චීනයේ මනාලියන් ජාවාරම


චීනයේ එක් දරු ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස චීන තරුණයින් අසල්වැසි රටවලින් සහකාරියන් ආනයනය කරන තත්ත්වයට පත්ව තිබෙන බවත් මේ නිසාම මිනිස් ජාවාරම දැඩිව ක්‍රියාත්මක වන බවත් 'නිව්යෝර්ක් ටයිම්ස්' අනාවරණය කරයි. 

චීනයට ස්ත්‍රී පුරුෂ අසමතුලිතතාවයේ උච්චතම අවස්ථාවකට මුහුණදෙන්නට 2004 වසරේදී සිදුවූ අතර සෑම  ගැහැණු ළමයින් 100 දෙනෙකුටම සාපේක්ෂව පිරිමි ළමුන් 121 දෙනෙකු උපත ලබා තිබෙන බව මේ සංඛ්‍යා ලේඛන තුළින් අනාවරණය විය. 

චීනයේ එක්දරු ප්‍රතිපත්තිය එරට පාලකයින්ගේ පැසසුමට ලක්වුවද සිය එකම දරුවා පිරිමි දරුවෙකු විය යුතු බව සහතික කිරීමට චීන කාන්තාවන් තිස් වසරක් පුරා ගබ්සාවන් හා වෙනත් ක්‍රම භාවිත කළ බවත් අද වනවිට වැඩිහිටියන් බවට පත්ව සිටින මේ තරුණයින් සිය පරම්පරාව ගෙනයාමට සුදුසු සහකාරියන් සොයාගැනීමේ දැඩි අර්බුදයකට මුහුණදී සිටියි. 

‘ෂාන් ප්‍රාන්තයේ මනාලියන් ජාවාරම ඉතා සුලබව සිදුවුණත් මේ ගැන දැනුවත්ව ඉන්නේ බොහොම ස්වල්ප දෙනෙකු පමණයි’ යනුවෙන් උතුරු ෂාන් ප්‍රාන්තයේ මිනිස් ජාවාරම් විරෝධී කාර්යසාධක බලකායේ සාමාජික සැව් මින් ටුන් 'නිව්යෝර්ක් ටයිම්ස්' හමුවේ අනාවරණය කරයි. 

උතුරු මියන්මාරයේ තරුණියන් 21,000 ක් මෙලෙස බලහත්කාරයෙන් විවාහ කරදී ඇති බව Johns Hopkins Bloomberg School 2013 - 2017 අතර කාලය පදනම් කරගනිමින් සිදුකළ පර්යේෂණයකින් තහවුරුවී තිබේ.