අධි චෝදනා ඇති අය මැතිවරණ වලට එපා




 - වික්ටර් අයිවන් - 


අවසානයක් නැති ගෝඨාගේ නෛතික ප්‍රශ්න 

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ තමන් ඉදිරියේ තිබුණු එක් නීති කඩුල්ලක් ජයගෙන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනාද භාරදීමට සමත් විය. නීති කඩුල්ල ජයගැනීම ඔහුගේ ආධාරකරුවන් අතර ලොකු උද්දාමයක් ඇති කිරීමට හේතුවී ඇතත්, ගෝඨාභයගේ නෛතික ප‍්‍රශ්න එම නඩුවෙන් අවසන් නොවන බව බොහෝ දෙනකු තේරුම් ගෙන නැත.

ගෝඨාභයගේ නෛතික ප‍්‍රශ්නය පහසුවෙන් අවසන් නොවන විස්තීරණ ප‍්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. ද්විත්ව පුරවැසිභාවය ඔහුට ලැබී තිබෙන්නේ අසාමාන්‍ය තරම් වේගයකිනි. අයදුම්පතට අවශ්‍ය අනුමැතිය ජනාධිපතිගෙන් ලැබී ඇතත්, ඊට අදාළ පූර්ව ක‍්‍රියාදාමය විධිමත්ව සිදුවූ බව සනාථ වූයේ නැත. ඔහුගේ අයදුම්පතට අදාළ ලියකියවිලි කිසිවක් ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව නැති බව තහවුරු විය. ජනාධිපති අනුමැතිය ද්විත්ව පුරවැසිභාවයට අදාළ ක‍්‍රියාදාමයක එක අවස්ථාවක් පමණය. එම ක‍්‍රියාදාමය නීත්‍යනුකූල විය හැක්කේ ඊට අදාළ අනෙක් ක‍්‍රියාදාමයද නීතියට අනුකූලව විධිමත්ව සිදුවී ඇත්නම් පමණය.

පැමිණිල්ල සීඅයිඞී පරීක්ෂණයේ සමහර තොරතුරු මිස, සියලූ තොරතුරු දැන නොසිටි බවද පෙනෙන්නට තිබේ. ගෝඨාගේ හැඳුනුම්පතට අදාළ ලියවිලි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තිබී නැතත්, අයදුම්පතට අදාළ ලොග් සටහන් පොතක් සොයාගෙන තිබුණි. ඒ බව පැමිණිල්ල දැන සිටි බවක් පෙනෙන්නට නැත. ඉදිරිපත් කළ අයදුම්පතේ පිටපතක්ද සීඅයිඞීය සොයා ගෙන තිබුණි. එම අයදුම්පතේ ගෝඨා තමන් හඳුන්වාගෙන තිබුණේ පරිගණක ඉංජිනේරුවකු ලෙසය. ගෝඨාගේ පළමු ජාතික හැඳුනුම්පත (491724021V) ඇමරිකන් පුරවැසිභාවය ලබාගැනීමත් සමග අහෝසි විය. ඉන්පසු ඔහු 2016 වසරේදී අලූත් ජාතික හැඳුනුම්පතක් (19491721001) ලබාගෙන ඇතත්, 2017, 2018 හා 2019 යන වර්ෂ සඳහා මැතිවරණ නාමලේඛනයේ ලියාපදිංචි වී තිබෙන්නේ අලූත් හැඳුනුම්පතෙන් නොව පරණ හැඳුනුම්පතෙනි. ඒ බවද පැමිණිල්ල දැන සිටි බවක් පෙනෙන්නට නැත.

අධි චෝදනා ඇති අය මැතිවරණ වලට එපා 

මගේ මතය අධි චෝදනා තිබෙන කිසිම පුද්ගලයකුට මැතිවරණවලට තරග කිරීමට ඉඩ නොදිය යුතුය. එය දේශපාලන ක‍්‍රමය දූෂ්‍ය කිරීමට හේතුවේ. ජනාධිපති ධුරය වැනි උසස් තනතුරක් සඳහා අධි චෝදනා ඇති පුද්ගලයෙකු නාමයෝජනා ලබා දුන් අවස්ථාවක් අසන්නට ලැබෙන්නේම නැති තරම්. ලංකාවේද එවැනි දෙයක් සිදුවන පළමු අවස්ථාව මෙය ලෙස සැලකිය හැකිය.

