- සුනන්ද දේශප්‍රිය -
ලංකාගමනය
හෙන්රි බෙන්ජමින් මිලර් මෙරටට පැමිණියේ ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ සිට ය. තරුණ ජේසු නිකායික ශිෂ්‍ය පූජකවරයකු වූ ඔහු ශ්‍රී ලංකාවේ මඩකළපුවෙහි ආගමික මෙහෙවරෙහි යෙදීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන විට වයස විසි තුනක යෞවනයකු විය. ඔහු පැමිණියේ මෙරට නිදහස ලබා සත් මසකට පසු 1948 සැප්තැම්බර් 04දා ය. එතැන් ගෙවුණූ පටන් වසර 70කට ආසන්න කාලයක් ඔහු නැගෙනහිර පළාතෙහි සේවය කළේ ය. ඉන් වසර කිහිපයක් හැරුණූ විට ඔහු සේවය කළේත් ජීවත්වූයෙත් මඩකළපුවෙහි ය.
අභියෝග හමුවේ නොසෙල්වෙන චරිතයක්
යුද සමයෙහි මෙරට මානව හිමිකම් රැකගැනීම උදෙසා ක්‍රියාකළ අප බොහෝ දෙනෙකුට ෆාදර් මිලර් ආශ්වාදයක්ද ආදර්ශයක්ද සැපයූ ඉන්ද්‍රකීලයක් විය. එසමයෙහි මඩකළපුවට ගිය සෑම නිරීක්ෂණ චාරිකාවකදීම පාදර් මිලර් හමුව අපේ ප්‍රමුඛතාවයක් බවට පත්ව තිබුණි.
දෙමළ බස ඉගෙනගත් ගුරුවරයා
1540 දී පිහිටුවන ලද රෝමානු කතෝලික ජේසු නිකාය මුල සිටම සිය ආගමික මෙහෙවර මෙන්ම අධ්‍යාපනයෙහි යෙදීමට ද නැඹුරුවක් දැක්වීය. 1948 දී ශ්‍රී ලංකාවේ මඩකළපුවෙහි සේවය කිරීමට ස්වෙච්ඡා පූජකවරුන් අවශ්‍ය බවට පාප්තුමා විසින් කරන ලද ඉල්ලීමකට හෙන්රි මිලර් සිය ජීවිතය කැප කළේ ය. ඔහු සිය ජීවිතයෙන් වැඩිම කාලයක් ගුරුවරයකු ලෙස සේවය කළේ ය. මුල් කාලයෙහි ඔහු භෞතික විද්‍යාව, ඉතිහාසය සහ ඉංග්‍රිසි ඉගැන්වූ ඔහු පාසල් පාපන්දු කණ්ඩායමේ පුහුණුකරුද විය. ඒ සඳහාම ඔහු දෙමළ බස ඉගෙන ගත්තේ ය.
මානව හිමිකම් සුරක්ෂකයා
පසු කාලීනව හෙන්රි මිලර් පියතුමා ප්‍රසිද්ධියට පත් වූයේ ආගමික ප්‍රචාරකයකු ලෙස නොවේ. මානව හිමිකම් සුරක්ෂකයකු ලෙස ය. 1980 ගණන් මැද භාගයේ සිට නැගෙනහිර පළාතෙහි නැගී ආ යුද ගිනිදැල් මැද, මනුෂ්‍යත්වයේ පැත්ත මිස අන් කිසි පැත්තක් නොගත් හෙන්රි මිලර් සිය ජීවිතයේ අවසානය දක්වාම යුක්තිය සහ සාධාරණත්වය සඳහා වූ සිය කැපවීම රැක ගත්තේය. 2019 ජනවාරි පළමුවනදා සිය අවසන් හුස්ම පොද මඩකළපු වාතලයට එක් කරන තුරුම ඔහු තමා සමාරම්භකයකු වූ මඩකළපු සාම කමිටුවේ බලකණුව විය. එමෙන්ම යුද ගැටුමට සාමකාමී විසඳුමක් සෙවූ මඩකළපුව සාම කමිටුවෙහි සහ ආගමික කවුන්සිලයේ ද ආරම්භකයකු විය. එල්ටීටීඊ ය සහ ලංකාණ්ඩුව අතර සටන් විරාම ගිවිසුමක් පැවැති 2002-2004 කාලයෙහි මඩකළපුව සටන් විරාම නිරීක්ෂණ කමිටුවට ආණ්ඩුව විසින් පත් කරන ලද පුරවැසි නියෝජිතයා වූයේ ද ඔහු ය.
