‘‘මම නැවත ඇවිත් පය තියන්නේ ස්වාධීන දෙමළ ඊළම ස්ථාපිත වුණු භූමියක‍...‘‘ - රුද්‍රකුමාරන්

 


‘දෙමළ ඊළාම් ජනතාවගේ ඉල්ලීම් වලට දේශපාලන විසඳුමක් නැතිව ලංකාව ආර්ථික වශයෙන් ශක්‍ය රටක් බවට පත්වෙන්නේ නැහැ.’‍ -‍ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ නීති උපදේශක ධූරය හෙබවූ, මේ වනවිට නිව්යෝර්ක්හි දිවිගෙවන රුද්‍රකුමාරන් විශ්වනාදන් Sri Lanka Guardian සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේය.

ඝාතනයට ලක්වූ එල්.ටී.ටී,ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මතකය අවදි කරමින් රුද්‍රකුමාරන් පවසන්නේ, ‘ඔහුගේ දැක්ම, කැපවීම, අධිෂ්ඨානය, ඔහුගේ ආශාව, ඔරොත්තුදීමේ හැකියාව සැමවිටම අප සමඟ පවතිනවා’ යන්නයි.

රුද්‍රකුමාරන් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ දෙමළ ඊළම ස්ථාපිත කිරීම අරමුණු කරගත් ශ්‍රී ලාංකීය දෙමළ ඩයස්පෝරාව අතර අන්තර්ජාතික සංවිධානයක් වන දෙමළ ඊළාම් අන්තර්ජාතික රජයේ අග්‍රාමාත්‍යවරයා වේ. ලංකා රජය මෑතකකදී දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයින්ට දේශපාලන හා සමාජීය සහජීවනය උදෙසා අත්වැල් බැඳගන්නට එක්වන ලෙස ආරාධනා කළ අතර මෙය දෙමළ ඩයස්පෝරාවේ පාර්ශ්ව සමග Sri Lanka Guardian පැවැත්වූ සම්මුඛ සාකච්ඡා මාලාවක කොටසකි‍.

 

ඔබ එක්ක කතාබහ කරලා බොහෝ කාලයක් ගතවෙලා. මේ කතාබහට එක්වීම ගැන මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබේ දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුවේ (TGTE-Transnational Government of Tamil Eelam) අළුත් තොරතුරු ගැන මුලින්ම කිව්වොත් ?

 

අපේ ප්‍රධාන දේශපාලන වැඩසටහන වෙන්නේ දෙමළ ඊළාම් ජනතාව, වෙනස් ජාතියක් විදියට ස්වයං නිර්ණ අයිතිය ඇති අතර ඔවුන් ජනමත විචාරණයක් මගින් තමන්ගේ අනාගතය තීරණය කළ යුතුයි. අද මේ දැක්මට ජාත්‍යන්තර ප්‍රජාව තුළ පිළිගැනීමක් ලැබෙනවා. ඔබ දන්න විදියට හිටපු ජනාධිපතිවරු බොහොමයක් දෙනා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම්වරුන් වගේම ප්‍රමුඛ පෙළේ විද්වතුන් අපේ කාර්යයන් වලට නිරන්තරයෙන් සහභාගී වෙනවා.

පීඩාක‍ාරී මිලිටරි පරිසරය හා ස්වාධීන රාජ්‍යයක් සඳහා සාමකාමීව පෙනී සිටීමට දඬුවම් කරන හයවන සංශෝධනය මගින් එල්ල කරන ලද තර්ජන නොතකා අපේ දැක්ම වී තිබෙන්නේ දේශීය දෙමළ නායකත්වය මධ්‍යයේ සුසංයෝගයක් සෙවීමයි.

දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් 2022 අගෝස්තු 9 වැනි දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෙත යවනු ලැබූ ලිපිය මගින් ද හයවන සංශෝධනය ඉවත් කරන ලෙස ඉල්ලා ඇති බවද මෙහිදී අවධාරණය කිරිමට කැමතියි.

