නවෝත්පාදනයත් සමග තොරතුරු යළි භාවිතය





- විජයානන්ද ජයවීර - 


තොරතුරු යළි භාවිතයට (information reuse) සැකසීම නවෝත්පාදනයක් ලෙස

පොදු අධිකාරි සතු ව පවත්වා ගෙන යන තොරතුරු සංචිත වලට ප්‍රවේශ වීමේ පුරවැසි අභිප්‍රාය මූලික ව මෙහෙය වෙන්නේ පොදු අධිකාරි වල තිබිය යුතු පාරදෘෂ්‍යභාවය සහ වගවීම වැනි සමාජීය අරමුණු සාක්ෂාත් කිරීම පදනම් කොට ගෙනයි. එහෙත් ආර්ථික වශයෙන් පල දායක පැතිකඩක් ද ප්‍රගාමී තොරතුරු අනාවරණයේ තිබේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් ප්‍රගාමී තොරතුරු අනාවරණය නිසා පොදු අධිකාරි භාරයේ ඇති කර්තෘ භාගයෙන් මුක්ත වූ තොරතුරු උකහා ගෙන යළි සකසා වඩා ආකර්ෂණීය දැනුම වඩන නවෝත්පාදන වශයෙන් එළි දැක්වීමට නිර්මාණශීලී ව්‍යවසායකයන්ට අවස්ථාව සැලසේ.

ඒ සඳහා යොදා ගත හැකි තොරතුරු අතරට පොදු අධිකාරි විසින් තම රාජකාරි හා මහජන සේවා කටයුතු පිණිස එකතු කර ගනු ලබන දත්ත හා තොරතුරු මෙන් ම සංඛ්‍යා ලේඛන ආයතන, සංස්කෘතික ආයතන, ලේඛන සංරක්ෂණ ආයතන වැනි පොදු ආයතන විසින් එකතු කර පවත්වා ගෙන යන විවිධ තොරතුරු සංචිත ද අයත් වේ. ජන සංඛ්‍යා, ආර්ථික සහ කාලගුණික දත්ත වල සිට සිතුවම්, ඓතිහාසික ලියැවිලි ඈ දක්වා බහුවිධ පරාසයකට අයත් වන මේ තොරතුරු ආකර්ෂණීය අධ්‍යාපනික හා සංස්කෘතික භාණ්ඩ වශයෙන් ප්‍රතිනිෂ්පාදනය කිරීමට ව්‍යවසායකයන්ට හැකිය. මේ අනුව වඩා පුළුල් ජනතාවක් වෙත අධ්‍යාපනික හා සංස්කෘතික දැනුම ගෙන ආ හැකි ප්‍රභවයක් ලෙස ප්‍රගාමී තොරතුරු අනාවරණය සැලකිය හැකිය. තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ගැසට් කළ 19 වැනි රෙගුලාසියට අනුව පනතට අනුකූලව පොදු අධිකාරියක් විසින් අනාවරණය කරන ලද ඕනෑම තොරතුරක් කර්තෘ භාගයෙන් හා පරම අයිතියකින් මුක්ත ව නිරන්තරයෙන් යළි භාවිතා කිරීමට ඉඩ දිය හැකිය.

ප්‍රගාමී ප්‍රකාශන විධික්‍රම

මුද්‍රිත ප්‍රකාශන, ගැසට් ප්‍රකාශ, ගුවන් විදුලි සහ රූපවාහිනී නිවේදන වල සිට අන්තර්ජාලය උපයෝගී කර ගත් වෙබ් අඩවි දක්වා විවිධාකාර මාර්ග ඔස්සේ පොදු අධිකාරියකට සිය ප්‍රගාමී තොරතුරු ප්‍රකාශනය සිදු කළ හැක.

