තමන්ගේ එකා රැකීමට අරදින පාර්ලිමේන්තු කමිටුවර්තාව

ජනාධිපතිවරයාගේ සාක්ෂිය තුළින් හෙළිදරව් වන්නේ, කුමක්ද? පොලිස්පති ජයසුන්දරගේ පත්වීම පිටුපස කතානායක කරු ජයසුරිය සිටින බවයි. එම කතානායකවරයාම, පසුගිය අප්‍රේල් මාසයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන විමර්ෂණය කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කරනු ලබයි. එනම්, කතානායකවරයා මෙහිදී ස්වාධීන ලෙස කටයුතු නොකළ බව පෙනේ. එනම්, එහිදී ලබැඳියාවන් අතර ඝ්ටට්ටනයක් ( කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට්) නිරීක්ෂණය කිරීමට හැකිය.


කතුවැකිය


පසුගිය අප්‍රේල් මාසයේදී මුළු ලෝකයම කම්පාවට පත්කරනු ලැබූ ත්‍රස්ත ප්‍රහාරය ගැන විමසීම සඳහා කතානායකවරයා විසින් පත්කරනු ලැබූ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ වාර්තාව ප්‍රසිද්ධ කොට ඇත. 

මේ ගැන, එනම් මහාචාර්යය අශු මාරසිංහගේ වචනයෙන් සඳහන් කළහොත්, සමාජ කතිකාවතක් ආරම්භ විය යුතුය. ඔවුහුගේ කතිකාවත කෙසේ වෙතත්, මෙම කමිටුව විසින් තම පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා කටයුතු කර ඇති ආකාරය පිළිකුල උපදවන සුළුය. ප්‍රහාරයේ ප්‍රධාන වගකීම රාජ්‍යය බුද්ධි අංශය සහ එහි අධ්‍යක්‍ෂකවරයා වෙත පවරා මෙම කමිටුවේ සාමාජිකයින් තම තමන්ගේ අත කෙසේවෙතත් ඔවුහුගේ ශරීරයේ වෙනත් අංග කොටස් ඉතාම හොඳින් සෝදා ගැනීමට උත්සහ දරා ඇත. 


වැල්ලේ ඔලුව ගසා ගත් පැස්බ්රාගේ කතාව හා සමාන දෙයක් මෙම කමිටුවේ අවසන් අස්වැන්නෙන් නිරීක්ෂණය කළ හැකිය. වැල්ලේ ඔලුව ඔබාගත් පැස්බරුන්ගේ අදෝ-ප්‍රදේශය හොඳින් සෝදා ගැනීම සඳහා මහා වැස්සක් ඇදහැළී ඇත. කාලයකට පසු තමන්ට දැනෙන සිසිලස නිසා පැස්බරුන්ට සතුටුය. නමුත් උන් දකින අයවලුන්ට පෙනෙන ඔවුහුගේ හෙළුව නිසා උපදින්නේ අපුලකි. 

මෙවැනි සංවේදී කාරණයක් ගැන රටේ වග කිව යුතු පිරිසක් වන පාර්ලිමේන්තුව සහ පාලක ආණ්ඩුව නියෝජනය කරන පිරිසක් මේ ආකාරයෙන් හැසිරීම විහිළුවක් පමණක් නොව බරපතළ ඛේදවාචකයකි. එසේම ප්‍රහාරයේ ප්‍රධාන වගකීමක් පැවරෙන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා  වන හේමසිරි ප්‍රනාන්දු සහ මේ වන විට වැඩ තහනමට ලක් වී ඇති පොලිස්පති පුජිත් ජයසුන්දර වෙත පැවරෙන මූලික වගකීම, මෙම හාස්‍යය ජනක කමිටුවේ සාමාජිකයින් විසින් ඉතාම සැහැල්ලුවට ගෙන සමස්ථ කාරණය විමසීමට ලක්කොට තිබේ. වක්‍රාකාරයෙන්, එම චූදිතයින්ට සුදු හුණු ගෑමට උත්සහ දරා ඇත. 

