කුණුවූ සැරව ගෙඩිය පැලීම





- වික්ටර් අයිවන් - 



ඉහවහා ගිය දූෂණය

පාර්ලිමේන්තුව කුණුවීම යන හිසින් ලියන ලද ලිපියට ලැබුණ ප්‍රතිචාර වල ප්‍රමාණය විශාලය. ඒ සමග ඇසෙමින් තිබෙන ජනප්‍රිය ප්‍රශ්නය වී තිබෙනුයේ කුමක් කළ යුතුද ? හෝ විසඳුම කුමක්ද ? ‍යන්නයි.

ලංකාවේ සමාජ දේශපාලන හා ආර්ථික ක්‍රමයේ ඇතිවී තිබෙන බිඳවැටීම හෝ කුණුවීම කෙරෙහි අඩු වැඩි ප්‍රමාණයකට රටේ විධායකයද, ව්‍යවස්ථාදායකය හා අධිකරණය ද, ජනමාධ්‍ය ද, දේශපාලන පක්ෂ, බුද්ධිමතුන් හා පුරවැසි සමාජයද වග කිවයුතු ය. රටේ ඇතිවී තිබෙන කුණුවීම දැන හෝ නොදැන ඒ සියලු දෙනා ගොඩනගා තිබෙන අවලස්සන දෙයක් ලෙස සලකන්න පුලුවන්.

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක ප්‍රධාන බල මණ්ඩල තුන වනුයේ ව්‍යවස්ථාදායක, විධායකය හා අධිකරණයයි. ව්‍යවස්ථාදායකය නීති හා ප්‍රතිපත්ති සකස් කරනවා. විධායකය ඒවා ක්‍රියාත්මක කරනවා. අධිකරණය සාමාන්‍ය නඩු කටයුතුවල යෙදෙනවාට අතිරේකව ව්‍යවස්ථාදායකය හා විධායකය කරන ක්‍රියා නීතියට අනුකූලද යන්න සොයාබලන හා නීතියට අනුකූල නොවන අවස්තා වලදී එය වලකන ආයතනයක් ලෙස ක්‍රියා කරනවා. ජනමාධ්‍ය වල වගකීම වන්නේ සිදුවන දේවල් පිළිබඳව නිවැරදි හා සාධාරණ චිත්‍රයක් පුරවැසියන් ට ලබාදීමය. ඊට අතිරේකව ජනමාධ්‍ය සමාජයට උගන්වන හොද ගුරුවරයෙකු ලෙසද ක්‍රියා කළ යුතුය. බුද්ධිමතුන් පුරවැසියන්ට ප්‍රඥාව ලබාදිය යුතුයි.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක සාර්ථකභාවය සඳහා මේ හැම අංශයක්ම ඵලදායී හා කාර්යක්ෂම ලෙස ක්‍රියා කළයුතුයි. ලංකාවේ මේ හැම අංශයකම ලොකු බිඳවැටීමක් තිබෙනවා. විධායකය, ව්‍යවස්ථාදායක හා අධිකරණය යන ප්‍රධාන බල මණ්ඩල තුනම ඒවා වෙත පැවරී තිබෙන වගකිම් හරියාකාරව ඉටු නොකර දූෂිත තත්වයකයි තිබෙන්නේ. ජනමාධ්‍ය අන්ත දුෂිත තත්වයක තිබෙන්නේ. බුද්ධිමතුන් සමාජයට ලබාදෙන ප්‍රඥාවක් නැතිතරම්.