බැරල් බෝම්බ මැද
1980 ගණන් මැද භාගයේ සිට නැගෙනහිර පළාතෙහි දෙපාර්ශ්වය අතර සටන් උත්සන්න විය. රාජ්‍ය ත්‍රස්තවාදය බැරල් බෝම්බ සහ සමූල ඝාතන උපක්‍රම අත්හදා බැලූ භූමිය එය බවට පත් විය. එල්ටීටීඊය ද සමූල ඝාතන ත්‍රස්තවාදය මුලින්ම ක්‍රියාවට නැගූයේ නැගෙනහිර දී ය.
මේ සියල්ල මැද සාමය සඳහා පෙනී සිටිමින්ම සියළු හිමිකම් කෙළෙසීමක් ම විස්තරාත්මකව පරිස්සමින් වාර්තා ගත කිරීම ෆාදර් මිලර් අනලස්ව කරගෙන ගියේ ය. ඔහු විසින් එලෙස වාර්තාගත කරන ලද අතුරුදහන් කිරීම් සහ පැහැර ගැනීම් දහස් ගණනාවකි. රාජ්‍ය මෙන්ම එල්ටීටීඊ ය ඇතුළු අනෙක් දෙමළ සන්නද්ධ සංවිධාන විසින් ද විසංවාදය සහමුලින්ම මර්දනය කර තිබූ එසමයෙහි ද පරිස්සමින් විස්තරාත්මක සාක්ෂි සටහන් කර ගැනීම පාදර් මිලර් අත හැරියේ නැත.
1990 සැප්තැම්බර් 09දින මඩකළපුවෙහි සතුරුකොන්ඩාන් ග්‍රාමයට නිල ඇඳුමින් සහ සිවිල් ඇඳුමින් සැරසුණූ පණහක පමණ හමුදා පිරිසක් පැමිණ එහි වැසි සියළු දෙනාම පාරට කැඳවූහ. පසුව යුද හමුදා කඳවුර කරා ගෙන යන ලද එකසිය අසූ ගණනාවක් වූ ඒ් සියළු දෙනාට ම වෙඩි තබා ඝාතනය කරන ලදී. ඒ් අතර වසය අව්රුදු 10ට අඩු දරුවන් හතලිස් දෙනෙකුද වූහ.
සමූළ ඝාතනයක සාක්ෂිය
එම සමූළ ඝාතනයෙහි දී වෙඩිවැදී අඳුරට මුවාවී සැඟව සිය ජීවිතය බේරාගත් විසි එක් හැවිරිදි කන්දසාමි ක්‍රිශ්ණකුමාර්ගේ දීර්ඝ සාක්ෂිය ප්‍රථමයෙන් සටහන් කර ගන්නා ලද්දේ ද ෆාදර් මිලර් මූලිකත්වය දුන් මඩකළපු සාම කමිටුව විසිනි. එසේ නමුත් පසුගිය දා පාදර් මිලර් අවසන් හුස්ම හෙළන තුරුම මෙම සාහාසික අපරාධයට වගකිය යුතු කිසිවකු නම් කර හෝ අධිකරණය ඉදිරියට පමුණුවා හෝ නැත.
ෆාදර් මිලර් ගේ අභාවයෙන් පසු ග්‍රවුන්ඩ්ස්වීව් වෙබ් අඩවියට සටහනක් ලියන මඩකළපුව සාම කමිටු සාමාජිකා සරලා එම්මානුවල් මෙසේ සටහන් කරයි.