දෙමළ ඊළාම් රාජ්‍යයට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) අධිකරණ බලයට ප්‍රවේශ වීම සඳහා අපි ළඟදීම ජාත්‍යන්තර අපරාධ අධිකර‍ණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත ලිපිගොනු  යොමුකිරීමට සූදානම්. අ‍පේ ප්‍රවේශය පදනම් වී තිබෙන්නේ දෙමළ ඊළාම් රාජ්‍යය පවතින බවයි. ඔබ දන්නා විදියට 1972 හා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද දෙමළ ජනතාව එකඟ වූවේ නැහැ, අපේ තර්කය පදනම් වන්නේ පරමාධිපත්‍යයට ආපසු යාමේ ජාත්‍යන්තර නෛතික සංකල්පය මතයි. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් භාර කොමසාරිස් අල් හුසේන් රෝම ප්‍රඥප්තියට එකඟ විය යුතු බවට ශ්‍රී ලංකා රජයෙන් ද ඉල්ලා සිටියා.

ප්‍රජාතන්ත්‍රවාදී හා රාජ්‍ය තාන්ත්‍රික මාධ්‍යයන් තුළින් දෙමළ ඊළාම් රාජ්‍යය පිහිටුවීමට කැපවී සිටින දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව, ශ්‍රී ලංකා රජය විසින් දිගින් දිගටම තහනම් කෙරෙනවා. 

 

ඔබේ පියා රාජ්‍ය සේවකයෙකු ලෙස 1979 සිට 1983 දක්වා යාපනයේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කර 2020 දී මියගිය බව අප අහලා තියෙනවා. ඔහුගෙන් ඔබට ලැබුණු උරුමය නැතිනම් ආභාසය ගැන කතා කළොත් ?

මගේ තාත්තා රජයේ සේවකයෙකු නෙවෙයි. ඔහු සාර්ථක නීතිඥයෙක්. දෙමළ ජනතාවට සුරක්ෂිතව හා අභිමානයෙන් යුතුව ජීවත්වීමට හැකිවන්නේ ස්වාධීන දෙමළ රාජ්‍යයක් තුළ පමණක් බව ඔහු දැඩිව විශ්වාස කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හයවන සංශෝධනයට පක්ෂපාතී බව ප්‍රකාශ කරමින් දිවුරුම් දීම ප්‍රතික්ෂේප කළ ඔහු 1983 දී නීතිඥ වෘත්තියට සමුදුන්නා. ඔහු යාපනයේ නගරාධිපති ලෙස කටයුතු කරද්දී එවකට අග්‍රාමාත්‍ය වූ ආර්. ප්‍රේමදාස මහතා පිළිගැනීම ප්‍රතික්ෂේප කළා. අවංකබව, විශ්වාසය, වෙහෙස මහන්සි වී වැඩ කිරීම, ජනතාව වෙනුවෙන් කැපවී වැඩ කිරීම ඔහුගේ සුවිශේෂී ලක්ෂණ වෙනවා‍.

ඝාතනයට ලක්වූ එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස ඔබ, ඔබව හඳුන්වනවද ?

දෙමළ ජාතික නායකයාගේ අනුප්‍රාප්තිකයා ලෙස මා සලකන්නේ නැහැ. අපේ ජාතික නායකයාගේ අනුප්‍රාප්තිකයෙක් වෙන්න කාටවත් බැහැ. කොහොම වුණත්, අරගලයට ඵලදායී ලෙස දායකවෙන්න මට සදාචාරාත්මක හා දේශපාලන බැඳීමක් තියෙනවා. දෙමළ ජාතික නායකයා දෙමළ අරගලය ජාත්‍යන්තර තලයට ඔසවා තබා එය ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්කර තිබෙනවා. ස්වාධීන රාජ්‍යයක් සඳහා වූ දෙමළ අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමේ ඔහුගේ දැක්ම, ජයග්‍රහණය හා දායකත්වය තුළින් අවසානය දක්වා ඉදිරියට ගමන් කරන්න අපට මඟ පෙන්වාවි. අපේ ජාතික නායකයා වරක් පැවසුවේ අපේ අරගලයේ මාදිලිය වෙනස් විය හැකි නමුත්, එහි ඉලක්කය වෙනස් නොවන බවයි. අපේ ඉලක්කය සපුරාගැනීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී හා රාජ්‍යතාන්ත්‍රික ක්‍රම සමග ඉදිරියට ගමන් කරනවා. ශ්‍රී ලංකාව තවදුරටත් ජාතිවාදී, වාර්ගික රාජ්‍යයක් ලෙස පැවතීම අපේ අධිෂ්ඨානය තවත් ශක්තිමත් කරනවා.

ඔබට ඔහු නැති අඩුව තදින් දැනෙනවද ?

ඔහුගේ දැක්ම, කැපවීම, අධිෂ්ඨානය, ඔහුගේ ආශාව, ඒ ඔරොත්තු දීමේ හැකියාව හැමවිටම අපි සමඟම පවතීවි.

