මිලේනියම් චැලේන්ජ් ගිවිසුමෙන් ඉඩම් පැවරීමක් වන්නේ නෑ


ජාතික භෞතික සැලැස්ම ඉදිරියට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපදෙස් සහ අනුදැනුම මත සකස් කෙරුණු ජාතික භෞතික සැලැස්ම වඩා වේගයෙන් ක්‍රියාත්මක කිරීම වර්තමාන ආණ්ඩුව මගින් අත්සන් කිරීමට සූදානම් වන සහශ්‍ර අභියෝග සංයුක්ත ගිවිසුම (Millenium Challenge Compact) මගින් සිදු කිරීමට නියමිත ය.

ඉඩම් පැවරීමක් නැත

මේ යටතේ ඇමරිකාවට ඉඩම් පැවරීමක් සිදු නොවේ. එය මහින්ද රාජපක්ෂ පාර්ශ්වය මගින් හිතාමතා ගොතන කතාවකි. මෙමගින් සිදු කෙරෙන්නේ කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා විධිමත් ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීම ය. මේ ආර්ථික කොරිඩෝවට අදාළ කලාපයේ ඇති මුඩු ඉඩම් පෞද්ගලික සමාගම් මගින් සංවර්ධනය කිරීම මේ ගිවිසුමේ මුලික අරමුණ වේ. එම පෞද්ගලික සමාගම් දේශීය මෙන්ම විදේශීය විය හැකිය.

මුඩු ඉඩම් බොරුව

එහෙත් ලංකාවේ හඳුනාගත් මුඩු ඉඩම් නැත. ඇත්තේ ජනතාවට අයිති ඉඩම්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැලෑ ඉඩම්, මහවැලි අධිකාරියට අයත් මහවැලි ඉඩම් සහ මහවැලි ආරක්‍ෂිත ඉඩම්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයිති ඉඩම් ආදී වශයෙන් දැනටමත් වර්ග කරන ලද ඉඩම් ය. එනම් අදාළ ගිවිසුමට අනුව සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට ඇත්තේ මෙම ඉඩම් වලින් කොටස් ය.

කැලෑ ඉඩම් වල ඉරණම

මෑත කාලයේදී රජයේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වැඩියෙන්ම භාවිත කරන ලද්දේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින කැලෑ ඉඩම් ය. මේ කැලෑ ඉඩම් කිසිදු විධිමත් අනුමැතියකින් තොරව භාවිත කරන ලද ව්‍යාපෘති අතර සජිත් ප්‍රේමදාස විසින් මධ්‍යම පරිසර අධිකාරියෙන් කිසිදු විධිමත් පරිසර ඇගයීම් වාර්තාවක් ලබා නොගනිමින් උදා ගම්මාන ඉදි කිරීම දැක්විය හැකිය.

සජිත්ගේ ආදර්ශය

1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 772 / 22 ගැසට් නිවේදනයට අනුව අක්කර දෙක හමාරකට වඩා විශාල රජයේ ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදා ගැනීමේදී, ලිඛිත පරිසර අනුමැතියක් ලබා ගත යුතුය. කැකිරාව, ඉහළගම උදා ගම්මානයට යොදාගෙන ඇති වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් නිදහස් කළ නොහැකි බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිඛිතව දන්වා ඇත. ඒ එම ප්‍රදේශය අතිශය වැදගත් අලිමංකඩක් බව පෙන්වා දෙමින් ය. එහෙත් සජිත් ප්‍රේමදාස දැනුම් දී ඇත්තේ එම අවසරය මායිම් නොකොට, අදාළ ඉදිකිරීම් කරන ලෙසයි.

එසේම හම්බන්තොට, වීරවිල තල් සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩමක උදා ගම්මානයක් ඉදි කිරීමේ තීරණය අත්හිටුවන ලෙස අංක / 15 / 06 / සංස් / හම් / 04 දරන ලිපියෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සජිත් ප්‍රේමදාසට දැනුම් දී තිබේ. එහෙත් එම දැනුම් දීම් නොසලකා අදාළ ඉදිකිරීම් සිදු කරන ලදි.

