අපේ ගමන් මග එළිය කිරීමට විමලසුරේන්ද්‍රයන්ගෙන් ලද ආලෝකය



“අහසින් මේ මහපොළව මතට පතිත වන එකදු ජල බිඳුවක්වත් ප්‍රයෝජනයට නොගෙන මහ සයුරට එක් වන්නට ඉඩ නොතබන්නැයි " සිරිලකට සෞභාග්‍ය උදාකළ මහ පැරකුම් නිරිඳුන් තම වැසියනට ඔවදන් දුන් බව ඉතිහාසය අපට කියා දෙයි. 

මහපැරකුම් නිරිඳුන් යුගය සව්සිරියෙන් පිරි යුගයක් වීමට හේතුව වූයේ එනිරිඳුන්ට රටදැය පිළිබඳ තිබූ දැක්මත් වැසියන් කෙරෙහි වූ ආදරයත් එනිරිඳුන්ගේ දක්ෂ පාලනයත් කළමණාකරනයත් නිසා බව අප අසා තිබේ.

ලක් ඉතිහාසයේ පැරකුම්බා නිරිඳුන්ගේ ඔවදන් පිළිපදිනු ලැබූ යම් පුත්රුවනක් විනි නම් ඒ ඩී. ජේ විමලසුරේන්ද්‍රයන් යැයි කීම අතිශයෝක්තියක් නොවිය යුතුය.

අතීත ශ්‍රී විභූතියෙන් ඔද වැටුනු නමුත් යටත් විජිතවාදී හා අනුකරණවාදී මානසිකත්වයෙන් ගැලවීමට නොහැකිව මං මුලාවූ අපි තවමත් දියුණුවේ මංපෙත් සොයමින් අඳුරේ අතපත ගාමින් සිටිමු. විටෙක මෙම රට පාලනය කල අධිරාජ්‍යවාදී පාලකයන්ටත්, තවත් විටෙක නූතන දේශපාලන නායකයන්ටත්, තවත් විටෙක වෙළඳපළ අර්ථක්‍රමයටත්, තවත් විටෙක නව යටත් විජිතවාදී යටත් දෙස් දෙමින් හා මැසිවිලි නගමින් සිටින නමුදු අපට වැරදි ඇත්තේ කෙසේදැයි දැන ගැනීමට නිදහසින් අවුරුදු 60 ක් ගෙවී ගියද අපට හැකි වී ඇති බවක් නොපෙනේ.

අනාගතයට මංපෙත් විවර කර ගත හැක්කේ අතීතයේ ගමන් මඟ එළිය කළ පහන්ටැම් වලින් සපයන ප්‍රදීපාලෝකයෙන් බව අපට රහසක් නොවේ.

මෑත ඉතිහාසයේ අපේ රට අපේ දැය එළිය කළ මහා පහන්ටැඹ අතර ඩී. ජේ විමලසුරේන්ද්‍රයන් විහිදූ ආලෝකය අද්විතීය වන්නකි.

ගාලලේ සමාජ සංවර්ධන පදනම විසින් ඩී. ජේ විමලසුරේන්ද්‍රයන් වාර්ෂිකව සමරනු ලබන්නේ එතුමන් විසින් රුහුණු පුරයේ අග නගරය වූ ගාල්ලේ උපත ලද තැනැත්තෙකු වූ නිසා නොව “ජලවිදුලි බලයේ පියා” යන විරුදාවලියෙන් ශ්‍රී ලාංකිකයනිගෙන් පිදුම් ලබන්නට තරම් ඔහු කළ මහත් ජාතික මෙහෙවර නිසා බව අවිවාදිතය.

ශ්‍රීමත් අනගාරික ධර්මපාල ජේ. ආර්. ජයවර්ධන වැනි ජාතියට නව මංපෙත් හෙළි කළ නායකයින් බිහිවුනු අද වැනි දිනක ඩී. ජේ විමලසුරේන්ද්‍ර නාමය සැමරීමටත් එතුමන්ට උපහාර දැක්වීමටත් අපේ ජාතියේ අනාගතයේ අභිවෘද්ධිය උදෙසා ගතහැකි පාඩම් මොනවාදැයි විමසමින් අනුස්මරණ දේශණයක් පැවැත්වීමටත් ආරාධනය කිරීම සම්බන්ධයෙන් මම සමාජ සංවර්ධන පදනම වෙත මාගේ අවංක ආදර ස්තූතිය පුද කරන අතර එය මාවෙත දක්වන ලද ඉමහත් ගෞරවයක් ලෙස සලකන බවද සඳහන් කරනු කැමැත්තෙමි.

