ලෝකය නැවතිලාද ?




- අරුණි ශපිරෝ - 


ලෝකය නැවතිලාද ?

නැහැ, හැමදාම බර කරගහන අය අදත් වෙහෙස නොබලා මහන්සියෙන් වැඩ.

ඒ ජනතාවගෙ සුවසෙත ගැන දැනගන්න, ඒ ගැන කිසිවක් කරන්න, කිසිම උවමනාවක් නැති අය.

ඒ අය වෙහෙස නොබලා මහන්සි වෙන්නෙ වෙන කිසිම අරමුණක් පෙරදැරි කරගෙන නොවේ. ඔවුන්ගෙ එකම අරමුණ තමන්ගේ පසුම්බිය තව වැඩියෙන් තර කර ගැනීමයි.

හැබැයි එහෙම කිව්වම කෝපයෙන් පරල වෙන අය ගොඩයි. වැරදි ආකල්ප එක්ක බහ තෝරන අවදියේ සිට මහළු විය දක්වා ජීවිතය ගෙවන බහුතර ලෝකයාට ඉහත ලියූ කොටස දිරවන්නෙ නැහැ.

ජනතාවගෙ සුවසෙත ගැන දැඩි කැක්කුමකින් යුතුව අදහස් ප්‍රකාශ කරන අය, විශේෂයෙන්ම රටේ දේශපාලකයන්, ඇත්තෙන්ම කරන්නෙ මේ අවස්ථාවේ දී තමන්ගේ පැත්තට ලකුණු දාගන්න පොර ඇල්ලීමයි.

පුද්ගලයෙක් සිය පසුම්බියට කාසියක් එකතු කරගැනීම ගැන දැඩි විවේචනයක් කරන පුද්ගලයා ලෝක ස්වභාවය සහ මිනිස් ස්වභාවය සම්පූර්ණයෙන්ම අමතක කරලා කතා කරන්නෙ.

සමහරු නම් ඒ ඇත්තටම නොදන්න කම නිසා. බහ තෝරන කාලේ ඉඳන් වෙන අදහසක් දැනගන්න නොලැබිච්ච එකේ ඵලවිපාකය.

වැරදියට අර්ථ කථනය කරපු මිනිස් ස්වභාවයක් අතිශය පූජනීය මට්ටමකින් බාරගෙන ඒ සඳහා හදාගත්ත වැරදි ක්‍රමය උත්කර්ෂණීය කිරීමෙන් ‘පාලකයන්’ අතට එන්න එන්න වැඩිවෙන බලය පවරමින් දැන් වැරදිලා කියලත් ඔප්පු වෙලා වසර 100 කින් පසුව තවමත් බනින්නේ හැබැයි නොපවතින තත්වයකට.

මුලින්ම, මොකක්ද මේ නොපවතින තත්වය ?

නිදහස් වෙළඳපොල.

හදිසියේ කලබල වෙච්චි අය කඩිමුඩියේ බඩු මිල දී ගැනීම අද හැම රටකින්ම වගේ අහන්න ලැබෙනව. වෙනිසියුලාවේ හැර. ඔවුන් දැන් අවුරුදු ගණනක් තිස්සෙ බඩු තියෙනවා කියල ඇහිච්ච ගමන් පෝලිම් ගැහෙන්න පුරුදු වෙච්චි අයයි.

ඉතින් පොරයේ බඩුගන්න ගියාම, බඩු තොග ඉවරවෙනව. ඒක එහෙම වෙනව කියල හැමෝම දන්න නිසා ඕනෑවට වඩා ගන්න හැකියාව තියෙන එක්කෙනා ඕනෑවටත් වැඩියෙන් ගන්නව.

එහෙම වෙද්දී, අර බහ තෝරන කාලෙ ඉඳන් වැරදි අදහස් වලින් පිරිච්ච අය හිතන්නෙ පාලකයන් මැදිහත්වෙලා පාලන මිල දාල තියන නිසා කොච්චර හොඳද කියලයි.

ඒත් කඩේ බඩු රාක්කවල බඩු හිස්වෙන්න හේතුව ඒ පාලන මිල යැයි කිව්වොත් කීයෙන් කී දෙනෙක්ටද ඕක වැටහෙන්නෙ.

ඕනෑම භාණ්ඩයක් සඳහා ඉල්ලුම ඉහළ යද්දී වෙළෙන්ඳාට එහි මිල වැඩි කරන්න හැකියාවක් තියෙන්න ඕන. එවිට පමණයි රාක්කවල භාණ්ඩ හිස්වෙන්නෙ නැත්තෙ.