 

එස්.ජේ.වී. චෙල්වනායගම් මහතා ‘ඊළාම් ගාන්ධි’ බව නැවත තහවුරු කරන දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුවේ උපදේශක කමිටුව විසින් සකස් කළ මූලික ලේඛනය ගැන අපි සලකා බලමු. ඔබ අවිහිංසාව විශ්වාස කරනවාද ?

මම ජනතා බලය තදින්ම විශ්වාස කරනවා. මම කලින් ප්‍රශ්නයට උත්තරේ විදියට සඳහන් කරපු විදියට අපේ ඉලක්කය සපුරා ගන්න අවිහිංසාවාදී මාවතක් අනුගමනය කර තිබෙනවා. අවිහිංසාවාදී අරගල ක්‍රමයක් අනුගමනය කළ තිලීපන් හා අන්නායි පූපතිගේ පූජා සම්ප්‍රදාය ද මෙහිදී පෙන්වා දීමට කැමතියි.

                                               

එල්.ටී.‍ටී.ඊ. ය කරපු වැරදි මොනවද ?

ජාත්‍යන්තර බලවතුන්ගේ අවශ්‍යතාවයට නොගැළපෙන දෙමළ අරමුණ වෙනුවෙන් එල්.ටී.ටී.ඊ ය කැපවුණා. ස්වාධීන හා ‍ස්වෛරී රාජ්‍යයක් උදෙසා වූ දෙමළ ජනයාගේ පිපාසය හා ජාත්‍යන්තර බලවතුන්ගේ උනන්දුව අතර පැවති භූ දේශපාලන ගැටුමක් විදියට‍ මේක හඳුන්වන්න පුළුවන්. 2009 දී යුද්ධය අවසන් වීමට හේතුව කලාපීය හා ගෝලීය බලවතුන්ට ඉන්දීය සාගරයේ නව බල මධ්‍යස්ථානයක් අවශ්‍ය නොවීමයි. බලවතුන්ට දකුණු ආසියාවේ හා ඉන්දියන් සාගරයේ බල ව්‍යුහයේ හා බල තුලනයේ වෙනසක් කරන්න වුවමනා වුණේ නැහැ. චීනය හා ලංක‍ාවේ හවුල්කාරීත්වය අනුව හම්බන්තොට 99 අවුරුද්දකට බදු දීමෙන්, 2014 දී චීන සම්බැරීනය පැමිණීමෙන් හා පසුගිය මාසයේ යුවාන් වැන්ග් 5 පැමිණීමෙන් පසු මේ තත්ත්වය ඉදිරි දිනවලදී නිසැකවම වෙනස් වේවි.

ඔබගේ උප‍දේශන කමිටුවේ මූලික වාර්තාව තුළ ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ දුක්ඛිත තත්ත්වය මෙන්ම  අනාගමික රාජ්‍යයක් වෙනුවෙන් ද පෙනී සිටිනවා. නමුත්, දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුවේ කමිටු වාර්තාව තුළ කිසිදු බෞද්ධ හෝ ඉස්ලාම් නියෝජනයක් අපට ‍පේන්‍න නැත්තේ ඇයි ?

ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු මෙන්ම හිටපු ශ්‍රී ලංකා ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ඥාතියෙකු වන ආචාර්ය බ්‍රයන් සෙනෙවිරත්න මෙහි සෙනෙ‍ට් සභාවේ ප්‍රමුඛ සාමාජිකයෙක ලෙස කටයුතු කළා. දෙමළ ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන් ඔහු ලබාදුන් දායකත්වය වෙනුවෙන් ඔහුට “Lifetime Commitment Award” සම්මානය ලබාදුන්නා. ශ්‍රී ලංකා ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගේ වචන එක්ක සෙල්ලම් කරනවාට වඩා 100,000 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් ප්‍රකාශයට පත්කරපු අපේ නිදහස් ප්‍රඥප්තියේ, 14 වැනි වගන්තියේ සඳහන් කළේ, ‘දෙමළ, සිංහල හා ඉංග්‍රීසි දෙමළ ඊළාම් රාජ්‍යයේ රාජ්‍ය භාෂා විය යුතු බවයි’’.