ඩී. ජේ විමලසුරේන්ද්‍රයන් ශ්‍රී ලංකීය පවුලේ අසහාය පත්‍රයකු වූයේ එතුමාගේ ජන්මයත් අධ්‍යාපනයත්, නිර්මාණශීලී චින්තනයත්, අප්‍රතිගත ධෛර්යය හා කෞශල්‍යයත් යන ගුණාංගයන්ගේ සුසංයෝජනයත් ඉපැදුනු විභව ශක්තිය හා ඉන් නිපැයුණු චාලක ශක්තිය නිසා බව අපගේ නිගමනයයි.

අප මේ නිගමනයට එළැඹෙන්නේ කවර හේතු ප්‍රත්‍යයන් නිසාදැයි දැන් කරුණු විමසා බලමු.

ඩී. ජේ විමලසුරේන්ද්‍ර ජන්මය හා චරිතාපදානය

ඩී. ජේ විමලසුරේන්ද්‍ර චරිතාපදානය විමසා බැලීමේදී ඔහු තුළ චින්තකයෙක්, ඉංජිනේරුවෙක්, නව කම්කරුවෙක්, දේශපාලඥයෙක් හා පරාර්ථ සාධනය උදෙසා තම ජීවිතය කැපකල බෝසත් වරයෙක් විද්‍යාමාන වේ.

ක්‍රිස්තු වර්ෂ 1874 සැප්තැම්බර් මස 17 දා දොන් ජුවන් දේවපුර විමලසුරේන්ද්‍ර ජයසිංහ මුදලිතුමාගේ හා දොන් ක්‍රිස්ටිනා ජයසිංහ මැතිණියගේ දෙටු පුත් ලෙස ගාල්ලේ ගල්වඩුගොඩදී මෙලොව එළිය දුටු දොන් විමලසුරේන්ද්‍ර කුමරා මුලික අධ්‍යාපනය ලැබූයේ කොළඹ ආනන්ද විද්‍යාලයෙනි. එංගලන්ත අධිරාජ්‍යයේ මහරාජිනිය මවිත කරන අන්දමින් කුඩා බොත්තමක් තද කර පමණින් පිපෙන පොල් මලක් ඉතා කුඩාවට ඇත් දතකින් නිර්මාණය කොට එතුමියට තෑගි කළ අපූරු කැටයම් ශිල්පියකු වූ සිය පියාගේ පාරම්පරික ඥානයත්, ජානගත කෞශල්‍යයත් දයාද කර ගත් විමලසුරේන්ද්‍රයන්ට එය තම වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ බහුතාක්ෂණික ආයතනයට බැඳී නිපුණතා වැඩි කරගන්නට හේතු පාදක වූවා නිසැකය.

උසස් අධ්‍යාපනය සඳහා දේශිය විශ්වවිද්‍යාල නොතිබුණ යුගයක කේම්බ්‍රිජ් සීනියර් විභාගය සමත් වීමෙන් අනතුරුව බහු තාක්ෂණික ආයතනයේ විභාග වලින් විශිෂ්ඨතම ශිෂ්‍යයා ලෙස සමත් වූ විමලසුරේන්ද්‍රයන් එම ආයතනයෙන්ම ඒ. එම්. අයි. සී. ඊ. සිවිල් ඉංජිනේරු සහතිකය දිනා ගත්තේය. අනතුරුව 1986 වර්ෂයේදී ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ දියතලාව ප්‍රදේශයේ ඕවර්සියර් වරයකු ලෙස සේවයට බැඳුණු  විමලසුරේන්ද්‍රයන් සිදුකළ විස්මය දනවන කටයුත්ත වූයේ සැතපුම් 11 කින් නිම කිරීමට සැලසුම් කර තිබූ දෙමෝදර දුර්ග දුම්රිය මාර්ගය උමං මාර්ගයක් සහිතව සැතපුම් 3 ½ ක් පමණ දුරකින් කෙටි කිරීමයි. සිව් වසරක් වැනි කෙටි කලකින් තම සේවා ස්ථානයේ පරික්ෂක තනතුරට උසස්වීම් ලත් විමලසුරේන්ද්‍රයන් ලන්ඩනයේ පැරඩේ ආයතනයටද පිවිස උසස් ශිෂ්‍යයකු ලෙස සිව් අවුරුදු ඉංජිනේරු පාඨමාලාවක් මාස 8 ක් වැනි කෙටි කලකින් හදාරා එහි සිසුන් අතුරින් ප්‍රථම ස්ථානය දිනා  ගනිමින් ඒ. එම්. අයි. ඊ. ඊ. උපාධිය දිනා ගනු ලැබීය.