දූෂිත පාර්ලිමේන්තුව 

‍ලංකා රාජ්‍යයේ විවිධ බලමණ්ඩල පිස්සු නටමින් තිබෙන ආකාරය පාර්ලිමේන්තුව ආශ්‍රයෙන් පැහැදිලි කරන්න පුළුවන්. ජනාධිපති ක්‍රමයක් ඇති කිරීමෙන් පසු ජනාධිපති ජයවර්ධන පාර්ලිමේන්තුව සතුව තිබූ උත්තරීතර බලය නැති කොට, රාජ්‍යයේ සකල විද බලය තමන් වෙත හිමි කරගනිමින් පාර්ලිමේන්තුව ජනාධිපතිගේ රබර් මුද්‍රාවක් බවට පත්කළා. එහෙත් ජනාධිපතිවරයාට ඔහුගේ පැවැත්ම සඳහා පාර්ලිමේන්තුවේ සහාය අත්‍යාවශ්‍ය වීම නිසා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ට වැඩිපුරද විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් ට අඩුවෙන්ද නීතියට පටහැනිව වරදාන දෙන ක්‍රමයක් ස්ථාපිත කළා. ඔහුගේ අනුප්‍රාප්තික ජනාධිපතිවරුන්ද එම දූෂිත ක්‍රමයට අලුත් අංග එකතු කමින් එය ඉදිරියට ගෙන ගියා. ඒ අනුව දශක හතරකට වැඩි කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරන ලොකු කුඩා, වාමාංශික, දක්ෂිණාංශික සියලු පක්ෂ සේම සියලු මන්ත්‍රීවරුන් ද එම දුෂිත ක්‍රමයෙන් ගලායන ඕජස් අඩුවැඩි ප්‍රමාණවලට උරාබොමින් කිසිදු විවේචනයකින් තොරව පවත්වාගෙනයාමට දායක වෙලා තියෙනවා.

මන්ත්‍රීවරුන් නීතියට පටහැනිව රජය සමග ජාවාරම් කිරීම පිළිබද ප්‍රශ්න අධිකරණය ඉදිරියට ගිය අවස්ථා දෙකකදී අධිකරණය නීතියට අනුව ක්‍රියා කළා. 1979 දී ඇල්බට් සිල්වාගේ මන්ත්‍රීකම අහිමි කළා. ඊට අවුරුදු 21 කට පසුව රාජිත සේනාරත්නගේ මන්ත්‍රීකම අහිමි කළා. මේ අවස්ථා දෙකේදීම පක්ෂ නායකයින් ක්‍රියා කර තිබෙන ආකාරය නින්දා සගතයි. ජේ.ආර්. ජයවර්ධන එම තීන්දුවේ තීන්ත වේලෙන්නටත් පලමුව දූෂිත චෝදනා මත අධිකරණය වරදකරු කොට ආසනය අහිමි කළ පුද්ගලයා චිට් මන්ත්‍රී කෙනෙක් ලෙස කඹුරුපිටිය ආසනයට පත්කළා. රනිල් වික්‍රමසිංහ රාජිත සම්බන්දයෙන් අනුගමනය කළේ ඒ හා සමාන ප්‍රතිපත්තියක්. මේ අවස්ථා දෙකේදීම කථානායකවරු, මන්ත්‍රීවරු, පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ එය විවාදයට ලක්කළ යුතු ප්‍රශ්නයක් ලෙසවත් සැලකුවේ නැහැ. මෙම පක්ෂ නායකයින් දෙදෙනා ඒ මගින් ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවාට අතිරේකව අධිකරණයට ලොකු අපහාසයක් කර තිබුණද අධිකරණයද එහිදී අහක බලාගෙන සිටියා මිස තමන් වෙත පැවරී තිබුණ වගකීම ඉටුකළේ නැහැ.

කොල්ලකෑම මුදුන් මල වූ කලෙක

මහජන ඡන්දයෙන් තේරීපත්ව ජනාධිපති ඇතුළු මන්ත්‍රීවරුන් තමන්ගේ තාවකාලික බාරකාරත්වයේ තිබෙන පොදු වස්තුව විවිධාකාර වලට කොල්ලකෑම ලංකාවේ දූෂණයේ තිබෙන මුදුන් මුල ලෙස සලකන්න පුළුවන්. දූෂණය අවසන් කිරීමට නම් ඒ මුදුන් මුල ගැලවිය යුතුයි. ඒ සමග පරණ ක්‍රමයත් අවසන් වෙනවා. ප්‍රති නිර්මාණයක් අවශ්‍ය වන්නේ ඒ නිසා.