ආරක්ෂක පළිහ
‘ මා ෆාදර් මිලර් දැන හදුනාගත්තේ මා මඩකළපු සාම කමිටුවට බැ දීමෙන් පසුව ය. හරියටම කිව නොහැකි වුවත් ඒ 2014 සුනාමි ව්‍යසනයට පසුව ය. ඔහු සතුවූ පෞරුෂත්ව බලයත්, මඩකළපුවෙහි සිදුවෙමින් පැවැති පැහැර ගැනීම්, අතුරුදහන් කිරීම්, ඝාතනයන්, අත්අඩංඟුවට ගැනීම්, ළමා බඳවා ගැනීම්, වාර්ගික නොසන්සුන්තා, ප්‍රචණ්ඩත්වයන් සහ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් සාක්ෂි දරමින්, තැන තැන ගොස් සොයා බලමින්, සහාය වෙමින්, සහ වාර්තාගත කරමින් සිටි අපට ඔහුගේ පැවැත්ම විසින් සපයන ලද අදිසි එනමුත් සැබෑ ආරක්ෂිත පළිහත් මගේ මතකයේ තිබේ. අපගෙන් ප්‍රශ්ණ කරන ලද සෑම මුර පොළකදී ම අපි මඩකළපු සාම කමිටුවේ ෆාදර් මිලර් සමඟ වැඩ කරන බව කීවෙමු. අප පැමිණෙන්නේ කොහි සිට දැයි ඇසූ විට අපි සාම කමිටුවේ ලිපිනය දුන්නෙමු. අපේ ආරක්ෂිත උපාය මාර්ගය වශයෙන් අපි කොහි යන්නේදැයි සෑම විටම දුරකතනයෙන් ෆාදර් මිලර්ට දැනුම් දුන්නෙමු.
විවිධ සන්නද්ධ කණ්ඩායම් විසින් බලයෙන් දරුවන් බඳවා ගන්නා ලද දරුවන්ගේ නිවෙස් කරා, එකි සන්නද්ධ පිරිස් එම ගම්වල සැරිසරමින් අපව නිරීක්ෂනය කරමින් සිටියදී ම අප පිවිසියේ එලෙස එම රැකවරණය ඇතිව ය.
එකී වර්ෂයන්හිදී අලුතින් පැමිණෙන සෑම පොලිස් ප්‍රධානියකුම මුණ ගැසී මඩකළපු සාම කමිටුව ලෙස අපි හඳුන්වා දුන්නෙමු. අප එසේ කළේ පුද්ගලයින් අත්අඩංගුවට ගත් විට, පැහැර ගත් විට. රඳවා තැබූ විට හෝ මරාදැමූ විට යම් සබඳතාවයක් පවත්වා ගනු පිණිස ය. සාම කමිටුවේ ඉතිහාසය දක්වමින් අප හදුන්වා දෙන ලද්දේ අප කණ්ඩායමේ කේන්ද්‍රය වූ සුදු ලෝගුවෙන් සැරසුණු ෆාදර් මිලර් විසිනි.
