එල්ලන්නට පෙර



- සහන් හේවාදලුගොඩ - 

වැලිකඩ හිරගෙදරටම ජීවිත සින්නවී මිය ගිය මිනිසුන්ගේ  කතාව 


"ජනාධිපති මෛත්‍රීපාල නඩු කටයුතු අවසන් නොවූ ම.ද.නි ඇපිල් සිරකරුවෙකුද එල්ලා මරන්නට නියම කර ඇත". නීතීඥ රියෙන්සි අර්ස කුලරත්න මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ලද 'ලංකාදීප' පුවත්පතේ පලවූ ලිපියක් මුහුණු පොතෙහි සංසරණය වනු දැක නීතියේ නොසැලකිලිමත්භාවය මත දඬුවම් ගෙවන මිනිසුන්ගේ ජීවිත හා බැදුනු පරණ මතකයන් කිහිපයක් මෙසේ ලියා තබමි.

එල්ලුම් ගහ ක්‍රියාත්මක කොට මිනිසුන් මරණන්නට යන අවස්ථාවේද ‍ෙතරම් නොසැලකිලිමත් රටක නඩු කටයුතු සිදුවන ආකාරය අමුතුවෙන් කිව යුතු නැත. මරණ දඬුවමට නියම වී සිටින බොහෝ අය නිකරුණේ නඩුවලට පටලවා හිරගෙදරට වැට්ට වූ මිනිසුන් අනන්තය.

ඊට හොදම උදාහරණය ගාල්ලේ මිනීමැරුමක් සම්බන්ධයෙන් සිරගත වූ ඇක්මන් මාමාය.

ඇක්මන් මාමගේ පුතන්ඩියා ඝාතනය සිදු කිරීමට ඍජුව සම්බන්ධ නමුත් ඇක්මන් මාමා හාංකවිසියක් වත් නොදැන සිට ඇත. තම පුතාගේ වීරක් ක්‍රියාව ආරංචි වන විට කරටි කැඩෙන්නට සප්පායම් වී සිටි ඇක්මන් මාමා පුතා ඝාතනය කළ මිනිසාගේ මිනිය තිබූ ස්ථානය ඝාතනයෙන් පැය ගණනකට පසු සොයා ගොස් ඩෝප් මරගාතේ මිනියට කෙලබෙට්ටක් ගසා ඇත. ඩෝප් මරගාතේ මිනියට කෙල ගැසීම හැර වෙනත් කිසිදු සම්බන්ධයක් ඇක්මන් මාමාට ඉහත ඝාතනයට තිබී නොමැත. අප සිරගතව සිටින අවදියක ඇක්මන් මාමා අපට මුණ ගැසෙන්නේ වසර 15කට වඩා ම.ද.නි සිරකරුවෙකුව බන්ධනාගාරගතව සිටින අවදියකය. ඒ වන විට ඔහුගේ වයස 89 ඉක්මාය. ඇවිදගන්න වත් වාරු නැති ඇක්මන් මාමා ඇතුළු තවත් වයෝවෘද්ධ ම.ද. නි සිරකරුවන් 15 ක් පමන චැපල් අංශයේ ම.ද.ණි සිරමැදිරි වලින් අප සිටි පන්සල් වාට්ටුවට යොමු කරන්නේ එවක සිටි අධිකාරිවරයාගේ මානුෂික ක්‍රියා පිළිවෙත හේතුවෙන් එම සිරකරුවන්ට ලබා දෙන සහනයක් සේ සලකාය.

