''ගෝඨාභයගේ විනය - සිවිල් විනය නොව හමුදා විනයයි'' - වික්ටර් අයිවන්





තවත් අවලස්සන දේශපාලන ක්‍රමයක් 

නොවැම්බර් 17 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය ප‍්‍රකාශ වී නව ජනාධිපතිවරයා දිවුරුම් දීමත් සමග තිබුණු අවලස්සන දේශපාලන ක‍්‍රමයක් අවසන් වී තවත් අවලස්සන දේශපාලන ක‍්‍රමයක් ආරම්භවීමට නියමිතය. අවසන් වන්නේ ජේ.ආර්. ජයවර්ධන ඇති කළ ගැහැනියක් පිරිමියෙක් කිරීමට හැර අන් ඕනෑම දෙයක් කිරීමේ බලය තිබූ පරණ ජනාධිපති ක‍්‍රමයයි. 19 වැනි සංශෝධනය නියම වශයෙන් ක‍්‍රියාත්මක වන්නේ එතැන් සිටය. ඉන්පසු ජනාධිපති ක‍්‍රමය තුළ හොඳටම කුණුවූ තත්ත්වයකට පත්ව තිබූ පාර්ලිමේන්තුව හා ඒ ආශ‍්‍රයෙන් ඇතිවන පාර්ලිමේන්තු ආණ්ඩුව රාජ්‍යයේ සියලූ ප‍්‍රතිපත්ති හසුරුවන්නා හා ක‍්‍රියාවට නගන්නා බවට පත්වේ. පරණ ක‍්‍රමයේ මරණය සේ ම අලූත් ක‍්‍රමයේ උත්පත්තියද සිදුවන්නේ විධිමත් ආකාරයකට නොව අවිධිමත් විකෘතිසහගත ආකාරයකටය.

ඊළඟට තේරී පත්වන ජනාධිපති නාමමාත‍්‍රිකය. එහෙත් ඔහු තෝරා පත් කරගැනීම සිදුවන්නේ රාජ්‍යයේ සකලවිධ බලය තිබූ ජනාධිපති තෝරාපත් කරගනු ලැබූ ආකාරයටමය. එනම් මුළු රටම එක ඡන්ද කොට්ඨාසයක් ලෙස සලකා පවත්වන ජනාධිපතිවරණයකිනි. සාමාන්‍යයෙන් විධායක බලයක් නැති ජනාධිපතිවරුන් ඒ ආකාරයට තෝරාපත් කරගන්නේ නැත. තෝරා ගන්නේ බොහෝවිට පුංචි ඡන්ද බල මණ්ඩලයක් මගිනි. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා නාමමාත‍්‍රික වුවත් තෝරාපත් කරගන්නා ක‍්‍රමය නිසා තෝරාපත් කරගන්නා ජනාධිපතිවරයා නීතියට පටහැනි ලෙස තමන් වෙත බලය හිමිකර ගැනීමේ අවදානමක් පවතී. එසේ වුවහොත් මුළු ආණ්ඩුක‍්‍රමයම අවුල් ජාලාවක් හා හාස්‍යජනක විගඩමක් බවට පත්වීමේ හැකියාවක් පවතී.

ආණ්ඩුක‍්‍රමයේ දක්නට තිබෙන මෙම අවුල්සහගත තත්ත්වයට ආණ්ඩු පක්ෂය පමණක් නොව, මුළු මහත් පාර්ලිමේන්තුවම වගකිව යුතුය. ඒ සමගම නීතිපති හා අධිකරණයද වගකිව යුතුය. ඒ සියලූදෙනා ඇතිවී තිබෙන විකෘතියේ ඍජු හෝ අනියම් කොටස්කරුවෝ ලෙස ක‍්‍රියා කළෝය. එම තත්ත්වය රටේ නීති සම්පාදනය හා ඒවා පරීක්ෂාවට ලක් කිරීමට තිබෙන ආයතන ක‍්‍රමය ඇද වැටී තිබෙන බංකොළොත්භාවයේ තරම හොඳින් පෙන්නුම් කරයි.

