ජයග්‍රහණයේ උභතෝකෝටිකය




- වික්ටර් අයිවන් - 




ලැබූ ජය 

ආණ්ඩුවට ලැබී තිබෙන ජයග්‍රහණය අතිවිශාල වනවා සේ ම ආශ්චර්යජනකය. අනුපාතික ඡන්ද ක්‍රමයක් නොතිබී 1977ට පෙර පැවති ආසන ක්‍රමය තිබුණේ නම් පොහොට්ටුවට ලැබී තිබෙන ප්‍රතිඵලය 1977දී යුඑන්පියට ලැබුණු ප්‍රතිඵලයටත් වඩා විශාල වන්නට ඉඩ තිබුණි. 77 මැතිවරණ ප්‍රතිඵලය සිංහල දකුණේ විරුද්ධ පක්ෂ ව්‍යාපාර උපරිම මට්ටමකට බෙලහීන කොට තනි පක්ෂ ආධිපත්‍යයක් ඇති කිරීමට හේතුවිය. මෙම මැතිවරණ ප්‍රතිඵලය ඇති කර තිබෙන දේශපාලන ප්‍රතිඵලයද ඊට සමානය. සියලු විරුද්ධ පක්ෂ ව්‍යාපාර බෙලහීන කොට පවුලකට බර තනි පක්ෂ ආධිපත්‍යයක් ඇති කිරීමට හේතු වී තිබේ.

1977 මැතිවරණ ජයග්‍රහණ කෙරෙහි ඊට පෙර බලයේ සිටි සමගි පෙරමුණ ආණ්ඩුවේ පීඩාකාරී ආර්ථික ප්‍රතිපත්ති සේ ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා වමේ පක්ෂ අතර ඇතිවූ භේදද බලපෑවේය. පොහොට්ටුව ලබා තිබෙන ජයග්‍රහණයේ විශාලත්වය කෙරෙහි යූන්පියේ ඇතිවූ භේදද වැදගත් සාධකයක් ලෙස බල පෑවේය.

1977 යූඑන්පිය ලැබූ අතිවිශාල ජයග්‍රහණය හොඳට හෝ නරකට රටේ සමස්ත ගමන් මගද වෙනස් කිරීමට හේතුවිය. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය වෙනස් කළේය. රාජ්‍යයේ සකල විධ බලය ජනාධිපති අතට ලැබෙන ආකාරයේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් ඇති කළේය. වස්තු කොල්ලය රාජ්‍ය පාලනයේ නිත්‍ය අංගයක් බවට පත් කළේය. ආර්ථිකය විවෘත කළේය. ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් සමග ලංකාව මහා පරිමාණයෙන් ලේ හලන රටක් බවට පත් කළේය. ජනාධිපති ජේආර් ගේ මතය අනුව ජනාධිපතිට කළ නොහැකි වූයේ පිරිමියෙක් ගැහැනියක් කිරීම හෝ ගැහැනියක් පිරිමියෙක් කිරීම පමණය. ඔහු සිය ජීවිතයේ අවසාන කාලයේ ජීවත් වූයේ මරණ තරජන මැදය. ජේවීපී කැරලිකරුවන් ප්‍රසිද්ධියේ ඔහුගේ ඔළුව ඉල්ලා සිටියේය. ජේවීපියට හෝ එල්ටීටීයට ඔහු මරා දැමීමට හැකිවූයේ නැතත් ජනාධිපතිගේ හොඳම විශ්වාසවන්තයන් මරා දමන ලද්දේ ඔහුට පෙනෙන පරිදිය.

ඔහු ආරම්භ කරන ලද පරිච්ඡේදය අවසානයක් නැතුව වර්තමානය දක්වා ඉදිරියට ගලා ගියේය. අවසානයේ රටට උරුම වූයේ සාරය උරාබීම නිසා හපයක් බවට පත්වූ දේශයකි. ඒ හා සමාන බලයක් හිමිකර ගෙන සිටින මේ ආණ්ඩුව දැන් කරන්නට යන්නේ කුමක්ද? උපරිම මට්ටමින් කාලකණ්ණි භාවයට පත් කර තිබෙන දේශය සුර පුරක් කරයිද?නැතිනම් නරකාදියක් බවට පත් කරයිද?