ඇක්මන් මාමා කාගෙත් අවධානය යොමු වූ චරිතයක් විය. දඩබ්බරයෙකු සේ වචන හසුරුවන ඇක්මන් මාමාට නිළධාරීන් සිරකරුවන් වෙන් කොට හදුනාගැනීමේ මානසික තත්වයක් නොවීය. නින්දක් නිදා නැගිටින ඔහු සමහර විට හඬා වැටෙන්නේ තම පුතා මියගොස් ඇති බවත් තමාට මළගෙදර යාමට අවශ්‍ය බව පවසමිනි. එය ඔහුගේ මනෝ විකාරයක් බව කිසිවෙකු කොපමණ තේරුම් කිරීමට උත්සහා කරත් ඒ සම්බන්ධයෙන් ඔහුට කිසිදු අවබෝධයක් නොවීය. අනෙකුත් සිරකරුවන් කරන්නේ ඔහු වාරු කරගෙන සිරකරුවන්ට බෙහෙත් ලබා දෙන ස්ථානය ගෙදර යැයි පෙන්වා, 'කෝ කවුරුත් මැරිලා නෑනේ මාමේ, ගේත් අද වහලනේ' වැනි බේගලයක් කියා ඇක්මන් මාමා නැවත වාට්ටුවට රැගෙන ඒමයි. ඇක්මන් මාමා සිතා සිටන්නේ ගේ වසා ඇත්තේ මරණය ගෙනෙන්නට නිවැසියන් ඉස්පිරිතාලේට ගොස් සිටින බවයි. ඔහුගේ මනෝභාවය එසේය. පහුවෙනිදාට ඔහුට ඒ කිසිවක් මතකයේ නැත.

තමා නිවැරදිකරුවෙකු බවත් නිදහස සම්බන්ධයෙන් තිබෙන බලාපොරොත්තුව ඉඳහිට ඉස්මතුවෙන අවස්ථා නැතුවාම නොවේ. ඔහුගේ ඇඳුම් බහා ඇති ඇඳුම් බෑගයන් හදමින් ගෙදර යන්නට ලේස්ති වන ඇක්මන් මාමා අනෙක් සිරකරුවන්ට පවසන්නේ තමා නිදහස් කර සියලු වාර්තා ලැබී ඇති බවත් එම වාර්තා මෙතරම් පරක්කු වූයේ තමා අධිකරණ කටයුතු කරන නිළධාරීන්ට අල්ලස් ලබාදීමට මැලි වූ නිසා බවත්‍ ය. අප මීළඟට ඔහුගෙන් අසන්නේ 'අපරාදේ මාමේ කීයක් හරි දීලා කලින් යන්න තිබ්බ එක්ක මිස් කරේ මොකද' යන්නයි. එවිට ඇක්මන් මාමාගේ සුද්ද සිංහලෙන් දෙන ඍජු පිළිතුර 'මට නම් කීයක් හරි දීල යන්න පුළුවන් ඒත් මේ අනික් මිනිසුන්ට එහෙම යන්න සල්ලි කෝ පුතේ, මට තිබ්බ පලියට පගාව දීලා යන්න ගියාම ඕවයි වැඩ කරන හු## පුතාලට ඕවා පූරුද්දට ගිහින් මේ නැති බැරි මිනිස්සු කොහොමෙයි එලියට යන්නේ, ඒ නිසා මං ඒ වැඩේ කරේ නෑ පුතේ'. මතකය ඉතා දුර්වල මේ මිනිසා මේ කරුණු කියන්නේ ඔහු තුළ නිදහස සම්බන්ධයෙන් පෙර තිබූ හෘද සාක්කිය විය යුතුය.

සිරකරුවන්ට නාට්‍ය පුහුණු වැඩසටහනකට බන්ධනාගාරයට එන නිශ්මන් රණසිංහ එම කටයුතු කරගෙන ගියේද අප නවාතැන් ගෙන සිටි වාට්ටුවේමය. ඇක්මන් මාමාගේ හිත දිනා සිටි ගජයා වූ නිෂ්මන්ගෙන් මේ සිද්ධි සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට සත්‍ය අසත්‍යභාවය විමසිය හැක. නාට්‍ය වැඩ සම්බන්ධයෙන් සොයා බැලීමට වාට්ටුවට එන අධිකාරීවරයා දැක 'මහත්තයෝ අපි දැං වත් ගෙදර යවන්නේ නැතෙයි' යන්න ඇක්මන් මාමා විමසීම සම්බන්ධයෙන් නිස්මන්ට ඉතා ගැඹුරු මතකයක් ඇතැයි මා විශ්වාස කරන්නෙමි. එය නිස්මන්ලා අතින් ලිය විය යුතු මොහොත මෙයයි. Nis Man Ranasinghe