ගෝඨාභයගේ ප‍්‍රශ්නය

ජයග‍්‍රාහකයා ගෝඨාභය රාජපක්ෂ වුවහොත් එය ආණ්ඩුක‍්‍රමයේ ඇතිවන විකෘතියේ ස්වභාවය දෙගුණ තෙගුණ කිරීමට හේතුවනු ඇත. එසේ වුවහොත් අධි චෝදනා තිබියදී නාමමාත‍්‍රික වශයෙන් හෝ රාජ්‍ය නායකත්වයට මහජන ඡන්දයෙන් තේරී පත්වන ලෝකයේ පළමු රාජ්‍ය නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉතිහාසයට එකතු වනු ඇත. අධි චෝදනා පත‍්‍රයක් යනු සාමාන්‍ය චෝදනා පත‍්‍රයක් නොවේ. බලය ලත් අධිකාරියක් විසින් කරන ලද පරීක්ෂණවලින් පසුව එම පරීක්ෂණයේ නිරීක්ෂණ නීතිපතිගේද අනුමැතිය ඇතිව පහළ අධිකරණය වෙනුවට ඉහළ අධිකරණය වෙත ඉදිරිපත් කර චෝදනා පත‍්‍රයකි. ගෝඨාභයගේ පුරවැසි ප‍්‍රශ්නය හා ඊට අදාළ ගමන් බලපත‍්‍ර හා හැඳුනුම්පත් ප‍්‍රශ්නයද තවමත් පවතින්නේ නොවිසඳුණු ප‍්‍රහේළිකාවක් වශයෙනි.

ගෝඨාභය රාජපක්ෂ ආශ‍්‍රයෙන් විසඳී නැති ප‍්‍රශ්නවල ප‍්‍රමාණය ඉන් අවසන්වන්නේ නැත. ඔහුගේ ගමන් බලපත‍්‍රයට අදාළ ලියවිලි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නොතිබුණි. ජාතික හැඳුනුම්පත‍්‍රයට අදාළ ලියවිල්ලද එම කාර්යාංශයේ නොතිබුණි. මිග් යානා මිලදී ගැනීම පිළිබඳ ප‍්‍රශ්නයේදී ඔහු අධිකරණයට දිවුරා ප‍්‍රකාශ කර තිබුණේ එය රජයන් දෙකක් අතර සිදුවූ ගනුදෙනුවක් බවය. එහෙත් ඒ ගැන පසුව පවත්වන ලද පරීක්ෂණයේදී එය රජයන් දෙකක් අතර සිදුවූ ගනුදෙනුවක් නොවන බව සනාථ විය.

එවිට ලංකාවේ ජනාධිපති ලෙස පත්වනු ඇත්තේ නොවිසඳුණු ප‍්‍රශ්න ඇති ප‍්‍රශ්න ගත පුද්ගලයෙකි. නීතිය අනුව ඔහු ඇමරිකන්කාරයෙකු වේ නම් ඇමරිකන් ජාතිකයෙකු ලංකාවේ ජනාධිපති වන පළමු අවස්ථාව එය වනු ඇත. ඔහු ඇමරිකන් ආර්යාවක් සමග ඇමරිකන් දරුවකු ඇති ජනාධිපතිවරයකු වනු ඇත. ඔහු බලයට පත්වුවහොත් ඔහුට එරෙහිව එල්ල වී තිබෙන සියලූ චෝදනා බලය යොදා යටපත් කිරීමට ඔහුට සිදුවනු ඇති අතර ඒ මගින් කිසියම් විශාල ප‍්‍රමාණයකට බිඳ වැටී තිබෙන නීතියේ ආධිපත්‍යය පරිපූර්ණ බිඳ වැටීමක් බවට පත්කිරීමට හේතුවනු ඇත.

මහින්දගේ සිවිල් මනස

මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ එකම පවුලේ සාමාජිකයන් දෙදෙනකු වුවද බරපතළ සීමාසහිතකම් තිබියදීත් මහින්දට තිබුණේ සිවිල් මනසක් මිස මිලිටරි මනසක් නොවේ. ගෝඨාභයට තිබෙන්නේ සිවිල් මනසක් නොව මිලිටරි මනසකි.