මින් පෙර නොවූ විරූ ආකාරයට තොරතුරු බෙදා හැරීම ඉහළ නැංවීමට අන්තර්ජාලයට අද හැකි වී තිබේ. පසුගිය වසර අවසන් වන විට අප රට වැසියන්ගෙන් 30% කට රැහැන් ගත මාර්ග හා ජංගම දුරකථන ඔස්සේ අන්තර්ජාලයට පිවිසිය හැකි විය. හැරත් ශ්‍රී ලංකාවේ හැම රටවැසියන් සියයකට ම ජංගම දුරකථන 131ක් දක්වා ජංගම දුරකථන සේවා උපයෝජ්‍යතා දර්ශකය ඉහළ ගොස් තිබේ . දුරකථන සේවාදායකයන් විසින් කල් තබා අය කිරීමේ ක්‍රමයට සපයන සෑම ජංගම දුරකථන සිම් පත්‍රයක් ම නිකුත් කරන්නේ අන්තර්ජාලයෙන් දත්ත බාගැනීම සඳහා ද ඒවා යොදා ගත හැකි අන්දමිනි. වඩා හොඳ අන්තර්ජාල සේවයක් ජංගම දුරකථන ඔස්සේ ලබා දී විශාල ග්‍රාහකයන් සංඛ්‍යාවක් ග්‍රහණය කිරීමේ අරමුණින් ජංගම දුරකථන සේවා සපයන්නෝ සිය 4G ආවරණ කලාප ආක්‍රමණශීලී ලෙස පුළුල් කරමින් සිටිති. ඒ අනුව දත්ත පරිහරණය කළ හැකි ජංගම දුරකතනයක් හිමි හැම පුරවැසියෙකුට ම නිශ්චිත දත්ත සැලසුමකට දායක නොවී වූ වද අන්තර්ජාලය භාවිතා කිරීමට හැකි වී තිබේ.

අන්තර්ජාල වෙබ් අඩවි පවත්වා ගෙන යන බොහෝ පොදු අධිකාරි ඒවා සිය අභිමතය පරිදි තෝරා බේරා ගත් ආයතනික තොරතුරු පමණක් ප්‍රචාරණය කිරීම සඳහා යොදා ගන්නා බව පෙනේ. එනිසා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ගැසට් කර ඇති 20 වැනි රෙගුලාසියට අනුව ප්‍රගාමී ලෙස තොරතුරු ප්‍රකාශයට පත් කිරීම සඳහා එම වෙබ් අඩවි භාවිතා කිරීමේ සැලකිය යුතු විචල්‍යතාවක් ඇති බව දක්නට ලැබේ. පොදු අධිකාරි 55ක ප්‍රගාමී තොරතුරු අනාවරණය තක්සේරු කිරීම පිණිස 2017 දෙසැම්බරයේ දී වෙරිටේ සමීක්ෂණ ආයතනය විසින් කරන ලද සමීක්ෂණයක් විසින් පෙන්වා දෙනු ලබන පරිදි අනාවරණය කළ යුතු යැයි නියම කර ඇති තොරතුරු ප්‍රවර්ග අතර මෙන් ම ආයතන අතරත් කළ සංසන්දනයක දී ප්‍රගාමී තොරතුරු අනාවරණය සඵලදායක කර ගැනීමට විවිධාකාර සීමා ඇති බව පෙනේ.