නිදහස් ප්‍රඥප්තිය තුළ අපි පැහැදිලිවම මුස්ලිම්වරුන්ගේ අනන්‍යතාව හඳුනාගත්තා. එපමණක් නෙ‍ාවෙයි, බුද්ධාගම ප්‍රමුඛ ආගම විදියට සලකන ශ්‍රී ලංකාව වගේ නෙමෙයි,  අපේ නිදහස් ප්‍රඥප්තියේ 7 වැනි වගන්තියේ දෙමළ ඊළම අනාගමික රාජ්‍යයක් වියයුතුවා මෙන්ම ඒ තුළ කිසිදු ආගමකට ප්‍රමුඛස්ථානයක් නොදිය යුතු බව සඳහන් කරා. මේ නිදහස් ප්‍රඥප්තිය ප්‍රකාශ කිරීමේ සමුළුවට ශ්‍රී ලාංකේය මුස්ලිම් විද්වතෙකු ද සහභාගී වූවා. දෙමළ ඊළාම් ජනමත විවාරණය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් ප්‍රජාව සමග සම්මන්ත්‍රණයක් පවත්වන්නත් අපි සැලසුම් කරගෙන ඉන්නවා.

ශ්‍රී ලාංකීය දෙමළ ජනයාට තම අයිතීන් සුරැකිය හැකි එකම ක්‍රමය දෙමළ නිජබිමක් නිර්මාණය කිරීම බව ඔබ තරයේ විශ්වාස කරනවා. උතුරු නැගෙනහිර සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ඔබට සැබෑ අභිලාෂයක් නැති වුණත්, යථාර්ථවාදී නොවන ඉලක්ක බව තේරුම්ගන්නට හැකියි. මේ අදහස වැරදි නම් නිවැරදි කරන්න‍

මුලින්ම අපේ ජනතාව ‘ශ්‍රී ලාංකික දෙමළ’ ජනතාව විදියට හඳුන්වන අනන්‍යතාව තරයේ ප්‍රතික්ෂේප කරනවා. අපි අපිව සලකන්නේ ඊළාම් දෙමළ හා දෙමළ ඊළාම් ජනතාව ලෙසයි. ශ්‍රී ලංකාව කියන්නේ  දෙමළ ජනතාවගේ ව්‍යුහාත්මක ජන සංහාරයක ක්‍රමානුකූලව නිරත වුණු සිංහල බෞද්ධ මූලධර්මවාදී රාජ්‍යයක්. ශ්‍රී ලංකා රාජ්‍යයේ ජන සංහාරක ප්‍රතිපත්ති හා ක්‍රියාවලින් දෙමළ ජනතාව ආරක්ෂා කර ගන්න තිබෙන එකම විසඳුම ස්වාධීන ස්වෛරී දෙමළ රාජ්‍යයක්.

ඇත්ත වශයෙන්ම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් පිළිබඳ හිටපු මහ කොමසාරිස් මිෂෙල් බැචලට් මහත්මිය 2022 සැප්තැම්බර් 6 වැනිදා නිකුත් කරපු වාර්තාවේ ‘මහජනවාදය දෙසට නැඹුරුවීමේ ප්‍රවණතාව.... හිටපු ජනාධිපති රාජපක්ෂ හමුදාවේ හා බෞද්ධ භික්ෂූන්ගේ සහය ඇතිව සිංහල බෞද්ධ බහුතර මතවාදයක් ප්‍රවර්ධනය කළ’ බව දක්වා තිබෙනවා. නැගෙනහිර ටිමෝර‍යේ ජනාධිපති ‍හා නොබෙල් සම්මානලාභියෙකු ලෙස ආචාර්ය ජෝස් රමෝස් හෝර්තා 2020 මැයි 18 වැනිදා පස්වැනි මුල්ලිවයික්කාල් අනුස්මරණ දේශනයේ දී කිව්වේ, ‘දෙමළ ජනයා සක්‍රීයව වෙනම රාජ්‍යයක් හොයන්නේ මන්දැයි යන්න ශ්‍රී ලංකා රාජ්‍යයේ පාලකයින් තමන්ගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක් වී තිබෙනවා වගේම වැරදිය හැක්කේ කුමක්දැයි යන්න ද පිළිගත යුතුයි’’. කියලා

සුනාමි මෙහෙයුම් කළමනාකරණ ව්‍යුහය (P-TOMS) ශ්‍රී ලංකා‍‍වේ අධිකරණය විසින් සුන්බුන් කිරීම හා දේශපාලන යෝජනාවක් එනතුරු ආර්ථික සංවර්ධනයක් ඇතිකළ නොහැකි බව පළාත් සභාවේ අන්ත අසාර්ථකත්වය තුළින් පැහැදිලිවම පෙන්නුම් කෙරෙනවා.