අනතුරුව සිය මව් බිමට පැමිණි විමලසුරේන්ද්‍රයන්ට වර්ෂ 1901 දී පමණ කැළණි නිම්නයේ රන් නිධි තිබේදැයි ගවේෂණය කරන්නට සුදු පාලකයින් විසින් අණ කරනු ලබ එසේ කරන්නට සිදුවූ නමුත් එකී ගවේෂණයන්ට වඩා ඔහුගේ සිත ඇදී ගියේ කැළණි ගඟේ ජල ධාරය වන ලක්ෂපාන දිය ඇල්ලෙහි ගලා හැලෙන ජල දහරාවේ ශක්තියෙන් ජල විදුලිය නිපදවිය හැකි වේද යන්න සොයා බැලීම කෙරෙහිය. කෙහෙල්ගමු ඔය සහ මස්කෙළි ඔය පියස අසබඩ ජල විදුලි බලාගාර ඉදිකිරීමෙන් මුලු ලක්දිව වීදි පහන් කිරීමටත්, විශාල කර්මාන්ත ව්‍යාපාර ඉදිකිරීමටත් රටෙහි සංවර්ධනය සඳහා ජල විදුලිය ශක්ති සම්පන්න ලෙස භාවිතා කිරීමටත් මූල බීජය සැපයුනේ විමලසුරේන්ද්‍රයන්ගේ නිර්මාණශීලී මනසේත් කෞෂල්‍යයේත් සුසංයෝජනයෙනි.

බලශක්තිය සඳහා අධික වියදම් සහිතව ආනයනික ගල් අඟුරු සහ ඛණිජ තෙල් භාවිතා කළ යුගයක විදේශයනට කිසිදු මිල ගෙවීමකින් තොරව අප රටේම විදුලිය නිපදවා ගැනීමේ ක්‍රමෝපායන් සොයා ගැනීමට සමත් වූ විමලසුරේන්ද්‍රයන් “තිරසාර සංවර්ධනය” Sustainable Development හා “තාක්ෂණය සපරිහරණය”Appropriate Technology පිළිබඳව නූතන සංකල්පයන් සිය අන්තර්ඥානයෙන් අවබෝධ කරගෙන සිටියාට කිසිදු සැකයක් නැත.

නිර්මාණශීලි ඉංජිනේරුවරයකු වශයෙන් විමලසුරේන්ද්‍රයන් කළ සේවාව පිළිඹිබු වන්නේ ඔහු ලක් දිවට හඳුන්වා දුන් ජලවිදුලි තාක්ෂණයෙන් හා දෙමෝදර දුම්රිය මාර්ගය තැනීමේ ව්‍යාපෘති වලින්ම පමණක්ම නොවේ.

වර්ෂ 1928 දී ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ධ තනතුරට පත් ඔහු කොළොන්නාව විදුලි බල නිශ්පාදන හා බෙදා හැරීමේ මධ්‍යස්ථානය සැලසුම් කළේය. වර්ෂ 1908 දී ගාල්ලේ හියාරේ ජලාශය ඉදිකොට ගාලු නගරයේ ජලනල ක්‍රමයෙන් ඇති කිරීමෙන් ගාලු නගරයට ජල සම්පාදනය කලේය.

රාජ්‍ය සේවයේ නිළදාරියකු වශයෙන්, නිලධාරී ක්ෂේත්‍රයේ හා අධිරාජ්‍යවාදයේ කෙනෙහිලි කිරීම් වලින් සහ පෞද්ගලිකත්වය හා නිළධාරිවාදය නිසා බොහෝ විට ඇතිවන බාධා කිරීම් වලින් නොසැලී ඉදිරියට ගමක් කල ඔහු සමාජ පරිවර්ථනයන් සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති හා තීරණ ගැනීම උදෙසා දේශපාලනයට පිවිසීම අත්‍යවශ්‍ය බව අවබෝධ කරගනු ලැබ වර්ෂ 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ රත්නපුර අසුන සඳහා තරඟ කොට එය ජය ගත්තේය. රාජ්‍ය මන්ත්‍රණ සභාව තුලදී ශ්‍රී ලංකාවේ කාර්මික හා කෘෂිකාර්මික සංවර්ධනය උදෙසා විදුලි බල ශක්තියේ අත්‍යවශ්‍යතාවය අවධාරණය කළ ඔහු තම මතය පුළුල් ලෙස ජන සංනිවේදන මාධ්‍ය ඔස්සේ පොදු ජනතාව අතරට ගෙන යමින් උද්ඝෝශණ දියත් කළේය.