ආයතනික වෙබ් අඩවි

ආයතනයක වෙබ් අඩවියක් යනු එම ආයතනයේ පොදු මුහුණුවර ලෙස හැඳින්විය හැකිය. වෘත්තීය ස්වරූපය පිළිබිඹු කරන, ප‍්‍රයෝජනවත්, නිරන්තරයෙන් යාවත්කාලීන වෙන, අනාවරණීයශීලි වෙබ් අඩවියකින් නිරූපණය වන්නේ සිය කටයුතු ගැන මහජනතාව දැනුවත් කිරීමට එම වෙබ් අඩවිය හිමි ආයතනය දක්වන අභිලාෂයයි. වෙබ් අඩවිය භාවිතා කරන පුරවැසියන්ට එහි අඩංගු කර ඇති බොහෝ තොරතුරු තමන්ට අභිමත භාෂාවෙන් ලබාගැනීමට හැකි විය යුතු ය. එවැනි වෙබ් අඩවි වලට යළි යළිත් පිවිසීමට පුරවැසියන් පොලඹවන හේතු අතර අඩවියේ සෞන්දර්යාත්මක ආකර්ෂණය, ආයතනයේ මෙහෙවර පැහැදිලිව වෙබ් අඩවියෙන් සාධාරණීකරණය කර තිබීම සහ නිරන්තරයෙන් යාවත්කාලීන වන අන්තර්ගතය ද වැදගත් වෙයි. ශ්‍රව්‍ය, දෘෂ්‍ය බහුමාධ්‍ය, චලන චිත්‍ර, ග්‍රාපික චිත්‍රණ ආදිය යොදා ගැනීම මගින් වෙබ් අඩවියේ අන්තර්ගතය මැනවින් තේරුම් යන ලෙස සරල ව ඉදිරිපත් කළ හැකිය. එමෙන්ම වෙබ් අඩවියට පිවිසෙන්නන්ට අදාළ කරුණු සම්බන්ධයෙන් චැට් සම්භාෂණ, අන්තර්ජාල සංසද හා සම්මන්ත්‍රණ වැනි අන්තර්ක්‍රියාකාරී කටයුතු සංවිධානය කිරීමට හා ඒවාට සහභාගි වීමට ඇති හැකියාව ද අඩවියේ පළ වෙන නව තොරතුරු සම්බන්ධයෙන් ඊමේල් හරහා ග්‍රාහකයන්ට නිරන්තරයෙන් දැනුම් දීමට හැකි වීම ද වැදගත් ය.

පොදු අධිකාරීන් විසින් පවත්වා ගෙන යන වෙබ් අඩවි විල අන්තර්ගතයේ ඇතැම් සංකීර්ණ කොටස් සාරාංශ, සම්පිණ්ඩන හා නිරන්තරයෙන් අසන ප්‍රශ්න ආදී වශයෙන් හඳුන්වා දීම මගින් වඩා සරල ව මහජනතාවට ඉදිරිපත් කළ හැකිය. වෙබ් අඩවිය පරිහරණය කරන්නන්ට එම අඩවියේ ඇති විවිධ අන්තර්ගත කොටස් වල සංයුක්ත බව හා ප්‍රයෝජනය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම ට හැකි වන අන්දමට එ් ඒ අන්තර්ගත කොටස් වලට අදාල ව අන්තර්ගත ඇගයුම් ක්‍රමයක් ද හඳුන්වා දිය හැකිය. එමෙන්ම ආයතනය මගින් පවත්වන විවිධාකාර විවෘත රැස්වීම් සම්මන්ත්‍රණ ආදියට ආයතනික වෙබි අඩවිය ඔස්සේ සජීවි ලෙස සවන් දීමට හා ප්‍රතිචාර දැක්වීමට පුරවැසියන්ට හැකි වීම ද ආයතනික විවෘතභාවය හා ආයතනයේ කටයුතු සම්බන්ධයෙන් පුළුල් අවධානයක් ලබා ගැනීමට සඳහා ද වැදගත් වේ. වෙබ් අඩවිය සිය තොරතුරු යාවත්කාලීන කරන හැම විටක ම ඒ පිළිබඳ කෙරෙන දැනුම් දීමක් ඊමේල් මගින් ජනමාධ්‍ය කරුවන් වෙත ඉබේ යොමු කරන ක්‍රමයක් අනුගමනය කළ හැකිය. මන්ද අලුත් ම තොරතුරු දැන ගැනීම පිණිස ජනමාධ්‍යකරුවන් ආයතනික වෙබ් අඩවි උපයෝගී කර ගැනීම නිරන්තරයෙන් වැඩි වෙමින් පවතින බැවිනි.

