ජනපති අපේක්ෂකයින්ට සමාජ ක්‍රියාකාරීන්ගෙන් ලිපියක්


මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ අවධානයට ලක්විය යුතු සුවිශේෂී කරුණු කීපයක් ගැන සඳහන් කරමින් මාධ්‍යවේදී දේශපාලන විශ්ලේෂක කුසල් පෙරේරා ඇතුළු සිවිල් සංවිධාන නියෝජනය කරන පුරවැසියන් වෙතින් ලිපියක් හෙට (14) දිනයේදී  ඔවුන් වෙත යොමුකිරීමට නියමිතය. 

විනිවිදභාවයෙන් යුතු පාලනයක් ඇතිකිරීම, මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කමිටු වලට සහභාගීවීමෙදී ගෙවන දීමනා කප්පාදු කිරීම, වර්ගවාදී ප්‍රචණ්ඩත්වය පැතිරූවන්ට නඩු පැවරීම ආදිය මේ ඉල්ලීම් අතරට ඇතුළත්ය. 

මෙම ඉල්ලීම් වලට ජනාධිපති අපේක්ෂකයින් ලබාදෙන ප්‍රතිචාර නොපමාව තමන් වෙත යොමුකරන ලෙස ද ඔවුන් ඉල්ලා සිටියි. 


එක්සත් ජාතික පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂක
සජිත් ප්‍රේමදාස 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක
ගෝඨාභය රාජපක්ෂ 

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක 
අනුර කුමාර දිසානායක 

හිතවත් අපේක්ෂක තුමනි,

''මෙය ඔබ වෙත අප යොමු කරන්නේ, මෙවර නොවැම්බර 16 වන දින ජනාධිපතිවරණයෙන් තෝරා පත් කෙරෙන නව ජනාධිපතිට ආණ්ඩුව සමග හවුලේ කටයුතු කිරීමට සිදුවන බැවින්, යහපත් අනාගතයක් වෙනුවෙන් තමන්ගේ ඉල්ලීම් ජනාධිපති අපේක්ෂකයින් වෙත ඉදිරිපත් කරන්නට ඡන්දදායකයින්ට අයිතියක් ඇතැයි යන විශ්වාසය සමගින්ය.

ඔබ හැම දූෂණයෙන් තොර පිරිසිදු පාලනයක්ද, නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන බවටද, විනය ගරුක සමාජයක් හදන බවටද, සියල්ලන්ට නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන බවටද පොරොන්දු දෙනු අපි අසා සිටියෙමු. ව්‍යවස්ථාවට අනුව අමාත්‍ය ධූරයක් ඉසිළීමට ඔබට නොහැකි වූවද, ඔබ දෙන පොරොන්දු වෙනුවෙන් ඔබ ඡන්දදායකයාට වගකිව යුතු වන්නේය.

ඉහත පොරොන්දු සියල්ල ඔබ ජනතාවට ඉදිරිපත් කරන්නේ ඒවා සාර්ථකව ඉටු කළ හැකි යැයි විශ්වාසයක් ඇතිව නම්, පහතින් අප ගොනු කරන ජනතා ඉල්ලීම්ද ඉටු කිරීමට ඔබට හැකි විය යුතුය. එබැවින් මෙය ලැබී දෙසතියක් ඇතුළත එම ඉල්ලීම් ගැන ඔබගේ අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන මෙන් පුරවැසියන් හා ඉදිරි ජනාධිපතිවරණයේ ඡන්දදායකයින් ලෙස පහතින් නම් සටහන් කළ අපි ඉල්ලා සිටිමු.

අපගේ ඉල්ලීම් මෙසේ ය.
01. දූෂණයෙන් තොර පිරිසිදු පාලනයක් දිගින් දිගටම පොරොන්දුවන අපේක්ෂකයෙකු ලෙස ඔබගේ මැතිවරණ අරමුදල, ඊට දායකවූවන් සහ අදාල සියලු තොරතුරු නොපමාව ප්‍රසිද්ධ කිරීමේ සදාචාරාත්මක අයිතියක් ඔබට ඇත. එබැවින් එම තොරතුරු වහා ප්‍රසිද්ධ කරන මෙන්ද, ඔබ තේරී වුවහොත් සති 06 ක් ඇතුළත අපේක්ෂකයින්ගේ මැතිවරණ අරමුදල් පිළිබඳ සියලු තොරතුරු නාමයෝජනා බාරදී සතියක් ඇතුළත ප්‍රකාශයට පත් කිරීම අනිවාර්ය කෙරෙන ලෙස නීති සම්පාදනය කරන මෙන්ද ඉල්ලමු.