වර්ෂ 1929 දී වයස අවු 55 එළඹීම නිසා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගනු ලැබුවද ඉන් අනතුරුව තම ඥානයෙන් හා කුසලතාවයෙන් උපරිම සේවාව තම රටට හා දැයට ලබා දීම තම වගකීම කොට සැලකූ විමලසුරේන්ද්‍රයන් තමා ආරභ කළ සියළුම ව්‍යාපෘති අවසන් කිරීම සඳහා උත්සුකව ක්‍රියා කොට අනතුරුව රාජ්‍ය ප්‍රතිපත්තිසම්පාදක මණ්ඩලය වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවෙහි වසර කීපයක්ද ගත කළ නමුත් ඉනුදු සෑහීමකට පත් නොවූයේය.

වර්ෂ 1936 දි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයෙන් රත්නපුර ආසනය පරාජය වුවද ඉන් නොපසුබටව අභිතව ඉදිරියට ගිය විමලසුරේනද්‍ර යන් පුලුල් මහජන උද්ඝෝෂණ ව්‍යාපාරයන් තුලින් ලංකාවේ මුල්ම ජල විදුලි බලාගාර ව්‍යාපෘතිදෙක අතුරින් ලක්ෂපාන විදුලි බලාගාරයේ පළමු අදියර 1948 දීත්, මස්කෙළිය බලාගාරයේ නිමවුම කටයුතු 195 දීත් අවසන් කරවා ගැනීමට සමත් විය.

විශ්‍රාම ගොස් සිටියද විමලසුරේන්ද්‍රයන්ගේ තාක්ෂණික ඥානයේ හා ප්‍රඥාවේ අද්විතීය භාවය සැලකිල්ලට ගෙන එතුමන් වර්ෂ 1940 දී රුවන්වැලි මහා සෑ ප්‍රතිසංස්කරණ කොමිටියේ සාමාජිකයෙකු ලෙස පත්කරන ලදුව එහි සේවය කරමින් එහි වත්මනෙහි පවතින රුවන්වැලි මහා සෑ කොත නිර්මාණය කොට ආරක්ෂිත අයුරින් එය පළඳවා බුදුසසුනේ චිරස්ථිතිය උදෙසා ඉංජිනේරුවරයෙකු ලෙස දායක වුයේය. තමන් මෙලොවට බිහි කළ දෙමාපියන්ගේ නාමයෙන් හා දෙස බස රැස හා සමයේ නාමයෙන් තමන් උපන් බිම හා දැයේ සහෘද ජනතාවට සිය උපරිම ශක්තියෙන් හා නැණ නුවණින් සේවය කළ මේ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයාණන් වර්ෂ 1953 අගෝස්තු 10 දින දැයෙන් සමුගත්තද එතුමන් අප අතර අදත් ජීවත් වන්නේය.

ඩී. ජේ විමලසුරේන්ද්‍රයන්ගෙන් අපට උගත හැකි පාඩම් 

විමලසුරේන්ද්‍රයන්ට ස්වාධීන වූ දැක්මක් වූ අතර එය දැයේ උන්නතිය උපයෝගී කර ගැනීම පිළිබඳ පැහැදිලි උවමනාවක් හා ප්‍රෝත්සාහයක් වූයේය. වර්ෂ  1935 දී ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභා අයවැය විවාදයේදී ඔහු මෙසේ සඳහන් කරයි.

“සිරිපා අඩවියේ සිට නැගෙනහිර සහ බටහිර දෙසට ගලා යන සිව් ගංඟාවන්ගෙන් ලබාගත හැකි බලශක්ති ප්‍රමාණය ගණන් බලනු ලැබ ඇත.එය වසරකට අශ්ව බල දසලක්ෂයකට නොඅඩුය. එසේ නිපැයෙන සියලු බල ඒකකයක්ම දිවයින පුරා දුම්රිය හා වෙනත් ප්‍රවාහන පහසුකම් සැපයීමටත්, රටේ දස දිගින් ඇති සියලු දිළිඳු නිවෙසකටම අඩු වැයකින් එලිය සහ බලය සැපයීමටත් යෙදිය හැකි වන්නේය.”