2008 වසරෙහි දී මඩකළපුවෙහි කඩයකින් පුද්ගලයින් පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන මඩකළපු පොලිස් ස්ථානයෙහි රඳවා තැබුණි. ඉන් එක් අයකු වූයේ සූරියා කාන්තා සංවර්ධන මධ්‍යස්ථානයෙහි මගේ සහකාරියක ගේ සහකරුය. සිය සහකරු සහ අනෙක් අය අතුරුදහන්වනු ඇතැයි බියට පත් ඇය හැම දිනකම පොලීසිය ඉඩ දෙනතාක් එහිම රැදී සිටියා ය. දිනක් ඉන් දෙදෙනෙකු පසුදා රැයෙහි අතුරුදහන්ව ඇතැයි දිනක් අපට ආරංචි විය. වහාම ඔවුන් සොයා ගැනීමට අපට අවශ්‍ය වූයේ ඔවුන්ට කුමක්වනු ඇත්දැයි මහත් බියක් ජනිත වූ නිසා ය. ෆාදර් මිලර් අප සහ පවුල්වල අය සමඟ පොලීසියේ ප්‍රධානියා හමුවීමට එකඟ විය. එම දෙදෙනා සිටින්නේ කොතැනකදැයි කියන ලෙස ෆාදර් මිලර් ඔහුට බල කළේ ය. එම දෙදෙනා වෙනත් රැඳවුම් ස්ථානයක යහතින් සිටින බව ඔහු අපට සහතික විය. එනමුත් එදින සවස් වනවිට එම පුද්ගලයින් දෙදෙනාගේ සිරුරු වෙරළට ගොඩ ගසා තිබුණි. ෆාදර් මිලර් අප සහ සිය ආදරවන්තයින්ගේ ඝාතනයෙන් වියෝවට පත් පවුල්වල උදවිය සමග උසාවියේ වාඩි වී සිටීමට ද පැමිණියේ ය.
අපේක්ෂාභංගත්වය
ඔහුගේ ජීවිතයේ අවසාන භාගයේදී ෆාදර් මිලර් දුර්විපාක නොලබා සිටීම බලවත් වී ඇති බවත් යුක්තිය සහ සාධාරණය උදෙසා දේශපාලන අධිෂ්ඨානයක් නැති බවත් හැඟී කිසියම් අපේක්ෂා භංගත්වයක් පෙන්නුම් කළේ ය. මඩකළපු සාම කමිටුව මගින් ලේඛන ගත කරන ලද අතුරුදහන්වීම් සහ ඝාතන 8000 ගැන පරීක්ෂණ පවත්වන්නැයි එල්එල්ආර්සී කමිටුවට ඔහු ලිපියක් ද ඉදිරිපත් කර තිබුණි.
ෆාදර් මිලර්ගේ වියොව යුගයක අවසානයක් ලෙස දැනෙයි. මගේ වේදනාව වනාහී අප ප්‍රජාවෙහි ජීවත් වූ අතිශය නිර්භය සහ පරහිතකාමී වැඩිහිටියකුගේ නික්ම යාම ය. එමෙන්ම ඒ වනාහී ඉතිහාසයක්, අඳුරු සමයෙහි නිර්භය ලෙස ජීවත් වූ මිනිසුන්ගේ කතා නැතිව යාම ගැන ය. දැන් ඔවුන්ගේ කතා කියන්නේ කවරෙක්ද ? ඔවුන් විසින් ඒසා නොබියව කරගෙන යන ලද්දා වූ කාරිය නොනැවත කරගෙන යාමට පියවර නඟන අපට, වචනයට නැගිය නොහැකි ප්‍රචණ්ඩත්වය හමුවෙහි, ඔවුන් දැක්වූ හාස්‍යය, ඔවුන්ගේ උණුසුම, ඔවුන්ගේ මිනිස්කම මතකයෙහි රඳවා ගත හැකි වනු ඇත්ද?’
හෙන්රි බෙන්ජමින් මිලර් අද අප අතර නැත. එනමුත් ඔහු විසින් අප වෙත දායාද කරන ලද මනුෂ්‍යත්වයේ ආදර්ශය සදාකාලිකය. ඔහු සැම විටම යුක්තිය සහ සාධාරණත්වය සිය පාර්ශ්වය ලෙස තෝරා ගත්තේ බියෙන් තොරව, බියෙන් අත් මිදෙමිනි. එවන් මිනිසකුගේ නික්ම යාම යළි ඉපදීමකි. ඒ සදා නොමියන ආදර්ශයක් ලෙස ය.
ෆාදර් මිලර්, පමා වී නමුත් ඔබට සුභ ගමන් යැයි පතන්නට ඉඩ දෙන්න.
සබැඳි පුවත්
2019 ලාංකීය දේශපාලනයේ ප්‍රවණතා හා අභියෝග
Post a Comment