02. වත්කම් හා බැරකම් නීතියෙහි ඇති අපැහැදිලිකම් හේතුවෙන් නාමයෝජනා බාරදීමේදී තමන්ගේ හා තම පවුලේ වත්කම් හා බැරකම් ප්‍රකාශ බාරදීම අපේක්ෂකයින්ට අනිවාර්ය නොවන්නකි. එනමුත් පාරදෘශ්‍යභාවය, යහපාලනය මේ ජනාධිපතිවරණයේ ප්‍රධාන තේමාවන් වන හෙයින් ඔබගේ හා ඔබගේ පවුලේ වත්කම් හා බැරකම් විස්තර වහා ප්‍රකාශ කරන මෙන්ද, ඔබ තේරී පත් වුවහොත් ඊළග පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම එකී පනතේ ඇති අඩුපාඩු ඉවත්කර විගණනය කෙරුණු වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ ප්‍රකාශ ලෙස නාමයෝජනා සමගින් බාරදීම අනිවාර්ය කෙරෙන සංශෝධන සම්මත කරන මෙන් ඉල්ලමු.

03. සියලු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සැසි වාර වලට සහභාගිවීම සඳහාත් පාර්ලිමේන්තුවේ සියලු කමිටු වලට සහභාගිවීම සඳහාත් සහභාගිවන දින වෙනුවෙන් දීමනාවක් ගෙවනු ලැබ්. එවගේම, විශ්‍රාමික වැටුපක් සමග රුපියල් 54,285 ක මාසික වැටුපකට අමතරව, නොමිලේ ලිපිද්‍රව්‍ය, කාර්යාලයක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක්, ඉන්ධන දීමනාවක්, මාසික දුර කතන ගාස්තු ලෙස රුපියල් 50,000 ක්, වසර 05 ට වරක් බදු රහිත වාහනයක්, සහනාධාර මිලකට පාර්ලිමේන්තුවේ ආහාර වැනි බොහෝ සහන ඇත. කාර්යාලයක් පවත්වා ගන්නේද නැතිද යන්න මන්ත්‍රීවරයාගේ හෝ මන්ත්‍රීවරියගේ ස්වාධීන දේශපාලන තීන්දුවක් වන හෙයින් ඒ සඳහා කුලී ගෙවීමේ අවශ්‍යතාවක් නැත. පාර්ලිමේන්තු සැසි වාර සහ කමිටු වෙනුවෙන් වෙනම දීමනා ගෙවන්නේ නම් වැටුපක් අවශ්‍ය නැත. එබැවින් ඔබ තේරී පත් වුවහොත් මෙම “සහභාගිවීම්” වෙනුවෙන් ගෙවන සියලු දීමනා සහ කාර්යාල කුලිය නවතා දැමීමට අවශ්‍ය නීතිමය පියවර වහා ගන්නා මෙන් ඉල්ලමු.

04. මන්ත්‍රීවරුන් වරදාන හා පෞද්ගලික වාසි වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පිල් මාරු කිරීමෙන් ඔහුව හෝ ඇයව තෝරා පත් කළ ඡන්දදායකයින්ගේ නියෝජනය අහෝසි වන්නේය. එළෙසින්ම ඔවුහු මූලික හා මානව හිමිකම් කඩ කෙරෙන අණ පනත් සඳහාද ඡන්දය පාවිච්චි කරන අතර, දූෂණ හා වංචා වලටද හවුල් වෙති. ජාතිවාදි ආගම්වාදි වෛරී දේශපාලනයකට යොමු වෙති. ඡන්දදායකයා හෑල්ලු කෙරෙන ලෙසද හැසිරෙති. එවැනි මන්ත්‍රීවරුන් ඉවත්කර ඒ වෙනුවට නැවත නියෝජිතයෙකු තෝරා පත් කර ගැනීමේ අයිතිය ඡන්දදායකයාට ව්‍යවස්ථානුකූලව ලැබිය යුත්තකි. ඒ වෙනුවෙන් ඡන්දදායකයින්ට තම දිස්ත්‍රික්කයේ එවැනි මන්ත්‍රීවරයෙකු හෝ මන්ත්‍රීවරියක ඔවුන් තීන්දු කරන අවස්ථාවකදී ඉවත්කර වෙනකෙකු පත් කිරීමේ අයිතිය තහවුරු කෙරෙන ලෙස ඔබ තේරී පත් වුවහොත් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශ කිරීමට පෙර අවශ්‍ය ව්‍යවස්ථා හා නීති සංශෝධනය කරන මෙන් ඉල්ලමු. 

05. සියලු අපේක්ෂකයින් ඒකීය ශ්‍රී ලංකාවක් තුල බලය බෙදීමටත් ආගම් හා වාර්ගික භේදයකින් තොරව සියල්ලන් ශ්‍රී ලංකාවේ සමාන පුරවැසියන් ලෙස පිළිගන්නා බවත් පොරොන්දු වෙති. ඒවා යතාර්ථයක් බවට පත්කර ගැනීමේ කිසිදු නිශ්චිත වැඩපිළිවෙලක් නොමැතිව එම පොරොන්දු මීට ඉහතින්ද මැතිවරණ වලදී දෙනු ලැබිණ. එනිසාම, බලය බෙදීම පිළිබඳව නිශ්චිත යෝජනා සමගින් ඔබගේ වැඩපිළිවෙල, එය ක්‍රියාවට නගන්නාවූ කාල සටහනක්ද සමගින් ඉදිරි දෙසතිය ඇතුළත ප්‍රකාශයට පත්කරන මෙන්ද, දිගන, මිනුවන්ගොඩ, කුලියාපිටිය වැනි ප්‍රදේශවල මුදා හැරුණු වර්ගවාදී ආගම්වාදී ප්‍රචණ්ඩත්වයට වගකිව යුතු සංවිධාන වහා තහනම්කර, කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ශාෆිට එරෙහිව අභූත චෝදනා මත නඩු පැවරීමට උත්සාහ කළ සියල්ලන්ට එරෙහිව වහා නීතිමය පියවර ගන්නා බවටත් ප්‍රකාශ කරන මෙන් අපි ඉල්ලමු. 