පෝද්දල ජයන්තගේ හා ලසන්තගේ සිද්ධි

පෝද්දල ජයන්ත පැහැර ගැනීමේ සිද්ධියේදී එය අසා ජනාධිපතිවරයා අප ඉදිරියේ කම්පාවට පත්වූ ආකාරය ගැන මම මීට පෙර ලියා ඇත්තෙමි. ඔහුගේ ශරීර භාෂාවෙන් අප තේරුම් ගන්නේ ඒ සිද්ධිය ඔහු තුළ බරපතළ කම්පනයක් ඇති කිරීමට හේතුවී තිබුණු බවය. ඔහුගේ පාලනයෙන් තොරව රටේ දේවල් සිදුවන බව ඔහු අවස්ථා ගණනාවකදී පිළිගෙන තිබුණි. ලසන්ත වික‍්‍රමතුංගගේ ඝාතනයෙන් පසුවද ජනාධිපතිවරයා මට දුරකතනයෙන් කතා කොට ලසන්තගේ සිද්ධියට මගේ සම්බන්ධයක් තිබෙන්නේ යැයි ඔබ සිතන්නේදැයි මගෙන් ප‍්‍රශ්න කළේය. මා ඊට කිසිදු පිළිතුරක් නොදී ජනාධිපතිවරයාට කතා කරන්නට ඉඩ හැර බලා සිටියෙමි. ලසන්ත සමග ජනාධිපතිවරයාට තිබූ දීර්ඝකාලීන මිත‍්‍රත්වය මට පැහැදිලි කළේය. ඒ විස්තර මමද දැන දැන සිටියෙමි. ලසන්ත වික‍්‍රමතුංග එජාපයට එකතු වන්නට පෙර සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ලේකම්වරයකු ලෙස ක‍්‍රියා කළේය. මහින්දට ලසන්ත සමග ඒ කාලයේ සිටම කිට්ටු මිත‍්‍රත්වයක් තිබුණි. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග කාලයේදී ඒ දෙදෙනා අතර තිබූ මිත‍්‍රත්වයේ ලොකු වර්ධනයක් සිදුවූ අතර චන්ද්‍රිකාගේ කැබිනට් මණ්ඩලය තුළ සිදුවන සියලූ වැදගත් දේ ලසන්ත දැනගත්තේ මහින්දගෙනි. ලසන්ත හා මහින්ද අතර තිබුණු ළඟ සම්බන්ධය ජනාධිපතිනි චන්ද්‍රිකා දැන සිටි අතර කැබිනට් රහස් ලසන්ත අතට පත්වන්නේ මහින්දගෙන් බවද ඇය දැන සිටියාය. ඇය මහින්ද හඳුන්වන ලද්දේ ‘රිපෝටර්’ යන අන්වර්ථ නාමයෙනි.

2005 මහින්ද ජනාධිපතිවීමෙන් පසු ලසන්ත ආණ්ඩුවේ කොටස්කාරයකු කරගැනීමට ජනාධිපතිවරයා උත්සාහ කළද ලසන්ත තමන් දන්නා එජාප සමග රැඳී සිටින්නට තීරණය කළේය. අවසන් යුද්ධය පැවති කාලයේදී ලසන්ත දැඩි ආණ්ඩු විරෝධී භූමිකාවක් රඟපෑවද, ලසන්තට ජනාධිපති මහින්ද සමගද අන්තර් සම්බන්ධතා තිබුණි.

ජේවීපී දෙවැනි කැරැල්ල කාලයේ සිටම කුසල් පෙරේරා මහින්දගේ සමීප හිතවතෙකු වූ අතර මහින්ද ක‍්‍රියාවට නගන ලද පාද යාත‍්‍රාව හා ජන ඝෝෂාව යන වැඩසටහන් කුසල්ගේ වැඩසටහන් විය. එහෙත් මහින්ද බලයට පත්වීමෙන් පසුව ඔහු මහින්දගේ ආධාරකරුවකු බවට පත් නොවූ අතර ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ පාලනය විවේචනය කරන විවේචකයකු වශයෙන් ක‍්‍රියා කළේය.

කුසල් පෙරේරා

ශිවරාම් හෙවත් තරාකි පැහැරගෙන ගියේ ඔහු කුසල් සමග සාකච්ඡා කරමින් සිටි අවස්ථාවකදීය. එම පැහැර ගැනීම සිදුවන්නට පැයකට පමණ පෙර මමද ඒ ස්ථානයේ ඒ දෙදෙනා සමග බීරබොමින් කතාබහක නිරතවෙමින් සිටියෙමි. මා එම ස්ථානයෙන් පිටවී ගියේ වෙනත් වැඩක් මට තිබූ නිසාය.

ජනමාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් මරා දැමීම හා පහරදීම් දිගින් දිගටම සිදුවන විට ඒ ඉරණම කුසල්ටත් හිමිවේද කියන බියක් මහින්ද තුළ ඇතිවී තිබුණු අතර ඔහු හර්ෂ නවරත්න යොදාගෙන කුසල්ව ටික කලකට නේපාලයේ රැකියාවකට යවන ලද බව මට අසන්නට ලැබුණි. ඊට මහින්දගේ අතක් තිබූ බව කුසල් පවා දැන නොසිටියාද විය හැකිය.

අභ්‍යන්තර යුද්ධය ජයගැනීමෙන් පසු බිඳ වැටී තිබුණු සමාජ ක‍්‍රමය හා කුණුවූ තත්ත්වයකට පත්ව තිබුණු රාජ්‍යය ප‍්‍රතිනිර්මාණය කරගැනීම සඳහා ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණ ඇතිකර ගන්නා තැනකට නොගියහොත් ලංකාව අරාජික තත්ත්වයකට තල්ලූවීම නොවැළැක්විය හැකිවනු ඇතිය කියන දැඩි මතයක් මා ඇති කරගෙන තිබුණි. ඒ ගැන සම්බන්දන් ඇතුළු දෙමළ සන්ධානයේ නායකයන් සමගද අප කිහිපදෙනෙක් සාකච්ඡා දෙකක් පවත්වා තිබුණි. ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණ වැඩසටහනක අවශ්‍යතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පැහැදිලි කරදීමට මට අවශ්‍ය වූ අතර ඒ ගැන විටින් විට කරුණු පැහැදිලි කරන්නට දරන ලද උත්සාහයකින් පසුව විධිමත් සාකච්ඡාවක් සඳහා ජනාධිපතිවරයා මට අවස්ථාවක් ලබා දුන්නේය. ඊට ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගද සහභාගි විය.

මා එම සාකච්ඡාවේදී ලංකාවේ ආයතන ක‍්‍රමය බිඳ වැටී තිබෙන ආකාරය පැහැදිලි කරමින් සිටි අවස්ථාවකදී ජනාධිපතිවරයා ඊට අතරමගදී කඩා පැන ”රටේ ආයතන ක‍්‍රමය විතරක් නොවෙයි, අරලියගහ මන්දිරයෙත් මා නොදැන කොච්චර දේවල් වෙනවාදැයි කියමින් ඒවා විස්තර කරන්නට විය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කොතරම් බලවත් පාලකයෙකු වුවත් ඔහුගේ රාජ්‍ය බලය තුළ ආණ්ඩුව අභ්‍යන්තරයේ බලවත් කල්ලි ගණනාවක් බිහිවී ජනාධිපතිවරයා නොදැන ඔහුගේ නාමපුරුව යටතේ බොහෝ දේවල් සිදුවෙමින් පැවති බව ජනාධිපතිවරයාගේ එම කතාව ආශ‍්‍රයෙන් මට තේරුම් ගත හැකිවිය.

ගෝඨාභයගේ බැරැක්ක මනස

ගෝඨාභයට තිබුණේ සිවිල් මනසක් නොව බැරැක්ක මනසකි. මා ගෝඨාභය සමග සම්මුඛ සාකච්ඡා දෙකක් පවත්වා තිබේ. ඒ අවස්ථා දෙකටම රොයිටර් පුවත් සේවයේ වරුණ කරුණාතිලකද සහභාගි විය. ඒ සාකච්ඡා දෙකම පවත්වන ලද්දේ ජනමාධ්‍යවලට වාර්තා කිරීමේ අරමුණින් නොව අපේ දැනගැනීම සඳහාය. පළමු සාකච්ඡාව පවත්වන ලද්දේ අභ්‍යන්තර යුද්ධය ජයගැනීමෙන් පසුව ගෝඨාභය දරන අදහස් දැනගැනීම සඳහාය. ඒ සාකච්ඡාව පවත්වන ලද්දේ ඔහුගේ නිල නිවසේය. දෙවැනි සාකච්ඡාව පවත්වන ලද්දේ 2015 ජනාධිපතිවරයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වීමෙන් දින තුනකට හෝ හතරකට පසුව එම පරාජය ගැන එම පාලනයේ ප‍්‍රධානතම කොටස්කරුවකු ලෙස සැලකිය හැකි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ අදහස් දැනගැනීම සඳහාය. සාකච්ඡාව පවත්වන ලද්දේ ඔහුගේ පෞද්ගලික නිවසේය.