දෙමළ ඊළම යථාර්තවාදී නොවන බවට ඔබ කළ ප්‍රකාශය ගැනත් කතා කළොත්, ඇත්තටම, ජාතිවාදී සිංහල ප්‍රභූන් සදාකාලිකව පාලනය කරන ශ්‍රී ලංකාව වාර්ගික රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යාම යථාර්තවාදී නොවන ඉල්ලකයක්. දෙමළ ජනතාව ජන සංහාරයකට ලක්වූ බවට ජාත්‍යන්තර ප්‍රජාව තුළ වැඩෙන පිළිගැනීම අපේ ස්වාධීනත්වය සාක්ෂාත් කරගැනීමේ ක්‍රියාවලිය වේගවත් කරනවා. නීතිය හා සදාචාරය ‘නැවත කිසිදා’ ඇති‍නොවෙන වග සහතික කිරීම සඳහා පවතින යුක්තියේ ප්‍රතිකර්මයක් නියම කරනවා, ස්වාධීන රාජ්‍යයක් පිහිටුවීම ප්‍රතිකර්ම යුක්තියේ නිසි ආකාරයයි. 

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ උපාය මාර්ගික වශයෙන් සුවිශේෂී වැදගත් ස්ථානයක පිහිටා තිබෙනවා වගේම මෙහි වෙරළ තීරයෙන් තුනෙන් දෙකක වාසය කරන්නේ දෙමළ ජනතාවයි, මෙහිදී ක්‍රමයෙන් වර්ධනය වන බල ගතිකත්වය ද වැදගත් වෙනවා. ඔබ දන්න විදියට, 1990 සිට ප්‍රදේශ 30 කට වඩා පිහිටුවා තිබෙනවා. අපේ විශ්වාසය වී තිබෙන්නේ දෙමළ ජනතාවගේ ඉහළම දේශපාලන අභිලාෂය සාක්ෂාත් කරගන්නා දිශාවට ගමන් කරන බවයි.

ඔබ සිංහලයන්ට වෛර කරනවාද ? ඔබ අවසන් වරට සිංහල බෞද්ධයෙකු සමග කතාබහ කළේ කවදාද ?

මම හෝ වෙනත් දෙමළ නායකයින් හෝ දෙමළ ජනතාව, සිංහල ජනතාවට වෛර කරන්නේ නැහැ. අපේ අරගලය තිබෙන්නේ ස්වෝත්තමවාදී හා ජනඝාතක ශ්‍රී ලංකා රාජ්‍යයට එ‍රෙහිවයි‍. එක්සත් ජනපදයේ ජීවත්වෙන බොහෝ සිංහල අයට මම නීතිමය සහය ලබාදෙනවා. මගේ සමහර සිංහල සේවාදායකයින් තමන්ගේ පවුලේ කටයුතු වලට පවා මගේ උපදෙස් ලබාගන්නවා. මගේ සමහර සිංහල සේවාදායකයින් වත්මන් ආර්ථික අර්බුදය තුළ මුළු රටේම පාලනය වේළුපිල්ලේ ප්‍රභාකරන්ට දිය යුතුව තිබූ බව පවා ප්‍රකාශ කර තිබෙනවා. ඔහු අවංකව හා විනයගරුකව රට පාලනය කරාවි යන්න ඔවුන්ගේ මතය වී තිබෙනවා. නිව්යෝර්ක් නගරයේ සිංහල හා මුස්ලිම් වැඩකරන පංතියේ ඩයස්පෝරාව අතර මට හිමි තැන ගැන හොයාබලන්න කියලා මම ඔබට ආරාධනා කරනවා.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික කඩාවැටීම ගැන ඔබට තියෙන්නේ මොනවගේ අදහසක්ද ?

වත්මන් ආර්ථික බිඳවැටීමට මූලික වශයෙන් හේතුවී තිබෙන්නේ දෙමළ ජනයාට එ‍රෙහිව සිදුකරපු සාහසික අපරාධ හා හමුදාව විසින් දෙමළ ජනයා දිගින් දිගටම යටත්කරගෙන හිඳීමයි. රටේ හමුදාකරණය වත්මන් ආර්ථික ව්‍යසනයට විශාල ලෙස බලපා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය, 2022 සැප්තැම්බර් 6 දිනැති සිය වාර්තාවේ සඳහන් කළේ, ‘2022 වසරේදී රජයේ මුළු වියදමෙන් 15 % ක් වන ශ්‍රී ලංකා රුපියල් බිලියන 354 ක් (ඇ.ඩො.බි. 1.86) ක් ආරක්ෂක අමාත්‍යාංශයට වෙන්කර ඇති බවයි. මෙය අයවැයෙන් වැඩිම මුදලක් වෙන්කළ අංශය බවට පත්වුණා.