භාණ්ඩ හදන, බෙදාහරින සහ විකුණන අය සමඟ ඒවා මිල දී ගන්න අය එකතුවී හැදෙන වෙළඳපොලට අපූරු හැකියාවක් තියෙනව හිඟ සම්පත් සියල්ලන්ටම ලැබෙන සේ බෙදා හරින්න. පාලකයන් මැදිහත්වෙලා බෙදාහරිනවාට වැඩියෙන් ඉතා ඉක්මණින් සහ ඉතාමත් යුක්ති සහගත සාමානාත්මතාවයකින් ඒක කෙරෙන්නෙ ඕපපාතිකවයි.

ඒත් හදිසි අවස්ථාවකදී බඩු මිල වැඩි කිරීම නීතිවිරෝධී යැයි නීතියක් පැනවීම නිසා, (මිනිස් ස්වභාවය තුට්ටුවකට ගණන් නොගෙන, ජනතාවගේ සුවසෙත යැයි කියමින් ජනතාවටම කෙළවන අය ගෙනෙන නීති අතරට තමයි ඒකත් වැටෙන්නෙ) කඩවල බඩු රාක්ක හිස්වෙනව.

හදිසි අවස්ථාවක දී ඉක්මණින්ම රාක්ක වලින් නොපෙනී යන භාණ්ඩයක මිල ඉහළ දාන්න ඉඩ තිබුනොත් මොකද වෙන්නෙ? මිල ඉහළ දාන්න හැකියාව තියෙන නිසා ඩිලිවරි ගෙන්න ගැනීම ඉක්මණින් වැඩිකරගන්න පුලුවන්කම ලැබෙනව. අමතර වැඩි ලාබ හොයන්න ලැබෙන නිසා ඒ සඳහා ඉක්මණින්ම පියවර ගන්නා අයට ඔවුන්ගේ පසුම්බි වැඩියෙන් පුරවාගන්න ඉඩ ලැබීම.

නමුත් අද ලෝකයේ හැම රටකම පාහේ ජනතාව විසින් පත්කරගත් පාලකයන් ලවා තමන් වෙනුවෙන් පනවා ගන්නා ලද ‘හදිසි අවස්ථාවක දී මිල ඉහළ යැවීම තහනම්’ නීතිය නිසා, කඩවල රාක්ක හිස්වීමේ තරඟයක් ඇතිවෙද්දී, ඒවා ඉක්මණින් පුරවා වැඩියෙන් ලාබ සොයාගැනීමේ හැකියාවක් නැතිකම නිසා කඩහිමියන් අතර සැපයුම් සොයා යෑමේ තරඟයක් දකින්නට නැහැ.

කඩේ රාක්ක දිහා බැලුවම ඉක්මණින් හිස්වෙන ස්ථාන කිහිපයක් තියෙනව. පාරිභෝගිකයාට මේ දැන් ඕන ඒව. ඒවා ඉක්මණින්ම සපයන්න කෙනෙක් දිරිගැන්වෙන්නේ ඒ සඳහා වෙනදාට වැඩියෙන් විශාල මිලක් ලබාගන්න පුලුවන් නම් පමණයි. වෙනදා ලැබෙන මිලටම විකුණන්න වෙනවා නම් මොකටද හදිසි වෙන්නෙ? තියන තොග ටික කොහොමටත් විකුණලා දාන්න පුලුවන් නිසා, ඈලි මෑලි කඩලා බඩු හිමිහිට ආපහු රාක්කවලට ගෙනාවම කොහොමටත් විකිණෙනවානේ.

මිල ඉහළ දමන්න ඉඩ ලැබුණාම පාරිභෝගිකයා ද කාර්යක්ෂම ලෙස හැසිරෙනවා කිව්වොත්, ඒ ගැන හිතල බලන්න හරි වෑයමක් ගන්නෙ අර බහ තෝරන කාලේ ඉඳලම වැරදි ආකල්ප වලින් ඉන්න අය නෙමෙයි.

ඇති තරම් තියෙද්දී ඉවක් බවක් නැතිව නාස්තිය මිනිස් ස්වභාවයයි. මිල ඉහළ නම් ඒ භාණ්ඩය අරපිරිමැස්මකින් යුතුව පාවිච්චියත් නොවෙනස්වන මිනිස් ස්වභාවයයි.

කරවල කෑල්ලක් ගෙදර තියේ නම්, මාළු ටින් එකක් තියේ නම්, ඒවා උයන එක පසුවට තියල, නරක් වෙන්න කළින් අලුත් මාළුවා උයන එක මිනිස් ස්වභාවයයි. කම්මැලිකමට මාළු ටින් එකක් ඇරලා කන එක වෙනුවට වැඩි මිලක් ගෙවූ අලුත් මාළුවා විසිකරන්න අකමැතිකම ඉබේම මතුවෙනව.