අධි චෝදනා තිබෙන පුද්ගලයකු රජයේ උසස් තනතුරකට තබා පහළම තනතුරකටවත් බඳවා ගන්නේ නැත. රජයේ සේවයේ යෙදී සිටියදී කිසියම් පුද්ගලයකුට අධි චෝදනා එල්ල වන අවස්ථාවකදී ඔහුගේ වැඩ තහනම් කරන ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක වේ. අධි චෝදනාවලදී රජයේ සේවකයන් සම්බන්ධයෙන් එවැනි දැඩි පිළිවෙතක් ක‍්‍රියාත්මක වේ නම් අධි චෝදනා ඇති අයට මැතිවරණවලට තරග කරන්නට ඉඩ හැරීම සාධාරණ විය හැක්කේ කෙසේද?

එම අධි චෝදනා දේශපාලන පළිගැනීමේ පදනමක් මත නිර්මාණය කළ අධි චෝදනා ලෙස සලකන්නේ නම් තමා ජනාධිපතිවරණයට තරග කරන්නට බලාපොරොත්තු වන අපේක්ෂකයකු ලෙස සලකා එම නඩු ඉක්මනින් විභාග කොට අවසන් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිය යුතුව තිබුණි. ඒ මගින් ජනාධිපතිවරණයට පෙර තමන්ගේ නිර්දෝෂීභාවය තහවුරු කොට ගත යුතුව තිබුණි. මෙම වැරදි පූර්වා දර්ශය ලංකාවේ මැතිවරණ ක‍්‍රමයට එකතු කරන කළු ලපයක් බවට පත්වනු නොවැළැක්විය හැකිය.

පැවැත්වෙන ජනාධිපතිවරණය ජයගන්නේ කවරෙකු වුවද ඔහුගේ ජයග‍්‍රහණය ඔහු නියෝජනය කරන පක්ෂයට පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ලැබෙන වාසිදායක තල්ලූවක් වෙනවා හැරුණු විට එය ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට විසඳුමක් වන්නේ නැත.

ලංකාවේ අර්බුදය

ලංකාව තිබෙන දූෂිත, පරපීඩාකාමී, අවලස්සන ක‍්‍රමයේ ගැඹුරු වෙනසක් ඇතිකර ගන්නා තැනකට යායුතුව තිබුණේ අභ්‍යන්තර යුද්ධය අවසන්වීමත් සමගය. ඒ වනවිට සමාජ ක‍්‍රමය තිබුණේ මුළුමනින් අවුල් වී බිඳ වැටුණු තත්ත්වයකය. රාජ්‍ය හා එහි ආයතන ක‍්‍රමය තිබුණේද උපරිම මට්ටමකට දූෂිත වූ අකාර්යක්ෂම තත්ත්වයකය. සමාජ ක‍්‍රමයේ හා රාජ්‍යයේ පැවති එම අවලස්සන තත්ත්වයෙහි ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතුවන ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණවලින් තොරව ලංකාවට එක අඩියක්වත් යා නොහැකි බව තේරුම් ගැනීමට අභ්‍යන්තර යුද්ධය ජයගත් නායකයා සේ ම එම ආණ්ඩුවද අසමත් විය. ප‍්‍රභාකරන් ජීවතුන් අතර සිටි කාලයේදී පවා නොතිබුණු තරම් ලොකු අර්බුදයකට ඒ නිසා රට තල්ලූ වූ අතර මහින්ද රාජපක්ෂ පාලනය පරාජය වූයේද එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ඉන්පසු බලයට පත්වන යහපාලන ආණ්ඩවුද බොරු ප‍්‍රතිසංස්කරණ සඳහා කාලය ගත කළා මිස ඇත්ත ප‍්‍රතිසංස්කරණවලට ගියේ නැත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් තිබුණු අර්බුදය වඩා විශාල අර්බුදයක් බවට පත්කිරීමට හේතුවිය.

ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණය මේ අර්බුදයට විසඳුමක් වන්නේ නැත. ලංකාව මුහුණ දී තිබෙන මෙම අතිවිශාල විස්තීරණ අර්බුදය විසඳා ගැනීමට හැකිවනු ඇත්තේ කුණුවී තිබෙන සමස්ත ක‍්‍රමයේ පූර්ණ වෙනසක් ඇති කිරීමට හේතුවන ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණ වැඩසටහනකට රට යොමු කිරීමෙන් පමණය.

එම ප‍්‍රතිසංස්කරණ වැඩසටහනේ එක් වැදගත් අරමුණක් විය යුත්තේ ජාතිය ගොඩනගා ගැනීමය. තවත් වැදගත් අරමුණක් විය යුත්තේ දූෂණයෙන් කුණුවී ජරාජීර්ණ තත්ත්වයකට පත්ව තිබෙන රාජ්‍ය හා එහි ආයතන ක‍්‍රමය ප‍්‍රතිනිර්මාණය කරගැනීමය.

ජාතිය ගොඩනගා ගැනීම

නූතන ජාතික රාජ්‍යයේ යහපැවැත්මට නූතන ජාතිය නැතිවම බැරි කොන්දේසියක් ලෙස සැලකිය හැකිය. දීර්ඝ යටත්විජිත තත්ත්වයක තිබූ රටක් නිදහස දිනාගැනීමේ ක‍්‍රියාදාමය තුළ නූතන ජාතියද ගොඩනගා ගත යුතුය. ඉන්දියාව නිදහස දිනාගැනීමේදී එම ඓතිහාසික අවශ්‍යතාවද සම්පූර්ණ කළේය. එහෙත් ලංකාව බලවත් උත්සාහයකින් නිදහස දිනාගත් රටක් ලෙස සැලකිය නොහැකිය. එය තෑගි වශයෙන් ලැබුණු නිදහසක් මිස සටන් කොට ලබා ගත් නිදහසක් නොවීය. ඒ නිසාම නිදහස දිනාගැනීමේ අරමුණ සඳහා නූතන ජාතිය ගොඩනගා ගැනීමක් අවශ්‍ය නොවූ අතර නිදහස දිනාගැනීමෙන් පසුද ජාතිය ගොඩ නගා ගැනීමක් සිදු නොවීය.

ජාතිය ගොඩනගා ගැනීම යන්නෙන් අදහස් කෙරෙන්නේ වර්ග, කුල, ආගම් භේදවලට තිබෙන පිළිගැනීම අහිමි කොට එම සාධක මත ප‍්‍රචණ්ඩ ගැටුම් ඇතිවීමට ඉඩක් නැති ආකාරයට එම කාණ්ඩ තුනට අයත් ජනයාට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබාදෙන ආකාරයට සමාජය සමගි කොට ඒකාග‍්‍ර කිරීමය. ලංකාව අවුරුදු 30ක් තරම් දීර්ඝ කාලයක් බිහිසුණු ප‍්‍රචණ්ඩ ගැටුම්වලින් යුතු මහා පරිමාණයෙන් ලේ හලන රටක් බවට පත්වූයේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ප‍්‍රචණ්ඩ ගැටුම් නිසා දීර්ඝකාලීන වශයෙන් පැවති අශීලාචාර වටපිටාව සමාජ ක‍්‍රමය තවදුරටත් අවුල් කොට විකෘති කිරීමට හේතුවීමෙන් නොනැවතී රාජ්‍ය හා එහි ආයතන ක‍්‍රමයද දූෂිත කිරීමටත් විකෘති කිරීමටත් හේතුවිය.