එවැනි කරුණු ඔස්සේ දශක ගණනාවක් පුරා නීතියේ ආධිපත්‍යයට අගෞරව කිරීම, දූෂණය වගේ දේවල් කොයිතරම් ගැඹුරට ගිහිං තියෙනවද කිව්වොත් ඒවා ලංකා‍වේ ආර්ථිකය විනාශ කරන්න සමත්වී ති‍බෙනවා. මෑත කාලයේ මීට බලපෑ තවත් සාධකයක් වුණේ වැඩකට නැති ව්‍යාපෘති වලට ඉහළ පොළී ණය මත චීනය මත යැපෙන්න වීමයි. කොවිඩ් වසංගතය හා යුක්රේන යුද්ධය මුළුමනින්ම කුණු වුණු පද්ධතියකට හේතුවී තිබෙනවා.

මේ වත්මන් අභියෝග ජයගන්න ඔබ, ශ්‍රී ලාංකිකයින්ට සහය වෙන්නේ කොහොමද ?

මේ අභියෝග ජයගන්න දෙමළ ජනතාවට සහය දෙන්න පුළුවන් කොහොමද, හා ජයගන්න පුළුවන් කොහොමද යන කාරණය ඔස්සේ මේ ප්‍රශ්නයට උත්තර දෙන්නම්. අපි කලින් ප්‍රකාශ කරපු විදියට ඊළාම් දෙමළ ජනතාවගේ දේශපාලන අනාගතය තීරණය කරන්න ජනමත විචාරණයක් පවත්වලා දෙමළ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීම මුලින්ම අවශ්‍ය වෙනවා. අපේ වත්මන් ජනමත විචාරණ ප්‍රවර්ධන ව්‍යාපාරය ලංකා රාජ්‍යයේ එකඟතාවය මත රඳා නොපවතින බව මා මෙහිදී කියන්න ඕන. සර්බියාවේ අනුමැතියකින් තොරව කොසෝවෝහි නිදහස වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්වුණා.

ඊළාම් ද්‍රවිඩයන්ගේ ඉල්ලීම් වලට දේශපාලන විසඳුමක් නැතිව ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ශක්‍ය රටක් බවට පත්වෙන්නේ නැහැ. එවැනි විසඳුමක් හැම කෙනෙක්ටම සාමය හා සමෘද්ධිය ගෙන ඒවි. ඒක ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමටත් ඊළාම් දෙමළ ඩයස්පෝරාව පොළඹවාවි.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ කාර්යයේ පාර්ශ්වකරුවන් විදියට එකතු වෙන්න කියලා ජනාධිපතිවරයා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කර තිබෙනවා. මේ අවස්ථාව ඔබට හොඳ අවස්ථාවක් බව අප විශ්වාස කරනවා. ඔබ රජය සමග කතාබහ කරන්න කැමතිද ?

කලින් ප්‍රශ්න වලට දීපු උත්තරත් මේ ප්‍රශ්නයට අදාළයි කියලා හිතනවා. මම 1982 දී ලංකාවෙන් යනවිට මගේ අභිප්‍රාය වුණේ මගේ වසරක ශාස්ත්‍රපති උපාධිය අවසන් කරලා නැවත ලංකාවට එන එකයි. 1983 වාර්ගික සංහාරයෙන් පස්සේ මට හැඟුණේ පිටත ඉන්නවට වඩා ඵලදායී ලෙස අපේ ජනතාවගේ විමුක්තියට දායක විය හැකි බවයි. දෙමළ ජනයාට යුක්තිය සඳහා හෝ ඔවුන්ගේ දේශපාලන අභිලාෂයන් සම්පූර්ණයෙන් ප්‍රකාශ කරන්න ඉඩක් නැහැ, ඒ නිසා මං තවදුරටත් රටෙන් පිට රැඳී ඉන්න එක අත්‍යවශ්‍යයි. මම නැවත ඇවිත් පය තියන්නේ ස්වාධීන දෙමළ ඊළම ස්ථාපිත වුණු භූමියක‍.