ඊට පෙර ෆෙඞ්රිකාට බැණ වැදීමේ සිද්ධිය ගැන මා ජනාධිපතිවරයා පුවත්පත් කතුවරුන් කිහිපදෙනකු ඉදිරියේ ඔහු බරපතළ ප‍්‍රශ්න කිරීමකට ලක් කර තිබුණු අතර අලූත්ගම සිදුවූ මුස්ලිම් විරෝධී පහරදීමෙන් පසුවද ගෝඨාගේ සෙවණැල්ල යන මාතෘකාවෙන් ලියන ලද ලිපියක් මගින් එම අවලස්සන සිද්ධියට ඔහුට තිබූ සම්බන්ධය බලවත් ලෙස විවේචනයට ලක් කර තිබුණි.

සහෝදරයාගේ දූෂිත පාලනය පිළිගත් ගෝඨා

ගෝඨාභය අපට සම්මුඛ සාකච්ඡාව දෙන ලද්දේ ඒ සියල්ල නොසලකාය. දෙවැනි සම්මුඛ සාකච්ඡාවේදී ගෝඨාභය හිතට එකඟව අදහස් පළ කළ බව කිව යුතුය. මා අසන ලද ප‍්‍රශ්න අතර ප‍්‍රධානම ප‍්‍රශ්නය වූයේ ඉහ වහා ගිය දූෂණයට ඔබේ සහෝදරයා හා ඔහුගේ පාලනය මහජනයා විසින් පරාජය කිරීමට බලපෑ ප‍්‍රධාන හේතුව ලෙස සලකන්න පුළුවන්. ඒ ගැන ඔබ කියන්නේ කුමක්ද යන ප‍්‍රශ්නයයි. ඔහු එහිදී සිය සහෝදරයාගේ පාලනයේ දූෂිත ස්වරූපය ප‍්‍රතික්ෂේප කළේ නැත. ඒ වෙනුවට ඒ බව පිළිගත්තේය. මහජනයා එසේ නොකරන්නට ඒ වරද බොහෝ දුරදිග යන්නට ඉඩ තිබුණු බවද පිළිගත්තේය. ඔහු ඒ අවස්ථාවේ හිටියේ දරදඬු තැනක නොව වැරදි පිළිගන්නා මටසිලිටු තැනකය. මහජනයා මෙම තීරණය නොදුන්නේ නම් වැරදි බොහෝ දුර දිග යා හැකිව තිබුණු බව ඔහු කීවේය.

ගෝඨා තමන්ගේ සියලූ හරඹ කළේ ආරක්ෂක හමුදා සමගය. යුද්ධය පමණක් නොව, යුද්ධයෙන් පසු නගර සංවර්ධනය වැනි වැඩ සඳහාද යොදාගත්තේ නගර සභාවල කම්කරුවන් නොව, ආරක්ෂක හමුදාවල සාමාජිකයන්ය. කොළඹ නගර සංවර්ධනයේදී අවශ්‍ය ඉඩම් ලබාගැනීම සඳහා පැල්පත්වාසීන් එම ස්ථානවලින් ඉවත් කරන ලද්දේ ඔවුන්ට කරුණු පැහැදිලි කරදී ඔවුන් එම ව්‍යාපෘති සඳහා එකඟකරවා ගැනීමෙන් නොව, හමුදා බලය යොදා බලහත්කාරී පිළිවෙතක් අනුගමනය කිරීමෙනි. නගරය පිරිසිදුව තබා ගන්නට උත්සාහ කළේද කුණු ප‍්‍රශ්නය ගැන මහජන අවබෝධය වර්ධනය කරන වැඩසටහන් ආශ‍්‍රයෙන් නොව, මහජනයා තුළ බියක් ඇති කිරීමට හේතුවන පුවරු ප‍්‍රදර්ශනය කිරීමෙනි. විදුහල්පතිවරුන් හා ගුරුවරුන් හමුදාවට එකතු කර ගන්නා ක‍්‍රමයක් මගින් පාසල් ක‍්‍රමයට බැරැක්ක ස්වභාවයක් දෙන ලද අතර විශ්වවිද්‍යාලවලට අලූතෙන් ඇතුළත් කරගන්නා ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ටද හමුදා කඳවුරුවල පුහුණුවක් ලබාදීම මගින් විශ්වවිද්‍යාලවලටද බැරැක්ක ස්වභාවයක් ආරෝපණය කිරීමට උත්සාහ කළේය.