විමලසුරේන්ද්‍ර ශ්‍රීමතාණන් අද වන විට ජීවත්ව සිටියේ නම් වර්තමානයෙහි පවතින බලශක්ති අර්බුදය පිළිබඳවත් දූෂණය හා අකාර්යක්ෂමතාවයට යටවුනු නිළධාරී පන්තිය පිළිබඳවත් පොදුජන අවශ්‍යතාවයන් නොසලකා තම පෞද්ගලික සුඛ විහරණය හා බලය සඳහා මුල්තැන දෙමින් ක්‍රියා කරන ආත්මාර්ථකාමී ව්‍යාජ දේශපාලන නායකයින් පිළිබඳවත් උපහාසයෙන් සිනාසෙනු ඇත.

බලශක්ති අර්බුදයක් පැන නොනැඟෙනු සඳහා රටපුරා ජල සම්පත ප්‍රයෝජනයට ගන්නේ කෙසේද? එතුලින් කර්මාන්ත සංවර්ධනය ඇති කොට ජන ජීවිතය සුඛිත මුදිත කරන්නේ කෙසේද? යන්න පිළිබඳ එතුමන් හෙළිකල දැක්ම හා ආදර්ශය පසු කාලීනව භාවිතාවට ගනිමින් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රමුඛ වෙනත් ජල විදුලි බලාගාර ව්‍යාපෘති රාශියක් ඔස්සේ විදුලිය නිශ්පාදනය වැඩි කරනු ලැබ ඇති නමුත් එය මෙ රට කර්මාන්ත සංවර්ධනයට හා ජන පරිභෝජනයට ප්‍රමානවත් නොවන බවට මැසිවිලි නගනු ඇසේ. පාඩුව පිරිමසනු පිණිස තාප බලාගාර හා ඉන්ධන බලාගාර ඉදි කිරීමේ ව්‍යාපෘති පන ගැන්වෙමින් තිබුණද සාමාන්‍ය පාරිභෝගිකයන්ගේත්, කර්මාන්තකරුවාගේත් විදුලි බිල දැරීමට අසීරු වැයබරක් බවට පත්ව තිබේ. විමලසුරේන්ද්‍ර දැක්ම හා පරාර්ථකාමිත්වය නොකඩවා භාවිතයේ තිබිණි නම් විදුලි බල මණ්ඩලය ඇතැම් නාස්තිකාර නිළධාරීන්ගේ ගසා කෑමට ලක්වන අර්බුද පිරි ආයතනයක් නොවන්නට ඉඩ තිබිණ.

මේ අයුරින් බලන කල වර්තමාන සමාජ  දේශපාලන හා ආර්ථික සන්දර්භය තුල ඩී. ජේ විමලසුරේන්ද්‍රයන්ගේ දැකිම හා පරාර්ථකාමීත්වය වත්මන් දේශපාලන නායකයින්ටත් නිලධාරී පන්තියටත් සපයන්නේ මහඟු ආදර්ශයකි. 

යටත් විජිත පාලන සමයේ ඉපිද සුදු අධිරාජ්‍යවාදී පාලන ව්‍යුහයක් තුල ජනතා නිදහස ස්වාධීනත්වය සඳහා ක්‍රියා කිරීමට විමලසුරේන්ද්‍රයන් සතු වූ ශක්තිය හා ධෛර්ය, නව යටත් විජිතවාදයේ අනේකවිධ බලවේග වලට යටත්ව දේශිය සම්පත් විකුණා දැමීමට පිඹුරුපත් සකසන බෙලහීන දේශපාලන නායකයින්ටත් මුදලට හා ලෞකික සැප සම්පත් වලට ගිජු වූ නිළධාරින්ටත් දෙනු ලබන්නේ අකුල් පහරකි. ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී විටෙක මෙසේ සඳහන් කරයි.