අභ්‍යන්තර යුද්ධය ජයගැනීමෙන් පසුව සමාජ ක‍්‍රමයේ හා රාජ්‍යයේ ඇතිවී තිබූ විකෘතීන් හා පරිහානිය නැති කිරීමට හේතුවන ලෙස සමාජ ක‍්‍රමය හා රාජ්‍ය විධිමත් හා ක‍්‍රමවත් කිරීමට හේතුවන ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණ ඇති නොකිරීම නිසා සමාජ ක‍්‍රමයේ හා රාජ්‍යයේ පරිහානිය වේගවත් කොට බිඳ වැටීමේ ක‍්‍රියාවලියද අලූත් වටයකින් වේගවත් කිරීමට හේතුවිය.

අවස්ථාව අත්හැරීම

අභ්‍යන්තර යුද්ධය ජයගැනීමෙන් පසු ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණවලට යමින් සමාජය හා රාජ්‍යය ප‍්‍රතිනිර්මාණය කරගන්නා තැනකට ගියේ නම් ලංකාවේ කතාව බොහෝ වෙනස්වන්නට ඉඩ තිබුණි. එසේ වී නම් දැන් බුල්ඩෝසර් කරනු ලැබූ තත්ත්වයක තිබෙන දෙමළ දුක්ගැනවිලිවලට සේ ම අන් අයගේ සැබෑ දුක්ගැනවිලිවලටද සව්නදෙමින් නැවත වර්ගය, කුලය හා ආගම මුල් කරගත් ගැටුම් ඇති නොවන තත්ත්වයක් ඇතිකර ගැනීමට හේතුවන ලෙස ලාංකේය ජාතිය ගොඩනගා ගන්නට හැකිවන්නට ඉඩ තිබුණි. එසේ නොකිරීම නිසා සිංහල, දෙමළ භේදය තාවකාලිකව යටපත් වී සිංහල මුස්ලිම් භේදය ඉස්මත්තට ආවේය.

ඒ සඳහා මතවාදී තලය සකස් කෙරෙමින් තිබුණේ සිංහල වර්ගයා තුළ මුස්ලිම් වර්ගයා කෙරෙහි පිළිකුළක් සේ ම වෛරයක් ඇති කිරීමට හේතුවන ආකාරයටය. ඒ සඳහා ප‍්‍රසිද්ධ කෙරුණු කිසිදු සත්‍ය පදනමක් නැති ප‍්‍රබන්ධ කතා සිංහල ජනයා විචාරයකින් තොරව පිළිගන්නා බවක් ද පෙනෙන්නට තිබුණි.

පළමු ලොකු පිපිරීම සිදුවූයේ 2014 ජූනිවලදී අලූත්ගම හා බේරුවලිනි. පහරදීම්වලින් මුස්ලිම් පුද්ගලයන් සිවුදෙනකු මරණයට පත්වූ අතර එම පහරදීම්වලින් මුස්ලිම්වරුන්ට අතිවිශාල දේපළ හානියක්ද සිදුවිය. ඉන්පසු දෙවැනි විශාල පිපිරීම සිදුවන්නේ මහ නුවර දිගන ආශ‍්‍රිත ප‍්‍රදේශවලටය. පුද්ගලයන් දෙදෙනකු මරණයට පත්වූ අතර මුස්ලිම්වරුන්ට විශාල දේපළ විනාශයක්ද සිදුවිය.

බිහිසුණු මුස්ලිම් ත‍්‍රස්තවාදයක පැවැත්ම ලංකාවට පළමුවරට අත්දකින්නට ලැබෙන්නේ කතෝලික දේවස්ථාන ගණනාවක් හා සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කරගනිමින් පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන පහරදීම් නිසාය. කතෝලික මුස්ලිම් ගැටුමක් ඇතිවීම වළකා ගැනීමට කතෝලික පල්ලිය සමත් වුවත් එම ඛේදවාචකය සිංහල මුස්ලිම් භේදය උපරිම මට්ටමට වර්ධනය කිරීමට හේතුවිය. හලාවතින් ආරම්භ වූ පහරදීම් වයඹ පළාතේ ස්ථාන කිහිපයක් දක්වා පැතිර ගියද එය රට පුරා පැතිර යන දෙයක් බවට පත්වන්නට සිංහල සමාජය ඉඩ දුන්නේ නැත. ඉන් පෙනෙන්නේ රටේ පැවති අර්බුදය සිංහල වර්ගයාගේ පරිකල්පනයේ කිසියම් ප‍්‍රමාණයකට හෝ යහපත් වෙනසක් ඇති කිරීමට හේතුවූ බවය.

