාධාරණයක් ඉටුනොවන බවයි.

[caption id="attachment_20443" align="alignnone" width="300"] විෂ වායුව ආඝ්‍රාණය වී සිටි පිරිස [/caption]

 

Underground කෘතිය රචනා කළ සමයේදී ‘තමන් ඇතුළතින් වෙනස් වූ බව දැනුණු බවත්‘ කල්ලියේ සාමාජිකයින්ට මරණ දඬුවම නියම කෙරුණු බව දැනගත් විට ඔහුගේ ‘පපුව ඇතුළින් දැඩි වේදනාවක් නැගුණු බව‘ ද පවසා තිබුණි. එපමණක්ම නොව මේ සිද්ධියේ වැරදිකරුවන් එල්ලා මරාදැමූ පුවත මෑතකදී දැනගත් විට ‘සිය පපුවට නැගුණු වේදනාව තවමත් එලෙසින්ම පවතින බව හැඟුණු බව‘ ද හරුකි පවසයි.

‘වචන වලට පෙරලන්නට නොහැකි දැඩි නිහඬතාවක් මට දැනෙනවා. උසාවියේදී පෙනී හිටි ‘මරණය‘ ඊට අයිති කොටස ඉක්මනින්ම අරගෙන ගියා‘  යැයි අවුම් ෂින්රික්යෝ අනුගාමිකයින් එල්ලා මරාදැමීම ගැන හරුකි සනිටුහන් කරයි.

‍

[caption id="attachment_20444" align="alignnone" width="300"] ෂොකෝ අශහාරා[/caption]

 

[caption id="attachment_20445" align="alignnone" width="254"] මරණ දඬුවම හිමිවූ අවුම් ෂින්රික්යෝ සාමාජිකයින්[/caption]

 

 

සටහන - වින්ධ්‍යා ගම්ලත්

 

The Guardian හා The Mainichi ඇසුරිනි