කමිටු සාමාජිකයින් ඉදිරිපත් කළ වාර්තාව දෙස බැලීමේදී පෙනී යන්නේ මෙය ප්‍රෝඩාකාරී කමිටුවක් බවයි. එසේම ඇතැම් සාක්ෂිකරුවන් ජනමාධ්‍යයට අවසර නොදී රහස්‍යයව සාක්ෂි ලබා දුන් බව අපි දනිමු.  නමුත් කමිටුව එම සාක්ෂිද ප්‍රසිද්ධ කිරීමට තීරණය කොට ඇත. එම සාක්ෂි සටහන් වල ඇතැම් කොටස් ඉතාම සංවේදී වේ. නීති විශාරදයින් යැයි කියා ගන්නා කිහිප දෙනෙකුම සිටින මෙම කමිටුවේ මෙම කටයුත්ත, යම් කිසිවෙකුගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් සිදු නොකොළ බව තහවුරු කළ යුතුය. යම් කිසිවෙකු, රහස්‍යව සාක්ෂියක් ලබා දෙන්නේ නම්, එම සාක්ෂියේ රහස්‍යය භාවය ආරක්ෂා කිරීමේ වගකීම මෙම කමිටුවේ සාමාජිකත්වය දරණ හාදයින්  දැරිය යුතුය. එය ඉතාම විලිලැජ්ජාසහගත ලෙස මෙම කමිටුව විසින් පැහැර හැර ඇතිබව නිරීක්ෂණය කළ හැකිය. 

අනෙක් පසින්, මෙම කමිටුව, ඔවුන්ගේ වාර්තාව සහ එකතුකරගත් සාක්ෂි සියල්ලම ප්‍රසිද්ධ කිරීම මඟින් රටේ ආරක්ෂාවට තබා මෙම සාමාජිකයින් නියෝජනය කරන දේශපාලන පක්ෂවලටවත් සෙතක් සිදුවන්නේ නැත. කාගේ හෝ වුවමණවක් හෝ දැවෙන ආශාවක්  සංතෘප්ත කිරීමට, කමිටු සාමාජිකයෝ වෙහෙසී ඇති ආකාරයක් ඔවුන්ගේ වාර්තාවෙන් නිරීක්ෂණය කළ හැකිය. ජනාධිපතිවරණයක් පැවැත්වීමට දින කිහිපයක් තිබියදී මෙම අන්දමන්ද කමිටුව විසින් රටේ ජාතික ආරක්‍ෂාවට අදාල ව්‍යුහය සහ එහි අඩුපාඩු ලිඛීතව නිරුවත් කොට විපක්ෂ දේශපාලන කණඩායම් වලට වැරෙන් පහරදීම සඳහා පහසු පන්දුවක් ලබා දී ඇත. දැන් ඇත්තේ විපක්ෂ දේශපාලන කණඩායම් වල අපේක්ෂකයින් තම පිත්ත නිවැරදිව හැසිරවීම පමණි. 

රටේ, ජාතික ආරක්ෂක ව්‍යුහයේ  පවතින අඩුපාඩු විභාග කිරීම හෝ විශ්ලේෂණය කිරීම අවුලක් නැත. නමුත් ඒ ගැන සිදුකරන ප්‍රසිද්ධ කිරීම් ඉතාම ප්‍රවේශමෙන් සිදු කළ යුතුය. රටේ මාෆියා කාරයින්ගේ සහ දේශපාලන බලය අනිසි ලෙස භාවිතා කරන පාදඩ හොරුන්ගේ පැටිකිරිය තමන්ගේ යට ඇඳුම්වල ඔබා ගෙන සිටින මෙම හාදයින් ජන ජීවිතය යන්තමින් හෝ ආරක්ෂා කිරීමට දායක වන නිලධාරීන්ගේ ඇඳුම් ගැලවීමට උත්සහ කිරීම අප්‍රසන්න අත්දැකීමකි. 

වැදගත් මිනිසුන්, මෙවැනි කාරණා සමග ගනුදෙනු කළයුත්තේ මේ අකාරයෙන් නොවේ. අඩුම තරමින් මෙවැනි කාරණා ගැන කටයුතු කරන ආකාරය ගැන, අල්ලපු රට වන ඉන්දියාවෙන් හෝ ඉගෙන ගත යුතුය. ඉන්දියාවේ මුම්බායි නුවර එල්ල වූ ප්‍රහාරයෙන් පසුව සහ අනෙකුත් ප්‍රධාන ත්‍රස්ත ප්‍රහාර වලින් පසුව එම රටේ පරිපාලන ව්‍යුහය හැසිරුණු ආකාරය ගැන හැදෑරිය යුතුය. එවිට, රටක් ආරක්‍ෂා කිරීම උදෙසා වූ වගකීම සහ මහජන ආරක්ෂාව සඳහා කටයුතු කළ යුතු අකාරය ගැන වැටහීමක් ලැබෙනු ඇත. තමන් විසින් සිදුකළ යුතු "හෝම් වර්ක්"  පසෙකලා, රාජකාරිය සිදු කරන නිලධාරීන් නිරුවත් කොට වීදි දිගේ දිවීමට සැලැස්වීම කළ හැක්කේ, අන්තවාදයෙන් සහ ත්‍රස්තවාදයෙන් වාසි ගන්නා අයවලුන්ට පමණි. එහෙව්, අරමුණු ඇති  හාදයින් මේ කමිටුවේ සිටින්නේ දැයි දන්නේ ඔවුහුගේ හෘදයසාක්ෂිය පැමිණි. 