පොදු මූලෝපායක් කරා

මහජනතාවගේ මූලික අයිතියක් ඉටු කර දීමට ඉඩ සැලසීම යනු ඒ සම්බන්ධ වගකීම දරන්නන් විසින් එම අයිතිය මහජනතාවට සතුටුදායක ලෙස භුක්ති විඳීම පිණිස අවශ්‍ය කෙරෙන ප්‍රතිපත්ති, විධිවිධාන ආදිය ස්ථාපිත කොට ඒවා ක්‍රියාත්මක කිරීමට අවැසි සම්පත් ලබා දීමයි. ඒ අර්ථයෙන් ගත් විට රාජ්‍ය අංශයේ සියලු පොදු අධිකාරිවල ප්‍රගාමී තොරතුරු අනාවරණය වැඩිදියුණු කළ හැකි සමස්ත මූලෝපායක් රජයට තිබිය යුතු ය. තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීම මගින් ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන විවෘතභාවය, පාරදෘෂ්‍යභාවය සහ වගවීම වැනි මූලික ප්‍රතිඵල රාජ්‍ය අංශයේ ප්‍රගාමී තොරතුරු අනාවරණය සාර්ථක කිරීම පිණිස එවැනි වැටහෙන සුලු රාජ්‍ය මූලෝපායක් පිළිබඳ අවශ්‍යතාව අතිශයින් සාධාරණීකරණය කරයි. ප්‍රගාමී තොරතුරු අනාවරණය සම්බන්ධයෙන් පොදු අධිකාරි විසින් එදිනෙදා ඉටු කරනු ලැබිය යුතු වගකීම් මොනාවාදැ’යි තොරතුරු පනතේ 8 වැනි හා 9 වැනි වගන්ති වල සඳහන් වන අතර එම පනත යටතේ ම ‘ප්‍රගාමී තොරතුරු අනාවරණය’ යන මැයෙන් ගැසට් කරන ලද අංක 20 දරණ රෙගුලාසියේ ද සවිස්තර කර දී තිබේ. එකී රෙගුලාසියට අනුව පොදු අධිකාරීන් අවම වශයෙන් ප්‍රවර්ග 16 කට අයත් තොරතුරු ප්‍රගාමී ලෙස ප්‍රකාශයට පත් කළ යුතු ය.

එහෙත් ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය විසින් සෘජු ව මෙහෙයවන පොදු එළඹුමකට අනුගත වීමකින් හා නිශ්චිත මග පෙන්වීමකින් තොරව, අසමමිතික ලෙස අන්තර්ජාලය යොදා ගැනෙන, අභිමත පරිදි ප්‍රගාමී අනාවරණය සම්බන්ධයෙන් විවිධාකාර එළඹුම් අනුගමනය කරන පොදු අධිකාරී සම්භාරයක් මගින් කරනු ඇතැ’යි බලාපොරොත්තු වන ප්‍රගාමී තොරතුරු අනාවරණයක සාර්ථකත්වයක් මැන බලන්නේ කෙසේ ද?

ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ මෙහෙයවීම අනුව මූලික එළඹුම වශයෙන් අංක 20 දරණ රෙගුලාසියට අනුව ප්‍රවර්ග කර ඇති තොරතුරු තාර්කික ලෙස අනුපිළිවෙළකට යොමු කරන පොදු ප්‍රකාශන පටිපාටියක් (Publication Scheme) උපයෝගී කර ගැනීමෙන් සියලු පොදු අධිකාරීන් එවැනි මූලෝපායක් ඔස්සේ පෙළගස්වා ගැනීම ආරම්භ කළ හැකිය. තොරතුරු ලබාගැනීමේ පනත් මැනවින් ක්‍රියාත්මක වෙතැ ’යි සැලකෙන රටවල් ගණනාවක් ප්‍රගාමී ලෙස ප්‍රකාශ කෙරෙන තොරතුරු සංවිධානය කර ගැනීමට හා විස්තර කර දීමට මේ අන්දමේ ප්‍රකාශන පටිපාටි හඳුන්වා දී තිබේ.








සබැඳි ලිපි