යුඑන්පී භූමිකාව

යහපාලන ආණ්ඩුව සැලකිය හැක්කේ අවසානයේ රට අන්තවාදයකට තල්ලු කිරීමට හේතුවූ දේශපාලන අප්‍රබංශයක් ලෙසය. පසුගිය ජනාධිපතිවරණය පරාජයවීමෙන් පසු හෝ යූඑන්පියේ ඒකාග්‍රතාව ආරක්ෂා කර ගැනීමට රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස යන නායක දෙපළ සමත් වී නම් එයට පොහොට්ටුවේ ජයගැනීම වැළකීමේ හැකියාවක් නොතිබුණද, එයට ලැබෙන ජය මේ සාවිශාල නොවන්නට ඉඩ තිබුණි.

එම පක්ෂයේ ඇතිවූ බිඳීම දෙස බලන විට පෙනී යනුයේ වෙන්වීමක් ඇති කිරීමට තරම් බරපතළ හේතු නොතිබුණු බවය. එය කණ්ඩායම් දෙකේ නායකයින් දෙදෙනාගේ උද්ධච්චකම නිසාත්, එම නායකයින් දෙදෙනාගේ ප්‍රධාන ආධාරකරුවන්ගේ මෝඩකම නිසාත් සිදුවූ දෙයක් බවය. පක්ෂය තුළ තමන්ට තිබෙන ආධිපත්‍ය රැක ගැනීම සඳහා බිඳීමක් ඇතිවීම වළකා ගැනීම සඳහා රනිල් බලවත් ලෙස උත්සාහ නොකළේය. පක්ෂය තුළ රනිල්ට තිබූ ආධිපත්‍ය නිසා ඒ තුළ සිටින තෙක් තමන්ට අනාගතයක් නැති බවට සජිත් තුළ තිබූ ආකල්පය නිසා බිඳීමක් ඇතිවනවා දකින්නට ඔහු කැමැත්තක් දැක්වූ බව පෙනේ. අපේ රටේ පක්ෂ ක්‍රමය තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ තරම ඒ අනුව සිතා ගත හැකිය. එම පක්ෂය තුළ ඇතිවූ බෙදීමේ අවසාන ප්‍රතිඵලය වූයේ එජාප රනිල් සමගම මරණයට පත්වීමත් සජිත් එම පක්ෂයේ ශක්තිය විශාල ප්‍රමාණයකට අහිමි කරගත් නායකයකු බවට පත් වීමත්ය.

ජේවීපිය හා වෙනත් පක්ෂ

ජේවීපියේ ඇති වී තිබෙන පරිහානියද දීර්ඝ විමර්ශනයකට ලක්විය යුතුය. එය දැවැන්ත හා බිහිසුණු කැරැල්ලකින් පසුව ඉතාමත් දක්ෂ ලෙස සන්නද්ධ අරගල මාවත අතහැර ව්‍යවස්ථාපිත මාර්ගයට නැවත එකතු වූ ව්‍යාපාරයකි. එහෙත් එතැන් සිට ඒ මාවත නිර්මාණශීලි ලෙස යොදා ගැනීමට අසමත් වූ ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකිය. ඔවුන්ට ගනුදෙනු කරන්නට සිදුවූයේ විකෘති වූ හා දූෂණයෙන් කුණුවූ දේශපාලන ක්‍රමයක් සමගය. ඔවුන් එම ක්‍රමයේ බලය අල්ලා ගන්නා කෙටි මාර්ග ගැන කල්පනා කළා විනා ක්‍රමය වෙනස්කර ගැනීම සඳහා යොදාගත හැකි ප්‍රායෝගික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් බලවත් ලෙස පෙනී නොසිටියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රමයට විකල්පයක් වනවා වෙනුවට එහි රුදුරු ගොදුරක් බවට පත් වූ බව පෙනේ.

යහපාලන දීගය නිසා දෙමළ සන්ධානයද ලොකු හානියක් සිදුකර ගත්තේය. යහපාලන වැඩසටහනට ඉඩදීම සඳහා දෙමළ ජනයාගේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටින භූමිකාවක් රඟපෑමෙන් එය වැළකී සිටියේය. ඒ වෙනුවෙන් එම ව්‍යාපාරයට ලොකු වන්දියක් ගෙවීමට සිදුවී තිබෙන බව පෙනේ.

