‘‘දැන් ජනතාව වෙනස් වෙන්න ඕන‘‘ - අනුර


“ජාතික ජන බලවේගයට බලය ලබාගතත හැක්කේ පොදු ජනතාව ඒ වෙනුවෙන් දක්වන දායකත්වයෙන් විතරයි. අප ඉල්ලා සිටිනවා මේ ජනාධිපතිවරණයේදී අපට බලය ලබාදෙන්න කියලා. ජනතාව මේ දක්වා පාලකයන් වෙනස් කරන්න උත්සාහ කළා. පාලකයන් හොඳ මිනිසුන් බවට පත්කරන්න උත්සාහ කළා. නමුත් වැඩක් වුණේ නැහැ. දැන් ජනතාව වෙනස් වෙන්න ඕනෑ. ඔබ ඒ වෙනස ඔබ තුළ ඇතිකරගෙන ඒ වෙනුවෙන් පාලනයක් ගොඩනඟන්න ඕනෑ. ජනතාව වෙනස්වීම පිළිබඳ ඒ නිර්භීත අධිෂ්ඨානශීලී ක්‍රියාමාර්ගය නොවැම්බර් 16 වැනිදා ජාතික ජන බලවේගයේ ‘මාලිමාව’ ලකුණ ඉදිරියේ ඡන්දය ලකුණු කිරීමෙන් මුලපුරන්න, කියලා අපි ඉල්ලා සිටිනවා.” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර දිසානායක අද (04) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවති ජාතික ජන බලවේගයේ විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැවසුවේය. 


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර දිසානායක පැවසුවේ,

මේ ජනාධිපතිවරණය තීරණාත්මක හැරවුම් ලක්ෂයක් වේවි 

“අපේ රටේ පැවැත්වෙන මේ ජනාධිපතිවරණයේදී තීරණාත්මක හැරවුම් ලක්ෂයක් රටට අත්කරදීමේ හැකියාවක් තිබෙන බව අප සිතනවා. පසුගිය අගෝස්තු 18 වැනි දින ගාලු මුවදොර පිටියේදී ජාතික ජන බලවේගයේ මහජන රැලියක් පවත්වමින් ජනාධිපතිවරණයට තරග වදින බවත් තරග වදින්නේ කවුද යන්නත් ජනතාව හමුවේ ප්‍රකාශයට පත්කළා. එතැන් සිට ගම්නියම් ගම් පුරා යමින් ජනතාව මුණගැසෙමින් කරුණු පැහැදිලි කරමින් ඉන්නවා.

මේ රටේ අද තිබෙන දේශපාලනයේ විකාරරූපී නාඩගම් තත්වයෙන් මුදාගෙන ඉහළට ගැනීම අත්‍යවශ්‍ය වී තිබෙනවා. පහත් පිළිකුල් කළ යුතු දේශපාලන සංවාදය එම තත්වයෙන් මුදාගත යුතුව තිබෙනවා. එය කළ හැකි වැදගත් ස්ථානයක් වී තිබෙන්නේ මේ ජනාධිපතිවරණයේදී දේශපාලන ප්‍රතිපත්ති මූලික කරගත් සංවාදයක් ගොඩනැගීමයි. රටත්, ජනතාවත් හෙළා තිබෙන  දේශපාලන ප්‍රපාතයෙන් ගොඩගත හැක්කේ මේ ප්‍රතිපත්තිමය සංවාදය තුළින් පමණක් බව අපේ විශ්වාසයයි. මේ නිසා ජනාතවගෙන් බලය ලබාගෙන අප ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති කිහිපයක් පිළිබඳව කෙටි හැඳින්වීමක් මේ අවස්ථාවේදී කරනවා.

දේශයේ අපේක්ෂාව 

අප ඉදිරිපත් කර තිබෙන්නේ ‘දේශයේ අපේක්ෂාව’ යනුවෙන් නම් කළ, ශක්තිමත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක්. දුප්පත්භාවයෙන් රටත්, ජනතාවත් මුදාගන්නේ කෙසේද? ඒ වෙනුවෙන් ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමේ වැඩපිළිවෙළක් අපි ඉදිරිපත්කර තිබෙනවා. රටක ආර්ථිකය මනින සියලුම මිනුම්දඬුවලින් මේ වන විට අප පහත්ම අඩියට  තත්වයට වැටී තිබෙනවා.” විශාල ණය කන්ද, විදේශ වෙළඳාමේ බරපතළ හිඟය, රුපියල කඩා වැටීම, රාජ්‍ය ආදායම හීනවීම වගේ හැම පැත්තකින්ම මේ බව තහවුරු වී  තිබෙනවා. ගෙවී ගිය අවුරුදු 71 තුළ සමස්තයක් හැටියට රට දුප්පත්කමේ අන්ත ප්‍රපාතයට වැටී අවසන්. එක යුගයකදී ඉහළ සාධනීය තත්වයන් පෙන්නූ දත්ත පවා අද පතුළටම වැටිලා. එයින් රටත්, ජනතාවත් ඉහළට ඔසවා තැබීම අපේ ආර්ථික ප්‍රතිපත්තියේ මූලික අරමුණයි. මේ වෙනකොට සමෘද්ධි සහනාධාරය ලබන දුප්පත් පවුල් ලක්ෂ 20ක් සිටිනවා. මේ ජනතාවට තිබෙන  මූලිකම ප්‍රශ්නය මුදල් නැතිකම විතරක් නොවෙයි. සමාජයෙන් කොන්වීම, ගෞරවය නැති වීම, සාධාරණ අයිතිවාසිකම් නොලැබීම වගේ තත්වයන් රැසකට මුහුණදී තිබෙනවා.