පුපුරන සුළු තත්ත්වය

දැන් සමාජය තිබෙන්නේ වර්ගය, කුලය හා ආගම යන ඕනෑම සාධකයක් ඕනෑම මොහොතක පිපිරීම් ඇතිවිය හැකි අවුල්සහගත තත්ත්වයකය. සැප්තැම්බර් අවසාන සතියේ දිනක අපවත් වූ මුලතිව් ගුරුකන්ද විහාරයේ විහාරාධිපතිගේ ආදාහන උත්සවය ආශ‍්‍රයෙන් ඇතිවූ බෞද්ධ හින්දු ගැටුම ඒ සඳහා දැක්විය හැකි හොඳ නිදර්ශනයකි. මේ විහාරය පිහිටා තිබුණේ මුලතිව්හි ප‍්‍රකට කෝවිලක් වන පුල්ලෙයාර් කෝවිල් භූමියේය. විහාරය ඉදිකර තිබුණේ යුද්ධය පැවති කාලයේදීය. සාමාන්‍යයෙන් කෝවිල් භූමිවල ආදාහන කටයුතු සිදුකරන්නේ නැත.

විහාරාධිපතිගේ අවන් කටයුතු කෝවිල් භූමියේ සිදුකරන්නට සූදානම් වන බව පෙනුණු විට කෝවිලේ අධිපතීන් එය වළකන අධිකරණ නියෝගයක් ලබාගෙන තිබුණු අතර අධිකරණය විහාරාධිපතිගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා අවට සුදුසු භූමියක්ද නියම කර තිබුණි.

මෙම ආරාවුලට නායකත්වය දෙන ලද්දේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු දකුණෙන් එහි ගිය බොදු බල සේනාවේ හිමිවරුන් කණ්ඩායමක් විසිනි. ඒ හිමිවරුන් කණ්ඩායම අධිකරණය ලබාදී තිබූ නියෝගය නොසලකා කෝවිල් භූමියේ තෝරා ගත් ස්ථානයක අවසන් කටයුතු සිදුකරන ලදි. අධිකරණ නියෝගය පෙන්වා එසේ කිරීම වළකන්නට උත්සාහ කළ නීතිඥයකු ඇතුළු දෙමළ තරුණයන් දෙදෙනකුටද පහර දෙන ලදි. එහි සිටි පොලිසිය ක‍්‍රියා කළේද අධිකරණය දෙන ලද නියෝගවලට අනුකූලව නොව ඥානසාර හිමියන් දෙන ලද නියෝගවලට අනුකූලවය. ඥානසාර හිමියන් ඇතුළු එහි ගිය හිමිවරුන් පමණක් නොව පොලිසියද එහිදී අධිකරණ නියෝගය නොසලකා ක‍්‍රියා කළේය. රට අරාජික වී තිබෙන තරම කොතරම්ද යන්න ඒ අනුව සිතාගත හැකිය.

වැරදිලාවත් මේ සිද්ධියට දෙමළ ජනතාව කි‍්‍රයාකාරී ලෙස මැදිහත් වී නම් එය ලොකු ඛේදවාචකයකින් කෙළවර වන්නට ඉඩ තිබුණි. මේ සිද්ධියට විරෝධය පළකිරීම සඳහා උතුරේ නීතිඥයන් දින හතරක් උසාවි කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින ලද අතර නීතිඥයන් ඔවුන් පවත්වාගෙන ගිය වර්ජන පිළිවෙත අත්හරින ලද්දේ නීතිපති මැදිහත් වී සාධාරණය ඉටු කරන බවට සහතික වීමෙන් පසුවය.