ගෝඨාභයගේ විනය සිවිල් විනය නොව හමුදා විනයයි

ගෝඨාභය විනය ලෙස සලකන ලද්දේ සිවිල් විනය නොව, හමුදා විනයයි. හමුදා විනය අණකිරීම් මත ක‍්‍රියාත්මක වන විනය ක‍්‍රමයක් වන අතර, සිවිල් විනය තමන්ගේ අයිතිවාසිකම්වලට අතිරේකව අනුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීමේ පදනම මත ඇති කරන්නා ස්වයං විනයක් ලෙස සැලකිය හැකිය. ගෝඨාභය ආරක්ෂක හමුදාවන්ට අදාළ නිල තත්ත්වයක් දැරීමට සුදුසු පුද්ගලයකු වුවද, සිවිල් මනසක් ඇතිකර ගන්නා තෙක් රටේ පාලනය භාරව ක‍්‍රියාකිරීමට සුදුසු පුද්ගලයකු ලෙස සැලකිය නොහැකිය. ගෝඨාභය රාජපක්ෂ මුස්ලිම් සමාජය කෙරෙහි ඇති කළ අනවශ්‍ය ප‍්‍රශ්න නොවේ නම් 2015 ජනාධිපතිවරණයෙන් වැඩි ඉඩක් තිබුණේ මහින්ද පරාජය වීමට නොව ජයගැනීමටය. ඒ අර්ථයෙන් 2015දී මහින්ද පරාජය කළ ප‍්‍රධාන පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ ගෝඨාභයය.

ජනාධිපතිවරණයෙන් පසු

ජනාධිපතිවරණයෙන් කවුරුන් ජයගත්තද ජයග‍්‍රාහකයා ලබන එම ජයග‍්‍රහණය රටේ අර්බුදයට විසඳුමක් වන්නේ නැත. රට තිබෙන්නේ වර්ග, කුල, ආගම් භේද මත භේදබින්න වී තිබෙන සමාජය ඒකාග‍්‍ර කොට ජාතිය ගොඩනගා ගැනීමට හේතුවන ලෙසත්, දූෂණයෙන් හා අකාර්යක්ෂමතාවයෙන් කුණුවී තිබෙන, රාජ්‍ය දූෂණයෙන් තොර කාර්යක්ෂම නූතන රාජ්‍යයක් ලෙස ප‍්‍රතිනිර්මාණය කරගැනීමට හේතුවන ලෙස ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණ ඇතිකර ගැනීමෙන් තොරව එක අඩියක්වත් ඉදිරියට යා නොහැකි හිරවූ තත්ත්වයකය.

විටින් විට බලයට පත් පාලකයන් විසින්ද අධිකරණය විසින්ද කෙළෙසීම නිසා දැන් රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තිබෙන්නේද ව්‍යවස්ථාවක තිබිය යුතු මනා පිළිවෙළ හා ඒකාග‍්‍රතාව අහිමි කරගත් ව්‍යවස්ථා කඩමාල්ලක තත්ත්වයකය. කවර රජයකටවත් මෙම ව්‍යවස්ථාව සමග ඉදිරියට යා නොහැකිය. නූතන ජාතිය හා නූතන රාජ්‍ය ප‍්‍රතිනිර්මාණය කරගැනීමට හේතුවන ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණවලින් තොර ව්‍යවස්ථා සම්පාදනයක්ද ඵලරහිතය. පාර්ලිමේන්තුවට ලොකු බලයක් ලැබී ඇතත්, පාර්ලිමේන්තුව තිබෙන්නේ දූෂණයෙන් කුණුවූ තත්ත්වයකය. එවැනි පාර්ලිමේන්තුවකට ක‍්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතුවන හොඳ ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ හැකියාවක් තිබිය නොහැකිය. යහපාලන ආණ්ඩුව තැනීමට උත්සාහ කළ එහෙත් අවසන් කිරීමට අසමත් වූ ව්‍යවස්ථාව ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනය ලෙස සැලකිය හැකිය.