මේ නිසා මුළු සමාජයම සමස්තයක් වශයෙන් විශාල පීඩනයකින් පසුවෙනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ සමස්ත සමාජයත්, ඒ වගේම ඒ සමාජයේ විශේෂ අවධානය යොමුකළ යුතු සමාජ තීරු පිළිබඳවත් මූලිකත්වයේලා සැලසුම් සකස්කර තිබෙනවා. ආබාධ සහිතවූවන්, රෝගීන්, වැඩිහිටියන්, ළමුන් හා කාන්තාවන් වැනි සමාජ තීරු ගැන විශේෂ අවධානය යොමුකර තිබෙනවා. උදාහරණයක් හැටියට අන්ධ කෙනෙකුට කියවා තේරුම්ගත හැකි පරිදි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයම වාචිකව වෙබ් අඩවියෙන් ශ්‍රවණය කළ හැකි පරිදි සකස් කර තිබෙනවා. අනෙක් පැත්තෙන් අපේක්ෂාභංගත්වයට පත්වී සිටින තරුණ පරපුර එයින් මුදා ගැනීමේ මූලික අවධානය අපේ ප්‍රතිපත්ති තුළ තිබෙනවා. කාන්තාවන් සම්බන්ධයෙන් සහ ළමුන් සම්බන්ධයෙන්ද ඒ වගේමයි. අපේ දරුවන් මේ තරගකාරී අධ්‍යාපන පීඩනයෙන් මුදා ගැනීමේ ව්‍යුහාත්මක අධ්‍යාපන වෙනස්කම් අපි සිදුකරනවා.

ඒ වගේම සෞඛ්‍යය, අධ්‍යාපන, ප්‍රවාහනය වගේ සේවාවන් ලබාගැනීමේ හැකියාව තමන්ගේ පොකට් එකේ තරමට තීරණය කරන රටක් වෙනුවට අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගත හැකි පරිදි රාජ්‍යයේ මැදිහත්වීම සැලසුම්සහගතව යොදවනවා. අද රාජ්‍ය සේවකයාත්, රජයේ සේවය ලබන්නාත් යන දෙදෙනාම අතෘප්තියෙන් ඉන්නේ. ඒ නිසා රාජ්‍ය අංශයේ සේවාවන් පෞද්ගලික අංශයට විකුණා දැමීම වඩාත් හොඳ බවට ජනතාව තර්ක කරන තත්වයකට පත්වෙලා. මේ තත්වයෙන් රාජ්‍ය සේවය මුදාගෙන ජනතාව වෙනුවෙන් සාධාරණ සේවා සැපයීමේ තත්වයට අපි පත්කරනවා.

රාජ්‍ය සේවයේ කඩාවැටීම අපේ අධිකරණ ක්‍රියාවලියෙන් පැහැදිලි වෙනවා 

රාජ්‍ය සේවයේ කඩාවැටීම අපේ රටේ අධිකරණ ක්‍රියාවලියෙන් ඉතාම පැහැදිලි වෙනවා. නඩුවක් විභාග කර තීන්දුව ලබාදීම දීර්ඝ ක්‍රියාවලියක කොටසක්. ඒ අධිකරණ ක්‍රියාවලිය අකාර්යක්ෂම, අලස, ඇල්මැරුණු තත්වයකට පත්වෙලා. මෙහි සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කිරීම අපේ මූලික අරමුණයි.

ඒ වගේම මහජන ආරක්ෂාව තහවුරු කෙරෙන ජාතික සමගිය ගොඩනැගීම, විශේෂ අවධානය යොමු කළ තවත් ක්ෂේත්‍රයක් උතුර-නැගෙනහිර ජනතාව ඇතුළු සිංහල, දෙමළ, මුස්ලිම් හෝ කතෝලික, බෞද්ධ, හින්දු, ඉස්ලාම් භේදයක් නැතිව සහෝදරත්වයක්, සහජීවනයක් සහිත සමාජයක් අපේ රටේ බිහිකළ යුතුයි. ජාතික ජන බලවේගය ගොඩනැගීමට පෙර ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි මේ සම්බන්ධයෙන් විශාල වැඩකොටසක් ක්‍රියාත්මක කරමින් සිටියා. ජාතික ජන බලවේගයට බලය ලබාගතත හැක්කේ පොදු ජනතාව ඒ වෙනුවෙන් දක්වන දායකත්වයෙන් විතරයි. අප ඉල්ලා සිටිනවා මේ ජනාධිපතිවරණයේදී අපට බලය ලබාදෙන්න කියලා. ජනතාව මේ දක්වා පාලකයන් වෙනස් කරන්න උත්සාහ කළා. පාලකයන් හොඳ මිනිසුන් බවට පත්කරන්න උත්සාහ කළා. නමුත් වැඩක් වුණේ නැහැ. දැන් ජනතාව වෙනස් වෙන්න ඕනෑ. ඔබ ඒ වෙනස ඔබ තුළ ඇතිකරගෙන ඒ වෙනුවෙන් පාලනයක් ගොඩනඟන්න ඕනෑ. ජනතාව වෙනස්වීම පිළිබඳ ඒ නිර්භීත අධිෂ්ඨානශීලී ක්‍රියාමාර්ගය නොවැම්බර් 16 වැනිදා ජාතික ජන බලවේගයේ ‘මාලිමාව’ ලකුණ ඉදිරියේ ඡන්දය ලකුණු කිරීමෙන් මුලපුරන්න, කියලා අපි ඉල්ලා සිටිනවා.‘‘ යන්නයි.