පුනරුද ව්‍යාපාර‍යේ නැගිටීම

රන්ජන්ගෙ හඬපට බෝම්බය පත්තුවන්න මාස කිහිපයකට පෙර අපි පුනරුද ව්‍යාපාරය පාර්ලිමේන්තුව. වසාගෙන තිබෙන මෙම බිහිසුණු පිළිකාව කතානායකවරයාට ලිඛිතව පැහැදිලි කරමින් රජය සමග ව්‍යාපාර කරන මන්ත්‍රීවරුන් ගැන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටියා. අප පෙන්වා දෙන ලද කරුණේ බැරෑරුම්කම ඔහු ප්‍රතික්ෂේප කළේ නැතත් එවැනි පරීක්ෂණයකට යන්න අවශ්‍ය ව්‍යවස්ථාපිත බලයක් තමන්ට නැති බව කියා සිටියා.

ඉන් පසු අපි බුද්ධිමතුන් ගණයේ ලා සැලකිය හැකි තරමක් ලොකු පිරිසකගේද අත්සන් සහිතව පාර්ලිමේන්තුවේ පවත්නා එම නීතියට පටහැනි තත්වය ගැන සුප්‍රීම් උසාවිය විදිමත් ලෙස පැමිණිලි කළා. ඒක නඩුවක් නෙමෙයි. පැමිණිල්ලක් පමණයි. අපි ඒ මගින් ඉල්ලා සිටියේ. නීතියට පටහැනිව රජය සමග ව්‍යාපාර කරන මන්ත්‍රීවරුන් පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කොට ඒ තොරතුරු අධිකරණයට වාර්තා කරන ලෙස විගණකාධිපතිට නියෝග කරන ලෙසය.

අධිකරණය ලවා කුණුවූ සැරව ගෙඩිය කැප්පවීම

විගණකාධිපතිට මාසයක් තරම් කාලයක් තුළ බොහෝ කරුණු සොයා ගන්න පුළුවන්. බොහෝ දේවල් සිදුවී තිබෙන්නේ බලපත්‍ර ස්වරූපයෙන් වන නිසා. මොන හේතුවක් නිසා හෝ අධිකරණය ඒ ගැන පරීක්ෂණයකට ගියේ නැහැ. ඒ පැමිණිල්ලෙන් අප අරමුණු කළේ අධිකරණය ලවා මේ කුණුවූ සැරව ගෙඩිය කැප්පවීමයි. එය කැපුවහොත් ඉන් දැරිය නොහැකි තරමේ දුර්ගන්ධයක් සමග කුණුවූ සැරව පිටාර ගලායාමක් සිදුවනු ඇතත් එය රට සැබෑ විපර්යාසයකට තල්ලුකරන ඵෙතිහාසික අවස්ථාවක් වේවි.

ඒ අරමුණ දිනාගැනීම සදහා දැනුවත් පුරවැසියන්ට තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් කළ හැකිදෑ බොහෝය. පරීක්ෂණයක් ඉල්ලා ජනාධිපතිට අගමැතිට කතානායකට හා විරුද්ධ පක්ෂ නායකයාට පෙත්සම් යැවීය හැකිය. විවිධ ආකාරවල උද්ඝෝෂණ පැවැත්විය හැකිය. අපේ පෙත්සම විභාගයට ගන්නා ලෙස ඉල්ලා අධිකරණ ක්‍රියා මාර්ගවලට යා හැකිය. වෙනත් කළ හැකි තවත් බොහෝ දේවල් තිබිය හැකිය. දේශපාලන පක්ෂ ප්‍රශ්න කිරීමකට ලක්කළ හැකිය. පරීක්ෂණයක් ඉල්ලා යෝජනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිය හැකිය. ව්‍යාපාර කරන මන්ත්‍රීවරුන් පිළිබඳව මහජනයාගෙන් තොරතුරු ලබාගන්නා හා ඒ තොරතුරු ගබඩා කරන දත්ත බැංකුවක් ඇති කළහැකිය. දේශපාලනතන්ත්‍රය හා අධිකරණය පරීක්ෂණයකට නොයන්නේ නම් කරුණු සොයා බලන මහජන කොමිෂන් සභාවකට යාහැකිය.