ඒ වගේම හදිසි අවස්ථාවක දී මාළු ටින්වල ගාණ ඉහළ ගියොත් ඒක දැන් ඇරල කන එක කල් දාන එකත් මිනිස් ස්වභාවයයි. මොකද ඒකෙ ගාණ වෙනදට වැඩියි. වෙන කන්න දේවල් අඩුවෙද්දී කන්න ගන්න කල්තියාගන්න පුලුවන් නිසා ඒක වැඩිපුර හිතා නොබලාම කල් තියාගන්නව.

මිල ක්‍රමය, කවුරුත් හදපු එකක් නෙමේ. හැමෝම කැමති කැමති විදියට කටයුතු කරන නිසා, ඒ කියන්නෙ මිනිස් ස්වභාවය අනුව කටයුතු කරන නිසා ඕපපාතිකව (ඉබේම හැදෙන) හිඟ සම්පත් සියල්ලන්ටම ලැබෙන පරිදි කළමනාකරණය කරන ක්‍රමයක්.

ධනවතා මෙල්ල කරන්න හැකි ‘ස්වභාවික උවදුරක්’ යැයි යම් දැයක් දක්වා දුප්පත් නූගතුන් රැවටීම බලතණ්හාධියක් විසින් නිතර සිද්ධ කරන්නක්.

මිල පාලනය පවතින බවත්, බඩු මිල ඉහළ දැමීම නීතියෙන් තහනම් බවත්, (ඒ දෙකටම ඉඩ දුන්නොත් සියල්ල මීට වැඩි ඉක්මණින් යථා තත්වයට එන බව පෙන්වා නොදී) කඩවල බඩු රාක්ක හිස්වීම, පෝලිම්, කළුකඩ, දාමරික හැසිරීම් යනාදිය උලුප්පා දක්වමින් වෙළඳපොල ක්‍රමයේ අඩුපාඩු හැටියට පෙන්වීම ඒ අයගේ අවියයි.

වෙළඳපොල කොතරම් ඉක්මණින් අවශ්‍යතාවයක් සපුරනවාද?

කදිම උදාහරණයකින් එය පැහැදිලි කරන්නම්. ඇමෙරිකන් රජයේ රෙගුලාසිකරණ යටතේ, ෆෙඩරල් ආහාර සහ ඖෂධ අද්මීනිස්ත්‍රාසනය (FDA) විසින් පෞද්ගලික ලාබ උපයන වානිජ්‍ය සහ රටේ ප්‍රාන්ත විද්‍යාගාර සඳහා COVID-19 වෛරස් බෝවී ඇත්දැයි දැනගැනීම සඳහා වූ ටෙස්ට් හැදීමට අවසරයක් දුන්නේ නැහැ. ඒත් ඔවුන් හැදූ ඒවායේ අසාර්ථක බව හමුවේ (ඒවා දවස් දෙකක සිට හතක් දක්වා කාලයක් ගිය ඒවා වූවා පමණක් නොව ඒවා වැරදි ප්‍රතිඵල ද ලබාදෙන ලද ඒවා වූහ), පසුගිය පෙබරවාරි 29 වැනි දින පෞද්ගලික විද්‍යාගාර වලට එය නිර්මාණයට රජය අවසර දුනි. තහනම ඉවත් කර දින කිහිපයකින් ඉක්මන් සහ නිවැරදි ප්‍රතිඵල ගෙනෙන ටෙස්ට් කිට් හදන්නට පෞද්ගලික විද්‍යාගාර සමත් වූහ. දවස් 2-7 ක් යන ඒවා වෙනුවට පැය 8 කින් ප්‍රතිඵල දැනගත හැකි ටෙස්ට් බිහිවිණ.

ඉතින් කිසිදා ලොව නොතිබූ වෛරසයක් සොයා ගැනීමට එසේ ටෙස්ට් කිට් එකක් හදන්නට හැකියාව මිනිසාට ඇත්නම්, දීර්ඝ කාලාන්තරයක් තිස්සේ සපයන ටොයිලට් පේපර්, හාල් සහ පාන් ගෙඩි වලින් හන්දියෙ කඩේ රාක්කය පුරවන්නට මිනිසාට නොහැකි යැයි ඔබ සිතනවාද?

ලෝකය නැවතී නැත. ඔබේ හිතසුව යැයි කියමින් පෙනී සිටින කොටසක් කටපූච්චම් දොඩවද්දී, ඔබේ හිතසුව ගැන කිසිත් තැකීමක් නැති ඒත් තමන්ගේ පසුම්බිය තර කරගන්නට මහත් ලෙසකින් වෙහෙසෙන අය අදත් සිටින නිසා, ඔබේ ජීවිතය ආරක්ෂා වෙනවා පමණක් නොවේ, ඔබේ ජීවිතය යම් ලෙසකින් දොම්නස් වී ඇත්නම් එම තත්වය ද ඉක්මණින් පහවී යනු ඇත.