මෙතනින් ඉදිරියට

මෙවැනි මෑත කාලීන උදාහරණ තිබියදී ඇමරිකා එක්සත් ජනපදය සමග අත්සන් කෙරෙන මෙම ගිවිසුම හරහා අදාළ ඉඩම් පවරා ගැනීම කොතරම් වේගවත්ව සිදු වනු ඇතිද ?

මහින්දගේ ආර්ථික කොරිඩෝව

එසේම අභ්‍යන්තර මාර්ග පද්ධතිය නවීකරණය කිරීම ද මේ ගිවිසුම හරහා සිදු කෙරෙන්නකි. ඒ අදාළ ක්‍රමවේද යටතේ පවරා ගැනෙන ඉඩම් වල සිදු කෙරෙන ආයෝජන ව්‍යාපෘති වල නිෂ්පාදන ප්‍රවාහනය සඳහා ය. මේ මාර්ග පද්ධතිය නවීකරණය ජාතික භෞතික සැලසුම මගින් ඉදිරිපත් කළ ක්‍රමවේදයම ය. මේ ආර්ථික කොරිඩෝව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ සැලසුම් කරන ලද්දකි.

එක් ගිවිසුමක් පමණයි

එම නිසා මේ ගිවිසුම යනු මහින්ද රාජපක්ෂ – රනිල් වික්‍රමසිංහ එකතුවෙන් සකස් කෙරෙන, ඇමරිකානු අවශ්‍යතාවකි. ඇමරිකා එක්සත් ජනපදය සමග අත්සන් කිරීමට නියමිත ආරක්ෂක ගිවිසුම ද මේ ජාතියේම තවත් එකකි. එවැනි ආරක්ෂක ගිවිසුම් දෙකක් ඇමරිකාවෙන් ලංකාවට යෝජනා කෙරිණි. එකක් නම් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාව සිටියදී අත්සන් කළ ACSA ගිවිසුම ය. අනෙක නම් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අත්සන් කිරීමට සැලසුම් කර ඇති SOFA ගිවිසුම ය.

ඇමරිකාවේ සැලසුම්

ඇමරිකාව ආසියානු කලාපය දෙසට හැරුණේ මේ ගිවිසුම් මගින් සිය ආධිපත්‍ය ගොඩනගා ගැනීමේ පූර්ව සැලසුම් ඇති ව ය. දියාගෝ ගාර්ෂියා දූපත හරහා පතුරුවා තිබූ දකුණු මුහුදේ ඇමරිකානු ආධිපත්‍ය පසුගිය පෙබරවාරියේදී ගැටලුවකට මුහුණ දුන්නේය. ඒ, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණය මගින් ඇමරිකාව එහි කටයුතු කිරීම අභියෝගයට ලක් කිරීමත් සමග ය. ඇමරිකා එක්සත් ජනපදයේ පැසිෆික් කලාපීය ඒකාබද්ධ බුද්ධි මෙහෙයුම් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ කාර්ල් ෂුස්ටර් අවධාරණය කර තිබුණේ මේ තත්ත්වය වෙනස් කර ගැනීම සඳහා කඩිනමින් මැදිහත් විය යුතු බවයි. ඉන්දියානු කලාපය ආක්‍රමණය කිරීම කඩිනමින් සිදු කළ යුතු බවද ඔහු පෙන්වා දී තිබිණි.

මහින්ද – රනිල් ජයග්‍රහණය !

එම නිසා ඇමරිකානු ඩොලර් 480 යනු අත්තිකාරම් මුදලක් පමණි. එය මහින්ද – රනිල් හවුල විසින් රටට දිනා දුන් දෙයකි.




- ශාලික විමලසේන - ‘ක්ළම්බු ට්‍රස්ට්‘ වෙබ් අඩවියෙනි