රාජ්‍යයේ ඇතිවී තිබෙන කුණුවීම

සමාජ ක‍්‍රමයේ පවතින මෙම අවුල්සහගතභාවය තවදුරටත් පල්වෙන්න ඉඩ නොහැර ඉක්මනින් විසඳා ගතයුතු ප‍්‍රමුඛ වැදගත්කමක් ඇති දෙයක් ලෙස සලකා ඒ සඳහා විසඳුම් ලබාදෙන තැනකට රට යා යුතුය. ඒ සමග රටේ රාජ්‍යය තිබෙන්නේද දූෂණයෙන් හොඳටම කුණුවී උපරිම මට්ටමකට බෙලහීන වූ තත්ත්වයක බව තේරුම් ගැනීමටද අවශ්‍ය වන්නේය. එයද ලංකාව කල් නොයවා විසඳාගත යුතුව තිබෙන ප‍්‍රධාන ප‍්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය.

රාජ්‍යයේ ඇතිවී තිබෙන කුණුවීම හා බිඳ වැටීම ගෝඨාභයගේ නඩු විභාගය ආශ‍්‍රයෙන්ද තේරුම් ගත හැකිය. පෙත්සම කැඳවූ අවස්ථාවේදී ආගමන විගමන පාලකයා වෙනුවෙන් පෙනී සිටි රජෙයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින්පුල්ලේ මහතා ගෝඨාභය රාජපක්ෂගේ විදේශ ගමන් බලපත‍්‍රය සම්බන්ධ අයදුම්පත් හා ලියවිලි ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව නැති බව කියා සිටියේය. ජාතික ආරක්ෂාවට අදාළ ඉතා වැදගත් ආයතනයක් ලෙස සැලකිය හැකි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පවතින අවුල්සහගත හා දූෂිත තත්ත්වය ඒ ආශ‍්‍රයෙන් කිසියම් ප‍්‍රමාණයකට හෝ තේරුම් ගත හැකිය.

දැන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විදේශ ගමන් බලපත‍්‍ර නිකුත් කරනු ලබන්නේ ඒ සඳහා තනා ගන්නා ලද අලූත් පරිගණක පද්ධතියක් යටතේය. ඒ අනුව කිසිම හොරයක් හෝ බොරුවක් සිදුවීමට ඉඩ නැති බවද ප‍්‍රකාශ විය. මීට පෙර ගමන් බලපත‍්‍රයක් ලබාගැනීමේදී ග‍්‍රාමසේවක සහතිකයක්ද, ඡායාරූපය සමග එම ඡායාරූපයේ සිටින පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු කරන සහතිකයක්ද අවශ්‍ය වූ අතර හඳුන්වා දී තිබෙන අලූත් ක‍්‍රමය ඒ සඳහා කිසිවකුගේ සහතික අවශ්‍යවන්නේ නැත. ගමන් බලපත‍්‍රය ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන සියලූ ලියවිලිද අයදුම්කරුට ආපසු භාරදෙනු ලැබේ.

ඒ මගින් ආගමන විගමන දෙපාර්තමේන්තුව පරණ ක‍්‍රමය යටතේ ව්‍යාජ ගමන් බලපත‍්‍ර නිකුත් කිරීමට බලපෑ සම්බාධක තිබුණේ නම් ඒ සියල්ල ඉවත් කොට දූෂණයට තිබෙන ඉඩ උපරිම ප‍්‍රමාණයකට විවෘත කරන ක‍්‍රමයකට යොමුවී තිබෙන්නේ යැයි කිව හැකිය. අලූත් පරිගණක පද්ධතියකට මාරුවීමෙන් පසුත් ව්‍යාජ හැඳුනුම්පත් නිකුත් තිබෙන බවට පැහැදිලි සාක්ෂි තිබෙන්නේය.