විරුද්ධ පක්ෂයේ උභතෝකෝටිකය

ශක්තිමත් තත්වයක් හිමිකරගෙන නැතැත් විරුද්ධ පක්ෂ අතර ප්‍රධාන පක්ෂය බවට පත්ව ඇත්තේ සජිත්ගේ පක්ෂයයි. සියලු විරුද්ධ පක්ෂ ව්‍යාපාර එක ධජයක් යටතට ගැනීමට අවශ්‍ය කරන ශක්තිමත් දැක්මක් හා ඒ සඳහා අවශ්‍ය කරන නිර්භීතකම ඔහුට තිබේද?

සීමිතකම් තිබියදීත් ජේ.ආර්. ජයවර්ධන, මහින්ද රාජපක්ෂ හා චන්ද්‍රිකා කුමාරතුංග නිර්භීත නායකයින් ලෙස සැලකිය හැකිය. 1976 අත්තනගල්ල සත්‍යග්‍රහය, ජේ.ආර්.ද, පාද යාත්‍රාව හා ජන ඝෝෂාව මහින්දද, සූරියකන්ද මෙහෙයුම චන්ද්‍රිකාද ඔවුන්ගේ නිර්භීතකම පෙන්නුම් කළ අවස්ථා ලෙස සැලකිය හැකිය. සජිත් තවමත් එවැනි කිසිවක් පෙන්නුම් කර නැති නායකයෙකි.

ලංකාවේ ජනතාව අතරින් වැඩිම අසහනයක් තිබෙන්නේ සුළු ජාතිකයින්ටය. සජිත්ගේ පක්ෂයට ලැබී තිබෙන ඡන්දවලින් වැදගත් පංගුවක් ලැබී තිබෙන්නේද මුස්ලිම් හා උඩරට දෙමළ ජනයාගෙනි. සිංහල මහ වර්ගයේද විශ්වාසය පළුදු කිරීමට හේතු නොවන ලෙස සුළු ජාතීන්ගේ ප්‍රශ්න වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සජිත් අසමත් වෙතොත්, ඔහුගේ ජන පදනමේ ලොකු නායයෑමක් ඇතිවිය හැකිය.

ප්‍රබල විරුද්ධ පක්ෂ ව්‍යාපාරයක් ඇතිකර ගැනීමට හැකිවනු ඇත්තේ ආණ්ඩුවේ මර්දනාකාරී ක්‍රියාවන්ට එරෙහිව ප්‍රබල ලෙස කතා කිරීමට ආත්ම විස්වාසය ඇති සියලු විරුද්ධ පක්ෂ ව්‍යාපාර එක ධජයක් යටතට ගැනීමේ හැකියාව ඇති ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයටද ප්‍රායෝගික විසඳුමක් දීමේ හැකියාව ඇති නායකයෙකුටය.

ආණ්ඩුවේ උභතෝකෝටිකය

ආණ්ඩුව ලොකු බලයක් හිමි කරගෙන තිබේ. ලොකු බලයක් පමණක් ලංකාවේ අර්බුදයට විසඳුමක් වන්නේ නැත. මෙම අර්බුදය ජයගත හැකිවනු ඇත්තේ තිබෙන ලොකු බලයට වැඩි ලොකු නිර්මාණශීලි ප්‍රඥාවක් ඇත්නම් පමණය. සමස්ත සමාජ, ආර්ථික හා දේශපාලන ක්‍රමය තිබෙන්නේ අවුල් ජාලාවකය. රජයේ සේවකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ටිකවත් ගෙවා ගත නොහැකි මට්ටමකය. ඒ සමග මේ වසරේදී ඩොලර් බිලියන තුනක් ලබාගෙන ඇති විදේශ ණය වෙන් වෙන්ව ගෙවිය යුතුය. තිබෙන එක විසඳුමක් රටේ තිබෙන වටිනා දුලබ සම්පත් විදේශ බලවතුන්ට මහා පරිමාණයෙන් විකිණීමය. එය ප්‍රශ්නයට විසඳුමක් නොව ප්‍රශ්නය උග්‍රකර ගැනීමකි. ආණ්ඩුවට ඒ සඳහා වෙනත් විසඳුමක් තිබේද? තිබේ නම් ඒ කුමක්ද? ආණ්ඩුව එය රටට පැහැදිලි කළ යුතුය. ආණ්ඩුවට ඒ සඳහා විසඳුමක් තිබේ නම් හා එය හොඳ ප්‍රායෝගික විසඳුමක් වේ නම් භේදවලින් තොරව ඒ විසඳුම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට සහාය දිය යුතුය.