ව්‍යවස්ථා සම්පාදනය

පාර්ලිමේන්තුව තිබෙන්නේ මුළුමනින් අසමත් හා දූෂණයෙන් කුණුවූ තත්ත්වයකය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් නීතියට පටහැනිව රජය ව්‍යාපාර කරන ජාවාරම්කරුවන් බවට පත්ව සිටින අතර එය පාර්ලිමේන්තුවේ අසමත්කම හා දූෂිත තත්ත්වය කෙරෙහි බලපා තිබෙන ප‍්‍රධානතම හේතුව ලෙස සැලකිය හැකිය. එහෙත් යහපාලන ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදන දර්ශනයට එම දූෂිත හා අසමත් තත්ත්වයෙහි ගැඹුරු වෙනසක් ඇති කිරීමට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ ඇතුළත් වී තිබුණේ නැත. එසේම මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමට තිබෙන අයිතියට අතිරේකව රාජ්‍ය පාලනයට මහජනතාවට ක‍්‍රියාකාරී ලෙස සම්බන්ධවීමට ඉඩ ලබාදෙන විධි විධාන ඊට ඇතුළත් වී තිබුණේ නැත. අවසන් නොකළ ව්‍යවස්ථාවට වැය කර තිබෙන වියදමද පුදුමයට හේතුවන තරම් විශාලය. එය රුපියල් මිලියන 13600ක් හෙවත් ඩොලර් මිලියන 75.13කි. දකුණු අප‍්‍රිකාවේ ක‍්‍රියාත්මක වූයේ පාර්ලිමේන්තුවට සීමා කළ ව්‍යවස්ථා සම්පාදනයන් නොව මහජන සහභාගි ව්‍යවස්ථා සම්පාදනයකි. ඒ සඳහා ගිය වියදම ඩොලර් මිලියන 30ක් හෙවත් රුපියල් මිලියන 5430කි. උගන්ඩාවේ ව්‍යවස්ථා සම්පාදනයද පාර්ලිමේන්තුවට සීමා නොකළ මහජන සහභාගි ව්‍යවස්ථා සම්පාදනයක් විය. එයට වැයවී ඇත්තේද ඩොලර් මිලියන 20ක් හෙවත් රුපියල් මිලියන 3620කි. එරිත‍්‍රියාවද මහජන සහභාගි ව්‍යවස්ථා සම්පාදනයකට ගිය රටක් වන අතර එම ව්‍යවස්ථා සම්පාදනය සඳහා කරන ලද වියදම ඩොලර් මිලියන 4.5ක් හෙවත් රුපියල් මිලියන 814.5කි. ලංකාව පරණ මාදිලියේ යල්පැනගිය ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නට දරන ලද අසාර්ථක උත්සාහය සඳහා පමණක් විශ්වාස කළ නොහැකි තරමේ දැවැන්ත වියදමක් දරා තිබෙන බව පෙනේ.

ලංකාවටද සමස්ත ක‍්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතුවන එනම් ජාතිය ගොඩ නගා ගැනීමට හා රාජ්‍ය ප‍්‍රතිනිර්මාණය කරගැනීමට හේතුවන ව්‍යුහමය වෙනස්කම් ඇති කරන ව්‍යවස්ථා සම්පාදනයකට යාම අවශ්‍ය නම් ව්‍යවස්ථා සම්පාදනය පාර්ලිමේන්තුවට සීමා කළ යල්පැනගිය ව්‍යවස්ථා සම්පාදන මාදිලියෙන් ඉවත් වී මහජන සංවිධානවල නියෝජිතයන්ට වැඩි බලයක් ලැබෙන ව්‍යවස්ථා සම්පාදනයකට ලංකාව යායුතුය. මේ ජනාධිපතිවරණය ඒ සඳහා මහජනයා දැනුවත් කරන පක්ෂ නායකයන්ට බලපෑම් කරන වැදගත් අවස්ථාවක් බවට පත්කර ගැනීමට දැනුවත් පුරවැසියන් උත්සාහ කළ යුතුය. ක‍්‍රමයේ ගැඹුරු වෙනසක් ඇතිකර ගැනීමට තෝරා ගැනීමට ඊඩ වඩා හොඳ හෝ යථාර්ථවාදී මාර්ගයක් නැත.




ඡායාරූපය - ඉෂාර එස්. කොඩිකාරගෙනි