මෙය ආගමන විගමන දෙපාර්තමේන්තවට පමණක් ආවේණික තත්ත්වයක් නොව රජයට ආදායම් එකතු කරන හැම ප‍්‍රධාන ආයතනයකම පාහේ දක්නට තිබෙන අවලස්සන තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.

වරද හා හේතු

මා පරිගණක විශේෂඥයකු නොවෙමි. එහෙත් කාට බොරු කළද පරිගණකවලට බොරු කළ නොහැකිය. පරිගණකයක් හෝ පරිගණක පද්ධතියක් හරහා කෙරෙන දූෂණ හා වංචා පරිගණකය හෝ පරිගණක පද්ධතිය පිළිබඳව කෙරෙන විගණනයකින් පහසුවෙන් සොයා ගත හැක.

දැන් ඕනෑම ක්ෂේත‍්‍රයක් සඳහා යොදාගත හැකි තනා නිම කළ සහ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස වෙනස් කරගත හැකි වංචාවන් හා දූෂණයන්ට ඉඩක් ඇත්තේම නැති ලෝක මට්ටමෙන් පිළිගැනීමට හේතුවී තිබෙන පරිගණක පද්ධති තිබෙනමුත් ලංකාවේ රාජ්‍යය ආයතන යොදා ගන්නේ කිසියම් ආයතනයක් ලවා හදාගන්නා පරිගණක පද්ධතීන්ය. ඒ සඳහා කරන වියදම සමහර විට ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිලදී ගත හැකි දියුුණුම පරිගණක පද්ධතියකට කළ යුතු වියදමට වඩා විශාලය. අපි අපේ විශේෂ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිගණක පද්ධතියක් හදාගත යුතුයි කියන ගාම්භීර පාඨයට මුවාවී දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් බොහෝ විට හදාගෙන තිබෙන්නේ තමන්ගේ දූෂිත අවශ්‍යතාවන්ට ගැළපෙන පරිගණක පද්ධතීන්ය.

එක කාර්යයක් වෙනුවට එකිනෙකට වෙනස් කාර්යයන් විශාල සංඛ්‍යාවක නිරත වන රට පුරා විහිදුණු සුපර් මාර්කට් විශාල සංඛ්‍යාවක් සමග එකිනෙකට වෙනස් විවිධ නිෂ්පාදන ආයතනද පවත්වාගෙන යන ජෝන් කීල්ස් වැනි සමහර සමාගම් ඒ සියලූ ආයතනවල කටයුතු සිදුකරන්නේ එකම පරිගණක පද්ධතියක් (SAP) යොදා ගනිමිනි. ඕනෑම අවස්ථාවක ඒ සියලූ ආයතනවල විකිණීම්, මිලදී ගැනීම්, තිබෙන තොග, ලාභ අලාභ පිළිබඳ විස්තර පරිගණක පද්ධතිය මෙහෙයවන ස්ථානයේ සිටින අයට ලබාගත හැකිය. මොනයම් හෝ තැනක වරදක් සිදුවී ඇත්නම් එයද පහසුවෙන් දැනගත හැකිය. පුද්ගලික අංශයේ ප‍්‍රධාන පෙළේ සමාගම් පවත්වාගෙන යන පරිගණක පද්ධතීන් ඉතාමත් කාර්යක්ෂමය. විවිධ පුද්ගලයන්ට වංචා කිරීමට හෝ දත්ත වෙනස් කිරීමට ඉඩක් ඇත්තේම නැති තරම්ය. එහෙත් විශාල ආදායම් උපයන ගණයට වැටෙන රජයේ ආයතනවල ඇති පරිගණක පද්ධති අකාර්යක්ෂම සේ ම දූෂිතය.

