ඉන්දියානු අධ්‍යාපන ප්‍රදර්ශනය විවෘත කෙරේ


තාක්ෂණ සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල සහ වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් විසින් පසුගියදා (01) ඉන්දියානු අධ්‍යාපන ප්‍රදර්ශනය විවෘත කෙරිණ. මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ සිව්වන වරටය. 

මෙම අවස්ථාවේ අදහස් දක්වමින්, වැඩබලන මහ කොමසාරිස් ජේකබ් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉන්දියා - ශ්‍රී ලංකා සහයෝගීතාව වර්ධනය කිරීමට පවතින හැකියාව පිළිබඳව සඳහන් කළේය. ඉන්දියානු අධ්‍යාපන ආයතනයන් විසින් විදේශීය සිසුන් සඳහා සෑම වසරකම ලබා දෙන 25,000කට අධික අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගන්නා ලෙස ඔහු ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිරිමත් කළේය. 

තවද, ඉන්දීය රජය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි හැදෑරීම සඳහා සෑම වසරකම ශිෂ්‍යත්ව 750ක්ද පිරිනමනු ලබයි. මෙයට අමතරව ඉන්දියානු තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතා (ITEC) වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන් 400කට පමණ පූර්ණ අනුග්‍රාහකත්වය සහිත පුහුණු අවස්ථාවන් ලබා දෙනු ලැබේ. ඉන්දියා - ශ්‍රී ලංකා පදනම යටතේ වාර්ෂිකව ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර එම වැඩහටහන් දෙරටෙහි සංස්කෘතීන් ගැඹුරින් අගය කිරීමට දායකත්වය ලබා දෙයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම්හි මෑත කාලීන වර්ධනයන් වශයෙන් ඉන්දියාව ශ්‍රී ලං‍කාවේ විශ්ව විද්‍යාලයක් සතු විශාලතම විශ්ව විද්‍යාලය රුහුණ විශ්ව විද්‍යාලයේ ඉදි කළ අතර පසුගිය සතියේදී රුහුණ විශ්ව විද්‍යාලයේ ඖෂධ, හෙද සහ වෛද්‍ය රසායනාගාර විද්‍යා යන ක්ෂේත්‍රයන්හි ඉහළම දක්ෂතා දක්වන සිසුන් සඳහා රන් පදක්කම් පිරිනැමීමේ වැඩසටහනක්ද ආරම්භ කළේය. මෙම වසරේ ජනවාරි මස මැදදී, ඉන්දියානු ප්‍රදාන යටතේ උතුරු පළාතේ පාසල් 5ක ඉදි කරන ලද නව පාසල් ගොඩනැගිලි එකම දිනකදී ශ්‍රී ලාංකේය සිසු අයිතියට පත් කරන ලදී. 

ශ්‍රී ලංකාව තුළ හින්දි සාහිත්‍යය සහ අධ්‍යාපනය ප්‍රචලිත කිරීම සදහා පුරෝගාමී දායකත්වයක් ලබා දීම වෙනුවෙන් 2020 ජනවාරි මස 26 වන දින ඉන්දීය රජයේ පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලද දිවංගත මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මෙන් කැපවීමෙන් සහ ආශාවෙන් තම අධ්‍යාපන කටයුතු සිදු කරන ලෙස වැඩබලන මහ කොමසාරිස්තුමා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඉල්ලා සිටියේය.