2014 වර්ෂයේ අවුරුදු 93කට ආසන්න කාලයක් ආයු වලඳා ඇක්මන් මාමා මිය යන්නේ හිරගෙදර රෝහලේය. එකල ඇක්මන් මාමලා වැනි මෙඩිකල් කන්ඩම් වූ වයෝවෘද්ධ මිනිසුන් බන්ධනාගාර තුළ මිය යද්දී, සමන් දේවාලයේ ඇන්ටන් අප්පුලාද, නාමල්ලා යෝෂිතලාගේ හිතවතුන් ජනාධිපති සමා යටතේ නිදස ලබා රාජපක්ෂ අනුහසින් සිරගෙදරින් නික්මීය. ජනාධිපතිවරුන්ගේ විධායක බලතල ක්‍රියාත්මක වන්නේ එසේය. වර්තමාන මෛත්‍රීපාල ජනාධිපතිවරයාද ඒ අයුරින් දේශපාලන ඕනෑ එපාකම් මත සිරකරුවන් නිදහස් කිරීම් සිදුකෙරුණි. දැන් එල්ලා මැරීමටද ඔහු සුදානම්‍ ය. හිරගෙදර මිනිසුන් සියල්ල නිවැරදි මිනිසුන් නොවනු ඇත. ඒ අතර නිවැරදිකරුවන් වන ඇක්මන් මාමලාද ඉමදුව තේකොළ මාමලාද සිටින බව අප අමතක නොකළ යුතුය. වරදකරුවන් වුවද වයෝවෘද්ධ මිනිසුන්ගෙන් සහ කාලාන්තරයක් සිරගෙවල් වල දුක් ගැහැට විඳි මිනිසුන් එල්ලා මැරීමට නියෝග කිරීමට හැකි විධායකය හොබවන පුද්ගලයා කොතරම් ම්ලේච්ජ මිනිසෙකු විය යුතුද යන්න නැවත නැවතත් සිතා බැලිය යුතුය.

ම.ද.නි සිරකරුවන් අතරින් සංවිධානාත්මක අපරාධ යටතේ සිරේ සිටින අතේ ඇගිලි ගානටත් අඩු පිරිස් හැරුණුකොට බහුතරය ඈත ගම්බිම් වල පිටිසර ජීවිත ගෙවූ මිනිසුන් විය. ඔවුන්ගේ නූගත්කම සහ ක්ෂණික කෝපය බොහෝ අපරාධයන්ට මූලයන්ය. ඉතා දුෂ්කර පළාත් වල මිනිසුන් වූ ඇල්සේන, චිල්ලේ, කේක්, විමලසේන, තේකොළ මාමලාගේ ජීවිත කතාද හැකි අයුරින් ඉදිරියේදී ලියා තබන්නට උත්සාහ කරමි.

තේකොළ මාමා ගාල්ල ඉමදුව ප්‍රදේශයේ ඉතා දුෂ්කර අඩියෙන් ව්‍යාපාර පටන් ගෙන තේකොළ වෙළඳාමේ ඉහළට පැමිණි ව්‍යාපාරිකයෙකි. ඔහු ගේ බෑනා කෙනෙකු කළ මිනීමැරුමකට කිසිදු සහසම්බන්ධයක් නොමැතිව ටෝච් එකක් නිසා සිරගත වූ තේකොළ මාමා වසර 17 කට ආසන්න කාලයක් මනස විකල් මිනිසෙකු ලෙස හිරගෙදර ජීවත්ව සිට 2014 වර්ෂයේ හෘදයාබාධයකින් මිය ගියේ අප ඇස් ඉදිරිපිටය.