“ජල බලයෙන් විදුලිය සම්පාදනය කිරීමේ ක්‍රමය වුවමනා කරන්නේ එක්තරා අදහසක් පිණිසයි. ඒ අදහස නම් මේ රටින් පිටරටට ඇදී යන විශාල ධනස්කන්ධය මෙහිම නවත්වා ගැනීමයි. මෙකල රටේ සිටින දුප්පතාත්, පොහොසතාත්, කර්මාන්තකාරයාත් යන සියලු දෙනා විසින්ම පාවිච්චි කරන ඉතා සුලු බඩු පවා පිටරටින්ම ගෙන්වා ගැනීමේ සිරිත වේ. නමුත් විදුලි බලය මේ රටේම සම්පාදනය කරගත් වහාම එහි ආධාරයෙන් අපට ඕනෑ කරන සියලුම භාණ්ඩ මෙහිම තනාගත හැකිවේ. එසේ වූ විට අපේ වස්තුව මෙරටම නවතී. ලාබෙටත් පහසුවටත් විදුලි බලය මෙරටම සම්පාදනය කරගත් කළ යස ඉසුරු හා බලය වැඩි වේ. ජල බලයෙන්  විදුලිය සම්පාදනය කිරීමේ කර්මාන්තය උවමනා කරන්නේ එකී අන්දමින් අපේ වස්තු බලය රැක ගැනීම පිණිස බව සැලකිය යුතුය.”

විසි එක් වන සියවසේ ගෝලීය කරන රාමුව තුල විමලසුරේන්ද්‍රයන්ගේ අදහස් අත්‍යන්තයෙන්ම අද දවසට ගැලපිය නොහැකි වුවද සංවර්ධනය වෙමින් පවතින අප වැනි දිළිඳු කුඩා රටකට ජාත්‍යන්තර ප්‍රජාව අතර ගරුත්වයෙන් යුතුව පෙනී සිටීමට වඩාත් ගැලපෙන ආර්ථික දර්ශනය ඉහත සඳහන් නොවන්නේද?

බීමත්කම හා සියදිවි නසා ගැනීම බහුල වන, ඇතිනැති පරතරය දුරස්ථ වන නාස්තිය හා දූෂණය රජකරවමින් දේශපාලකයන් අචල කෙලි කෙලින, නිළධාරීන් හා වැසියන් නිදා සිටින, එකම රටේ සහෝදර ප්‍රජාවන් භූමිය උදෙසා කුලල්කමින් සිටින, මිනීමරු අලුගෝසුවන් දේශපාලනයට පිවිසෙන අපවැනි රටවල නායකත්වය සඳහා සදාචාරාත්මක ප්‍රඥාසම්පන්න මිනිසුන් ඕනෑකර තිබේ.

එවැනි මිනිසුන් තැනීම සඳහා විමලසුරේන්ද්‍ර ශූරීන් දක්ෂ ඉන්ජිනේරුවකු, ජාතියකට එළිය දීමට සමත් දාර්ශනිකයකු හා නායකයකු වුවා පමණක් නොව සංස්කෘත ආදී භාෂා ඥානයන්ද නිපුණ පඬිවරයෙක්ද වූ බව ඔහු විසින් ලියන ලද ඇතැම් පොත්පත් පරිශීලනය කිරීමේදී පැහැදිලි වේ.

“ඕවර්සියර් වරයෙකු වශයෙන් වෘත්තීය ඇරඹු මම එවකට ලාංකිකයෙකුට ලබා ගත හැකිව තිබූ උසස්ම තනතුරු වලට පත් වූයෙමි.” යනුවෙන් විමලසුරේන්ද්‍රයන් තම ජීවිතයේ පශ්චිම භාගයේදී රාජ්‍ය මන්ත්‍රණ සභාව තුලදී උදාන වාක්‍ය කියා ඇත.

විමලසුරේන්ද්‍ර ශ්‍රීමතානන් වැනි අදීන ප්‍රඥාසම්පන්න හා සදාචාරසම්පන්න මිනිසුන් බිහි කිරීමත්, ඔවුන් උසස් තනතුරුවලට පත් කිරීමත් අද යුගයේ අවශ්‍යතාවය වන අතර එය අපගේ වගකීම වී තිබේ.


ගාල්ල ශ්‍රී ලංකා සමාජ සංවර්ධන පදනම විසින් සංවිධානය කරන ලද 2007-09-17 වන දින ගාල්ල නගර ශාලාවේදී පවත්වනු ලැබූ 133 වන දොන් ජයසේන විමලසුරේන්ද්‍ර අනුස්මරණ උත්සවයේදී අධිනීතීඥ ජී. ඒ. සුනිල් ජයරත්න මහතා විසින් පවත්වන ලද ගුණානුස්මරණ දේශණය.

(මෙම ලිපිය 2010 සැප්තැම්බර් මස 17 වන දින ලක්බිම පුවත්පතෙහි පලකරන ලදී.)