විශාල වශයෙන් රජයේ ආදායම් එකතු කරන ආයතනවල පාවිච්චි කරන පරිගණක පද්ධතිවල තිබෙන මේ දෝෂය පරිගණක පද්ධති ක‍්‍රමය විගණනයකට ලක් කිරීම මගින් පහසුවෙන් හඳුනාගත හැකිය. ඒ ආශ‍්‍රයෙන් සිදුවී තිබෙන දූෂනවලට හා වංචාවලට වගකිවයුතු සියලූ නිලධාරීන්ද හඳුනාගත හැකිය. වැරදි කර තිබෙන ඒ සියලූදෙනාට දැඩි දඬුවම් දෙන හා ඒ ආයතනවල පාවිච්චි කරමින් තිබෙන පරිගණක පද්ධති ක‍්‍රමය වෙනස් කිරීමෙන් මොනව පුද්ගලයකුටවත් පරිගණක පද්ධතියට ඇතුළු වි මොනම වෙනසක් කිරීමටවත් ඉඩක් නැති පරිගණක පද්ධති ක‍්‍රමයකට මාරුවීමෙන් රජය උපයන ආදායමේද ලොකු විපර්යාසයක් ඇති කළ හැකිය. ඒ මගින් රජයේ ආයතනවල සිදුවන දූෂණය අවම කළ හැකි වනවා සේ ම ඒවායේ ක‍්‍රියාකාරීත්වයද කාර්යක්ෂම කළ හැකිය.

අසමත්භාවය ජය ගැනීම

දැන් ලංකාවේ රාජ්‍යය තිබෙන්නේ අකාර්යක්ෂම දූෂිත හා අසමත් තත්ත්වයකය. ඒ තත්ත්වයෙහි ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතුවන ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණවලට යා හැකිවනු ඇත්තේ සමස්ත රාජ්‍යයේ ක‍්‍රියාකාරීත්වය ගැන විස්තරාත්මකව කරුණු සොයා බලන තැනකට රට යොමු කිරීමෙනි. ප‍්‍රධාන කොට ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය හා රජයට බදු ආදායම් එකතු කරදෙන ආයතන ගැන සොයා බලන තැනකට යා යුතුය. ආරම්භයේද වැදගත් හැම අංශයක් ගැනම සොයා බලන තැනකට යායුතුය. අධ්‍යාපනය, සෞඛ්‍යය, මගී ප‍්‍රවාහනය, බලශක්තිය, කසළ කළමනාකරණය, පරිසරය වැනි අංශ ගැන සොයා බලන තැනකට යා යුතුය.

එහෙත් එවැනි විස්තීරණ ප‍්‍රතිසංස්කරණ වැඩසටහනකට නායකත්වය දීමේ ඇත්ත හැකියාවක් පාර්ලිමේන්තුවට නැත. පාර්ලිමේන්තුව තිබෙන්නේ උපරිම මට්ටමක දූෂිත වූ, අකාර්යක්ෂම හා හොඳ සිහිය අහිමි කරගත් තත්ත්වයකය.

පූර්ණ විපර්යාසයක් සඳහා වන වැඩසටහනක් සාර්ථක ලෙස ආරම්භ කිරීමට හැකිවනු ඇත්තේ මහජන ව්‍යවස්ථා සම්පාදනයකට රට යොමු කිරීමෙන් පමණය. මහජන ව්‍යවස්ථා සම්පාදනයක් හෝ සහභාගි ව්‍යවස්ථා සම්පාදනයක් යන්නෙන් කුමක්ද කියා ලංකාවේ බොහෝ දෙනකු දන්නේ නැත. එය රටක පවතින සමස්ත ක‍්‍රමය වෙනස් කරගැනීම සඳහා සාර්ථක ලෙස යොදා ගත හැකි පිළිගත් හා විධිමත් ක‍්‍රමයක් ලෙස සැලකිය හැකිය. එවැනි වැඩසටහනක ප‍්‍රමුඛ බලය ලෙස සැලකිය හැක්කේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් නොව, මහජනයාය. මහජන ව්‍යවස්ථා සම්පාදනයක අරමුණ ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ අරමුණට සීමා නොවී, සමස්ත ක‍්‍රමයගැන කරන කරුණු සොයා බැලීමකට යමින් සමස්ත ක‍්‍රමය වෙනස් කිරීමට හේතුවන ව්‍යවස්ථා සම්පාදනයක යෙදීමය.



සබැඳි පුවත්