අම්මා ගැන

රටේ අහිංසක මිනිස්සුන්ගේ සත පහක මුදලක් සොරකම් නොකර මෙලෙස විශ්‍රාම දිවිය ගතකිරීමෙන් මා ලබන ආත්ම තෘප්තිය එදා මාගේ මවද ලබන්නට ඇතැයි සිතේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 

අසූව දශකයේ එක්තරා දිනෙක මම අක්කා සමග ඇය ජීවත් වූ රොස්මිඩ් නිවෙසට ගියෙමි . අපි යන විට ඇය සිය නිදන කාබරයට වී සිය මවගෙන් ලද රිදී ආභරණ කිහිපයක් ගෙන බලමින් සිටියාය. අප ගිය විට එම ආභරණ අපට පෙන්වමින් ඒවා අලෙවි කළ හොත් කොපමණ මුදලක් ලබා ගත හැකිදැයි විමසීය. එකෙනෙහි එම අභරණ විකුනන්නේ මන්දැයි ඇයගෙන් විමසීමි. එවිට ඇය අපට පවසා සිටියේ සිය උකුල් ඇටයේ සිදු කළයුතු සැත්කම සදහා අවශ්‍ය මුදල් සපයා ගැනීම වෙනුවෙන් එම ආභරණ විකුණා දැමිය යුතු බවයි.

 අපට එලෙස පවසා සිටියේ දොලොස් වසක් මෙරට අගමැතිවරිය ලෙස කටයුතු කළ  කාන්තාවකි. මට විශාල කනගාටුවක් ඇතිවිය. ඒත් සමග මාගේ මව පිළිබද මහත් ආඩම්බරයක් ද ඇතිවිය. තමාට සහ තම දරු තිදෙනාගේ උරුමයක් වූ අක්කර 3000ක් රජයට පවරා දුන් නායිකාවකට අද සිය සැත්කමක් සදහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට සිය උරුමයෙන් ලද ආභරණ විකිණීමට සිදුව තිබේ. අවංක රාජ්‍ය පාලනයක අදර්ශය ඇය ලබා දුන්නේ එලෙසිනි.

බණ්ඩාරනායක මැතිණිය 
දියණියක ලෙස ඔබ එදා කෙතරම් තෘප්තියකින් එම ආභරණ විකුනන්නට ඇත්දැයි මට හැඟෙන්නේ වසර එකොළහක් මෙරට ජනාධිපතිනිය ලෙස කටයුතු කර විශ්‍රාම යෑමෙන් අනතුරුව පවුලෙන් ලද ඉඩ කඩම් විකුණා අදාල වියදම් කළමනාකරණය කරගත්තද මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සත පහක මුදලක් සොරකම් නොකර මෙලෙස විශ්‍රාම දිවිය ගතකිරීමෙන් මා ලබන ආත්ම තෘප්තිය එදා මාගේ මවද ලබන්නට ඇතැයි සිතේ.