ඉතාම දීර්ඝ වාර්තාවේ සඳහන් එක කාරණයක් ගැන පමණක් මෙහිදී සලකා බලමු. සැබැවින්ම එහිදී සලකා බැලිය යුතු කරුණු රාශියක් තිබේ. ආරක්ෂක කවුන්සලයට පොලිස්පතිවරයා කැඳවීම නොකළේ මන්ද යන්න ගැන, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඇසුවිට ඔහු දුන් අපූරු උත්තරය සාක්ෂි සටහන් කිරීම් වල සඳහන් කොට ඇත. ජයසුන්දර මහතා, රැස්වීම වලදී කොණක වාඩි වී තම ජංගම දුරකථන දෙක කොට කොටා ඉන්නවා හැරෙන්නේට කිසිම වැදගත් කාරණයක් කෙරෙහි අවදානය යොමුකොට නැත. එසේම, සාක්ෂියට අනුව, ජනාධිපතිවරයා, ජසුන්දර, පොලිස්පති වීමට අකමැති වූ අයෙකි. මන්ද එම ධූරයට සුදුසු පුද්ගලයා වෙනත් නිලධාරියෙකි. නමුත් කතානායක කරු ජයසුරියගේ ඉල්ලීම මත ඊට කැමැත්ත පල කොට ඇත්තේ, ජනාධිපතිවරයාට පොලිස්පති පත් කිරීමේ තනි බලයක් නැති හෙයිණි. 

මෙම සාක්ෂිය තුළින් හෙළිදරව් වන්නේ, කුමක්ද? පොලිස්පති ජයසුන්දරගේ පත්වීම පිටුපස කතානායක කරු ජයසුරිය සිටින බවයි. එම කතානායකවරයාම, පසුගිය අප්‍රේල් මාසයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන විමර්ෂණය කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කරනු ලබයි. එනම්, කතානායකවරයා මෙහිදී ස්වාධීන ලෙස කටයුතු නොකළ බව පෙනේ. එනම්, එහිදී ලබැඳියාවන් අතර ඝ්ටට්ටනයක් ( කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට්) නිරීක්ෂණය කිරීමට හැකිය.

අවසානයේදී මෙසේ සඳහන් කළ හැකිය. රටේ අනෙකුත් බුද්ධි අංශ රාශියක් තිබියදී ඒවායේ සාමාජිකයින් දහස් ගණනක් මහජන මුදලින් නඩත්තු කළද ඔවුන් වෙත කිසිඳු චෝදනාවක් හෝ උපදේශයක් ලබා නොදී, තම රාජකාරිය සිදු කිරීමේ වරදට කිසිවකුට හෝ ඇඟිල්ල දිගු කරන්නේ නම්, ප්‍රවේශම් විය යුත්තේ එම ඇඟිල්ල දිගු කරන්නන්ගෙන්ය. 

ඉතින් මහත්තුරුනේ, ඔබලාම පිළිගන්නා ලෙස ත්‍රස්ත ප්‍රහාරය යනු සමස්ථ සමාජයේ සාමුහික අසමත්බාවය ඔප්පුකරන සිදුවීමකි. ඊට ඔබලාද වගකිව යුතුය. එය එක් අයෙකු මත පැවරෙන වගකීමක් නොවේ. එම මූලික කාරණයට පිටු පාමින්, රාජකාරිය සිදුකළ නිළධාරීන් වෙත ඇඟිල්ල දිගු කිරීමට උත්සහ කිරීම විලිලැජ්ජා නැති වැඩකි. රටට අගතියකි. ඔබ ඔබලාගේ අසමත්බව හෝ කැතකම ප්‍රසිද්ධ කිරීමකි. 

ජනාධිපතිවරයාගේ සාක්ෂියේ කොටස් කිහිපයක් පහතින් දැක්වේ;