06. දේශගුණික විපරියාස ගෝලීය වශයෙන් පමණක් නොව අපටද බරපතල අර්බූදයකි. නිරන්තර නාය යෑම්, ගංවතුර, භූමි කාදන, තද නියඟ ප්‍රධාන වශයෙන් වන විනාශයේ ප්‍රතිපල වේ. පසුගිය වසර 05 ක සාමාන්‍ය වන විනාශය සියයට 1.4 ක් විය. පාසල්වල ගෙවතුවල මහ මාර්ගවල පැල සිටුවීම මේ නොනවතින වන විනාශයට විසඳුමක් නොවේ. මීට වසර 25 ට ඉහතින් අපගේ වන ආවරණය භූමි ප්‍රමාණයෙන් සියයට 36.4 ක් විය. දැන් එය සියයට 27 ක් යැයි කියන නමුත් ඊට අඩු විය හැකිය. එබැවින් මැතිවරණයට අවම සති 02 ට පෙර වන වගාවට හා කලමනාකරණයට ජනතා කේන්ද්‍රීය වැපිළිවෙලක් ඉදිරිපත් කරන මෙන්ද, ඔබ තේරී පත් වුවහොත් සති 06 ක් ඇතුළත එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මෙන්ද ඉල්ලමු.

මේ සඳහා ඔබගෙන් ලිඛිත ප්‍රතිචාාරයක් නොපමාව බලාපොරොත්තු වන අතර එය ඉහත් ලිපිනයට හෝ මෙහි සඳහන්  kusal.journalist@gmail.com  විද්‍යුත් තැපෑලට යොමු කරන මෙන් ඉල්ලමු.'' 

ස්තුතියි.
මෙයට විශ්වාසි, 

01. කුසල් පෙරේරා - මාධ්‍යවේදී දේශපාලන විචාරක
02. හසන්ත ගුණවීර - සමාජ ක්‍රියාකාරී
03. අරුණ කුලතුංග
04. ෆසාල් මුෂින්
05. මහාචාර්ය සසන්ක පෙරේරා
06. ගාමිණි වියන්ගොඩ
07. ලීලසේන විනාස මේස්ත්‍රි
08. පරාක්‍රම නිරිඇල්ල
09. මහේෂ ත්‍රිමාන්න
10. රුකි ප්‍රනාන්දු
11. වෛද්‍ය අමිල මදුරාගොඩ
12. චන්ද්‍රසේන මාලියද්ද
13. ඇන්ටන් මාකස් වෘත්තීය සමිති නායක 
14. විජයානන්ද ජයවීර
15. ආචාර්ය විජය ජයතිලක
16. සුගත් අමරසේකර - අධ්‍යක්ෂ, ග්ලෝබල් සේල්ස්
17. වසීර් සවුර්ජා
18, සුමිකා පෙරේරා
19. ප්‍රදීප් ජයරත්න
20. ආචාර්ය කෞශල්‍යා පෙරේරා
21. මහාචාර්ය අජිත් අබේසේකර
22. අනුෂයා කොල්ලුරේ
23. රීසා යෙහෙයියා
24. මොහමඞ් නවුෂාඞ් මොහිඩීන්
25. එච්. දොන් සුමනරත්න
26. මහාචාර්ය ජයන්ත සෙනවිරත්න
27. ජෙහාන්කි ආනන්දා
28. ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන්
29. අම්රිත් මුතුකුමාරු - සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරී
30. සුනන්ද දේශප්‍රිය
31. ෆිලිප් සේතුංග
32. ලක්ෂ්මන් ආදිහෙට්ටි
33. මුතුලිංගම් පෙරියසාමි
34. පී. සෙල්වරත්නම්
35. ජොආන් සෙන්
36. එෆ්. සකාරියා - අධ්‍යක්ෂ, මුස්ලිම් කාන්තා පර්යේෂණ හා ක්‍රියාකාරී සංසදය
37. අශෝක බන්දුල වීරවර්ධන - කොළඹ විශ්ව විද්‍යාලීය අධ්‍යන සේවය
38, වෛද්‍ය ප්‍රෙසාදිකා ගුණසේන
39. කන්දයියා රාජදුරෙයි
40. බෙනට් රත්නායක