ඔහුගේ නිවසින් බෑණාවරයෙකු රාත්‍රී ආහාරය ලබා ගෙන යන අවස්ථාවේ තේකොළ මාමාගේ විදුලි පන්දම බෑණා විසින් රැගෙන ගොස් ඇත. ඊට පසු දින ඝාතනයක් සිදුවූ ස්ථානයේ තේකොළ මාමාගේ විදුලිපන්දම බිම වැටි තීබී පසුව කළ පොලිස් විමර්ශන වලින් ඝාතනය සම්බන්දයෙන් බෑනා අත්අඩංගුවට පත්ව ඇත. ටෝච් එක හිමිකරු වූ තේකොළ මාමාද අත්අඩංගුවට පත්වන්නේ මිනීමැරුම ගැන කිසිවක් නොදැනය. අවසානයේ බෑනා සහ තේකොළ මාමා නතර වන්නේ මරණීය දණ්ඩන සිරකරුවන් ලෙස වැලිකඩය. එවක ගාල්ලේ මහාධිකරණයේ නඩු ඇසූ රාජපක්ෂ නඩුකාරවරයා නොදන්නෙක් හිරගෙදර නැත. අඹේපිටිය හා රාජපක්ෂ මරණ දණ්ඩන විශාල ප්‍රමාණයක් ලබා දුන් නඩුකාරවරුන්ගේ කිරුළ දරා සිටින්නන්‍ ය. ඒ දඬුවම් ලැබු මිනිසුන් අතර බහුතරය ඇක්මන් මාමලා සහ තේකොළ මාමලාය.

ඝාතනය වූ අඹේපිටියට නඩුකාරයාට ගරු කිරීමක් ලෙස සලකා ඔහු දුන් දඬුවම් ඉහල අධිකරණ වල නිසි ලෙස අභියෝගයට ලක් නොකරම කෙටි විමර්ශනයකින් එම තීන්දුවම දෙන ඉහළ අධිකරණ අසරණ නිවැරදි මිනිසුන් වළපල්ලට යවා ඇති කතා ඒ මිනිසුන්ගේම වචන වලින් අපගේ කන්වලට ඇසී ඇත.

සිදුවිය යුත්තේ බන්ධනාගාරයේ එල්ලුම් ගස් ක්‍රියාත්මක කිරිම නොව විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් ලවා හෝ සමීක්ෂණයක් කොට එම මිනිසුන්ගේ සත්‍ය තත්ත්වය පිළිබඳව විමර්ශනයක් කොට අධිකරණයේදී පොලීසිවලදී සිදුවූ අකටයුතුකම් හේතුවෙන් සිරගත වූ මිනිසුන්ට සහ සියලු සිරකරුවන්ට සමාජගත විය හැකි ආකාරයේ වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමය. වර්තමානයේ සිදුවන අපරාධ වලට මීට වසර 20කට 30කට ඉහත සිදු වූ අපරාධ වලට සම්බන්ධ හිරේ කාලාන්තරයක් දඬුවම් ගෙවන මිනිසුන් එල්ලා මැරීමට සදාචාරාත්මක සමාජයකට නොවටිනා ක්‍රියාවකි. ඊට පක්ෂපාතී මිනිසුන් ඉහත කරුණු සම්බන්ධයෙන් යළි යළිත් සිතා බැලිය යුතුය. රටේ ජනාධිපතිවරයා බලය වෙනුවෙන් ජනප්‍රියතාවය වෙනුවෙන් බිල්ලට තබා ඇත්තේ ඔහුගේ මනුස්සකම පමණක් නොව රටේම ජනයාගේද මනුස්සකමය.

ඇක්මන් මාමලා තේකොළ මාමලා මිය ගොස්ය. තවමත් ජීවත්ව සිටින චිල්ලේලා, ඇල්සේන මාමලා වෙනුවෙන් අපට කළ හැකි දේ අතපසු නොකිරීම හිත් පිත් ඇති මිනිසුන්ගේ වගකීමක් විය යුතුය.